
ගම්පොල පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවකට කඩා වැදී එහි තිබුණු මුදල් තැන්පත් කිරීමේ ටෙලර් යන්ත්‍රය කොල්ල කෑම ඉතිහාසයේ දැන් ලියැවී ඇත්තේ එවැනි තාලයේ මෙරට සිදුවූ පළමු මංකොල්ලය ලෙසිනි. සිවුදෙනෙකුගෙන් සමන්විත කල්ලියක් ජනවාරි 25 වෙනිදා අලුයම බැංකු ශාඛාවට කඩා වැදී මෙම ටෙලර් යන්ත්‍රය කොල්ල කන්නේ බැංකු ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා ඔහුව පුටුවක තබා ගැටගසාය. මුහුණු ආවරණය කරගෙන සිටි ඔවුන් ටෙලර් යන්ත්‍රය කොල්ලකා ගෙන පලා යන්නේ බිමට සවිකර තිබුණු එම යන්ත්‍රය සොලවා ඇණවලින් ගලවා ගෙන ඔසවා ගෙන ගොස් වෑන් රථයේ දමාගෙනය. ඒ එම ටෙලර් යන්ත්‍රයේ තිබුණු රුපියල් ලක්ෂ 76ක මුදලක්ද සමඟිනි.
චිකාගෝ පන්නයේ මෙම කොල්ලය ගැන විමර්ශන පැවැත්වීමේ වගකීම ඒ මොහොතේම පැවරෙන්නේ ගම්පොල පොලිසියේ නිලධාරීන්ටය. ඒ අයට ඒ සඳහා ඒ වන විට තිබෙන්නේ මෙම කොල්ලය සිදුවන අවස්ථාව රූගත වී තිබුණු බැංකුවේ ආරක්ෂක කැමරාවල සටහන් වූ දසුන් කිහිපයක් සහ බැංකු ආරක්ෂකයාගේ මතකයේ ලියැවුණු කොල්ලකරුවන් පැමිණි කේ.ඩී. එච්. වර්ගයේ වෑන් රථයේ අංකයත් පමණි.
ගම්පොල පොලිසියේ නිලධාරීන් මෙම කොල්ලය සිදු වී පැයක් හමාරක් යන්නට මත්තෙන් කොල්ලකරුවන් පස්සේ පැන්නීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ SG PE -7611 අංකය දරන එකී වෑන් රථය ඔස්සේය. ඒ රේඩියෝ පණිවුඩ මඟින් රටේම පොලිසිවල නිලධාරීන්ව මෙම වෑන් රථය ගැන දැනුම්වත් කරමිනි.
මෙම වෑන් රථය පේරාදෙණිය පොලිසියට හමුවන්නේ ඔය අතරතුරදීය. ඒ එදින අලුයම 4.55 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද දුරකතන ඇමතුමක් ඔස්සේය. එම ඇමතුම ලබාදී තිබුණේ ද වෑන් රථයේ රියදුරු විසිනි. එම ඇමතුමෙන් කියැවී තිබුණේ සන්නද්ධ කණ්ඩායමක් තමාව පැහැර ගෙන ගොස් පේරාදෙණිය ගලහා හන්දියේ අතහැර ගිය බවය.
ඒ අනුව පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එතැනට යන්නේ මෙම දුරකතන ඇමතුම ගැන මිරිහානේ පිහිටි 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් කළ දැනුම්දීමකට අනුවය. පොලිසිය එහි යන විටත් පුද්ගලයෙක් වෑන් රථය අසල රැඳී සිටියේය. එම වෑන් රථය වෙන කිසිවක් නොව, ඊට පැය කිහිපයකට පෙර ගම්පොල බැංකුවේ ටෙලර් යන්ත්‍රය කොල්ල කෑ කල්ලිය පැමිණි වෑන් රථය බව එහි අංකය දුටු සැණින් පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් හඳුනා ගත්තේය. එබැවින් ඔවුන් ඉන් එහාට මේ ගැන කිසිවක් කරන්නට ගියේ නැත. ගම්පොල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක අමතා වෑන් රථය සමඟ රියැදුරා ගම්පොල විමර්ශන කණ්ඩායමට භාරදීමට පියවර ගත්තේය.
මෙම කොල්ලයට නිශ්චිත වශයෙන්ම මෙම රියදුරා සම්බන්ධ බව තහවුරු නොවූවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවන්නේ විමර්ශන නිලධාරීන් හමුවේ ඔහු කී කතා විශ්වාස කිරීමට නොහැකි වූ තැනය. විමර්ශන නිලධාරීන් හමුවේ රියැදුරා කියන්නට වූයේ තමා 24 වෙනිදා රාත්‍රී 7.30ට පමණ පමණ අරනායක සිය නිවසේ සිට වෑන් රථය රැගෙන පේරාදෙණිය ගලහා හන්දියට පැමිණි බවය. ඒ පුත්තලමට කුලී ගමනක් යාමට ය.
