
වජිර නාරම්පනාව ගේ නවතම කාව්‍ය සංග්‍රහය
කෘතිය- අමාවක නිමා විය (නූතන ථෙරී ගී)
කර්තෘ- වජිර නාරම්පනාව
කර්තෘ ප්‍රකාශනයකි
විමසීම්- 0718 051 139
මිල- 450 / පිටු ගණන-51
මේ කතුවරයා විසින් රචිත ඔහුගේ තෙවැනි පද්‍ය සංග්‍රහයයි. බෞද්ධ සාහිත්‍යයේ එන ථෙරී ගාථාවන්ගේ ආකෘතිය භාවිත කරමින් වර්තමාන කාන්තාව සමාජය තුළ මුහුණ දෙන ඛේදවාචකය විත්‍රණය කිරීමටත්, ජීවිතයේ සැබෑ සැනසුම ලැබිය හැකි මාර්ගය පෙන්වා දීමටත් මේ තුළින් උත්සාහ දරා ඇත. ගිහි ජීවිතයේදී විඳීමට සිදු වන දුක් කරදර, සැප සම්පත්, ගෘහස්ත හිංසනය, සමාජ අසාධාරණකම් සහ ජීවිතයේ නිස්සාරත්වය පිළිබඳ කියැවෙන මෙම පද්‍ය සංග්‍රහය කාව්‍ය 50කින් සමන්විතය.
කවිඳුගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය
කෘතිය- රැය නොනිදයි
කර්තෘ- කවිඳු මධුවන්ත
ප්‍රකාශක- රුහාරා ප්‍රකාශන
විමසීම්- 0774 247 904
මිල- 600/ පිටු ගණන-64
සයිබර් අවකාශය තුළින් කාව්‍ය නිර්මාණයට පිවිසි කතුවරයා විසින් රචිත කුලුඳුල් කාව්‍ය සංග්‍රහය මෙයයි.
විවිධාකාර තේමාවන්ගෙන් යුතු කාව්‍ය නිර්මාණ 47ක් මේ කෘතියේදී අපට හමුවෙයි. නෙක තේමාවන් මුල් කරගෙන නෙක නෙක රිද්මයන් පෙරටු කර ගනිමින් ඔහු අපූරුවට සිය කවිය ගොඩනඟා ගෙන ඇති බව මේ කාව්‍ය සංග්‍රහය පිළිබඳ හැඳින්වීමක් කරමින් ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පවසයි. එමෙන්ම බොහෝ දේ සියුම්ව දකින නෙතක් කවියාට හිමි වීම ද මේ කවිවල අපූර්වත්වය වැඩි කිරීමට ඉවහල් වී ඇති බවත් ඔහුගේ අදහසයි.
චේතනාගේ නමක් නැති හිතවතා
කෘතිය- නමක් නැති හිතවතෙක්
කර්තෘ- වේත්‍යා විදානපතිරණ
ප්‍රකාශක- රුහාරා ප්‍රකාශන
විමසීම්- 0718 135 177
මිල- 500 / පිටු ගණන-68
මේ කතුවරියගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහයයි. එසේ වුවද විවිධ අනුභූතීන් කලාත්මක ශික්ෂණයකින් යුතුව නිර්මාණ සඳහා පාදක කරගෙන ඇති ඇය කවියේ වචනාර්ථ පමණක් විශ්වාස නොකරමින්, කවියේ ධ්වනිතාර්ථ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරන වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියා කියයි. වෘත්තියෙන් භෞතික විද්‍යාඥවරියක ලෙස මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන ඇය සිය නිර්මාණ තුළින් වින්දනීය ඉසව්වක පමණක් රසිකයා අතරමන් නොකොට ජීවිතාර්ථ මැනවින් දකින්නට ද ඔවුන්ට ආරාධනා කරන්නීය.
තිලක් වීරසිංහ ගේ 'මං පුංචි සන්දියෙ'
කෘතිය- මං පුංචි සන්දියෙ
කර්තෘ- තිලක් වීරසිංහ
ප්‍රකාශක- සරසවි ප්‍රකාශන
විමසීම්- 076 6794701
මිල- 950 / පිටු ගණන- 188
අප අවට පරිසරය විද්‍යාත්මක ඇසින් විපරම් කරන විද්‍යා ප්‍රබන්ධයක් හැටියටත් යටත් විජිත අග භාගයේ සමාජ තත්ත්වය, උඩරට හා පහතරට තිබූ සංස්කෘතික පරිසරය එළිදරව් කරන ගවේෂණ රාශියක් හැටියටත්, අභ්‍යාවකාශයට එබී බලන අභ්‍යාවකාශ චාරිකා ලෙසත් තිලක් වීරසිංහගේ මේ යොවුන් නව කතාව හැඳින්විය හැකිය.
