කොළඹ යුගය පරයා ඉතිහාසයේ නැඟෙන ගුණානන්ද යුග නාමය | සිළුමිණ

කොළඹ යුගය පරයා ඉතිහාසයේ නැඟෙන ගුණානන්ද යුග නාමය

- ගිහි කාලේ ඔබ්සර්වර් පත්‍රයේ පුවත්පත් කලාවේදියෙක්
- ඕල්කට්තුමා ලංකාවට ආවෙත් ගුණානන්ද හිමියන් නිසා
- චීනුන්ටත් ගැසු මල්ලව පොර ශූරයෙක්

ඒ, එක්දහස් අටසිය ගණන්වල පිටකොටුව බෝගහ අසල දසුනකි. එදින දහවල එහි විශාල පිරිසක් රැස්වී සිටි බව පෙනෙන්නට තිබුණි. පිරිස වටකරගෙන සිටියේ හැඩි දැඩි චීන ජාතිකයෙකි. ඔහු භාෂා කිහිපයකින්ම තමා වටකර ගෙන සිටි ජනතාවට තමන් සමඟ මල්ලව පොර සටනකට අභියෝග කළේය. බලපිටියේ සිට කොළඹ පැමිණ සිටි තරුණයකු චීනාගේ අභියෝගය බාර ගත්තේය. වටේ සිටි සිංහල තරුණ පිරිස් උද්දාමයට පත්වී ඔල්වර හඬ දුන්හ. මල්ලව පොර තරගය ආරම්භ විය. නිමේෂයකින් චීන ජාතික තරුණයා අල්ලා පොළොවේ ගැසීමෙන් පසු තරගය නිමාවට පත් වූයේ පිරිස තුෂ්නීම්භූතව බලා සිටියදීය. බලපිටියේ සිට පැමිණ සිටි එම තරුණයාගේ නම මිගෙල් මැන්දිස් ය. පසු කලෙක මොහොට්ටි වත්තේ ගුණානන්ද ලෙස චිරප්‍රසිද්ධියට පත් වූයේ මේ තරුණයාය.

1823 පෙබරවාරි මස 09 වැනිදා දකුණු සිරිලක බලපිටියේ මොහොට්ටිවත්ත නොහොත් මිගෙට්ටුවත්තේ සුන්දර ගම්මානයේදී මෙලොව එළිය දුටු පින්වත් දරුවාට ගිංගම ලද්දු මිගෙල් මැන්දිස් නාමය තබන ලදි. පියාණන් වූයේ ගිංගම ලද්දු මිගෙල් මැන්දිස් ය. කලුදුර මල්ලෝ ද සිල්වා මෑණියන් වූවාය. මේ දරුවා මූලික ඉගෙනුම ලබන්නට පිවිසියේ බලපිටියේ සුභද්‍රාරාම පැරණි විහාරයෙහි වැඩ විසූ බලපිටියේ ගුණරතන හිමිපාණන් වෙතිනි. 

මාපියන්ගේ ද ඉල්ලීම පරිදි වයස අවුරුදු දොළහේදී මොහොට්ටිවත්තේ ගුණානන්ද නමින් මේ දරුවා පැවිදි දිවියට පිවිසුණි. බලපිටියේ සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩ විසූ බලපිටියේ ගුණරතන හිමි යටතේ මොහොට්ටිවත්තේ ගුණ­ානන්ද හිමි නමින් පැවිදි වී වසර තුනක් ගතවද්දී ගුරු හිමියෝ අපවත් වූ අතර පියා ද මිය ගිය බැවින්, මව රැක බලා ගැනීම උදෙසා උපැවිදි විය.

