දෙබරවැව රන් මහත්තයාට වෙඩි තබා ඝාතනය කළ පොලිසියේ හතරක් ගස් යැවූ නඩු තීන්දුව | සිළුමිණ

දෙබරවැව රන් මහත්තයාට වෙඩි තබා ඝාතනය කළ පොලිසියේ හතරක් ගස් යැවූ නඩු තීන්දුව

පෝරකයට නියම වූ පොලිස් නිලධරයන් සිවුදෙනා බන්ධනාගාරයට රැගෙන යමින්

- තීන්දුව දුන්නෙ වසර 18කට පසුව
- අමිල පොලිස් වෙඩි කනවිට කසාද බැඳලා මාස හයයි
- ඝාතනය සිදුවූයේ 2005 වසරේ ජූනි 28 රාත්‍රිෙය්
- තීන්දුව හම්බන්තොට මහාධිකරණයෙන්
- තිස්සමහාරාම දෙබරවැව මාතරවත්තේ පදිංචි අමිල මහේෂ් ඝාතනය වන විට 24 හැවිරිදි තරුණයෙක්

නීතිය හා සාමය රකිමින් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ පරම වගකීමය. අසූපන් දහසක් පමණ වන පොලිස් නිලධාරින් අති බහුතරය සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් මහජනයාගේ සුබසෙත තකා කැපවී සිටියදී අතළොස්සක් පොලිස් නිලධරයන් රාජකාරි හරි හැටි ඉටු නොකරන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම අභිමානය කෙලෙසමිනි. 

එලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලෙසමින් රාජකාරි සිදුකළ පොලිස් නිලධාරින් සිවුදෙනෙකු හට හම්බන්තොට මහාධිකරණය මඟින් පසුගිය 15 වැනිදා මරණීය දණ්ඩනය නියම කෙරිණි. ඒ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අඟුලානේ ද්විත්ව ඝාතනය නමින් ප්‍රකට වූ නඩුවේ පොලිස් නිලධාරින් සිවුදෙනකුට මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය කෙලෙසූ තවත් නිලධාරීන් සිවුදෙනකුට මරණ දණ්ඩනය නියම කළ තීන්දුවක් ලෙසිනි.

එලෙස පොලිස් නිලධාරින් සිවුදෙනාට මරණ දණ්ඩනය නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ මීට වසර 18කට පෙර එනම් 2005 වසරේ ජුනි මස 28 වැනි දින රාත්‍රියේ තිස්සමහාරාම, දෙබරවැව, යායගොඩ, මාතර වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ලෙකු හැන්නදිගේ අමිල මහේෂ් නමැත්තා එකී චූදිත පොලිස් නිලධාරින් සිවුදෙනා විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසාවෙනි. ඒ අනුව ඉකුත් 15 වැනිදා හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් මරණීය දණ්ඩනය නියම කෙරුණේ අම්බලන්තොට, රිදියගම පදිංචි 58 හැවිරිදි පොලිස් පරීක්ෂක අරංවල ගමගේ උපුල්, තිස්සමහාරාම පදිංචි පොලිස් කොස්තාපල්වරයකු වන 63 හැවිරිදි ජයන්ති වාසගේ සුසිල් ජයබන්ධු, බෙලිඅත්ත, දම්මුල්ල පදිංචි පොලිස් කොස්තාපල්වරයකු වන 51 හැවිරිදි සරඹගේ සිරිල් සහ පොලිස් කොස්තාපල්වරයකු වූ අඹන්පොළ, මහදිවුල්වැව පදිංචි 46 හැවිරිදි පතිරාජ මුදියන්සේලාගේ රංජිත් සුසන්ත යන සිවුදෙනා හටය.

වසර 18කට පෙර සිදුවූ එම අතීත සිදුවීම පෙළ ගැසෙන්නේ මෙලෙසිනි.

අමිල මහේෂ් එවකට 24 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි. ඔහු තිස්සමහාරාම, දෙබරවැව, යායගොඩ, මාතරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටියේය. අමිලගේ පවුලේ සහෝදර සහෝදරියන් සිවුදෙනෙකි. ඔහු පවුලේ තෙවැන්නාය. අමිලගේ පියා ධීවරයෙකි. මව තිස්සා අමරංගනී තේනුවරය. ඇය ගෘහිණියකි. අමිල ඝාතනය වන විට ඔහුගේ මවුපියන් ද මෙලොව හැර ගොසිනි. ඒ වන විට අමිල මහේෂ් විවාහ වී ගතවී තිබුණේ මාස හයකි. ඔහු විවාහ වී සිටියේ ඒ ගමේම පදිංචිකරුවෙක් වූ කොස්ගොඩ කළු අයියා නමැත්තාගේ වැඩිමල් දියණියය.