වැඩිහිටියන් සමඟත්, සිය සගයන් සමගත් මේ තරුණ කතා නායකයා යන වීර චාරිකා රාශියක් අතර, රුසියාව පළමු වරට අභ්‍යවකාශගත කළ ස්පුටිනික් චන්ද්‍රිකාව සැබෑ ලෙස සියැසින් දැක ගැනීමට ලඳු කැලෑවක් මැද උඩු බැලියෙන් දිගා වී මහ රෑ පැය කීපයක් ගත කළ අත්දැකීම කවරකුගේ හෝ සිත් ගන්නා සුලුය. මේ සක්වල අපට වඩා දියුණු ලෝකයක සිට පැමිණි අජටාකාශගාමීන් තිදෙනකුගේ සිත් දිනාගෙන අසාමාන්‍ය මායිචින්තාව (Fantasy) අතිශය සිත් ගන්නා සුළුය.
රටේ සුභ සිද්ධිය වෙනුවෙන් කැප වුණ සැබෑ මිනිසුන් සහ සැබෑ ලස්සන ලෝකය හඳුනා ගන්නට පුළුවන් පිනුම් ලෑල්ලක් හැටියට මේ පොත පාවිච්චි කරන්නට පුළුවන් බව මෙහි කර්තෘ තිලක් වීරසිංහ පවසයි. එපමණක් නොව රටට ආදරය කරන්නට, මවු භාෂාව ප්‍රාණවත්ව අභිමානයෙන් කතා කරන්නට, පණ කඳ ඇතිව ඇඟපත හසුරුවන්නට, කඳු වැටි, ගංගා, දිය ඇළිවල චමත්කාරය නරඹන්නට, භූමිය සතු පස තේරුම් ගන්නට මේ පොත උදවු කර ගැනීමට පුළුවන.
කෘතිය පිළිබඳ සටහනක් තබමින් මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් පවසන්නේ විද්වතකු ලෙස තිලක් වීරසිංහයන් විද්‍යාව ඉගෙන ගැනීමට පහසුකම් නොමැති යුගයක තිබුණු ඉඩහසර ඇසුරේ ඔහු සාධනය කළ දැනුම, අවබෝධය වටිනා අනුභූතීන් මේ පොතින් විද්‍යාමාන වන බවයි. කතා රසය උපදන මනහර අවස්ථා සිද්ධි පහන් වැටක් මෙන් පාඨකයාට මඟ එළි දල්වන බවත් මහාචාර්ය ප්‍රණීත්ගේ අදහසයි.
නයනා වන්නිආරච්චිගෙන් අලුත් වැස්සක්
කෘතිය- අලුත් වැස්සක්
කර්තෘ- නයනා වන්නිආරච්චි
කර්තෘ ප්‍රකාශනයකි
විමසීම්- 0776 617 730
මිල- 480 / පිටු ගණන-99
නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන නයනා වන්නිආරච්චි විසින් රචිත මෙය කවි ගී සංකල්පනා කෘතියකි. මීට පෙර ළමා සහ යොවුන් කතා කෘති කිහිපයක් සහ පර්යේෂණ කෘතියක් ලියා ප්‍රකාශයට පත්කර ඇති කතුවරිය විසින් රචිත කුලුඳුල් කාව්‍ය සංග්‍රහය මෙයයි. කෘතිය ගැන හැඳින්වීමක් කරමින් කතුවරිය පවසන්නේ මේ ගී සහ කවි ජීවිතයේ ලැබූ විවිධ අත්දැකීම් ඔස්සේ පරිකල්පනය මෙහෙයවා නිර්මාණය කරන ලද ඒවා බවය.
මගහැරුණු හාදුවක් ගැන කියන නාවලගේ බැනට්
කෘතිය- උදෑසන මගහැරුණු හාදුවක්
කර්තෘ- නාවලගේ බැනට් කුරේ
ප්‍රකාශක- සන්ථව ප්‍රකාශකයෝ
විමසීම්- 0773 086 000
මිල- 400 / පිටු ගණන- 79
මහජන නියෝජිතයකු ලෙස දේශපාලනයේ නිරත වෙමින් පළාත් සභාව, පාර්ලිමේන්තුව ඔස්සේ ඇමැති මණ්ඩලය දක්වා ගිය, රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට ද සක්‍රිය දායකත්වය ලබා දුන්, නාවලගේ බැනට් කුරේ විසින් රචිත මේ පද්‍ය සංග්‍රහය තුළින් ප්‍රකට වන්නේ ඒ සියල්ල තුළින් ඔහු ලත් ජීවිත පන්නරයයි. අත්දැකීම් සම්භාරයේ අරුමයයි.