උපැවිදි වීමෙන් පසුව ඒබ්‍රහම් අල්විස් අභයසිරිවර්ධන මුදලිවරයා ඔහු ගැන පැහැදී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා තමා දන්නා හඳුනන කොළඹ කතෝලික පූජකවරයකු වෙත යොමු කළේය. ඒ අනුව වර්තමානයේ වෙස්ලි විදුහල ලෙස හඳුන්වන, ‍මෙතෝදිස්ත සභා පාසලේ ඉ‍ෙගනීමේ අවස්ථාව මිගෙල් තරුණයාට හිමි විය. කෙටි කලකින් හෙතෙම ඉංග්‍රීසි, ලතින් ආදී භාෂා මෙන්ම බයිබල් අධ්‍යාපනය ද ප්‍රගුණ කළ උගතකු බවට පත් විය.

සර් රොබට් විල්මට් හෝර්ටන් මෙරට සවැනි ලංකේශ්වරයාණන් ලෙස 1832 ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත ලෙස සැලකෙන 'ද කලම්බු ජර්නල්' පත්‍රය ඇරඹුවේය. ඊට අවුරුදු 2කට පසු 'ද ඔබ්සර්වර් ඇන්ඩ් කොමර්ෂල් ඇඩ්වටයිසර්' 1834 පෙබරවාරි 4 වෙනි දින ඇරඹුණි. ජී. ඇක්ලන්ඩ් සහ ඊ.ජේ. චාර්ලි යන කොළඹ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දැඩි උත්සාහය නිසා බිහි වූ මෙම පුවත්පතේ කතුවරයා වූයේ ජෝර්ජ් වික්ටර් ය. 1835 ජූලි 24 වැනිදා දොස්තර ක්‍රිස්ටෝපර් එලියට් ඔබ්සර්වර් කර්තෘ ධුරයට පත් වීමෙන් පසු පත්‍රයේ නම ඔහු සිලෝන් ඔබ්සර්වර් ලෙස වෙනස් කළේය. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් මුල්වර උපැවිදි වී මිගෙල් මැන්දිස් නමින් එදා ඔබ්සවරයට බඳවා ගත්තේ ක්‍රිස්ටෝපර එලියට් විසිනි. ක්‍රිස්ටෝපර් හොබවන ලද දේශීය මතවාදය මුවහත් කරන ලද්දේ මිගෙල් මැන්දිස් නොහොත් මොහොට්ටිවත්තේ හිමියන් විසිනි. මැන්දිස්ගේ ඉංග්‍රීසි භාෂා භාවිතය ගැන ඔබ්සර්වර් කර්තෘ එලියට් බෙහෙවින් පැහැදී සිටියේය. එලියට් - මැන්දිස් දෙදෙනාගේ තියුණු පන්හිඳෙන් මෙරට වැවිලිකරුවන්ගේ හා ස්වදේශිකයන්ගේ විමුක්තිය පතා යටත් විජිත ලේකම්ගේ සිට පහත්ම සිවිල් සේවකයා දක්වා වූ අසාධාරණකම් හා අමානුෂික ක්‍රියා හෙළා දකිමින් යුක්තිය හා සාධාරණත්වය පතා සටන් වදින්නට වූයේය. ඉන් පිබිදුණු ජනතා සටන අවසන් වූයේ 1848 පැවැති ඓතිහාසික මාතලේ විමුක්ති සටනෙහි ඔබ්සර්වර් කර්තෘ එලියට් හා ගුණානන්ද හිමියන් මැන්දිස් ලෙසත් පෑනෙන් කළ මහා වික්‍රමය අවම ලෙස ඉතිහාසගත වී ඇත්තේ වත්මන් ඔබ්සර්වර් පත්‍ර නාමයත් සමඟ බොහෝ දෙනා ඉපැරණි ඔබ්සවරය පටලවා ගෙන ඇති නිසාය. 'සිලෝන් ඔබ්සර්වර්' පත්‍රය පසුව ඒ.ඇම්. හා ජෝන් පර්ගි යුසන් යන කෘතහස්ත ලේඛකයන්ගේ කතුකමින් ද පළ වූ අතර, ඩී.ආර්. විජයවර්ධනයන් එය මිලදී ගෙන ඇත්තේ මීට සියවසකට පෙර 1923 දීය.

