විනයක් නැති සිසුන් හෙල්මටයෙන් පහර දී අහිමි කළ ජීවිතයක් | සිළුමිණ

විනයක් නැති සිසුන් හෙල්මටයෙන් පහර දී අහිමි කළ ජීවිතයක්

විරාජ් බිරිය ඩිල්කි සහ දිය­ණිය මෙයිලි සමඟ

- එක්දරු පියකු වන 34 හැවිරිදි විරාජ්ගේ දියණිය මාස එකොළහක සිඟිත්තියක්
- හෘදයාබාධයකින් මිය ගිය පියාගේ වසරේ දානෙ දෙන්න සූදානමින් සිටි විරාජ්ගේ හත් දවසේ දානය හා පියාගේ අවුරුද්දේ දානය එකම දවසේ
- සැකකරුවන් වන සිසුන් තිදෙනා 28 වැනිදා දක්වා මාකොළ බාලක රැඳවුම් මධ්‍යස්ථානය භාරයට
- විරාජ්ට දිවි අහිමි වෙන්නේ පාන් ගෙඩියක් ගේන්න කඩේ ගිය වෙලාවේ

පන්නොත් මරණය නියත වුවත් අවාසනාවන්ත අයුරින් සිදු වන මරණයක් පිළිබඳ සවන් වැකෙන ඕනෑම සිතකට ඇති වන්නේ නොනිමි සන්තාපයකි. ඉකුත් 14 වැනිදා අලුත්ගම කුරුදිප්පිට ප්‍රදේශයෙන් වාර්තා වූයේ ද එවැනි අවාසනාවන්ත මරණයක් පිළිබඳ පුවතකි. නිකම්ම නිකම් මරණයක් නොව එය කුරිරු ඝාතනයක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. 

මේ අවාසනාවන්ත කතාවේ කතා නායකයා අලුත්ගම ගල්වත්ත, කුරුදිප්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් ජයසිංහ (34)ය. ජීවිතයෙන් සමු ගැනීමට හෝරා කිහිපයකට පෙර ඔහුම මුහුණු පොතේ ලියා තැබූ පරිදි විරාජ් ගෙවෙන හැම තත්පරයකදීම තම සුන්දර බිරියටත් මල් කැකුළක් බඳු සිඟිති දියණියටත් අසීමිත ව ආදරය කළේය. හේ පියාගේ රැකවරණය අහිමි වූ අසනීපයෙන් ද පසුවන තම ආදරණීය මවට යුතුකම් ඉටු කළ දයාබර පුතකු විය. ඉන් නොනැවතී ඇසුරු කරන නෑ හිත මිතුරන් සියලුදෙනාට ළෙන්ගතු චරිතයක් ලෙස ජීවත් වූ විරාජ්ගේ ජීවිතයේ අවසන් පරිච්ඡේදය ලියැවුණේ ඉකුත් 14 වැනිදාය. එදින ආදරවන්තයන්ගේ දිනය සැමරුණ ද ඇත්තෙන්ම එදින ලෝකයටම ආදරය බෙදූ වැලන්ටයින් සාමිවරයාගේ මරණය සිදු වූ දිනයයි. ආදරණීය මිනිසකු වූ විරාජ්ගේ ජීවිතයේ අවසන් දිනය ද ආදරවන්තයන්ගේ දිනයේදීම සිදු වීම දෛවයේ සරදමක් බඳුය.

"එදා හවස අපි දෙන්නා විරාජ්ගේ තාත්තගේ අවුරුද්දේ දානෙට අටපිරිකර ගේන්න කාරෙකින් අලුත්ගම ගිහින් ආවා. ඊට පස්සේ හවස 6.20ට විතර විරාජ් පාන් ගෙඩියක් ගේන්න කුරුදිප්පිට හන්දියට ගියා. ගෙදර ඉඳලා ඒ හන්දියට තියෙන්නේ හැතැප්ම එකහමාරක් විතර දුරක්. මට දැනගන්න ලැබුණු විදිහට පොඩි ළමයි වගයක් මෝටර් බයිසිකල් කිහිපයකින් විරාජ්ව පහු කරගෙන යන ගමන් එයාට වෙට්ටුවක් දාගෙන ගිහින් තියෙනවා. එතකොට එයා ඒ ළමයින්ට අවවාද කරලා තියෙනවා. කඩේට ගිහින් විරාජ් ආපහු එනකොට ඒ ළමයි මඟ රැකලා ඉඳලා ඒ අයගේ හෙල්මට්වලින් විරාජ්ට ගහලා තියෙනවා. මේ තරම් ඉක්මනට ජීවිතේ දාලා යන්න තරම් එයා කරපු අපරාධය මොකක්ද?"

ඇසුවන් ළය සොවින් බර කරන ඒ දුක්බර වදන් විරාජ්ගේ ආදරණීය බිරිය ඩිල්කි පහන්තිහ ගේය. විරාජ්ගේ මරණය ඇයට පමණක් නොව ඔහු ඇසුරු කළ සියලු දෙනාට කම්පනයකි, දරාගත නොහැකි ශෝකයකි. 1989 ජනවාරි 6 වැනිදා වළගෙදර කුරුදිප්පිටදී විරාජ් උපත ලැබුවේ පියසේන ජයසිංහ සහ මැගි නෝනා වැදිසිංහ යුවළට දාවය. විරාජ්ට වජිර ජයසිංහ නමින් එක් සහෝදරයකු වේ. මතුගම ශාන්ත මේරි විද්‍යාලයෙන් අපොස උසස් පෙළ දක්වා උගත් විරාජ් පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු ද විය. පාසල් අධ්‍යාපනයෙන් පසු අගනුවර පෞද්ගලික ආයතනයක ප්‍රවාහන කළමනාකරුවකු ලෙස සේවයට එක් වන ඔහුට සිය අනාගත සහකාරිය හමු වන්නේ ද රැකියාවට යන එන අතරේය.

