කෝටි­ප­ති­යාගේ ඝාත­කයා රට පුරාම හැංගි­මු­ත්තන් කළ හැටි | සිළුමිණ

කෝටි­ප­ති­යාගේ ඝාත­කයා රට පුරාම හැංගි­මු­ත්තන් කළ හැටි

 

පැලවත්තේ තෙමහල් නිවසක නාන තටාකයේ ඝාතනය වූ ෂේඩ්ස් (shades) නමින් ප්‍රචලිත නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරුගේ ඝාතනය දැන් තවදුරටත් අබිරහසක් නම් නොවේ. ඒ ඝාතකයාව පැහැදිලිවම හඳුනාගෙන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති නිසාම නොව මෙම ඝාතනයට තුඩු දුන් කරුණු කාරණා පවා විද්‍යාත්මක සාක්ෂි ද සමඟ තහවුරු කරගෙන ඇති බැවිනි.

 

ජනවාරි 30 වෙනිදා එම ඝාතනය සිදුවී තිබුණේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි තෙමහල් නිවසක ඉහළ මහලේ වූ නාන තටාකය තුළය. එහෙත් රොෂාන්ගේ සිරුර පොලිසියට හමුවන්නේ පසුගිය 02 වෙනිදාය. මළ සිරුර ඒවන විට තිබෙන්නේ බොහෝ සේ නරක්ව පවුලේ අයට පවා හඳුනා ගැනීමට පවා නොහැකි වන ලෙස විකෘති වී ජලයේ පාවෙමිනි. සැබෑ ලෙසම මියගොස් සිටින්නේ රොෂාන්ම දැයි සැකහැර දැන ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂාවක් පවා කරන්නට සිදුවන්නේ ද ඒ නිසාය. මෙම ඝාතන විමර්ශනය සිදු වන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය කේන්ද්‍ර කරගෙනය. එහි ගෞරවය හිමි විය යුත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ප්‍රමුඛ විමර්ශන නිලධාරින්ටය.

ඒ අය අතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා, විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. පී. ඩී. ජේ. නිශාන්ත, උප පොලිස් පරීක්ෂකවරුන්වන මධුරංග, ප්‍රියමන්ත, බණ්ඩාර, ලියනගේ සැරයන්වරුන් වන ජනිත් (74400), උපුල් (57241), වික්‍රමනායක (84333), කොස්තාපල්වරුන් වන ඇල්ලේගල (8020), ලසන්ත (88139), මධුමාල් (1117), උදයංග (3122), මහාආරච්ච (104139),චතුරංග (11509)), මධුෂාන් (104140), සමන් (73011) සහ පොලිස් කොස්තාපල් රියදුරු වීරරත්න (96544) යන නිලධාරීන් ද සිටිති.

ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය මාස දෙකක් තිස්සේ නිසි ලෙස විසඳීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නැති පසුබිමක කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නම් රොෂාන්ගේ ඝාතනය අබිරහසක් වන්නට කිසිසේත් ඉඩ තැබුවේ නැත. රොෂාන්ගේ ඝාතනයේ අබිරහස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විසඳන්නේ විමර්ශන ඔවුන්ට පැවරී පැය 48ක් යන්නටත් මත්තෙන් වීම විශේෂත්වයකි. ඒ මුල සිටම මෙම ඝාතනය කෙරෙහි සැකය එල්ල වූ යුවළ අත්අඩංගුවට ගනිමිනි.

රොෂාන්ගේ මළ සිරුර පැලවත්තේ නිවෙසින් සොයා ගැනීමත් සමඟ ඔහුගේ ඝාතනයට වගකිව යුතු බවට හඳුනාගත් මෙම යුවළ කෙරෙහි සමාජයේ වඩාත් අවධානය යොමු වූයේ මේ අය කවුරුන්ද? රොෂාන්ව මරා දැමීමට තරම් ඔවුන්ට තිබුණු අවශ්‍යතාව කුමක්ද? ආදී උභතෝකෝටික ගැටලුය. ඒ හැමදේකටම ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමත් සමඟ පිළිතුරු ලැබෙන්නේ සමාජයේ ඇති තවත් අඳුරු පැතිකඩක් ගැන ද ඇස් ඇරවමිනි.

