වැලේ වැල් නැතිව ජීවිත උකසට තබන ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවෝ | සිළුමිණ

වැලේ වැල් නැතිව ජීවිත උකසට තබන ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවෝ

- මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන් ලක්ෂ 30ට වඩා වැඩි අතර ඉන් ලක්ෂ 28ක්ම කාන්තාවන්
- පොලොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කවල මේ ණය හඳුන්වන්නේ ‘ඇඳ ණය’ ලෙසයි
- ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන සංඛ්‍යාව 23ක් වුවත් ගවේෂණයකින් හෙළි වී ඇත්තේ මෙරට ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන ප්‍රමාණය 3,000ට අධික බවයි

මෑත ඉතිහාසය තුළ ග්‍රාමීය ජන ජීවිතයට වැඩිම බලපෑමක් එල්ල කළ උපද්‍රවයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය පෙන්වා දිය හැකිය. පසුගියදා පොලොන්නරුව හිඟුරක්ගොඩදී “ගෙවන්න බෑ, ගෙවන්නෙ නෑ”, ‘ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු’ යන සටන් පාඨ පෙරදැරිව ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය විසින් සත්‍යග්‍රහයක් පවත්වා අනතුරුව සමුළුවක් ද කැඳවා තිබුණේ මෙම වින්දිතයන්ගේ අවනඩුව රටට කියන්නටය.

නොබෙල් සම්මානලාභී ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය මොහොමඩ් යුනුස් 1970 දශකයේ මැද භාගයේ බංග්ලාදේශයේ ඉතා දුෂ්කර ගම්මානයක් ආශ්‍රිතව සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ලොවට හඳුන්වා දෙනු ලැබිණි. ලොව පුරා ව්‍යාප්ත ‘ග්‍රාමීන් බැංකු’ සංකල්පය බිහිවන්නේ ඒ අනුවය. ලොව දරිද්‍රතාවයෙන් පෙළෙන සහ අඩු ආදායම්ලාභී මිලියන ගණනක් වූ ජනතාව වෙනුවෙන් මෙම මූල්‍ය ක්‍රමවේදය හඳුන්වා දුන්නේ ආර්ථික වශයෙන් ඔවුන් සමෘද්ධිමත් කිරීමේ අරමුණිනි.

දිළින්දන් හට සහයෝගීතාව දැක්වීමේ උපදේශාත්මක සමූහය (CGAP-Consultative Group to Assist the Poor) විසින් නිර්වචනය කර ඇති පරිදි 'ක්ෂුද්‍ර මූල්‍ය' යනු අඩු ආදායම්ලාභීන්ට මූල්‍ය සේවා සැලසීමයි. ප්‍රධාන වශයෙන්ම ප්‍රමාණවත් ඇප කර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපුරාගත නොහැකි දිළිඳු පුද්ගලයන්ට ණය පහසුකම්, ඉතිරි කිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැලසීමය. මේ වන විට ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශය පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන සහ ආයතන දක්වා වර්ධනය වී ඇති අතර, එය මූල්‍යමය අන්තර්ගතභාවය සහ සමාජයේ අඩු ආදායම්ලාභී සහ දිළිඳු ජන කොට්ඨාස බලගැන්වීම සඳහා වූ විශේෂිත ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නකි.