ද ඔබ්සර්වර් පත්‍රයේ වැඩ කරන සන්ධියේදී දොඩන්දූව ගලඋඩ විහාරස්ථානයේ ත්‍රිපිටකය ලිවීමේ මහා පින්කමක් විය. එහි දායකත්ව බාර ගත් බොහෝ දෙනා පළාතේ ප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේලා වැඩමවා ධර්මදේශනා පැවැත්වූහ. එක් දායකත්වයක් බාර ගත් මිගෙල් මැන්දිස් තරුණයා, ධර්ම දේශනා දිනය ළඟා වෙන තෙක් කිසිම ධර්මදේශකයාණන් වහන්සේ නමකට ආරාධනා කර නොතිබීම අනික් දායකයන්ගේ කනස්සල්ලට ද හේතුවී තිබිණි. අන්තිම මොහොතේ අටපිරිකරක් හිස උඩ තබාගෙන එහි විහාරාධිපති තෙලිකඩ සෝනුත්තර හිමියන්ට අටපිරිකර පූජා කොට කියා ඇත්තේ රටත් විනාශයට යනවා, මට මහණකමත් බණ කියන්නත් පුළුවන්. රට අපල උපද්‍රවවලින් බේරා ගැනීම සඳහා මා අදම මහණ කරන ලෙසය. ඉල්ලීම එවලේම ඉටු කිරීමට සෝනුත්තර හිමියෝ පියවර ගත් සේක. එවෙලේම මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ “මහා මංගල සූත්‍රය” මාතෘකා කර ධර්මදේශනය පවත්වන ලදි.

ගුණානන්ද හිමියෝ 1844දී බලපිටිය උදකුක්ඛේප සීමා මාලකයේදී අධි සම්පන්න උපසපන් සීලයට පත්වූහ. උපසම්පදාවෙන් පසු ගිහි සමයේ මාමා කෙනකු වූ, සීනිගම ධීරක්ඛන්ධ හිමි වෙත සාමියෙල් තාබෲ නම් මුදලිවරයකු කොටහේනේ පූජා කළ ඉඩමක විහාරස්ථානයක් තනාගෙන වැඩ හුන් අතර, උන්වහන්සේ ද එහිම වැඩ හුන්හ. කොටහේනේ දීපදුත්තාරාමය ලෙස අද හැඳින්වෙන්නේ මේ විහාරස්ථානයයි. මෙය කොලොම්පුරේ ආරම්භ කළ ප්‍රථම විහාරස්ථානය ලෙස සැලකේ.

ටොරින්ටන් නම් පාලකයාගේ කාලය කොළඹ නගර සීමාව තුළ ජීවත් වීම පවා අසීරු අපහසු වූ, පිඬු සිඟා වැඩීම පවා ඉතාම අපහසු වූ අවිනිශ්චිත සමයකි. 1849 වර්ෂයේදී පැනවූ එක් නියෝගයකට අනුව කොළඹ නගරයේ වූ සියලු බෝ ගස් කපා ඉවත් කිරීම කළ යුතු විය. බෝ ගස් කැපීමේ ව්‍යාපාරයට එරෙහිව, කොළඹ හිල් වීදියේ පීටර් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමාගේ වලව්වට පිරිස් රැස් කර බෝධිරාජ සමිතිය ආරම්භ කිරීමට ගුණානන්ද හිමියන් පුරෝගාමිව කටයුතු කළ සේක. මෙකී නියෝගය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්නට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ කොළඹ බෝධිරාජ සමිතියෙන් ඉඩ නොලැබිණි. බොදු ජනතාව තිබූ බෝ ගස් කැපීමට ඉඩ නොදීමත් කැපූ ගස් වෙනුවට තවත් බෝ ගස් සිටුවීමත් උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිහිටු වූ සමිතියෙන් සිදු කෙරිණි.