මෙම අය තරුණ අඹුසැමියන්ය. සැමියා නමින් අසීම්ඩීන් ඉන්ෂාෆ්ඩීන්ය. ඔහුගේ වයස අවුරුදු 27 කි. බිරිය හුස්වා ෆස්ලිම්ය. ඇය 20 හැවිරිදිය. එහෙත් ඇය පෙනී සිටියේ වයස අවුරුදු 23ක තැනැත්තියක් ලෙසිනි. ඒ ව්‍යාජ නමකිනි.

ඉන්ෂාෆ්ඩීන්ගේ උපන් ගම ලෙස සැලකෙන්නේ නාරාහේන්පිට දාබරේ මාවතය. සහෝදර සහෝදරියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ ඒ කිට්ටුව පිහිටි මිශ්‍ර පාසලකිනි. සාමාන්‍ය පෙළෙන් සිය පාසල් අධ්‍යාපනය හමාර කරන ඉන්ෂාෆ්ඩීන් ග්‍රැෆික් ඩිසයින් පාඨමාලාවක් හදාරන්නේ ඒ ඔස්සේ ඉදිරියට යන්නට සිතාගෙනය. ඒ යැයි කියා ඔහු ඒ ඔස්සේ ගිය ඉදිරි ගමනක් නැත. කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙළද සංකීර්ණයක දුරකතන හා ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනාගාරයක සේවයට යන්නේ කෙටි මාර්ග ඔස්සේ එහි සිට මුදල් උපයා ගැනීමට මඟක් මිතුරකු විසින් කියාදී තිබුණු බැවිනි.

ඉන්ෂාෆ්ඩීන්ට සිය බිරිය ෆස්ලිම්ව මුණ ගැසෙන්නේ ද ඒ කාලය තුළදීය. ඒ සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේය. ෆස්ලිම් ඉපදී ඇතැයි කියැවෙන්නේ කුවෙට් රාජ්‍යයේදීය. ඒ ඇගේ මව කුවේටයේ ගෘහ සේවිකාවක් ලෙස සිටි වකවානුවේදීය. ෆස්ලිම්ගේ පියා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින අයෙකි. ෆස්ලිම්ගේ මවත් පියාත් ජීවත්වන්නේ අලුත්කඩේය. කුඩා කල ෆස්ලිම් අලුත්කඩේ ජීවත් වන සිය මවුපියන්ගේ සෙවණෙහි හැදී වැඩුණත් කරදඬු උස්මහත් වන විට ඇය කොලොන්නාවේ සාලමුල්ලට එන්නේ පුංචි අම්මාගේ රැකවරණය ලබන්නටය. අනාවරණය වන ආකාරයට අනුව ඇයත් සාමාන්‍ය පෙළෙන් එහාට අධ්‍යාපනයක් ලැබූ බවක් නම් දැනගන්නට නැත.

සමාජ මාධ්‍ය ඔස්සේ දැන හඳුනා ගත් ඉන්ෂාෆ්ඩීන් සහ ෆස්ලිම් වැඩිහිටි දෙපාර්ශ්වයේම ආශීර්වාදය ඇතිව යුගදිවියට එළඹෙන්නේ යැයි කියැවෙන්නේ 2021 වසරේ දෙසැම්බර් 21 වෙනිදාය. ඒ මුස්ලිම් සම්ප්‍රදායට හා නීතියට අනුවය. මෙම විවාහය සිදුවන විට ඉන්ෂාෆ්ඩීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පදිංචිව සිටින්නේ ගොතටුව කමතවත්තේය. ඒ දාබරේ මාවතේ පිහිටි නිවස බද්දට දී කමතවත්තෙන් කුලියට නිවසක් මිලදී ගෙන සිටි බැවිනි. නව යුවළ විවාහයෙන් පසු කෙටි කලක් ගත කරනුයේ ද කමතවත්තේ පිහිටි නිවසේය. ෆස්ලිම් නිදහසට ප්‍රිය කළ තැනැත්තියක් වූවාය. සීමිත ඉඩකඩක් සහිත කමතවත්තේ නිවෙසේ එක පොදියට ජීවත් වන්නට ඇය එතරම් කැමැත්තක් නොදැක්වූවාය. වැල්ලම්පිටියේ පිහිටි ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ අලෙවි ස්ථානයක උඩුමහලේ ඇති කුඩා ගේ කෑල්ලක් කුලියට ගෙන මේ යුවළ එහි පදිංචියට යන්නේ එබැවිනි.