මෙරට තුළ තිබෙන බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති, දිවි නැඟුම බැංකු සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධාන, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත වන රාජ්‍ය නොවන සංවිධාන වැනි ආයතන රාශියක් ක්ෂුද්‍ර මූල්‍යකරණයේ නිරතව සිටිති. මින් සමහරක් ආයතන, විවිධ අධිකාරීත්වයන් යටතේ නියාමනය වේ. එසේම නියාමනයකට ලක් නොවූ මෙවැනි ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල අනිසි ක්‍රියාකාරකම් ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම්ලාභීන් මත අහිතකර බලපෑමක් ඇති කර තිබෙන අතර, අඩු ආදායම්ලාභීන් සහ දිලිඳු පුද්ගලයන් දරිද්‍රතාවයේ චක්‍රය තුළම රඳවා තැබීමට මඟපාදමින් රටෙහි ආර්ථික දියුණුව කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරයි. මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් තුළ නියාමනයකට ලක් වූ අංශ ද ඇතුළත්ව සම්පූර්ණ මූල්‍ය අංශය පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටී ඇත. මෙලෙස පාරිභෝගික විශ්වාසය බිඳවැටීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් නීති පනතේ (422 වන අධිකාරය) දක්වා ඇති අරමුණක් වන මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීම කෙරෙහි අහිතකර අයුරින් බලපා තිබේ. එම නිසා ශ්‍රී ලංකාව තුළ ඉහත කී නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුව ඇති බව මහ බැංකු නිලධාරියකු සිළුමිණට පැවසීය.

එසේ වුවත් ශ්‍රී ලංකාව තුළ දශකයකට අධික කාලයකට පෙර සිටම නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ආයතන නියාමනය සඳහා නීති පැනවීමට විවිධ උත්සාහයන් ගන්නා ලදි. අවසානයේදී, 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත (ක්ෂුද්‍ර මූල්‍ය පනත) පාර්ලිමේන්තුව මඟින් පනවන ලද අතර, 2016 ජූලි මස 15 දින සිට එය බලාත්මක විය. මෙම පනත මඟින් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත වන සමාගම් (බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්) සඳහා බලපත්‍ර නිකුත් කිරීමට, ඒවා නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට අදාළ විධිවිධාන පනවා ඇත. බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) හරහා සෘජුවම නියාමනය කෙරේ. එසේම 1989 අංක 30 දරන සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වූ ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ‍රෙජිස්ට්‍රාර්වරයා යටතේ නියාමනය කිරීමට ක්ෂුද්‍ර මූල්‍ය පනත මඟින් විධිවිධාන සපයා ඇත.

නීතිමය තත්ත්වය එසේ වුවත් ක්ෂුද්‍ර මූල්‍ය ණය මෙරටදී මෙතරම් විශාල ආර්ථික බලපෑමක් ඇති කිරීමට ප්‍රධානතම හේතුව මහ බැංකුවේ වගකීම් විරහිත ක්‍රියාකලාපය බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සභාපති විමුක්ති ද සිල්වා පැවසුවේය. ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ගනුදෙනු සිදු කරන ආයතන නියාමනය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වුවද, ඔවුන් දිගින් දිගටම එය පැහැර හරිමින් සිටින බවත්, 2021 ජනවාරි 06 වැනිදා වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කර ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන ගණන හතරක් වීම ඊට හොඳම නිදසුන වන බවත් ඇය පැවසුවාය. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන සංඛ්‍යාව 23කි. නමුත් මෙම ව්‍යාපාරය මඟින් කළ ගවේෂණයෙන් හෙළි වූයේ ශ්‍රී ලංකාව තුළ ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන ප්‍රමාණය 3,000කටත් අධික වන බවය. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමය සමඟ ලියාපදිංචි වී ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල නිරත වන ආයතන සංඛ්‍යාව 53කි. එමෙන්ම තවත් ආයතන බොහොමයක් ව්‍යාපාර ආයතන ලෙස ලියාපදිංචි වී ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරවල යෙදී සිටී. මෙමඟින් පැහැදිලි වන්නේ අදාළ නීත්‍යනුකූල ක්‍රමවේදයට අනුව නියාමනයකට යටත්ව ඇත්තේ ආයතන කිහිපයක් පමණක් බවයි. බොහෝ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන, ජනතාව රවටමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලෙස හඳුන්වමින් පෞද්ගලික ණය ලබා දීම ද සිදු කරයි.