මෙම වෑන් රථයට මෙම කුලී ගමන සපයා දී ඇත්තේ පිළිමතලාවේ පිහිටි ඒජන්සියක් මඟිනි. එම ඒජන්සිය වාහන කුලියට සපයන ආයතනයකි. ඔවුන් කරන්නේ තමන් යටතේ ලියාපදිංචි වී සිටින වාහන හිමියන්ට ඒ අයට ලැබෙන දුරකතන ඇමතුම් ඔස්සේ කුලී ගමන් ලබාදීමය. ඒ වෙනුවෙන් එම ආයතනයට ලැබෙන ප්‍රතිලාභය වන්නේ ඔවුන් සොයා දෙන කුලී ගමනට ලැබෙන මුදලින් සියයට 10ක කොමිස් මුදලකි. ඒ ආකාරයට ලද මෙම කුලී ගමන යෑමට නියමිත වේලාවටම ඔහු සිය වාහනය ගලහා හන්දියට රැගෙන ගොස් තිබුණේය. එතැන ඒ වන විටත් දෙදෙනෙක් මඟ බලාගෙන සිට ඇත්තේ පුත්තලම බලා යෑමටය. උස මහත නොමැති එම පුද්ගලයන් දෙදෙනා එතරම් වැඩි වයසක් නොමැති අයය. වෑන් රථයට ගොඩවුණු ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ විදෙස්ගතව පැමිණ සිටිය සිය සහෝදරයාව ද නංවා ගත යුතු බැවින් දෙල්තොට යා යුතු බවය. ඊට රියදුරු අකමැත්තක් නොදක්වන්නේ ඒ ගමන වෙනුවෙන් ද කුලියක් ලබාදෙන බව ඔවුන් පවසන්නට වූ බැවිනි.
ගලහා පසුකර දෙල්තොට පැත්තට ගිය පසු වෑන් රථය අතුරු මාර්ගයක් ඔස්සේ ගෙන යන්නට වූයේ වළ ගොඩැලි පිරුණු කැළෑවට ගිය අතුරු මාර්ගයක් ඔස්සේය. එම මාර්ගයේ වැඩි දුරක් යන්නට රියැදුරුට හිත් නොවීය.
“ ත්‍රීවිල් එකකින් ඔයාලගේ අයියව ගෙන්න ගමුද? මේ පාරේ තව දුර නම් වාහනේ යන්න බැහැ. “ යැයි රියැදුරු කියන්නට වූයේ ඒ තරමට මාර්ගය දුෂ්කර එකක් වූ බැවිනි.
ඒත් එක්කම වෑන් රථයේ රියැදුරු අසුනට යාබද අසුනේ සිටි පුද්ගලයා ගිනි අවියක් අතට ගෙන එය රියැදුරුගේ හිසට තබා කෑමොර දෙන්නේ “ වාහනේ නවත්තල බැහැපන් බිමට “ යැයි කියමිනි.
මේ කතාව කියන්නේ රියදුරාය. ඒ ගම්පොල පොලිස් විමර්ශකයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේය. ගුවන් හමුදා සෙබළෙක් වූ තමා එම අවිය පිස්තෝලයක් බව මෙන්ම ව්‍යාජ එකක් නොවන බව හඳුනා ගත් බව ද ඔහු කියන්නට විය. ඒ නිසාම සිය ජීවිතය රැක ගැනීම වෙනුවෙන් ඔහුගේ ඒ අණට කීකරු වෙමින් වෑන් රථය නතර කර එයින් බිමට බැස ගත් බව ද ඔහු කියන්නට විය. තමා ඒ වන විට රැඳී සිටින්නේ කොහේදැයි පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වූවත් තමා උගුලකට හසුවී සිටි බව දැණුන බව ඔහු කීවේය. ඒ අය තමාගේ දෑත් බැඳ අනතුරුව දෑස් ද බැඳ ගල්තලාවක් වැනි ස්ථානයකට රැගෙන ගොස් තවත් අයෙක් සමඟ එතැන හිඳුවා තැබූ බව ද රියැදුරා කියන්නට විය.
ඒ යැයි කියා රියැදුරුගේ කතාව එතැනින් හමාර වූයේ නැත. මෙහි ඊළඟ කොටසින් ඔහු කියන්නට වූයේ පේරාදෙණිය ගලහා හන්දියට ආ හැටිය.