ඒ වන විටත් ඉන්ෂාෆ්ඩීන් සිටින්නේ සුපිරි වෙ‍ෙළද සංකිර්ණයේ රැකියාවට සමුදීය. ඒ නිසාම මෙම නිවසේ කුලිය නිසි ලෙස ගෙවන්නට පවා ඔවුන්ට හැකියාවක් නොවීය. වැඩිකල් නොගොස් වැල්ලම්පිටියේ කුලී නිවස අතහැර පුංචි අම්මාගේ නිවෙසට යන්නට මේ යුවළට සිදුවන්නේ එබැවිනි. ඒ මෑතකදීය.

ෆස්ලිම්ට ඇවැසි වූයේ සිය සැමියා සමඟ නිදහසේ ජීවත්වීමට වූ බැවින් ඇය දිගින් දිගටම ඉන්ෂාෆ්ඩීන්ට පෙරැත්ත කරන්නට වූයේ වෙනම ජීවත් වන්නට යමු යැයි කියාය. ඉන්ෂාෆ්ඩීන් රැකියාව අහිමි කරගෙන සිටින බවක් ඇය ඒ වන විටත් දැන නොසිටියාය. ඔහු ද තමාට රැකියාව අහිමි වී ඇති බවක් ඇයට කියන්නට නොගියාය. ඇය සිතන්නේ අතේ සතේ නැතැයි කීවාට ඉන්ෂාෆ්ඩීන් සතුව මුදල් යහමින් ඇති බවය. ඒ කොතරම් මුදල් නැතැයි කීවත් ඔහු අත යහමින් මුදල් ගැවසෙන අවස්ථා ද තිබෙන්නට වූ බැවිනි. ඇය සිය පුංචි අම්මා සමඟ කොලොන්නාව පැත්තේ කැරකැවෙමින් ගැළපෙන නිවසක් සොයන්නට පවා වූයේ ඒ නිසාමය. ඒ අතර ෆස්ලිම්ගේ හිත ගිය ගෙවල් කිහිපයකි. අඩුම තරමින් ඒ එක් ගෙයක් කුලියට ගන්නට රුපියල් ලක්ෂයක වත් අත්තිකාරමක් ගෙවිය යුතු විය. ෆස්ලිම් ඔහුට බල කරන්නට වූයේ ඒ මුදල කෙසේ හෝ සොයා ගෙන එම නිවෙසේ පදිංචියට යමු යැයි කියාය.

කොලොන්නාවේ සාලමුල්ලේ නිවසින් පසුගිය 30 වෙනිදා ඉන්ෂාෆ්ඩීන් එළියට බසින්නේ ඇගේ කන්දොස්කිරියාව නිසාමය. ඒ දන්නා හඳුනන ව්‍යාපාරිකයකු මුණගැසී රුපියල් ලක්ෂයක් ඉල්ලා ගන්නට ය. එම ව්‍යාපාරිකයා පදිංචිව සිටියේ කළුබෝවිල පැත්තේය. ඔහු සමඟ ඉන්ෂාෆ්ඩීන්ට තිබුණේ හිතවත්කමකට වඩා එහා ගිය සම්බන්ධයකි. එය සම්මතයට එහා ගිය ඇසුරක් යැයි සඳහන් කළහොත් වරදක් නොමැති තරම්ය.