2005 වසරේ ජූනි මස 28 වැනිදා රාත්‍රියයි. එදින අමිල සොයා පොලිස් නිලධාරින් සිවුදෙනෙක් පැමිණියේය. එම පොලිස් නිලධාරි කණ්ඩායමට තිස්සමහාරාම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ උපපොලිස් පරීක්ෂක උපුල් ගමගේ, කොස්තාපල් සුසිල්, කොස්තාපල් සිරිල් සහ කොස්තාපල් රංජිත් සුසන්ත යන නිලධාරිහු අයත් වූහ. පසුව සඳහන් වූයේ පොලිස් නිලධාරින් සිවුදෙනා එලෙස අමිල සොයා ගියේ දෙබරවැව ප්‍රදේශයේ සිදු වූ සොරකම් කීපයකට අත්අඩංගුවට ගැනීමට ගිය බවට වූ කතාන්දරයකි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රියද පසු වෙද්දී පොලිස් නිලධාරි කණ්ඩායම අමිල සොයා ඔහු ඒ වන විට නිදා සිටි බිරියගේ මහගෙදර නිවෙසට ගියේය.

මහ රාත්‍රියේ නිවෙසට ගිය පොලිස් නිලධරයන්ගෙන් පලා යෑමට තැත් කිරීමේදී පොලිස් නිලධාරින් සිවුදෙනා විසින් ඔහුට වෙඩි තබා ඇත්තේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම ගෞරවය කෙලසෙන ආකාරයෙන් හැසිරෙමිනි. ඒ වන විට පොලිස් නිලධාරින් සිවුදෙනා අධික ලෙස මත්පැන් පානය කොට සිටි බවට පසුව වාර්තා විය. 

පසු දිනට හිරු උදා විය. අවට වැසියකු දුටුවේ අමිල සිය නිවෙසට ආසන්නව වෙඩි වැදී වැටී සිටින ආකාරයයි. ඔහු ඒ වන විට අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගොස් සිටියේය. අමිලගේ මළ සිරුර හමුවීමත් සමඟ ඥාතින් ඇතුළු අසල්වාසීන් ඒ බව තිස්සමහාරාම පොලිසිය ද දැනුවත් කෙරිණි. ඒ සමඟම අමිල පොලිස් වෙඩි පහරකින් ඝාතනය වී ඇති බව ළැව්ගින්නක් සේ ප්‍රදේශය පුරා පැතිර යන්නට වූයේය. අනතුරුව 29 වැනිදා දින දෙබරවැව ප්‍රදේශවාසින් තිස්සමහාරාම පොලිසියට විරෝධය පළ කළේ තැනින් තැන උද්ඝෝෂණ සහ විරෝධතා පා ගමන් සංවිධානය කරමිනි. එම විරෝධතා නිසා ප්‍රදේශයේ මහත් උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන තිබිණි.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා එවකට තංගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි එම්. කේ. සුගතදාසගේ උපදෙස් මත හම්බන්තොට භාර සහකාර පොලිස් අධිකාරි දමයන්ත විජේසිරි සහ ඩී. ජී. කුලවර්ධනගේ අධීක්ෂණයෙන් විමර්ශනයක්ද ආරම්භ කෙරුණේ එවකට තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දුගේ මෙහෙයවීමෙනි. එම විමර්ශන අනුව 29 වැනි දිනම අමිල මහේෂ් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ උපපොලිස් පරීක්ෂක ගමගේ උපුල්, කොස්තාපල් 10042 සුසිල්, කොස්තාපල් 3866 රංජිත් සහ උපපොලිස් කොස්තාපල් 35161 සිරිල් යන සිවුදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි තිස්සමහාරාම පොලිසියෙන් ස්ථාන මාරු කෙරිණි.