“මෙම ණය ලබා දීම සිදු වන්නේ බොහෝවිට කාන්තාවන් ඉලක්ක කර ගනිමිනි. එය මෙම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල පොදු ලක්ෂණයකි. මේ වන විට ක්ෂුද්‍ර මුල්‍ය ණයකරුවන් ලක්ෂ තිහකට වඩා වැඩි පිරිසක් සිටින අතර ඉන් ලක්ෂ විසි අටක්ම කාන්තාවන් වීමෙන්ම මේ කරුණ සනාථ වේ. මීට අමතරව දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාවන් තෝරා ගැනීම, ණය ලබාදීමේ ක්‍රියාවලියේදී පොලී ප්‍රතිශතය ප්‍රකාශ නොකිරීම, ණය ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම සහ එය කියවා පැහැදිලි කර නොදීම, අධික පොලිය සහ දඩ පොලිය, ණය ගිවිසුමේ ව්‍යාපාරික කටයුත්තකට හෝ ගොවිතැන් සඳහා ණය ලබා දෙන බව පවසා, ආයෝජන නොවන පරිභෝජන කටයුතු සඳහා ණය ලබා දීම, ණය වාරික එකතු කිරීමට නිවාසවලට පැමිණීම සහ එසේ පැමිණ තර්ජනය කිරීම, බිය වැද්දීම සහ බැණ වැදීම, ණය ගිවිසුම් අලුත් කිරීම සහ හිස් කොළවලට අත්සන් ලබා ගැනීම, ණය වාරික වෙනුවට නිවෙස්වල ඇති භාණ්ඩ ලබා ගැනීමට උත්සාහ කිරීම, ණය වාරික ප්‍රමාද වීමේ හේතු දක්වමින් ලිංගික හිංසන සිදු කිරීමට උත්සාහ කිරීම වැනි ගැටලු රාශියක් මෙම ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය තුළ පැහැදිලිව දැක ගත හැකි බව” ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් කාන්තා එකමුතුවේ සභාපති ප්‍රියන්තිකා කුමාරි පෙන්වා දුන්නාය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී නිරෝෂා ගුරුගේ පැවසුවේ සංඛ්‍යා දත්ත මත පදනම්ව මුළු ලංකාව පුරා ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් ලක්ෂ තිහකට ආසන්න පිරිසක් සිටින බව අනාවරණය වුවද ගම්වලට ගොස් වින්දිතයන් හමුවී තොරතුරු රැස් කිරීමේදී මේ පිරිස විශාල ලෙස වර්ධනය වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි.

“ක්ෂුද්‍ර මූල්‍ය ණය වාරිකය ගෙවාගන්න බැරුව මේ රටේ කාන්තාවන් 225කට අධික පිරිසක් සිය දිවි හානි කරගෙන තියෙනවා. මේ නිල වශයෙන් වාර්තා වෙන අය විතරයි. නමුත් මීට වඩා වැඩි පිරිසක් නිල නොවන වශයෙන් තම දරුවන් සමඟ හෝ තනිවම සිය දිවි හානි කර ගෙන තිබෙනවා. මෙවැනි සිදුවීම් ක්ෂණික තීරණ ලෙස පෙනී ගියද මේ තුළ විශාල ඛේදනීය තත්ත්වයක් පවතිනවා. ඇතුම් මූල්‍ය ආයතන නියෝජිතයන් මේ නිවෙස්වලට ගොස් උදේ සිට රාත්‍රිය දක්වා ඒ නිවෙස්වලට වී කල් මරනවා. ඉතා කුඩා නිවෙසක් නම් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ඇඳුම් මාරුකර ගැනීමට පවා සිදු වන්නේ ඔවුන් බලා සිටියදීමයි. ළඟම ඥාතීන්ගෙන් අතවරයට ලක්වන දැරියන් සහ කාන්තාවන් සිටින රටක මෙවැනි පිටස්තරයන්ගෙන් හිරිහැරයට ලක් නොවෙයි කියල කාට ද කියන්න පුළුවන්. මේ නිසා මෙම වින්දිතයන් ශාරීරිකව මෙන්ම මානසිකවද ගෙවන වන්දිය සුළු පටු නැහැ. පොලොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවල මේ ණය හඳුන්වන්නේ ඇඳ ණය කියලා. එහි අර්ථ දෙකක් තියෙනවා. එකක් ලණු ඇඳට වෙලා මේ එන නියෝජිතයන් කල් මැරීම අනික් කාරණාව ලිංගික අල්ලස් ගැනීම. එනිසා මේ තත්ත්වය ඉතාම බරපතළයි.” යනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් වර්ධනය වීමට බලපෑ ආකෘති කිහිපයක් ඇති බව පෙන්වා දුන්නාය.