විවාහයෙන් පසු ඉන්ෂාෆ්ඩීන් ඒ අසම්මත ඇසුරට නැවතීමේ තිත තැබුව ද රැකියාව අහිමි කරගෙන අතමිට හිඟ වන විට නොදැනුවත්වම නැවතත් ඔහු ඒ දෙසට ඇදී ගියේය. ඒ ඔහු පිරිමි ගණිකාවකගේ තත්ත්වයට ඇද වැටෙමිනි. ඒ සඳහා ඔහුට මඟ කියා දෙන්නට වූයේ සමාජ මාධ්‍ය ජාල යෙදවුමකි. මේ කියන ව්‍යාපාරිකයා ද සිටියේ ඒ ගොන්නේය.

වැල්ලම්පිටිය කෝටිපතිය⁣ාගේ  අවසන් කටයුතු සිසුවූ අයුරු

ඉන්ෂාෆ්ඩීන් මෙම ව්‍යාපාරිකයා මුණගැසීමට කළුබෝවිලට ගියේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවය. එය සුනුවිසුණු වන්නේ ඔහු එතැනට යන්නට සුළු මොහොතකට පෙර ව්‍යාපාරිකයා සිය මෝටර් රථයේ නැඟී නිවෙසින් පිටව ගොස් සිටි බැවිනි. මෙහිදී ඉන්ෂාෆ්ඩීන්ගේ මතකයට එකවරම නැඟෙන්නේ ඔහු සමඟ මාසයක දෙකක සිට සමාජ මාධ්‍ය යෙදවුම ඔස්සේ සංවාදයේ නිරතව සිටි තවත් ව්‍යාපාරිකයකුවය. ඒ වෙන කිසිවකුත් නොව රොෂාන්ය.

සමාජ මාධ්‍ය යෙදවුම හරහා කෙරෙන අල්ලාප සල්ලාපවලදී රොෂාන්ගේ හිත වඩාත් ආකර්ෂණය කර ගැනීමට සමත්කම් දක්වන ඉන්ෂාෆ්ඩීන් ඒ වන විට කිසිදු අවස්ථාවකදී රොෂාන්ව මුණගැසී තිබුණේ නැත. ඉන්ෂාෆ්ඩීන්ව මුණගැසීමට රොෂාන්ට උවමනාවක් තිබුණත්, ඒ හැම අවස්ථාවකදීම ඉන්ෂාෆ්ඩීන් ඔහුව මඟ හැර තිබුණේය. ඒ ඉන්ෂාෆ්ඩීන්ට ඔහුව මුණගැසීමට එතරම් උනන්දුවක් නොවූ බැවිනි.

රොෂාන්ගේ හිත කියවා තිබුණු බැවින් ඉන්ෂාෆ්ඩීන් එදා කළුබෝවිල සිට සමාජ මාධ්‍ය යෙදවුම ඔස්සේ රොෂාන්ට ඇමතුමක් ගත්තේය. ඒ රොෂාන්ට ආරාධනයක් කරමිනි. එම ආරාධනාව රොෂාන් පිළිගත්තේ සවස 5.30ත් 6.00ත් අතර බත්තරමුල්ලේ ව්‍යායාම් තීරුවේදී මුණගැසෙමු යැයි කියාය.

ඉන්ෂාෆ්ඩීන් සවස ඒ මුණගැසීම වෙනුවෙන් සූදානම් වන්නේ කළුබෝවිල පිහිටි ඔසුසලකට ගොස් උපත් පාලන කොපු තුනක් අඩංගු පැකට්ටුවක් මිලදී ගනිමිනි. එය කලිසම් සාක්කුවේ දමා ගත් ඉන්ෂාෆ්ඩීන් බස් රථයකට ගොඩවී ගමන් ගන්නේ කොහුවල පැත්තටය. එතැනින් ඔහු තවත් බස් රථ කිහිපයකට ගොඩවෙමින් කාලය මඟට මිඩංගු කරමින් නියමිත වේලාවට රොෂාන්ව මුණ ගැසුණේය. එදා සවස 5.30ට වැල්ලම්පිටියේ නිවෙසින් එන රොෂාන් බත්තරමුල්ලෙන් ඉන්ෂාෆ්ඩීන්ව සිය මෝටර් රථයේ නංවා ගෙන පැලවත්තේ ඇති නිවෙසට යන්නේ සවස 6.30ට පමණය. ඉන්ෂාෆ්ඩීන් සිය මුදල් අවශ්‍යතාව ගැන රොෂාන්ට කියන්නේ දෙදෙනා සතුටු සාමීචියේ ඉන්නා අතරේය.