අනතුරුව සිද්ධියට අදාළව අත්අඩංගුවට පත් සැකකාර පොලිස් නිලධාරින් සිවුදෙනාගෙන් විමර්ශන නිලධාරින් විසින් ප්‍රකාශ සටහන් කර ගැනිණි. එහිදී වැටලීම සිදුකිරීමට ගොස් අත්අඩංගුවට පත් පොලිස් නිලධාරීන් සිවුදෙනා ප්‍රකාශ ලබා දෙමින් පවසා ඇත්තේ වැටලීමකට ගිය බවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු නිවසේ ජනේලයෙන් පලා යන අවස්ථාවේ ඔහු පසුපස ලුහුබැඳ ගිය බවත්, එහිදී වැල් පොටක කකුල පැටළී පොලිස් නිලධාරියා බිම ඇද වැටීමෙන් ඔහු අතේ වූ ගිනිඅවිය ක්‍රියාත්මක වූ බවත්ය. සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් සිවුදෙනා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ අනුව සැකකරුවන් සිවුදෙනාගේම වැඩ තහනමට ද ලක් විය. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස් නිලධාරීන් සිවුදෙනාට මාස කිහිපයකින් පසු ඇප ලැබිණි. පසුව සිද්ධිය පිළිබඳ මූලික නඩු විභාගය තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධීකකරණය හමුවේ පැවැත්විණි. ඇප ලබා පැමිණි පොලිස් නිලධාරින් සිවුදෙනාගෙන් තිදෙනකුට පමණක් යළි රැකියාව ලැබිණි.

සිද්ධියට අදාළව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන් අනතුරු චුදිත පොලිස් නිලධාරීන් සිවුදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව මත අධි චෝදනා ගොනු කරන ලදී. ඒ 2017 වසරේ අප්‍රේල් මස 20 වැනි දිනය. අනතුරුව පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ල විසින් චූදිතයන් සිවුදෙනාට එරෙහිව නඟා තිබූ අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් සැකකරුවන් සිවුදෙනාටම හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් මරණීය දණ්ඩනය නියම කෙරිණි.

ඒ අනුව මරණීය දණ්ඩනයට නියම වූ අම්බලන්තොට, රිදියගම පදිංචි 58 හැවිරිදි පොලිස් පරීක්ෂක අරංවල ගමගේ උපුල් තවමත් පොලිස් සේවයේ නිරතව සිටින්නෙකි. ඔහු වත්මනෙහි හුංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. සෙසු මරණීය දණ්ඩනයට නියම වූ තිදෙනාගෙන් සුසිල් ජයබන්ධු පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින්නෙකි. බෙලිඅත්ත, දම්මුල්ලේ පදිංචි 51 හැවිරිදි සරඹගේ සිරිල් හම්බන්තොට වරාය පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි. අඹන්පොළ, මහදිවුල්වැව පදිංචි 46 හැවිරිදි පතිරාජ මුදියන්සේලාගේ රංජිත් සුසන්ත තිස්සමහාරාම පොලිසියේ කොස්තාපල්වරයකු ලෙස රාජකාරි කොට මේ වන විට සේවයෙන් පහ කර සිටින අයෙකි. රංජිත් සුසන්ත පොලිස් සේවයෙන් පහ කිරීමත් සමඟ කුලී රැකියාවන්ට යොමු විය.

පොලිස් නිලධාරින් සිවුදෙනා විසින් ඝාතනය කළ අමිල මහේෂ්ගේ සහෝදර සහෝදරියන් තිදෙනාද මේ වන විට විවාහ වී සිටී. ජීවතුන් අතර නොමැති අමිලගේ මව තිස්සා අමරංගනීගේ පවුලේ සහෝදර සහෝදරියන් දසදෙනෙකි. 68 හැවිරිදි කුසුමා රංජනී තේනුවර අමිලගේ මවගේ වැඩිමල් සොහොයුරියකි. දෙබරවැව වෙසෙන කුසුමා රංජනී සිය නැඟණියගේ පුතු අමිල මහේෂ්ට සිදුවූ අපරාධයේ අතීතාවර්ජනය අපට මෙලෙස සිදු කළාය. 

“අමිල මගේ නංගිගේ පුතා... එයාට ගෙදරට කිව්වෙ රන් මහත්තයා කියලා... නංගියි නංගිගේ මහත්තයයි ඔය පුතා මැරෙන්න කලකට පෙර මැරුණා... නංගි මැරුණේ හෘදයාබාධයකින්... ඒ අය මැරුණට පස්සෙ නංගිගේ ළමයි හතර දෙනාම බලාකියාගත්තේ මගේ අම්මයි තාත්තයි... ඔය සිද්ධියට මුල් වෙලා තිබුණේ අමිල තිස්ස බාර් එකක් ළඟ ඇතිකරගත් ආරවුලක්... ඒ ආරවුලට දවස් තුනකට විතර පස්සෙ දවස. හරියටම 2005 ජූනි 29 වැනිදා උදේ මගේ තාත්තා දුවගෙන ඇවිත් මට කිව්වා, ‘රන් මහත්තයා නෑ...‘ මං ඇහුවා ‘කොහේ ගිහින්ද... රන් මහත්තයට මොකද වුණේ‘ කියලා. තාත්තා කිව්වා, ‘රන් මහත්තයා වෙඩි වැදිලා මැරිලා‘ කියලා. ඒ කොල්ලාට ඒ අපරාධය වුණේ 2005 ජූනි 28 වැනිදා රෑ...