පාණදුරා වාදයට මුල් වූයේ 1873 ජුනි මස 12 වන දින රන්කොත් විහාරයට නුදුරු වෙස්ලියන් පල්ලියේ දාවිත් ද සිල්වා දේවගැතිතුමා බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට විරුද්ධව සිදු කළ දේශනාවයි. මෙම දේශනාවට විරුද්ධව මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසින් 1873 ජූලි මස 19 වන දින පාණදුර ගල්කන්දේ විහාරය නොහොත් රන්කොත් විහාරයේ සිට දේශනයක් පවත්වමින් පිළිතුරු ලබා දුන්හ. මෙම වාද දේශනා පන්සල සහ පල්ලියේ දිගටම සිදු වූ අතර බෞද්ධාගම සම්බන්ධ වෙනත් වැරැදි අදහස් ඇතුළත් දේශන නිසා අවසානයේදී මහත් අර්බුදකාරි වාතාවරණයක් ඇතිවිය. පසුව එය සමාජ කතිකාවතක් බවට පත් විය. මෙම අර්බුදකාරි වාතාවරණයට පිළියමක් ලෙස මෙම මහා වාදය කරවීමේ ආදි කර්තෘවරයාණන් වන්නේ රන්කොත් විහාරාධිපති පූජ්‍ය ගුණරත්න තිස්ස හිමිපාණන් වහන්සේය. පී. ජෙරමියෙස් දියෙස් සහ කුරුකුලසූරිය කොරනෝලිස් පෙරේරා අප්පුහාමි යන ප්‍රධාන දායක මහතුන් දෙපළ සමඟ සාකච්ඡා කර මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි වැඩම කර දේශනා කිහිපයක් පැවැත් වීමෙන් අනතුරුව ඔවුනොවුන් මුණගැසී වාදයක් කළ යුතු යැයි තීරණයකට එළඹිණි. ඒ අනුව, 1873 අගෝස්තු මස 26, 28 දෙදින ජෙරමියෙස් දියෙස්ට අයත් දොඹගහවත්ත ඉඩමේ මෙම වාදය පැවැත් වීමට දින නියම කර ගන්නා ලදි. වාදයට ප්‍රථමයෙන් අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීම සඳහා රන්කොත් විහාරයේ සංඝාවාසයේ උඩු මහලේ දින කිහිපයක් ත්‍රිපිටක ග්‍රන්ථ මෙන්ම බයිබලය ද විමර්ශනට ලක් කරන ලදි. ඒ සඳහා ගුණානන්ද හිමි සමඟ එවකට වැඩ සිටි ශ්‍රේෂ්ඨ පඬිවරුන් වන හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමි, වැලිගම ශ්‍රී සුමංගල මහා නාහිමි, බුලත්ගම ධම්මාලංකාර නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමි, රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ ශ්‍රී දේවරක්ෂිත බටුවන්තුඩාවේ පඬිතුමන් ද සහභාගි වී ඇත.

මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ සිදු කළ ශ්‍රේෂ්ඨ වාදය, එම අවස්ථාවේදීම සිලෝන් ටයිම්ස් පත්‍රයේ කර්තෘ වූ ජෝන් කැපර් මහතාගේ ඉල්ලීම අනුව නීතිඥයකු වූ කෝට්ටේ ඇඩ්වඩ් ප්‍රේරා මහතා විසින් ඉංග්‍රීසියට නගන ලද ජේ.එම්. පීබල්ස් මහතා ඇ‍ෙමරිකාවේදී මෙය බුදු දහම සහ කිතුනු දහම මුහුණ සටන The great debate: Buddhism and Christianity, face to face නමැති පොතක් ලියා එළි දැක්වීය. මෙම පොත හෙන්රි ස්ටිල් ඕල්කට් අතට පත් වූයෙන් එය කියවා බලා ප්‍රීතියට පත්වූ එතුමා වාදයට සම්බන්ධ සියලු දෙනා ද වාද භූමිය ද දැක බලා ගැනීම සඳහා බ්ලැවැට්ස්කි මැතිනිය ද සමඟින් හින්දු පර්සියන් ජාතිකයන් පිරිසක් සමඟ 1880 මැයි මස 16 වන දින ගාලු වරායෙන් දිවයිනට පැමිණියහ.