මීට කලකට ප්‍රථම මේ සඳහා විසඳුමක් ලෙස ඔවුන් යෝජනා පහක් රජයට ඉදිරිපත් කර තිබුණි. ඔවුන්ගේ පළමු යෝජනාව වූයේ, ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ ගෙවන මුදලට වඩා අධික ලාභයක් මේ වන විටත් එම සමාගම් උපයා තිබෙන නිසා මෙරට පිළිගත් නීතිය අනුව ඕනෑම තත්ත්වයක් යටතේ පොලී අය කළ හැක්කේ උපරිමයෙන් සීයට තිහක් (30%) පමණක් වුවත් ණය ලබා දෙන සෑම ආයතනයක්ම එම ප්‍රතිශතය ඉක්මවා ණය පොලී වැඩි කරමින් අයුතු ලාභ රැස්කර ගෙන ඇති බැවින් මේ ණය කිසිදු කොන්දේසියකින් තොරව කපා හැරිය යුතු බවයි. දෙවැන්න, අසාධාරණ ලෙස නඩු දමා ඇති, සමථ මණ්ඩලවලට හා පොලීසියට පැමිණිලි කර ඇති සියලු දෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවයි. තෙවැනි කාරණය වන්නේ ණය ගෙවීමට නොහැකිව අසාදු ලේඛනගතව සිටින ණයකරුවන් ඉන් ඉවත් කිරීමට පියවර ගැනීමයි. සියයට තුන්සිය අනූහයක් (96%) වැනි අයුතු ලෙස ලාබ උපයා ගත් සියලු ආයතනවලින් ඒවා නැවත අය කර ගෙන වින්දිතයන්ට ලබා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම සිවු වැන්නයි. පස් වැන්න ලෙස ඔවුන් යෝජනා කරන්නේ රජයේ මැදිහත් වීමෙන් ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් පොලී අය නොකර සහන ණය ක්‍රමයක් හඳුන්වා දීමයි. සමෘද්ධි බැංකු හරහා ණය ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබුණද ඉන් දුප්පත් ජනතාවට සහනයක් නොලැබෙන බව පවසන ඕ ඉන් සිදුව ඇත්තේ එම ජනතාව තව තවත් අසරණභාවයට ඇදදැමීම පමණක් බව පෙන්වා දෙයි. අම්පාරේ වඩිනාගලදී ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී කාන්තාවක් ප්‍රකාශ කර සිටියේ “මෑතදී හඳුන්වා දුන් සමෘද්ධි ණය ක්‍රමය යටතේ ලක්ෂ දෙකක ණයක් ලබා ගත් බවත්, තම සමෘද්ධි දීමනාව රුපියල් 3,850 ක් බවත්, මේ ලක්ෂ දෙක ලබා දීමේදී ඇයට මාසිකව හිමිවන රුපියල් 3,850 ක මුදල වසර හතරක් ඇප මුදලක් ලෙස තබා ගත් බවත්ය. ඊට අමතරව වාරිකය ලෙස රුපියල් 5000ක් ගෙවන ලෙසත් දැනුම් දුන් බවය. එසේම ඇය ඉල්ලූ මුදලින් ඇයට හිමිව ඇත්තේ රුපියල් 1,40,000ක් පමණි. රුපියල් 60,000ක මුදල දිරිය කාන්තා, ළමා ඉතුරුම්, කොටස්, කණ්ඩායම් සහ කාන්තා දිනයට කියා රුපියල් 1000ක් ආදී වශයෙන් අය කර ගෙන තිබේ. එසේම ස්වාමිපුරුෂයාට බැංකු ගිණුමක් නොමැති නම් රුපියල් 1,500ක් දී ඔහුට බැංකු ගිණුමක් විවෘත කළ යුතු අතර, මාස් පතා ඊට මුදල් දැමිය යුතුය. අනෙක් අතට ලබා දෙන රුපියල් එක්ලක්ෂ හතළිස් දාහ ලබා දෙන්නේද එකවර නොව කොටස් වශයෙනි. ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ එවැනි මැදිහත් වීමක් නොවේ.

