පස් වසරක් ඇතුළත වැහෙන හය වැනි මූල්‍ය සමාගම කැන්රිච් | සිළුමිණ

පස් වසරක් ඇතුළත වැහෙන හය වැනි මූල්‍ය සමාගම කැන්රිච්

හ බැංකු වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මූල්‍ය ආයතන 41න් 05ක් ම ගෙවී ගිය පස් වසර තුළ වැසී ගොස් ය. එකක් අත්හිටුවා ඇති අතර, ඉතිරි 35න් 19ක්ම අද පවතින්නේ, අලාභ ලබන තත්ත්වයේ ය. ජනතාවගේ මුදල්, තැන්පතු ලෙස භාර ගෙන එම මුදල් ම ගනුදෙනුකරුවන්ට ණය ලෙස ලබා දෙමින් පවත්වාගෙන යන මූල්‍ය ආයතන ක්‍රියාවලිය තුළ දැන් දැන් පෙනෙන්නට ඇත්තේ, ඇදගෙන යාමේ ස්වභාවයකි.

මෙවැනි පසුබිමක් යටතේ, වසර පහක් ඇතුළත වැසී යන ශ්‍රී ලංකාවේ හය වැනි මූල්‍ය සමාගම ලෙස කැන්රිච් ෆයිනෑන්ස් ද, මේ මස 28 වැනි දා ගණන් බේරා වසා දැමෙනු ඇත. ඒ, තැන්පත්කරුවන්ට සිය තැන්පතු මුදල් සහ ඊට අදාළ පොළී අනුපාතය ගෙවා දමන ලෙස මහ බැංකුව කර ඇති නියෝගයට අනුවය.

ජනතාවගේ මුදල් තැන්පතු ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සමාගම් වෙත නීති නියෝග ක්‍රියාත්මක කරනු ලබන අතර, කැන්රිච් ෆයිනෑන්ස් වැසී යන්නේත්, අනතුරුව තවත් මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා සමඟ ඒකාබද්ධ වන්නේත් ඊට අනුවය. එසේම කැන්රිච් ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය, බැංකු නොවන මූල්‍යායතන ඒකාබද්ධ කිරීම සඳහා වූ ප්‍රධාන වැඩපිළිවෙළ යටතේ, සිය මහජන තැන්පතු වගකීම් පියවීම සඳහා ඒකාබද්ධ වීමේ ගනුදෙනුවක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක දැනට නිරත වෙමින් සිටී. මීට අමතරව 2022 අප්‍රේල් 20 දින සිට බලපැවැත්වෙන පරිදි කැන්රිච් ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය මහජන තැන්පතු භාර ගැනීම නවතා තිබේ.

බැංකු නොවන මූල්‍යායතන ඒකාබද්ධ කිරීම සඳහා වූ ප්‍රධාන වැඩපිළිවෙළ අනුව, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ, 2022 අගෝස්තු 29 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස, ඇසට්ලයින් ලීසිං කොම්පැනි ආයතනය වෙත බලපත්‍රයක් නිකුත් කර තිබේ.

මීට අමතරව, 2022 දෙසැම්බර් 28 වැනි දින වන විට, බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී සමාගම වෙත ඉහත දක්වා ඇති පරිදි, නව ණය නිකුත් කිරීම අත්හිටුවීමත්, නව තැන්පතු භාර ගැනීමත් අත්හිටුවා ඇත. මෙම සමාගම 2022 ජුනි 3 වැනි දින සිට මාස හයක් ඇතුළත, සිය සමස්ත තැන්පතු මුදල් නැවත පියවීම සිදු කළ යුතුය.

එසේම, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත ද ඉහත පරිදි, ණය නිකුත් කිරීමේ සීමා පැනවීමත්, තැන්පතු භාර ගැනීමේ සීමා පැනවීමත් සිදු කර තිබේ. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් තැන්පතු සඳහා ගෙවිය යුතු උපරිම පොලී අනුපාතවලට වඩා, පදනම් අංක 100කින් අඩු පොලී අනුපාතයක් ගෙවීම සඳහා වන සීමා පැනවීමද සිදු කර තිබේ. එසේම, මෙම සමාගම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතවලට අනුකූලව වීම සඳහා ණයකර නිකුතුවක් සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී.

මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙතද, ඉහත අ සහ ආ කරුණු බලපැවැත් වේ. මෙම සමාගම බැංකු නොවන මූල්‍යායතන ඒකාබද්ධ කිරීම සඳහා වූ ප්‍රධාන සැලැස්ම යටතේ, එල්. බී. ෆිනෑන්ස් පී.එල්සී සමග ඒකාබද්ධ වීමේ ක්‍රියාවලියක නිරතව සිටී.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත ද, ඉහත ඇ සහ ඈ කරුණු ක්‍රියාත්මක වන අතර, රුපියල් මිලියන 1,106ක හිමිකම් නිකුතුව සම්පූර්ණ කොට ඇති අතර, අවම මූලික ප්‍රාග්ධනය වශයෙන් අනුකූල වීම සඳහා වෙනත් බලපත්‍රලාභී මුදල් සමාගමක් සමග ඒකාබද්ධ වීමට යෝජනා කර ඇත.