මහාවාදය වූ පාණදුරාවාදයට ප්‍රථම බද්දේගම වාදය (1865 පෙබරවාරි 8), උදම්විට වාදය (1866 පෙබරවාරි 1), උරුගොඩවත්ත වාදය (1869 සැප්තැම්බර් 3), ගම්පොළ වාදය (1871 ජුනි 7) මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සුප්‍රසිද්ධ පාණදුරාවාදය ක්‍රිස්තියානු පක්ෂය වෙනුවෙන් දාවිත් සිල්වා දේවගැතිතුමන් විසින් ආරම්භ කරන ලදි. එහිදී දෙපක්ෂයෙන්ම කතා හතර බැගින් පැවැත්විණි. එයින් තුනක් දාවිත් සිල්වා දේවගැතිතුමන් විසින් පවත්වන ලද අතර සිරිමාන්න සිවුවැනි කතාව පැවැත්විය. ඒ කතා හතරටම පිළිතුරු කතා සතර පැවැත් වූයේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසිනි. බෞද්ධ පාර්ශ්වයට ජයග්‍රහණය අත්වෙමින් වාදය නිමාවට පත් වූ බව ඉතිහාසගත වී තිබේ.

මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ වාද ජයග්‍රහණයෙන් පසුව බටහිර ක්‍රිස්තියානිය යටපත් වූ විට මෙරට මතුවිය යුතුව තිබුණේ 'සිංහල බෞද්ධ' පාසල්ය. බෞද්ධ පාසල් බිහිවීම නිසා සිංහලකමෙන් වියුක්ත වූ බෞද්ධ පිරිසක් බිහි වූහ. ඔවුන්ට සිංහලකම ගැන කතා කිරීම හුරු නැත. ඔවුහු බෞද්ධයෝ වෙති. අප ඔවුන් හඳුන්වන්නේ 'ඕල්කට් බෞද්ධයන්' ලෙසයි. බෞද්ධකම ලොව පුරාම තිබිය හැකිය. එහෙත් සිංහල බෞද්ධකම පැවතුනේ වර්ධනය වූයේ මෙරට තුළය. එය තිබිය යුත්තේ මේ රට තුළයි.

පසුකලෙක බෞද්ධ පාසල් අරමුදලේ වංචාවන් ගුණානන්ද හිමියන් පෙන්වා දුන් විට ඕල්කට්තුමා එය පිළිගත්තේ නැත. එය ඔප්පු කර පෙන්වීමට තමන් හමුවට පැමිණෙන ලෙස කළ එල්ලීම පිළිගෙන එදා රාත්‍රියේම ඕල්කට්තුමා ඉන්දියාවට පැන ගියේය. ඕල්කට්ගේ වැරැදි වටහාගත් එකම තැනැත්තා ගුණානන්ද හිමියන්ය.

මේ අතරතුරදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ සිංහල බෞද්ධයන් වෙනුවෙන් කොළඹ නගරයේ ප්‍රථම මුද්‍රණාලය ආරම්භ කරන ලදි. මෙය සිදු වන්නේ 1862 වර්ෂයේදීය. ඊට පසුව උන්වහන්සේ පාලි භාෂාවෙන් “මිලින්ද ප්‍රශ්නය” නමැති පොත සිංහලයට පරිවර්තනය කොට මුද්‍රණයෙන් නිකුත් කළේය. එයට අමතරව දුර්ලබ්ධි විශෝධනීය, ක්‍රිස්තියානු වාද මර්දනය, මෝහ විඝාතනිය, බුද්ධ ඇදහිල්ල, බෞද්ධ ප්‍රශ්නය, සිංහල ජාතක පොත යන පොත් මුද්‍රණය කර ප්‍රසිද්ධ කර තිබේ.

රිවිරැස පුවත්පතේ නිර්මාතෘවරයා මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ය. (ඇම්.ඩී. ගුණසේන සමාගමේ ස්වාධීන පත්‍ර සමාගමේ රිවිරැස නොවේ.) ඕල්කට් තුමාගේ කටයුතු විවේචනයට හා මුදල් ගනුදෙනු ගැන වංචාවන් හෙළිදරව් කිරීම එදා 'රිවිරැස' පුවත්පතේ අරමුණු අතර විය.