“අපි දැන් තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ, තීන්දුව තමයි ‘ගෙවන්න බෑ. ගෙවන්නේ නෑ.‘ මේක තමයි අභියෝගය රජයට අප ඉදිරිපත් කරන. අපිට ගෙවන්න ක්‍රමයක් නෑ. අපේ ආර්ථිකය වළපල්ලට වැටිලා ඉවරයි. තව මොනවද අපිට ගෙවන්න ඉතිරි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අභියෝග කරනවා අපි ගෙවන්නේ නෑ; පුළුවන් දෙයක් කරන්න. අපි අපේ ජීවිත බිලි අරගෙන තියෙන මේ මර උගුලට අපි උත්තර හොයන්න ඕනෑ. හැම වෙලේම පරණ නීතියක් අපි ඉස්සරහට දාගෙන මිනිසුන්ගේ ජීවිත සත පහකට මායිම් කරන්නේ නැති ව්‍යවස්ථාවක් අපි ඉස්සරහට ගෙනැල්ලා කියනවා, අපි උඹලට නඩු දානවා කියලා. නඩු දාන්න ලක්ෂ 30කට වැඩිය ඉන්නවා. මේ අරගලය මේ ණය කපා හරිනතාක් අපි අත්හරින්නේ නෑ. ඒක තමයි අපි මේ යන ගම‍ෙන අවසන් ඉලක්කය. දුක විඳින මිනිහාට හෙට දවසේ ජීවත් වෙන්න පුළුවන් විදියේ සමාජයක් නිර්මාණය විය යුතු බව විශ්වාස කරන සංවිධාන, සිවිල් පුරවැසියෝ විශාල සංඛ්‍යාවක් මේ වෙද්දී අපත් සමඟ එකතුවෙලා ඉන්නවා. අපි එකට පෙළගැහිලා මේ අරගලය ජයග්‍රහණය කරවීමේ මාවත දක්වා අත්නොහැර අත්වැල් බැඳගනිමු කියන ආයාචනය අපි කරනවා.”

ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වන සමහර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සියයට 70ක පමණ ඉතා අධික වාර්ෂික පොලියක් අය කරන බවද රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ පෙන්වා දුන්නේය. සියදිවි හානිකර ගැනීම්වලට අමතරව වාර්තා නොවන එවැනි මරණ මීටත් වඩා වැඩිවිය හැකි බව පවසන මන්ත්‍රීවරයා ක්ෂුද්‍ර

මූල්‍ය ණයවල හිරවී සිටින විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් කිසියම් සහන වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා සිටී.

මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකි වූ කාන්තාවන් ඇතුළු පිරිස් රට අත්හැරයාම, සිය ගම්බිම්වලින් පලා යෑම වැනි ක්‍රියාමාර්ගවලට යොමුවීම නිසා කුඩා දූ දරුවන් සිටින පවුල් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අනාථභාවයට පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වන්නේ යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

Comments