“ඒ අය මාව වෑන් එකේ ඩිකියට දාගත්ත. ඇස් බැඳල තිබ්බ නිසා කොහේ අරගෙන යනවද කියල පෙනුණේ නැහැ. කඳු පල්ලම් බහින බව නම් දැණුනා. පස්සේ මාව ඒ අය වෑන් එකට නැග්ග තැනම වෑන් එකත් එක්ක දාල ගියා. ගැටගහල තිබ්බ අත් දෙක බාගෙට ලිහල එයාලගේ අතේ තිබ්බ මගේ හෑන්ඩ් ෆෝන් එකත් දීල කිව්වා විනාඩි පහක් යනකම් ඇස් ගැටගහල තියෙන රෙදි පටිය ගලවල අහුවෙන්න එපා කියල. බයටම මම ඒ කිව්ව විදිහටම ඉඳල ඇස් දෙක ගැටගහල තිබ්බ පටිය ගලවල බැලුවම තමයි දැනගත්තේ ගලහා හන්දියේ ඉන්නේ කියල“ විමර්ශන නිලධාරීන්ට පවා විශ්වාස කළ නොහැකි අමුතුම කතාව ඔහු කීවේ එසේය.
මේ අතර විමර්ශන නිලධාරීන් රියදුරුගේ පිටින්ම තබා වැඩේ අතහැර දැමුවේ නැත. වෑන් රථයත් සමඟ රියදුරු පොලිස් භාරයේ ඒ වන විටත් සිටි බැවින් අලුත් මඟක් ඔස්සේ විමර්ශන දියත් කරන්නට ගත්තේය. ඒ වෑන් රථය මෙම කුලී ගමන යාමට වෙන්කර ගනිමින් රියැදුරුට සහ පිළිමතලාවේ ඒජන්සියට ලද දුරකතන ඇමතුම් ඔස්සේය. විමර්ශනයේදී පෙනී යන්නට වූයේ එම අංකය භාවිත කර තිබුණේ මේ කටයුත්තටම පමණක් බවය. එයත් මියගිය පුද්ගලයකුගේ නමින් ලබාගත් සිම් කාඩ්පතකි. ඒ නිසාම විමර්ශන නිලධාරීන්ට වෑන් රථය කුලී ගමනක් යන්නට යැයි කියා වෙන් කරගත් පුද්ගලයාගේ අනන්‍යතාව පහසුවෙන්ම හඳුනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ඒ යැයි කියා විමර්ශන නිලධාරීන් උත්සහය අතහැර දැමුවේ නැත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායකගේ මඟ පෙන්වීම මත වෙනස්ම ආකරයෙන් දුරකතන විශ්ලේෂණයට අත තැබුවේය.
පොලිස් භාරයේ සිටි වෑන් රථ රියදුරාගේ ජංගම දුරකතනයට අපූරු දුරකතන ඇමතුමක් ලැබෙන්නේ මේ අතරතුරය. එම ඇමතුම වෙන කිසිවකුගෙන් නොව, කොල්ලකරුවකුගෙනි. පුත්තලමට කුලී ගමනක් යන්නට යැයි කියා වෑන් රථය කුලියට ගැනීමට රියැදුරු සමඟ කතාබහ කර තිබුණේ ද ඔහුය.
“වෑන් එකේ හයර් එක දෙන්නත් බැරි වුණානේ. ඒ නිසා ඔයාගේ එකවුන්ට් නම්බර් එකක් දෙන්න මම 50,000ක් දාන්නම්. පස්සේ තව 50,000ක් දාන්නම්“ ඇමතුමෙන් කියැවෙන්නට වූයේ මෙවැනි කතාවකි.
මෙහිදී වෑන් රථ රියැදුරුට විමර්ශකයන් උපදෙස් දෙන්නේ බැංකු ගිණුම් අංකය ඔහුට ලබා දෙන ලෙසය. ඒ අනුව රියැදුරාද කිසිදු පැකිළීමකින් තොරව සිය බැංකු ගිණුම ඔහුට ලබා දුන්නේය.
එම කතාබහ එතැනින් නිමාවූවත් විමර්ශකයෝ එම ඇමතුම පස්සේ පැන්නීමට අමතක නොකළහ. ඒ දුරකතන විශ්ලේෂණයක් ඔස්සේය. ඒ අතර කුරුණෑගල පැත්තේ රාජ්‍ය බැංකුවක සී. ඩී. එම්. යන්ත්‍රයකින් රියැදුරාගේ බැංකු ගිණුමට කී ආකාරයටම රුපියල් 50,000ක මුදලක් ද බැර වී තිබුණේය. එම සී. ඩී. එම්. යන්ත්‍රය හඳුනා ගෙන ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නට වූයේ ගම්පොල බැංකු කොල්ලයේ සැකකරුවකුගේ හැඩරුවට ඔහු මුළුමනින්ම සමාන බවය. ඒ
මේත් එක්කම විමර්ශන නිලධාරීන් දුරකතන ජාල විශ්ලේෂණ ඔස්සේ හඳුනා ගෙන සිටි දෙදෙනෙක් සිය භාරයට ගත්තේය. ඒ රියැදුරුගේ බැංකු ගිණුම් අංකය ඉල්ලමින් ඇමතුම ලබා දුන් දුරකතන අංකය ඔස්සේ පන්නා යමිනි. ඒ දෙදෙනාම පන්නල පැත්තේ පදිංචිව සිටියවුන්ය. ඒ එක් අයෙක් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.යේ හිටපු සෙබළෙකි. බැංකු ගිණුම් අංකය ඉල්ලා රියැදුරුට ඇමතුම දී තිබුණේ එම එල්. ටී. ටී. ඊ. සෙබළාගේ දුරකතන අංකයෙනි. දෙවැන්නා යුද හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටි සෙබළෙකි. වසර 22ක් විශේෂ බළකායේ සේවය කළ අයෙක් වූ ඔහුගේ හැඩරුව ගම්පොල බැංකුවේ ආරක්ෂක කැමරාවේ සටහන් වූ කොල්ලකරුවන්ගේ හැඩරුවට බොහෝ සේ සමාන විය.