යුරෝපීය ධර්ම සමාජයේ සභාපති කොස්ගොඩ සිරිසුධම්ම හිමියන් ගුණානන්ද හිමියන් ගැන වරක් අපූරු සටහනක් තබා තිබේ. එහි මෙසේ සඳහන්ය.

“මම 1975 වර්ෂයේදී බටහිර ජර්මනියේ හැම්බර්ග් සරසවියට ආචාර්ය උපාධියේ පර්යේෂණ කටයුතු සඳහා ඇතුළත් වීමි. එහි ඉන්දියානු සංස්කෘතික සහ ආගම් දර්ශන පිළිබඳ මහාචාර්ය ධුරයක් දැරූ උගතෙක් මට හමුවිය. හල්ස්ඩෝප් නමැති මේ විශාරද පඬිවරයා සමඟ සාකච්ඡාවල යෙදීමේ භාග්‍යය මට ලැබිණ.” ඔහු මට වරක් මෙසේ කීය.

“යුරෝපයට බුදු දහම ලැබුණේ ඔබේ රටින් එහි පුරෝගාමියා මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්ථවිරයන්. ඒ ඉස්සර හිටි බවට සැලකෙන නාගසේන මාහිමියන් ලක්දිව නූතන බෞද්ධ ප්‍රබෝධයේ නායකයා. එතුමන් උන් වහන්සේ නොහිටින්නට අද ඔබේ ඇඟ සරසා තිබෙන කහ සිවුරක් නැහැ. උන්වහන්සේ සිදු කොට තිබෙන්නේ වචනයෙන් කිව නොහැකි සේවාවක්. අනාගතයේ ලංකාවේ සත්‍ය ඉතිහාසය ලියන්නන් විසින් කොළඹ යුගය ගුණානන්ද යුගය වෙනුවෙන් හඳුන් වනවා ඇත.” එසේ කියූ ඔහු ශ්‍රී ලාංකික භික්ෂුව රටේත් ජාතියේත් නායකත්වය දරන පිරිසක් බවත් උන්වහන්සේලාගේ අනුශාසනයට ගරු කිරීම සිංහලයන්ගේ සිරිතක් බවත් කීය.”

එමෙන්ම මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ගැන රට වෙනුවෙන් කළ උදාර සේවාව ගැන “සමීපාතීතයෙහි බෞද්ධා චාර්යයෝ” නමැති ග්‍රන්ථයෙහි එහි කතුවරයාණන් වන අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානාහිමියෝ මෙසේ සඳහන් කරති.

“විද්‍යෝදය පිරිවන පටන් ගැනීමේදී එහි භූමිය ගැනීම ආදියට ප්‍රසිද්ධ දේශනා පවත්වා ආධාර ලබා දුන්නේය. කොළඹ පරම විඥානාර්ථ සමාගම අභිවෘද්ධියට ගෙන ඒමට උන්වහන්සේ විසින් දෙන ලද අනුබල ඉතා සැලකිය යුතුය.

කොළඹ මංසන්ධිවල තිබෙන බෝගස් කැප්පවීමට එවකට පැවති මිෂනාරි රජය ආරම්භ කළ විට උන්වහන්සේ එයට විරුද්ධව නැඟී සිටියහ. වරක් එවකට පැවති රජය විසින් අභයගිරි චෛත්‍ය හෑරීමට පටන් ගත්තේය. අභයගිරි චෛත්‍යොපකාරක සභාව පිහිටුවා නිර්භීතව ඉදිරිපත්ව එය නවතා දමා සටන ජය ගත්තේ උන්වහන්සේගේ පුරෝගාමිත්වයෙනි. එය උන්වහන්සේගේ අවසාන සටන සේ සැලකේ.