“ මේ දවස්වල සල්ලි එච්චර නැහැ. පර්ස් එකේ පොඩි ගාණක් ඇති මම ඕනෙ නම් ඒක දෙන්නම්“ රොෂාන් ඔහුට එහිදී කීවේය.

ඒ වන විට රොෂාන් සිටින්නේ නාන තටාකයේ බැස නිදහස භුක්ති විඳිමිනි. ඔහු සිය සහෝදරියට ඇමතුමක් ගන්නේ ද ඔය අතරතුරදීය. ඒ ඇය විසින් ඊට පෙර ලබාගත් ඇමතුමකට ප්‍රතිචාර දක්වමිනි. එම ඇමතුම ලබාගැනීමට රොෂාන් සිය දුරකතනයේ අගුල් විවෘත කර ගන්නේ ඉන්ෂාෆ්ඩීන්ට කියාය. එම ඇමතුමෙන් පසු දියෙන් ගොඩ ආ රොෂාන් නැවතත් ඉන්ෂාෆ්ඩීන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන්නට ගත්තේය. ඒ වන විට ඉන්ෂාෆ්ඩීන්ගේ ඔළුවේ වැඩ කරමින් තිබුණේ රුපියල් ලක්ෂයක් නොමැතිව තමා බිරිය හමුවට යන්නේ කෙසේදැයි කියාය. ඒ නිසාම ඔහු රොෂාන්ගේ අත අඹරා පැත්තකට තල්ලු කරනුයේ ඔහු කෙරෙහි ඇතිවූ තරහක් ද පිරිමහමිනි. එවිට රොෂාන් එය එතරම් තැකීමකට ලක් නොකර නැවත වරක් ඉන්ෂාෆ්ඩීන් සමීපයට එන විට නාන තටාකය අසල තිබුණු පොල්ලක් අතට ගෙන පහරවල් කිහිපයක් රොෂාන්ගේ හිස මතට එල්ල කරනුයේ තරහෙන් පුපුරමිනි. එය එතැනින් හමාර වන්නේ නැත. හිසට එල්ල වුණු මාරාන්තික පොලු පහර හමුවේ වේදනාවෙන් දඟලමින් සිටි රොෂාන්ව ඇදගෙන විත් ඔහු දමන්නේ නාන තටාකයටය. අනතුරුව ඔහු එතැනින් පලා යන්නේ රොෂාන්ගේ ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය ද රැගෙන ඔහුට අයත් මෝටර් රථයේ නැඟීය.

මේ කතාව මෙසේ පෙළ ගැසෙන්නේ ඉන්ෂාෆ්ඩීන් කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ කළ ප්‍රකාශ මුල් කරගෙනය. මෙතැන් සිට ඔහු කර ඇති ප්‍රකාශ කොතරම් විශ්වාස කළ හැකිදැයි ඇත්තේ ගැටලුවකි.

ඔහු පවසන්නේ පැලවත්තේ සිට මෝටර් රථය පදවාගෙන කෙළින්ම ආවේ කොලොන්නාවේ නිවෙසට බවය. ඒ පැමිණි ඔහු ෆස්ලිම්ව මුණගැසී පැවසුවේ යැයි කියන්නේ මිතුරෙකුගේ වැඩ වගයකට පිටතට යන බවකි. ඉන්ෂාෆ්ඩීන් කියන්නේ එවිට යන තැනක තමාවත් රැගෙන යන්නැයි කියා ෆස්ලිම් පස්සෙන් ඇවිත් මෝටර් රථයට ගොඩ වූ බවය. යන්නේ කොහේද? කුමක් කරන්නේ දැයි අවබෝධයක් නොමැතිව ඒ වන විට තමා සිටි බව ද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පවසා තිබුණි. කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ඉන්ෂාෆ්ඩීන් කියා ඇති ආකාරයට අනුව ඉන්දුනීසියාවට පැන ගැනීමේ අදහස ඔහුට මතුවී ඇත්තේ සිය බිරිය සමඟ මෝටර් රථයේ නැඟී ගමන් කරමින් සිටියදීය. පුදුමයට සුළු කාරණාවක් වන්නේ ඒ වන විට ඉන්ෂාෆ්ඩීන්ගේ පමණක් නොව, බිරියගේ විදෙස් ගමන් බලපත්‍ර පවා ඔවුන් දෙදෙනා සතුව තිබීමය. ඒ ගැන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ ඇය පවසා ඇත්තේ විදෙස් ගලමන් බලපත්‍රය ඇගේ අත්බෑගයේ තිබුණු බවය. ඇයට ජාතික හැඳුනුම්පතක් නොමැති බැවින් අනන්‍යතාව හඳුනා ගැනීමට භාවිත කර ඇතැයි කියන්නේ විදෙස් ගමන් බලපත්‍රයයි.