එදා රෑ අමිල කෑම කාලා බිරිඳත් එක්ක ඒ ගෑනු ළමයගේ මහගෙදර ගිහින්... ඒ දෙන්නා බැඳලා මාස හයයි. දෙන්න ඒ ගෙදරට ගිහින් නිදාගෙන... කොහොමහරි රෑ පොලිසියෙන් හතර දෙනෙක් ඇවිල්ලා... පස්සෙ අපිට ගමේ අයගෙන් ආරංචි වුණා ඒ ආපු පොලිසියේ හතර දෙනාම වැව් කණ්ඩිය උඩ ඉඳගෙන හොඳටම බීලා ඇවිත් තියෙන්නෙ කියලා. වෑන් එකකින්. ඒ ගෑනු ළමයගේ තාත්තාට කළු මල්ලි කියලා කියන්නෙ. පොලිසියේ අය කළු මල්ලිට කතා කරලා... කළු මල්ලි අහලා ‘කවුද‘ කියලා. ‘පොලිසියෙන්‘ කිව්වලු. කළු මල්ලි ආයෙත් අහලා ‘මොකද මේ රෑ‘ කියලා.

‘ඒව උඹට වැඩක් නෑ... දොර ඇරපන්‘ කියලා කෑගහලා. කළු මල්ලි දොර ඇරපු ගමන් හතර දෙනාම ගෙට ඇවිල්ලා. ‘අමිල කෝ‘ කියලා අහලා. එතකොටම අමිලට ඇහැරිලා පැනලා දුවලා... ඒ දවස්වල ඒ ගෙදර ගොළු කෙනෙක් හිටියා. ඒත් එක්කම ඒ ළමයත් එළියට බැහැලා. කොහොමහරි එළියට ගිය අමිල සරම උඩට ගැටගහගෙන දුවන්න හදනකොටම පොලිසියේ කට්ටිය ඇවිත් අත්දෙකෙන් අල්ලගෙන. අමිල අත්දෙක ගසලා දාලා දුවලා. අන්න එහෙම දුවනකොට තමයි මේ ගොල්ලො වෙඩි තියලා තියෙන්නෙ... මං හිතන්නෙ ඒ පොලිසියේ අය අමිලට වෙඩි වැදුණ විත්තිය දන්නෙ නැතුව ඇති. ඒ අය ගිහිල්ලා යන්න... පස්සෙ උදේ කළු මල්ලිලයි ගෙදරට එහා පැත්තෙ ගෙදරක රණවක කියලා නංගි කෙනෙක් හිටියා. එයා උදේ ඇවිල්ලා කියලා, ‘කළු අයියෙ කවුද දන්නෙ නෑ... ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා... වෙඩි වැදිලා කියලා...‘ ඊට එහා පැත්තෙ මගේ අම්මයි තාත්තයි හිටපු ගෙදර. පස්සෙ එතැනට කට්ටියම ගිහින් බලනකොට වෙඩි වැදිලා ඉඳලා තියෙන්නෙ අමිල. ඒත් එක්කම අපේ මහගෙදරට ගිහින් කියලා වෙඩි වැදිලා රන් මහත්තයා මැරිලා කියලා. පස්සෙ අම්මයි තාත්තයි බලලා ඇවිත් තමයි මටත් ඇවිල්ලා කිව්වේ...“

එසේම ඇය අමිල මහේෂ් සොරකු ලෙස නඟන චෝදනාව ගැන ද මෙලෙස පැවැසුවාය.

“අමිල හොරෙක් නෙවෙයි... ඔය මැරුණ දවසට දවස් තුනහතරකට කලින් දෙබරවැව, මැදවැලැනේ ගෙදරකට හොරු පැනලා බඩු වගයක් අරන් ගිහිල්ලා තිබුණා... ඒ බඩු අරන් ගියපු එකා බඩුත් එක්කම පොලිසියට අල්ලලා දීලා තිබුණෙත් අමිලයි එයාගේ යාළුවෝ කට්ටියකුයි... ඒ අය ඒ හොරා බඩු අරගෙන යනවා දැකලා... ඒ වෙලාවෙ තමයි අල්ලලා දීලා තිබුණේ. ඒක මං කිව්වේ මේ සිද්ධියට හොර කතාවක් හංවඩු ගහන නිසාමයි...“

අමිලගේ ඝාතනයේ නඩු විභාගය වසර ගණනාවක් පුරා දිග හැරිණි. මේ වන විට සැකකරුවන් සිවුදෙනා හට මරණීය දණ්ඩනය නියමව අවසන්ය. අමිලගේ මවගේ බාල සහෝදරයකු වන ඉන්දික සුසන්ත තේනුවරද සිය වැඩිමල් සොයුරියගේ පුතු අමිලට වූ අපරාධයට සාධාරණය ඉටුවීම ගැනත් අමිලට වූ අපරාධය අතීතාවර්ජනයක් අප සමඟ පැවැසීය.