1770 ඕලන්ද ජාතික පෝක් ආණ්ඩුකාරයාගේ තීන්දුවක් අනුව පොහොය දින නිවාඩුව අවලංගු කර ඒ වෙනුවට ඉරිදා දිනය රජයේ නිවාඩු දිනක් ලෙස නම් කළේය. ඉංග්‍රීසි යුගයේදී 1817 අංක 5 දරන පනත යටතේ පාස්කු ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් විය. මේ අනුව වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් නොවීය. බෞද්ධාරක්ෂක කමිටුව නමින් සංවිධානයක් නිර්මාණය කර, එහි යෝජනා රැගත් ලිපියක් එංගලන්තයට ගොස් ඕල්කට්තුමාට බාර දෙනු ලැබීය. එම සංදේශයට පිළිතුරු ලෙස මහ රැජිනගෙන් ලද නියෝගය අනුව 1885 මාර්තු 27 වැනි දින ප්‍රකාශිත ගැසට් නිවේදනය මඟින් වෙසක් පුර පසළොස්වක පෝය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. සිංහල අවුරුදු දිනය ද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් විය. 1883 මාර්තු 23 - මෝල් ගස් පෙරහැර ද්විපදුත්තාරාමයේ අභිනවයෙන් ඉදි වූ බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම යෙදී තිබුණේ මෙම පුන් පොහෝ දිනයේය. ඒ වෙනුවෙන් පෙරහැර මාලාවක් සංවිධානය කර තිබුණ ද හේතු විරහිතව පෙරහැර නතර කරන ලෙස දන්වා තිබුණි. එසේ වුවත් මුලින් පොලිසියෙන් ලත් අවසරයට අනුව පෙරහැර පැවැත්වීමට ගුණානන්ද හිමි සියල්ල සංවිධානය කර තිබුණි. පෙරහැර පිටත් වුවද කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානය ඉදිරිපිටින් ගමන් කරන විට, පල්ලිය ඉදිරිපිට රැස් වූ පිරිස ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කරන්නට විය. එදින පිරිස විසිරී ගියද ගුණානන්ද හිමිගේ උපදෙස වී ඇත්තේ මින් අනතුරුව පෙරහැර සඳහා කොඩි හා මල් සැරසිලි ආදිය නිවෙසේ ඇති මෝල් ගසක බැඳ රැගෙන එන ලෙසය. අනතුරුව මෝල් ගස් පෙරහැර ලෙස ප්‍රසිද්ධ වූ මෙම පෙරහැරට හිංසා කිරීමට කිතුනුවෝ මැළි වූ බවට කරුණු අනාවරණය වෙයි.

බෞද්ධ කොඩිය ලංකාවේ ප්‍රථම වෙසක් උත්සවයේ ලෙළ දුන්නේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසින් කොටහේනේ ද්විපදුත්තාරාමයේදීය. ලංකා බෞද්ධ ඉතිහාසයේ රනින් සිතුවම් කළ 1885 අප්‍රේල් 28 වැනිදා පැවති ඒ අමරණීය වෙසක් පුන් පෝ දින ශ්‍රී ලංකා ජනතාව ප්‍රථම වෙසක් (නිවාඩු) උලෙළ පැවැත්වූ සැටි 'සරසවි සඳරැස' 1885 දී වාර්තා කළේ මෙසේය. 

“කලින් ප්‍රකාශ කර තිබුණ පරිද්දෙන් වෙසඟ පුර පසළොස්වක් දවස වූ ගිය මස විසි අට වෙනිදා සර්වඥයන් වහන්සේ ලෝ පහළ වූ දින කොට සලකා ආණ්ඩුවේ සියලුම උසාවි කච්චේරි ආදිය වසා දමා නිවාඩු දවසක් කරන ලද්දේයි." යෙන් ප්‍රකාශ කළ ෂඩ්වර්ණ සර්වඥ රශ්මිය ප්‍රකාශ කරන කොඩිය කොළඹ විද්‍යෝදය පිරිවෙනෙහි ද, කොටහේනේ දීප දුත්තම විහාරස්ථානයෙහි ද, බොරැල්ල, හුණුපිටිය ආදී කොළඹ පිහිටි අන්‍ය විහාරස්ථානවල ද, කැලණි විහාරය ආදී ස්ථානවල ද මනෝහර ලෙස ඔසවන ලද්දේයි.”