කන්ද උඩරටදී උපන් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක වන ඩිල්කි උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වන්නීය. ජන ගී, ජන කවි සහ ජන නැටුම්වලට අසීමිතව ඇලුම් කළ නිසාම ඒ සම්බන්ධයෙන් උපාධිය හදාරන්නට ඩිල්කි පැමිණෙන්නේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයටය. ඒ අතරතුර හමුවූ විරාජ් සමඟ ඇය ප්‍රේමයෙන් බැඳෙන්නේ ජීවන ගීතය ද ඔහු හා එක්ව ගයන්නට සිතාගෙනය. පළමු උපාධිය ලබා ගත් ඩිල්කි සිය ශාස්ත්‍රපති උපාධිය ලබන්නේ ඉන්දුනීසියාවෙනි. විරාජ්- ඩිල්කි ආදර කතාවට වසර 9ක් සම්පූර්ණ කරමින් ඔවුන් දෙදෙනා අතිනත ගන්නේ 2019 ජනවාරි 24 වැනිදාය. ආදරය සහ සතුට උතුරා ගිය ඔවුන්ගේ කැදැල්ලට සිඟිති දියණිය මෙයිලි එක් වන්නේ මීට මාස එකොළහකට පෙරදීය‍. විරාජ්ගේ පියා මීට මාස තුනකට පෙර හෘදයාබාධයක් වැලඳීමෙන් ජීවිතය හැර යන්නේ ප්‍රීතියෙන් පිරුණු පවුලේ සතුටට කණකොකා හඬවමිනි. පියාගේ තුන් මාසේ දානමය පින්කම හැකි ඉහළින් පවත්වා පියාට උපහාර පුදන්නට බලා සිටි විරාජ්ගේ ජීවිතය ද නොසිතූ මොහොතක අවසන් වන්නේ පවුලේ සියලු දෙනා සෝ සයුරක ගිල්වමිනි. "විරාජ් අපේ පුංචි දෝණිට පුදුම තරම් ආදරෙයි. දරුවා බලාගන්න ඕනේ කියලා මීට මාසෙකට කලින් එයා රැකියාවෙනුත් අස් වුණා. " ඩිල්කි පවසන්නේ සිඟිත්තිය ළයට තුරැලු කරගෙන කඳුළු සලමිනි. සිය පෙම්බරිය ඩිල්කිත් දියණියත් සමඟ තව බොහෝ සොඳුරු දවස් ගෙවන්නට දහසක් පැතුම් හද පුරවාගෙන බලා සිටි විරාජ් මෙවැනි කුරිරු ඉරණමකට මුහුණ දෙන්නට සිදු වෙතැයි සිහිනෙනුදු නොසිතන්නට ඇත. 

ගමේ පොදු කටයුතු, සමාජ සේවා සහ ආගමික කටයුතුවලදී පෙරමුණ ගත් අයුක්තියට, ආසාධාරණයට එරෙහිව නැඟී සිටි විරාජ් එදා මහමඟදී ඒ සිසුන් කරමින් සිටි වරද නිවැරැදි කරන්නට කතා කරන්නට ඇත්තේ ද එය සිය යුතුකමකැයි සිතාගෙන විය හැකිය. එහෙත් ඒ කුඩා වුන් මැරෙන තුරු තමාට පහර දෙතැයි ඔහු කිසිසේත් නොසිතන්නට ඇත. ඔවුන්ගෙන් බරපතළ ලෙස පහර කෑ විරාජ් රෝහල්ගත කළ ද ජීවිතය ඔහු හැර ගියේය.

විරාජ්ට පහර දුන් බවට සැකපිට අත්අඩංගුවට පත් සිසුන් තිදෙනා වයස අවුරුදු 16,17 වයස්වල පසුවන, විරාජ්ගේ බිරිය සේවය කරන අලුත්ගම වළගෙදර පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන් බව ද පැවසේ. එහෙත් ඔවුන් පහර දී මරා දැමුවේ තම පාසලේ ගුරුවරියකගේ සැමියා බව ඔවුන් දැන සිටියා ද යන්න ඇතුළු ඝාතනය පිළිබඳ සියලු තොරතුරු ඉදිරි පොලිස් විමර්ශනවලින් හෙළි වනු ඇත.

ඝාතනයට සැක පිට වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔමේෂ් සංජන, ආකාෂ් ප්‍රනාන්දු හා හේෂාන් දිල්ෂක නමැති සිසුන් තිදෙනා ඉකුත් 15 වැනිදා මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්වා මාකොළ බාලක රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට නියෝග කෙරිණි. ඉකුත් 17 වැනිදා වළගෙදර වැලිගොඩැල්ල පොදු සුසාන භූමියේදී සුවහසක් සෝ සුසුම් මැද මිහිදන් වූ විරාජ් සිය වටිනා ජීවිතයෙන් පසක් කර දුන්නේ ජීවිතයේ අනියත බව පමණක්ම නොවේ. තවත් අයකුගේ ජීවිතයට කරදරයක්, හිංසාවක් නොවන ලෙස දරුවන් හදා වඩා ගන්නට මවුපියන් ඇතුළු වැඩිහිටියන්ට ඇති අසීමිත වගකීමේ බරපතළකමයි.

Comments