“තිස්ස බාර එකෙන් මේ අය මත්පැන් බෝතලයක් අරගෙන. ඒක බිම වැටිලා කුඩු වෙලා. පස්සෙ අමිල ඒකට තව බෝතලයක් ඉල්ලලා. හැබැයි සල්ලිත් දෙන්නම් කියලා... ඒත් දීලා නැති නිසා තමයි මේ කට්ටිය එතැන රණ්ඩුවක් වෙලා තියෙන්නෙ... ඒකට කොහොමහරි පොලිසියෙන් හොයලා තියෙනවා. ඔය බාර් එකේ වැඩ තහනම් වෙච්ච පොලිසියෙ කෙනෙක් හිටියා. එයා බාර් එක අයිති කෙනාගේ මල්ලි කෙනෙක්. එයා තමයි ඔය වැඩේ පොලිසියේ කට්ටියත් එක්ක කරලා තියෙන්නෙ. කොහොමහරි අමිලට වෙඩි වැදිච්ච බව පොලිසියෙ අය දන්නෙ නැතිලු... දැනගත්තනම් එයාලා ඒ වෙලාවෙම ඕකට මොනවහරි කරනවා... පස්සෙ මාතරවත්තෙ හිටිය රණවක කියන අයගේ වත්තෙ තමයි අමිල වැටිලා හිටියේ. ඔය අමිල ගැන කියැවෙන හොරකම් කතාව බොරුවක්. ඔය ළමය හරිම හොඳ කෙනෙක්. සුනාමිය වෙලාවෙ මැරිච්ච මිනිස්සුන්ගේ මිනී විශාල ප්‍රමාණයක් ඉස්පිරිතාලෙට අරන් ගියේ මෙයා... කොහොමහරි කොල්ලට සිදුවූ අපරාධයට සාධාරණයක් ඉටුවීම ගැන සතුටුයි...“

සිය රාජකාරිය ඉටු කිරීමේදී සොරෙක්, ස්ත්‍රී දූෂකයෙක්, කොල්ලකරුවෙක් නොව මිනීමරුවෙක් වුවද අත්අඩංගුවට හෝ පොලිසිය භාරයට ගැනීමට යාමේදී නීතියට පිටින් කටයුතු කළහොත් සිදුවන්නෙ කුමක්ද යන්න සමස්ත පොලිස් නිලධාරින්ටම ‘පාඩම‘ක් කියා දුන් සිදුවීමක් මෙකී නඩු තීන්දුවෙන් දිග හැරුණු කතාන්දරය කියාපායි. එම නිසා ලොකු පොඩි මෙන්ම උස් පහත් සැමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරින්ට මෙකී සිදුවීම මහත් ආදර්ශයකි.

මීට පෙරද මෙලෙස පොලිස් නිලධාරින් සිවුදෙනෙකුට මරණීය දණ්ඩනය නියම වූයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අඟුලානේ ද්විත්ව ඝාතන සිද්ධියටය. 2009 වසරේ අගෝස්තු මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනෙකදී අඟුලානේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන දිනේෂ් තරංග සහ ධනුෂ්ක උදයකාන්ත අපෝන්සු යන තරුණයන් දෙදෙනා අඟුලාන පොලිසියේ අත්අඩංගුවට පත්ව ඝාතනය විය.

එම ද්විත්ව ඝාතනයට විත්තිකරුවන් වූ 9 දෙනෙකු අතුරින් චූදිතයන් වූ එවකට අඟුලාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වූ තුඩුවේගෙදර නිව්ටන්, පොලිස් කොස්තාපල්වරුන් වූ ඉන්ද්‍රවංශ කුමාරසිරි, ධම්මික නිහාල් ජයරත්න සහ ග්‍රාමාරක්ෂක නිලධාරියෙකු වූ ජනප්‍රිය සේනාරත්න යන සිවුදෙනාටද 2011 වසරේ අගෝස්තු 25 වැනිදා මරණ දණ්ඩනය නියම කෙරිණි. ඒ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.



Comments