මෙරට සිංහල බෞද්ධයින්ට නීත්‍යනුකූලව පල්ලියට නොගොස් විවාහ වීමට අවස්ථාව උදා කරන ලද්දේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට පින්සිදු වන්නටය. එහෙත් බෞද්ධයන්ට තම විවාහ ලියාපදිචිය සඳහා කිතුනු පල්ලිය වෙත යෑමට යෙදී තිබීමට එරෙහිවත් උන්වහන්සේ කටයුතු කළහ. ක්‍රිස්තියානු පල්ලිය සතුව තිබූ විවාහ හා උප්පැන්න ලියාපදිංචිය හේතුවෙන් එම ක්‍රිස්තියානු නම් ගම් ආදිය බෞද්ධයන්ගේ නම්වලට තිබූ බලපෑම අහෝසි වී සිවිල් රෙජිස්ට්‍රාර්වරුන් පත් කිරීම සිදු වූයේ එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් කොළඹට කැඳවා ධර්ම ශාස්ත්‍ර ඉගැන්වීමට ද ගුණානන්ද හිමියෝ උත්සුක වූහ. කලුවාමෝදර පීටර් ද සිල්වා මුහන්දිර් මහතාට අයත් නිවෙසක ආරම්භ කළ ධර්මායතනය පසුව මහා ජාතික ප්‍රබෝධයකට මුල වූ මාළිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙනක් බවට පත් විය. 1958 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයක් ලෙසට පත් විය. එමෙන්ම මෙරට බෞද්ධ පාසල් පිහිටුවී‍ෙම් පුරෝගාමියා වන්නේ ද ගුණානන්ද හිමියෝය. මරදානේ ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාලය ආරම්භ කෙරිණි. වත්මන් ආනන්ද විදුහල ගොඩනැඟුණේ ඒ ආකාරයෙනි. ඒ සඳහා ඕල්කට්තුමා යෝජනා කරන ලද්දේ ගුණ­ානන්ද නාමය වුවත් උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ. පසුව ධර්ම භාණ්ඩාගාර යන අර්ථයෙන් ආනන්ද විද්‍යාලය ලෙස නම් කෙරුණි. එහි ගුණානන්ද හිමියන්ගේ නමේ කොටසක් ඇති බැවින් එම නාමය අනගි බව හික්කඩුවේ නාහිමියෝ ප්‍රකාශ කළහ. ආනන්ද, ධර්මරාජ, මහින්ද, ශ්‍රී සුමංගල, විශාඛා හා මහාමායා වැනි දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් බිහි වී බෞද්ධ දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථාව හිමි විය.

මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් මෙලොව ඉපදී වසර 200ක් පිරුණත් උන්වහන්සේ මෙරට නූතන බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියාය. මෙරට සත්‍ය කොළඹ ඉතිහාසයේ ලියන්නේ නම් එය හල්ස්ඩෝප් පඬිවරයා කීවාක් මෙන්ම 'ගුණානන්ද යුගය' වනු නියතය. භික්ෂුව රටේත් ජාතියේත් නායකත්වය දරන බව මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ නාමය වසර දෙසීයක් ඉක්ම ගියමුත් පොදුජන හදවතේ තැන්පත් ශ්‍රී නාමයක් වීමෙන් තහවුරු කරගත හැකිය. කිතුනුවකු වුවත් මර්සලීන් ජයකොඩි පියතුමා මෙරට සිවුරට ඇති බලය ගැන ලියූ කවි පදයකින් ලිපිය අවසන් කරමි.

ඇත්තක් ඇති හැටියට කිව යුත්තේ 
සිවුරෙයි හෙළයේ අනුපණ ඇත්තේ 
සිවුරුයි පණදී රට රැක ගත්තේ 
අදත් නහින්නේ මේ රට මත්තේ

ඡායාරූප - ශාන් රූපස්සර

Comments