එම බලපත්‍රය පරීක්ෂා කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට පෙනී ගොස් ඇත්තේ එහි ඇගේ මුහුණ සහිත ඡායාරූපය තිබුණට ෆස්ලිම් වෙනුවට එහි සටහන්ව ඇත්තේ වෙනත් තැනැත්තියකගේ නම් ගම් සහ උපන් දිනයක් බවය. ඒ ගැන කළ සොයා බැලීමකදී පෙනී යන්නේ ඇයට උප්පැන්නයක්වත් නොමැති බැවින් වෙනත් තැනැත්තියකගේ විස්තර මඟින් එම විදෙස් ගමන් බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කරගෙන ඇති බවය. ඊට අනුව ඇගේ වයස සඳහන් වන්නේ අවුරුදු 03ක් වැඩියෙනි. ජාතික හැඳුනුම්පතක් නොමැති කම නිසා ඇය විදෙස් ගමන් බලපත්‍රය යන එන තැන රැගෙන යන බව විශ්වාස කළත් ඉන්ෂාෆ්ඩීන් විදෙස් ගමන් බලපත්‍රය යන එන තැන්වල රැගෙන යන බවක් විමර්ශනවලින් කිසි විටකත් අනාවරණය වන්නේ නැත. එහෙත් ඔහු සතුව ඒ මොහොතේ විදෙස් ගමන් බලපත්‍රය තිබුණේය.

කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ඉන්ෂාෆ්ඩීන් පවසා ඇති ආකාරයට අනුව ඉන්දුනීසියාවේ බාලි බලා යෑමට ඔහු ෆස්ලිම්ටත් එක්ක ගුවන් ටිකට්පත් දෙකක් වෙන්කර ඇත්තේ මෝටර් රථයේ නැඟී දෙදෙනා ගමන් කරමින් සිටියදීය. රොෂාන්ගේ ජංගම දුරකතනයේ රහස් අංකය මතකයේ තිබුණු බැවින් එම අංකය යොදා ජංගම දුරකතනයේ අගුල් ඉවත් කර ගුවන් ටිකට්පත් වෙන් කරගනු ලැබුවේ අන්තර් ජාල බැංකු ගනුදෙනුවක් ලෙසින් බවය.

ඔහු කියන්නේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් රොෂාන්ගේ ජංගම දුරකතනයේ තිබුණු බවය. ඒ අනුව පැහැදිලි වන්නේ රොෂාන්ගේ ජංගම දුරකනය ගැන බොහෝ දේවල් ඒ වන විටත් ඉන්ෂාෆ්ඩීන් හොඳින්ම දැන සිට ඇති බවය. ලක්ෂ අටක පමණ මුදලක් වැය කර පළමු පන්තියෙන් ගුවන් ටිකට්පත් වෙන් කර ගත්තා පමණක් නොව, තවත් බොහොමයක් ගනුදෙනු ඒ ඔස්සේ සිදු කළේ රොෂාන්ගේ මුදල් පසුමිබියේ තිබුණු ක්‍රෙඩිට් කාඩ්පත් ද යොදාගෙනය. කටුනායක අධිවේගී මාර්ගයේදී ඔවුන් ගමන් කරමින් සිටි රොෂාන්ගේ මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වන්නේත් එය මීගමුවට රැගෙන ගොස් ගරාජයක් අසල දමා එන්නේත් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුළු වන්නේත් ඉන් අනතුරුවය. දෙදෙනා මුලින්ම යන්නේ එහි ඇති සුපිරි සාප්පු සංකීර්ණයකටය. එහි ගොස් කිරි පැකට් දෙකක් සහ යෝගට් දෙකක් මිලදී ගන්නේ පිපාසය සංසිඳුවා ගන්නටය. එහිදී එම ගනුදෙනුව පියවන්නේ ද රොෂාන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතිනි. එවිට වේලාව සටහන් වන්නේ 31 වෙනිදා අලුයම 3.48 ලෙසිනි.