දීර්ඝ ලෙස විමර්ශකයන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කළත් ඔහු මෙන්ම පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයා ද පවසන්නට වූයේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවකි. ඒ අය පුන පුනා කියන්නට වූයේ පොලිසියට යම් වැරදීමක් සිදු වී ඇතැයි කියාය.
ඒ අනුව මෙම කොල්ලයට ඝෘජුවම සම්බන්ධකම් ඇති සැකකරුවන් කවුරුන්දැයි හඳුනා ගැනීමට සමත්වන විමර්ශකයන් පළමු සැකකරුව අත්අඩංගුවට ගන්නේ ගම්පොල විවාහ උත්සවයකට පැමිණ සිටියදීය. ඔහු පුත්තලම වාන පාරේ පදිංචිකරුවෙක් වන ඒ. බී. ආදීන් නමැති 29 හැවිරිදි වියේ පසුවන්නෙකි. විමර්ශනයේදී හෙළි වන්නේ එම විවාහ උත්සවය ඔවුන්ගේ ඥාතියකුගේ බවය. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ ගම්පොල බැංකුවේ ටෙලර් යන්ත්‍ර කොල්ලයේ මහ මොළකරු ඔහුගේ සහෝදරයෙක් බවය. ඒ. බී. අබ්දුල්ලා නමැති 30 හැවිරිදි ඔහු මෙන්ම මෙම කොල්ලයට මෙම පවුලේ තවත් සහෝදරයන් දෙදෙනක්ද සම්බන්ධ බව වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වන්නේ ඔහුගේ මුවින්ම ය. එම සහෝදරයන් දෙදෙනා 25 හැවිරිදි වියේ පසු වෙමින් සිටි නිවුන්නුය. ඒ අනුව ඒ. බී. ඒ. රහුමාන් සහ ඒ. බී. අබ්දුල් රහුමාන් නමැති නිවුන්නු සමඟ මෙම කොල්ලයේ මහ මොළකරුවාව ද විමර්ශන නිලධාරීන් විසින් කොටු කර ගන්නේ ගම්පොල විවාහ උත්සවයට සහභාගි වීමට පැමිණෙන තුරු මඟ රැක සිටය.
දීර්ඝ ලෙස මේ අයගෙන් විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ දෙල්තොට බටවීර කොටසේ ලයිමක ජීවත්වන තිදෙනෙක්ද මෙම කොල්ලට ඔවුන්ට සහය දී ඇති බවය. ඒ අනුව විමර්ශන නිලධාරීන් ඔවුන්ගෙන් මුලින්ම අත්අඩංගුවට ගන්නේ ආර්. දිනූෂනය. සෙසු දෙදෙනා ගැන තොරතුරු එළියට එන්නේ 29 හැවිරිදි වියේ පසුවන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය. ඒ අනුව 42 හැවිරිදි වියේ පසු වූ මුත්තයියා සහ 44 හැවිරිදි වියේ පසු වූ කේ. තමිල් සෙල්වම් යන දෙදෙනාව ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.
දීර්ඝ ලෙස ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ මේ අය අතරින් මුලින්ම අත්අඩංගුවට ගත් ඒ. බී. ආදීන් මෙම කොල්ලයට පැමිණ නැති බවය. එහෙත් මෙම කොල්ල කල්ලිය කොටුකර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ ඔහු හැමදෙයක්ම දැන සිටි බැවිනි.