මේ වන විට නවකතා කෘති දෙකක්, කෙටිකතා සංග්‍රහයක් සහ චරිත කතා කෘති දෙකක් ලියා ප්‍රකාශයට පත්කර ඇති ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය 'ස්වර්ණමාලියේ' එළි දකින්නේ 2020 වසරේදීය. මේ කාව්‍ය සංග්‍රහය, ඒ කාව්‍ය සංග්‍රහය අබිබවා ගිය එකක් බව කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරමින් ප්‍රවීණ ගේය පද රචක බණ්ඩාර ඇහැළියගොඩ පවසයි.
නාවලගේ බැනට් කුරේ නම් දේශපාලඥයා, රාජ්‍ය තාන්ත්‍රිකයා තුළ ජීවත් වන මානව හිතවාදී කලාකාමියා සිය ජීවිත කාලය පුරා උපයා ගත් අප්‍රමාණ අත්දැකීම් සේම දුගී දුප්පත්කමෙන් පීඩිත ජනතාව සමඟ උරෙන් උර ගැටී පිරිපහදු කරගත් ජීවිතාවබෝධය මේ කාව්‍ය සංග්‍රහය පුරාම දැකිය හැකිය. රිද්මය සහිත, රිද්මය රහිත, නිසඳැස්, සඳැස් යන ඕනෑම ආකාරයකින් නිර්මාණ කිරීමේ හැකියාවෙන් යුතු නාවලගේ බැනට් කුරේ නම් කවියා සතු ප්‍රතිභාව මේ කාව්‍ය සංග්‍රහයෙන් මනාව නිරූපණය වේ. සරල බසින් සරල ආකෘති ඔස්සේ රචනා කළද කාව්‍ය අලංකරණවලින් පොහොසත් මේ කවි පාඨකයාට සමාජ යථාර්ථය දැකීමට ද මඟ පෙන්වයි.
පන්හිඳට පෙම් බැඳි කවි ගැන කියන ශානිකා
කෘතිය- පන්හිඳට පෙම් බැඳි නුඹට ලියූ කවි
කර්තෘ- කේ. ශානිකා දුලංජලී
ප්‍රකාශක- සදීපා ප්‍රකාශකයෝ
විමසීම්- 0112 686 11
මිල- 950 / පිටු ගණන-96
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා පීඨයේ ගෞරව උපාධිධාරිනියක වන, මේ වන විට නර්තනාචාර්යවරියක ලෙස කටයුතු කරන කතුවරිය විසින් රචිත මේ කාව්‍ය සංග්‍රහයට පාදක වී ඇත්තේ ඇය ලද විවිධාකාර අත්දැකීම් සහ සමාජය තුළින් හඳුනා ගන්නා ලද වස්තු බීජයන්ය.
සඳැස් ආකෘතියට මුල් තැන දෙමින් රචනා ලද මේ කවි නිර්මාණ තුළින් මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩවල් මෙන්ම සොබාදහමේ අසිරිය, ආදරය, විරහව, බලාපොරොත්තුව වැනි පුද්ගල මනෝ භාවයන් ද ඉතා සියුම් ලෙස ස්පර්ශ කිරීමට කිවිඳිය සමත්ව ඇත.
නිදහස් කාව්‍ය ආකෘති මෙන්ම විවිධ කවි රීතීන්ගෙන් නිර්මාණය කර ඇති මේ කාව්‍ය සංග්‍රහය තුළ කවි නිර්මාණ 87ක් ඇතුළත්ය.
සමනල කවුළු තටු නිකුත් වෙයි
කෘතිය- සමනල කවුළු තටු
කර්තෘ- චලක ප්‍රමුදිත ලුණුවිලගේ
ප්‍රකාශක- Dream Pencil
විමසීම්- 0372 242 312
මිල- 450 / පිටු ගණන-59
මෙය කතුවරයා විසින් රචිත ඔහුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහයයි. විවිධාකාර තේමාවන්ගෙන් විවිධ ආකෘතින්ගෙන් රචිත මේ කාව්‍ය සංග්‍රහයට කාව්‍ය නිර්මාණ 37ක් ඇතුළත්ය. ජීවිතය, ප්‍රේමය, විරහව, සමාජ අසාධාරණකම්, මානව සබඳතා ආදී අප බොහෝ දෙනකු නිතර අත්විඳින සිදුවීම් සහ අත්දැකීම් නවමු අයුරකින් ඉදිරිපත් කරන්නට කවියා සමත්ව ඇත. ධ්වනිතාර්ථවලින් පොහොසත් මේ කාව්‍ය සංග්‍රහය සරල සහ ළගන්නා බස් වහරකින් සහ කාව්‍යමය ලාලිත්‍යයෙන් ද අනූනය.