මේ දෙදෙනා ආගමන විගමන නිලධාරින්ගේ පරීක්ෂාව සඳහා යොමු වන්නේ ඊට පැයක් හමාරකට පසුවය. සිය විදෙස් ගමන් බලපත්‍ර මෙන්ම ගුවන් ටිකට්පත් වෙන් කිරීමට අදාළ තොරතුරු ආගමන විගමන බලධාරින්ට ලබාදුන්නද ඒ අය ඔවුන්ගේ ගුවන් ගමන වළකන්නේ ඉන්දුනීසියාවට යෑමට අවශ්‍ය වීසා බලපත්‍ර ඔවුන් සතුව ඒ වන විට නොවූ බැවිනි. 2018 වසරේදී ඉන්ෂෆ්ඩීන් සිය සඟයකු සමඟ ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ඔවුන් වීසා ලබා ගෙන ඇත්තේ ඉන්දුනීසියාවේ ගුවන්තොටුපොළේදීය. ඉන්ෂාෆ්ඩීන් ඉන්දුනීසියාට යන්නට ගුවන් ටිකට්පත් වෙන්කරගෙන ඇත්තේ ඉන්දුනීසියාවේ අලුත් ආගමන විගමන නීතිවලට අනුව මේ වන විට එම පහසුකම අත්හිටුවා ඇති බව නොදැනය. ඒ අනුව මෙම යුවළට සිදුවී ඇත්තේ ගුවන්තොටුපොළින්ම ආපසු හැරෙන්නටය. ඉන්ෂාෆ්ඩීන් ඒ එන්නේ ද යම් සැලසුමක් ඇතිවය. ඔහු සැලසුම් කරන්නේ ගුවන්තොටුපොලින් පිටතට පැමිණ වෙනත් රටකට පැන ගන්නට විදිහක් කල්පනා කරන්නටය. ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට එන මේ යුවළ ත්‍රීරෝද රථයක නැඟී කටුනායක 18 කණුවේ පිහිටි හෝටලයකට එන්නේ විවේකීව මඳ වේලාවක් ගතකර දෙවැනි මෙහෙයුම දියත් කරන්නටය.

ඒ අනුව එම හෝටලයට ඔවුන් දෙදෙනා අතුළු වන්නේ උදෑසන 6.10ට පමණය. රුපියල් 9000ක් ගෙවා කාමරයක් වෙන් කරවා ගන්නා ඉන්ෂාෆ්ඩීන් එහි විවේක ගනිමින් උත්සාහ දරන්නේ ඩුබායි හෝ වෙනත් රටකට යන්නට ගුවන් ටිකට්පත් වෙන්කර ගන්නටය. එය අසාර්ථක වන්නේ ඒ වන විට රොෂාන්ගේ බැංකු ගිණුම් මෙන්ම ක්‍රඩිට් කාඩ්පත් සියල්ලක්ම අක්‍රිය කර තිබීම හේතුවෙනි. 30 වෙනිදා සවස සිට රොෂාන් ආගිය අතක් සොයා ගැනීමට නොහැකිව සොයමින් සිටි ඔහුගේ සහෝදරියන් විසින් මේ දේ කරනුයේ කිසිදු තොරතුරක් නොමැති සිය සහෝදරයාගේ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් ලක්ෂ ගණන් මුදල් ඒ වන විටත් හුවමාරු වෙමින් ඇති බව පෙනී යන්නට වූ බැවිනි.