මේ අයගෙන් ප්‍රශ්න කිරීමේදී ගම්පොල බැංකුවේ ටෙලර් යන්ත්‍ර කොල්ලය ගැන පමණක් නොව, තවත් බොහෝ දේවල් ද එළියට එන්නට ගත්තේය. ඒ අතර විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානයකට යොමු වන්නේ එදා ඔවුන් බැංකු ආරක්ෂක නිලධාරියාව බිය ගැන්වීමට යොදා ගත් ගිනි අවිය වෙතය. මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයක් වූ එම අවිය විමර්ශන නිලධාරීන් විසින් සොයා ගන්නේ මෙහි ප්‍රධාන සැකකරු මෙන්ම මහ මොළය වූ ඒ. බී. අබ්දුල්ලා සතුව තිබියදීය. 12001410 දරන NP 22 අංකය දරන මෙම අවිය ඔවුන්ට ලද ආකාරය ගැන ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නට විය. ඒ පසුගිය වසරේ මැයි 09 වෙනිදා රට පුරාම ඇති වුණු නොසන්සුන් තත්ත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ පුත්තලමේ පිහිටි නිවෙස ගිනි තැබීමෙන් පසු මෙම අවිය ඔහුගේ නිෙවසේ තිබී සොරා ගත්තකි. එදා අලි සබ්රි මන්ත්‍රීවරයාගේ නිවස ගිනි තැබීමට ගිය කණ්ඩායම අතර සිටි අරගලකරුවන් අතර මෙම සහෝදර කල්ලියම සිටි බව මේත් එක්කම එළියට ආවේය. මෙතෙක් කලක් ඒ සම්බන්ධයෙන් කිසිදු පොලිසියකට හසු වී නැති ඔවුන් එදා මෙම ගිනි අවිය මන්ත්‍රීවරයාගේ නිෙවසින් සොරා ගන්නේ දෙවැනි මහලේ කබට්ටුවක තිබියදීය. අලි සබ්බ්‍රට අයත් බලපත්‍ර සහිත මෙම අවිය එදා සොරකම් කරගෙන ගොස් තිබුණේ පතරොම් 10ක්ද සමඟිනි. මෙම අවිය එදා අබ්දුල්ලා විසින් පුත්තලම වාන පාරේ පිහිටි නිවෙසට රැගෙන විත් සඟවා තැබීමට භාර දෙන්නේ සිය දෙටු සහෝදරයා වූ ආදීන්ටය. ඔහු එය සඟවන්නේ නිවසේ වළ දමාය.
මෙම ගිනි අවියත් රැගෙන මෙම සහෝදර කල්ලිය පසුගිය කාලය පුරාවට කළ අපරාධ බොහෝය. ඒ අතර පිටස්තරයකුට සිටියේ දිනූෂන් පමණි. සිය කල්ලියට ඔහුව සම්බන්ධ කරගෙන සිටියේ සමීප මිතුරෙක් මෙන්ම විශ්වාසවන්තයෙක් වූ බැවිනි. ගිනි අවිය අතට ලද දවසේ සිට ඔවුන් වැඩි හරියක්ම කර ඇත්තේ සොරකම්ය. ගලහා ග්‍රාමීය බැංකුවට ඔවුන් මාස හතර පහකට පෙර රාත්‍රී කාලයක කඩා වදින්නේ සේප්පුව කපා එහි ඇතැයි සිතූ ලක්ෂ ගාණක මුදලක් සොරාගෙන යන්නටය. එදා ඔවුන්ට එහි තිබී සතපහක් අතට ලැබෙන්නේ නැත. ඒ එහි වූයේ හිස් සේප්පුවක් වූ බැවිනි. සේප්පුවේ මුදල් වෙනුවට තිබෙන්නේ ලියකියවිලි ගොන්නක් පමණි. ඒ හැරුණු කොට ලැප්ටොප් පරිගණකයක් සමඟ ප්‍රොජෙක්ටර් දෙකක් එහි තිබුණේය.
ඊට ටික දිනකට පසු මේ කණ්ඩායමේ ඉලක්කය බවට පත්වන්නේ ගලහා පිහිටි ජුවලරි කඩ දෙකකි. එම ජුවලරි කඩ දෙකත් රාත්‍රී කාලයේ බිඳ දැමුවද එහි තිබී අතට ලැබෙන්නේ එතරම් වටිනාකමක් නොමැති රන් භාණ්ඩ කිහිපයක් පමණි. ඒවා පුත්තලමට සහ කොළඹ හෙට්ටිවීදියේ රන්කරුවන්ට උණු කරන්නට දී ලක්ෂයක් දෙකක් අතට ගන්නේ ද අබ්දුල්ලාය.
මේ අතර අබ්දුල්ලා ඇතුළු මේ කණ්ඩායම මෝටර් රථ කුලියට සපයන ප්‍රකට සමාගමකට මහා රෑක කොළඹ සිට දුරකතන ඇමතුමක්දී මෝටර් රථයක් කුලියට ගන්නේ පුත්තලමට යන්නට යැයි කියාය. ඒ වැල්ලවත්තේ සිට පුත්තලමට එන අතරමඟ ඇති රන් භාණ්ඩ අලෙවි සැලක් කොල්ලකෑමේ සැලසුමක් ඇතිවය. ඒ එන අතරතුර ඔවුන් රියැදුරුට ගිනි අවිය එල්ල කර ගැට ගසා ඔහුව දමන්නේ මෝටර් රථයේ ඩිකියටය. එදා ඔවුන් ඉලක්ක කළ රන් භාණ්ඩ අලෙවි සැල අසල පොලිස් මාර්ග බාධකයක් යොදා තිබුණු බැවින් සිදු වන්නේ අතරමගින් රියැදුරු සමඟ කැබ් රථය අතහැර හිස් අතින් පුත්තලමට යන්නටය.
