
නිෂ්පාදන අංශයට අදාලව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3950 දෙනෙකු සමත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
2022.07.04 දින සිට 2023.02.03 දින දක්වා මාර්ගගත ක්‍රමයට මෙම විභාගය පැවැත්විය. මෙම විභාගය සඳහා අපේක්ෂකයින් 24378 ක පිරිසක් විභාගය සඳහා අයදුම් කරන තිබුණද, විභාගය සඳහා පෙනී සිටියේ ඉන් අයදුම්කරුවන් 18269 කි.
මෙම විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
මේ අතර, දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත හත්වන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීම 2023.02.13 දින ආරම්භ විය. අදාල ලියාපදිංචි කිරීමේ කටයුතු 2023.02.22 දින දක්වා සිදුකරනු ලබයි.
ලියාපදිංචි කිරීම ආරම්භ කළ දිනයේ සිට මේදක්වා අයදුම්කරුවන් 7800 ට අධික පිරිසක් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනීම සඳහා ලියාපදිංචි වී තිබේ.
නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය 2023 මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය 2023 සැප්තැම්බර් 1 දින සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.