මේ නිසා ඉන්ෂාෆ්ට සිදු වන්නේ රටින් පලායාම අතහැර දමා වෙනත් ආකාරයකට සැඟව සිටින්නටය. දහවල් 12.00 දක්වා හෝටල් කාමරයේ රැඳී සිටි මොවුන් දෙදෙනා ඉන් එළියට බැස ගොඩවන්නේ කටුනායක සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකටය. අලුත් පාලමෙන් බස් රථයෙන් බැස ගන්නා ඔවුන් එතැන් සිට කෙළින්ම යන්නේ කොලොන්නාවේ පුංචි අම්මාගේ ගෙදරටය. ඒ ගොස් ඔහු ෆස්ලිම් අත රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් තැබුවේ යැයි කියන්නේ කුලී නිවෙස වෙනුවෙනි. එම නිවෙස පිහිටා තිබී ඇත්තේ කොලොන්නාව මානික්කමුල්ලේය. එදිනම මේ යුවළ එහි පදිංචියට ගියේ යැයි කියනුයේ රුපියල් එක්ලක්ෂ තිස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දෙමිනි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඉන්ෂාෆ්ඩීන් පවසා ඇත්තේ මෙම සිදුවීමෙන් පසු තමා දැඩිව බියට පත්ව හිතට එන හැමදෙයක්ම කළ බවය. වරක් කොළඹින් දුම්රියට ගොඩවී මහනුවර දක්වාම ගිය බව ද ඔහු කියයි. තවත් වරෙක ගාල්ලට ගිය බවත් කියයි. ඒ 31 වෙනිදා අලුත් ගෙට ගොඩවූවායින් පසු 02දා දක්වාය. 03 වෙනිදා උදේම ඔහු සිය බිරිය සමඟ යන්නේ ත්‍රිකුණාමලයටය. එහි ගොස් හෝටල් කාමරයක ගත කරන ඔවුන් 04 වෙනිදා සවස කොළඹ එන්නට සූදානම් වන්නේ රාත්‍රී කාලයේදීය. ඉන්ෂාෆ්ඩීන් පවසන්නේ එදින බස් රථය මඟ හැරුණු බැවින් රැය පහන් කළේ බස් නැවතුම්පොළේ බවය. මේ අතර තුර ඔහු මුහුණ පුරා වවා තිබුණු රැවුල පවා ඉවත්කර අලුත් පෙනුමක් ගත්තේය. ඒ පොලිසියට හසුවෙතැයි බියට පත්වය.

මෙහිදී ඉන්ෂාෆ්ඩීන් කියන ඊළඟ අපූරු කතාව නම් රොෂාන්ගේ ඝාතනය ගැන බිරිය දැන ගන්නේ ත්‍රිකුණාමලයේදී බවය. ඇය ඒ වන විටත් ඒ ගැන කිසිවක් නොදැන සිටිබ බවද ඔහු කියන්නේය.

ඇය මේ ගැන සිය පුංචි අම්මාට පැවසූ බව ද ඇය කියන්නීය. ත්‍රිකුණාමලයේ සිට 05 වෙනිදා කොළඹ බලා එන අතරතුර දෙදෙනා කඩවතින් බස් රථයෙන් බැස ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පුවක් ළඟ රැඳී සිටියේ යැයි කියන්නේ පුංචි අම්මාගේ උපදෙස් මතය. කඳාන පොලිසියේ නිලධාරීන් පිරිසක් එහි පැමිණ ඉන්ෂාෆ්ඩීන්ව අත්අඩංගුවට ගන්නේ පුංචි අම්මාගෙන් ලද ඔත්තුවකට අනුවය. මෙහිදී කඳාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ ඉන්ෂාෆ්ඩීන් පමණි. ෆස්ලිම්ව අත්අඩංගුවට ගන්නේ කඳාන පොලිස් භාරයේ සිට ඉන්ෂාෆ්ඩීන්ව සිය භාරයට ගත් කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය. ඒ තවදුරටත් රොෂන්ගේ ඝාතනය අභිරහසක් නොවන තැනට පත්කරමිනි.

 

Comments