මෙසේ අසාර්ථක කොල්ලකෑම් රැසක් හමුවේ මෙම කල්ලිය විසින් සිදු කරන ලොකුම කොල්ලය බවට පත්වන්නේ ගම්පොල බැංකුවේ ටෙලර් යන්ත්‍ර කොල්ලයයි. මෙම කල්ලිය ගම්පොල හා ඒ අවට ප්‍රදේශම කොල්ලකෑම් සඳහා තෝරාගෙන තිබුණේ ඔවුන් හැදී වැඩී ඇත්තේ ගම්පොල නගරය ආශ්‍රිතව වූ බැවිනි.
මේ පවුලේ මෙම සහෝරයන් සිවු දෙනාට අමතරව වැඩිමහල් තවත් සහෝදරයන් දෙදෙනෙක්ද සිටිති. ඒ අය සිටින්නේ විදෙස්ගතවය. මේ අයගේ පියාද වැඩි කාලයක් ගත කර ඇත්තේ මැදපෙරදිගය. ඒ රට රැකියාවක නිරතවෙමිනි. මේ පවුලේ පිරිමින් 05 දෙනෙට අමතරව සහෝදරියක්ද සිටින්නීය. ඇය විවාහ වී සිටියේ පුත්තලමේ අයෙක් සමඟිනි.
ඇගේ විවාහය සිදුවන තුරුම මෙම පවුලේ සාමාජිකයන් ජීවත් වූයේ ගම්පොලය. පාසල් ගියේද ගම්පොල ඇති ප්‍රසිද්ධම පාසලකටය. ඒ නගරයේ ඔවුන් ජීවත් වූ කුලී නිවසේ සිටය. මේ අය පුත්තලමට යන්නේ ඔවුන්ටම කියා නිවසක් තනාගෙනය. ඒ සඳහා ඔවුන්ට හයියක් වන්නේ සහෝදරියගේ සැමියාය.
මේ අය පුත්ලමේ පදිංචියට ගියාට ගම්පොළට නිතර ආවේ ගියේය. ඒ පැමිණි දිනක අබ්දුල්ලා මුදල් වගයක් බැංකු ගත කරන්නට යන්නේ ටෙලර් යන්ත්‍රය කොල්ලකෑ බැංකුව වෙතය. එම යන්ත්‍රය තිබෙන්නේ ඒ.ටී.එම්. යන්ත්‍ර මෙන් බිත්තියට හේත්තු කර නොව. යන්ත්‍රය වටේම ගමන් කළ හැකි අයුරිනි. ඔහු මුදල් එම යන්ත්‍රය හරහා තැන්පත් කිරීම සිදුකරන විට නිකමට මෙන් එය සොලවා බැලුවේය. යන්ත්‍රය හෙළ වුණේය. මෙම යන්ත්‍රය කොල්ල කෑමට ඔහුට සිතක් පහළ වූයේ යැයි කියැවෙන්නේ එහිදීය.
ඒ යැයි කියා ඔහු හිතුමතේට මෙම කොල්ලය කරන්නට ගියේ නැත. ටෙලර් යන්ත්‍රයේ උස බර එය බිමට සවි කර ඇති ආකාරය ගැන ඇතුළු හැම දෙයක් ගැනම අන්තර්ජාලයෙන් හොඳ හැදෑරීමක් කළේය. එහිදී ඔහුට පෙනී යන්නේ මෙවැනි යන්ත්‍රයක් අඩුම තරමින් කිලෝ 225ක්වත් බරකින් යුක්ත බවය. එතෙක් කලක් සහෝදර තුන්කට්ටුව සහ ගලහා මිතුරා සමඟ එක්කව ගේම් ගැසූ අබ්දුල් මෙවර වැඩිපුර තවත් දෙදෙනෙක් යොදා ගන්නට කල්පනා කරනුයේ ටෙලර් යන්ත්‍රයේ බර ගැන සැලකිල්ලට ගෙනය. ඒසඳහා විශ්වාසවන්තයන් දෙදෙනෙක් සොයා ගැනීමේ වගකීම පවරන්නේ දිනූෂන්ය. දෙල්තොට බටහිර කොටසේ ගේඩ්වැලිවත්තෙන් ඒ අනුව කම්කරුවන් දෙදෙනක් සම්බන්ධ කරගන්නේ දිනූෂන්ය.