එසේම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පී.එල්.සී සමාගම වෙත, 2022 අගෝස්තු 12 සිට බලපැවැත්වෙන පරිදි ඉහත අ,ආ,ඉ සහ ඈ කරුණු ක්‍රියාත්මක වන අතර මෙම සමාගම හිමිකම් නිකුතුවක් සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී.

“යම් කිසි මූල්‍ය සමාගමක් සිය ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් නැවත නොගෙව්වොත් නීතියට අනුව, එය අපරාධමය වරදක්. මොකද, අපේ පනතේ හැටියට එම මුදල් මහ බැංකුව ලබා ගෙන නොමැති නිසා. මුදල් ලබා ගන්නේ එම ආයතනය සහ අධ්‍යක්ෂ මණ්ඩලයයි. එම නිසා එම මුදල්වල නැවත ගෙවීමේ වගකීම තිබෙන්නේ ඔවුන්ට. එවිට තැන්පත්කරුවන්ට සිදු වනවා, එම අධ්‍යක්ෂවරුන්ට විරුද්ධව නඩු දාන්න.

මොකද මහ බැංකුව බලන්නේ, මූල්‍ය ආයතනයක පැවැත්ම තුළ Financial System Ability හෙවත්, මහජනතාවගේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට යම් හානියක් වනවා ද කියන එකයි.

ඒ වගේම මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන්න නම්, නියමිත ප්‍රාග්ධනය තිබෙන්නට ඕනේ. ප්‍රාග්ධන අනුපාතය තිබෙන්නට ඕනේ. ලාභදායී ලෙස පවත්වාගෙන යෑම, දෙන ණය අය කර ගැනීම, ද්‍රවශීල වත්කම් පවත්වාගෙන යෑම වගේ කාරණා රැසක් සම්පූර්ණ වෙන්න ඕනේ.

සාමාන්‍යයෙන් මූලික ප්‍රාග්ධනය කොහොමත් තිබිය යුතු දෙයක්. එය කාලෙන් කාලෙට අපි වැඩි කරනවා. දැනට ප්‍රාග්ධනය ලෙස තිබිය යුතු අවමය, රුපියල් බිලියන 2.5 ක් ලෙස ඉහළ දමා තිබෙනවා. ඊට අමතරව අපි මේ අයට තැන්පතු ලබා ගැනීමේ බලපත්‍රය දී තිබෙනවා. තමන් දෙන ණයවල බර තැබූ අනුපාතය හෙවත්, ප්‍රාග්ධන ප්‍රාමාණාත්මක අනුපාතය (Capital Adequacy Ratio) 8.5% ක් ලෙස තිබිය යුතුයි. එනම්, තමන්ගේ බර තැබූ වත්කම්වලින් 8.5%ක් ප්‍රාග්ධනය ලෙස තිබිය යුතුයි. ඒවා නඩත්තු කළ යුතුයි. Total Capital Ratio හෙවත් මුළු වත්කම් අනුපාතය 12.5%ක් තිබිය යුතුයි. මේ අනුපාත දෙකම අනිවාර්යෙන් ම නඩත්තු කළ යුතුයි. අපි යටතේ නියාමනය වන මූල්‍ය ආයතනවල, ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.5% අවම තත්ත්වයෙන් නැති නම් තමයි, අපි නියෝග නිකුත් කරන්නේ. කැන්රිච් සමාගමට සිදු වූයේ එයයි.

2018 පටන් මහ බැංකුව ඉල්ලන Capital Adequacy Ratio එක පවත්වාගෙන යන්න ඔවුන්ට බැරි වුණා. අපි නොයෙක් අවස්ථාවල ඔවුන්ට කිව්වා, ආයෝජකයන් හොයාගෙන, ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරන්නට කියලා. අවස්ථා දුන්නා. ඒත් එයාලට බැරි වුණා. ප්‍රාග්ධනය අඩුවෙන්න අඩු වෙන්න, අපි නොයෙකුත් කොන්දේසි නිකුත් කරනවා. තීන්දු තීරණ ගන්නවා. ඔවුන්ට තැන්පතු ගන්නත් බැහැ, ණය දෙන්නත් බැහැ වගේ නියෝග.

කැන්රිච් සමාගමටත් අප දන්වා තිබුණා, මේ පසුබිම තුළ ඔවුන්ගේ ප්‍රාග්ධනය නංවාගන්න කියා. නමුත් අපි ඔවුන්ට පොරොන්දු නෝට්ටු ගන්න අවසරයක් දී නැහැ. මොකද තැන්පතු ගන්න බලපත්‍රයක් දී තිබිය දී පොරොන්දු නෝට්ටු ගැනීමට මහ බැංකුවේ අවසරයක් ලැබෙන්නේ නැහැ. අපේ ඔවුන්ට තැන්පතු ගැනීම නතර කරන්න කිව්වම තමයි, ඔවුන් පොරොන්දු නෝට්ටු ගන්න පටන් ගත්තේ. මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගන්න එපා, කියා දැනුම් දී තිබිය දී තවදුරටත් එසේ කරනවා නම් ඒ කියන්නේ, ඔවුන් මුදල් මණ්ඩලයේ නීති නියෝග නොතකා හැර තිබෙනවා කියන එකයි. එහෙම ආයතන තව තිබෙනවා. අපි දැන් ඒවා අපගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනවා.