අබ්දුල්ලා මෙම කොල්ලය සැලසුම් කරනුයේ පොලිසිය පවා නොමඟ යවන හැටියට වැඩේ දෙන්නටය. ඒ සඳහා ඔහු භාවිත කළේ මියගිය අයගේ හෝ අහුලා ගත් ජාතික හැඳුනුම්පත්වලින් මිලදී ගත් ජංගම දුරකතන සම්බන්ධතාය. ගම්පොල සිට පුත්තලමට යන්නට යැයි කියා පිළිමතලාවේ ඒජන්සියට ඔහු ඇමතුමක් ගන්නේ ද එවන් සිම්පතක් යොදා ගෙනය. එහිදී ඔහු ඉල්ලන්නේම කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථයකි. පුත්තලමේ සිට රැගෙන ඒමට භාණ්ඩ වගයක් ඇතැයි කියමින් ඔහු එහිදී ඉල්ලා සිටින්නේ පිටුපස ආසන පේළිය නොමැති වෑන් රථයකි. එවැනි වෑන් රථයක් මෙම ඒජන්සියේ ලියාපදිංචිව තිබුණේ අරනායක වෑන් රථය පමණි. මෙම කටයුත්තට ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබළා සැබෑ ලෙසම සම්බන්ධ වන්නේ එසේය.
එදා ප්‍රශ්න කිරීම් හමුවේ විමර්ශන නිලධාරීන්ට මෙම රියදුරා කී හැමදෙයක්ම ඇත්තක් බව පෙනී යන්නේ ද අබ්දුල්ලා ඇතුළු කල්ලිය කොටු කර ගැනීමෙන් අනතුරුව කෙරුණු දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේය. ටෙලර් යන්ත්‍රය කොල්ලකා ගෙන එය රැගෙන එන්නේද දෙල්තොටටය. එම යන්ත්‍රයේ අගුල් කපන්නට ඒ වන විටත් ඔවුන් යොදා ගන්නේ විදුලිය ආරෝපනය කළ හැකි ග්‍රයින්ඩරයකි. එම ග්‍රයින්ඩරයෙන් ටෙලර් යන්ත්‍රය කපමින් සිටියදී එහි ඇතිවන දෝෂයක් හේතුවෙන් ඔවුන්ට අවසානයේදී සිදුවන්නේ පොරෝ තල පහරවල් කිහිපයක පිහිට පැතීමය. පහරක් දෙකක් එම යන්ත්‍ර යේ අගුල්වලට වැර යොදා එල්ල කරන විට එහි දොරගුළු ඇරෙන්නේ ඔවුන්ද බලාපොරොත්තු නොවූ ලෙසිනි. එහි තිබුණු හැත්තෑහය ලක්ෂ හයදහසක මුදලින් රුපියල් ලක්ෂ 11 බැගින් ලක්ෂ 22ක් ඒ මොහොතේම අත තබන්නේ දෙල්තොටින් සම්බන්ධ කරගත් ලයිමේ දෙදෙනාටය. ඒ දෙදෙනාව එතැනින්ම සිය නිවෙස් වෙත පිටත් කර හරින දිනූෂන් මෙහිදී සියතට ගන්නේ රුපියල් ලක්ෂයක් පමණි. ඒ දැනට එම මුදල ඇතැයි කියමිනි. අනතුරුව පැය ගාණක් ගල්තලාවක් මත සිර කරගෙන සිටි වෑන් රථ රියදුරුව වෑන් රථයේ ඩිකියට දමා ගන්නේ ටෙලර් යන්ත්‍රය නැවත වෑන් රථයේ ඩිකියට දමා ගැනීමෙන් අනතුරුවය. දෙල්තොට සිට වෑන් රථය ගමන් කරන්නට වූයේ ගලහා පැත්තටය. ඒ අතරමග හල්වත්ත හරියේදී ටේලර් යන්ත්‍රය ඔවුන් විසි කරනු ලබන්නේ අඩි 500ක් පමණ වූ ප්‍රපාතයකටය. ඒ කිසිවකුටත් යන්ත්‍රය සොයා ගැනීමට ඉඩ නොලැබෙනු ඇතැයි සිතාය. අනතුරුව අතර මඟින් අනූෂන්ද වෑන් රථයෙන් බැස අතුරුදන් වන්නේ නැවත අලුත් වැඩකට අත ගසන විට කතා කරන්න යැයි කියාය. අවසානයේදී ඉතුරු වූයේ වෑන් රථයේ අබ්දුල්ලා සහ ඔහුගේ නිවුන් සහෝදරයන් දෙදෙනා පමණි. හන්තාන පැත්තෙන් පේරාදෙණියේ ගලහා හන්දියට එන ඔවුන් තිදෙනා රියැදුරුව ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදා හැර වෑන් රථය ඔහුටම ලබාදී පලා යන්නේ ඉන් අනතුරුවය. ඒ මගී බස් රථයක නැඟී කුරුණෑගලට ගොස් එතැනින් තවත් බස් රථයකට ගොඩවී පුත්තලමටය.