2020 දී මහ බැංකුව Master plan එකක් ගෙනාවා, මේ වගේ ප්‍රශ්නකාරී ආයතන වහන්නේ නැතිව හොඳ ආයතනයක් සමග ඒකාබද්ධ කිරීම සඳහා. ඊට පස්සේ දුර්වල ආයතනයේ බලපත්‍රය අවලංගු කරනවා. පවතින නීති රාමුව අනුව මහ බැංකුවට පුළුවන්කම තිබෙන්නේ ශේෂ පත්‍රයේ තිබෙන වත්කම් සහ වගකීම් ඈවර කිරීම සඳහා පමණයි.

මේ ප්‍රශ්නයේ දී වෙන්නේ, කැන්රිච් සමාගමට අදාළ ණය කළඹ නේෂන් ලංකා සමාගම අරගෙන, එයට අදාළ මුදල කැන්රිච් සමාගමට දෙන එක. ඒ මුදල් යොදාගෙන තමයි තැන්පත්කරුවන්ගේ මුදල් මේ පෙබරවාරි මාසය අවසන් වීමට පෙර ගෙවන්න කියා තිබෙන්නේ. ඒකාබද්ධ කිරීමේ සැලසුමේ කොටසක් හැටියට ක්‍රියාත්මක මෙම විසඳුමේ දී එම ආයතන දෙකම තමයි එකඟතාවලට පැමිණෙන්නේ. මහබැංකුව කරන්නේ ඔවුන්ට යෝජනාව ඉදිරිපත් කරන එක පමණයි. 

අදාළ කොන්දේසිවලට යටත්ව අනුමැතිය ලබා දෙන එක පමණයි. මොකද ඒවා අපේ ලියාපදිංචි මූල්‍ය ආයතන නිසා, ඒවායේ තැන්පත්කරුවෝ ඉන්න නිසා, හිතුමනාපෙට ඒවා වහන්න අරින්නේ නැතිව අපි ඔවුන්ගේ සැලසුමට අනුමැතිය දෙනවා.

ඒ අනුව ජනතාවගේ තැන්පතු ටික ගෙවලා ඉවර වෙලා ඔවුන්ගේ වත්කම් ටික නේෂන් ලංකා ආයතනයට හැරවූවාට පසු කැන්රිච් බලපත්‍රය අහෝසි වෙනවා. මේක තැන්පත්කරුවන්ගේ මුදල්වලට ලැබෙන ආරක්ෂිත පියවරක්.

කොහොම වුණත්, මහ බැංකුවේ පිහිටා තිබෙන තැන්පතු රක්ෂණ අරමුදලෙන් දැන් ජනතාවගේ මුදල්වලට රුපියල් ලක්ෂ එකොළහ දක්වා වන්දි ගෙවනවා.

ජනතාව හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි, මෙහෙම වන්දියක් වත් ලැබෙන්නේ ලියාපදිංචි මුල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ට පමණයි කියන එක. එතකොට අඩුම තරමේ තමන්ගේ මුදල රුපියල් ලක්ෂ 11ක් දක්වා වත් ආරක්ෂිතයි. එහෙම නැතිව වැඩිය දෙනවා කියා හෝ ඩබල් කර දෙනවා කියන තැන්වල තැන්පත් කරන්න එපා කියන පණිවුඩය අපි ජනතාවට දෙනවා..." මහ බැංකුවේ ප්‍රකාශිකාවක් පැවසුවාය.

කෙසේ වෙතත් කැන්රිච්, 15,000ක් පමණ වන සිය තැන්පත්කරුවන්ට පසුගිය දෙසැම්බර් 26 වැනිදා වන විට ගෙවන්නට තිබූ රුපියල් මිලියන 811.1ක ස්ථාවර තැන්පතු සහ පොරොන්දු නෝට්ටුවල මූල්‍යමය අගයෙන්, පසුගිය පෙබරවාරි 8 වැනිදා වන විට රුපියල් මිලියන 744.6ක් ගෙවා අවසන් කළේය. ලබන පෙබරවාරි 28 වැනිදා වන විට ගෙවන්නට ඉතිරිව ඇත්තේ, රුපියල් මිලියන 60.5ක් පමණි.

මේ සියලු ගණන් බේරා එළැඹෙන පෙබරවාරි 28 න් පසු කැන්රිච් ෆයිනෑන්ස් ලිමිටඩ් නම අහෝසි වනු ඇත. ඒ, පස් වසක් තුළ වැසී යන මෙරට හය වැනි මූල්‍ය සමාගම බවට පත් වෙමිනි.

Comments