ඒ පැමිණි අබ්දුල්ලා ඔහු අත වූ මුදලින් රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් මුලින්ම වැය කරනුයේ සිය පෙම්වතියට ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් මිලදී ගෙන දෙන්නටය. ඒ හැරුණු කොට ඔහු එක්ලක්ෂ අනූදහසක් වටිනා රන්මාලයක් ද මිලදී ගෙන ඇයට තෑගි කරනුයේ ඇයට ඇඳුම් පැලඳුම් ගැනීමට තවත් රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදලක් ඇය අත තබමිනි. ඒ වැලන්ටයින් දිනය එන්නට පෙර වැලන්ටයින් තෑග්ගක් ලෙස ඇයට ඒ දේවල් ලබා දෙමිනි.
අනතුරුව ඔහු රුපියල් එක්ලක්ෂ පනස් දහසක් වැයකර මාලයක් මිලදී ගෙන දෙන්නේ මවටය. ඒ පෙන්ඩනයක් සහ මුද්දක්ද සමඟිනි. එයින්ද සීමා නොවන ඔහු රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් වැයකර වෑන් රථයක්ද ලක්ෂ 2ක් වැයකර යතුරු පැදියක්ද මිලදී ගත්තේ කොල්ලකෑ මුදල් අතපය දිගහැර වියදම් කරමිනි. ගෑස් කුකර්, ශීතකරණ, ජංගම දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර වගේම ගෘහ උපකරණ බොහොමයක්ද මේ මුදල්වලින් ඔහු මිලදී ගත්තේය.
මේ හැරුණු කොට ඔහු සිය හිතවතුන්ට සහ ඥාතීන්ට රුපියල් ලක්ෂය දෙක බැගින් නෝට්ටු මිටි ගසා බෙදන්නට වූයේ හරියට ලොතරැයියක් ඇදී ඇති අයෙක් ලෙසිනි. ඒ අතර ඔහු සිය සහෝදරයන් දෙදෙනාටත් ඔවුන්ගේ කොටහ වෙන් කළේය. ඒ රුපියල් ලක්ෂ දෙකහාමාර බැගින් රුපියල් ලක්ෂ පහක මුදලක් පමණි. අනතුරුව දිනූෂන්ටත් රුපියල් ලක්ෂ හතරක් වෙන් කරන ඔහු ඒ මුදල දෙල්තොටටම ගොස් ලබා දුන්නේ ඒ පැත්තේ තවත් ගේමක් ගසන්නට සුදුසු තැනක් සොයා බලමිනි.
වෑන් රථ රියදුරාගේ බැංකු ගිණුම් අංකයක් ඉල්ලා අබ්දුල්ලා දුරකතන ඇමතුමක් දෙන්නේ ගලහා ගොස් පුත්තලම බලා මගී බස් රථයක නැඟී ගමන් කරමින් සිටියදීය. එහිදී ඔහු පොලිසිය නොමඟ යැවීමට උප්පර වැට්ටියක් යොදන්නේ තමාගේ ජංගම දුරකතනයේ බැටරිය බැස ඇතැයි කියා යාබද අසුනක රැඳී සිටි අයකුට හදිසි ඇමතුමක් ගන්නට ඇතැයි කියා ඒ පුද්ගලයාගේ ජංගම දුරකතනය ඉල්ලාගෙනය. විමර්ශකයන් විසින් අත්අඩංගුවට ගත් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයා වූයේ ඔහුය. විශේෂ කාර්ය බළකායේ විශ්‍රාමික සෙබළාව අල්ලන්නේ එම දුරකතන අංකයේ විශ්ලේෂණ තොරතුරු ඔස්සේය.
මෙසේ විමර්ශන නොමග යවමින් සැලසුම් සහගතව අබ්දුල්ලා ඇතුළු සහෝදර කල්ලිය ගහපු මේ ගේම අන්තිමේදී ගම්පොල විමර්ශකයන් විසින් හෙළි කර ගන්නේ එක්තැනකදී ඔවුන්ට සිදු වුණු අතපසු වීමකිනි. ඒ ඔස්සේ කොල්ලකරුවන්ව හඹා ගිය ගම්පොල පොලිස් විමර්ශකයෝ අබ්දුල්ලා ඇතුළු කල්ලිය කොටු කර ගන්නේ ඔවුන් කොල්ලකෑ මුදලින් ඉතිරිව තිබුණු රුපියල් දහඅට ලක්ෂ හැත්තෑදහසක මුදලක් සමඟ කොල්ල කෑ මුදලින් මිලදී ගත් වාහන, රන් භාණ්ඩ ඇතුළු දේපොළ රැසක්ද සමඟිනි.