
- රැම්සා තෙත්බිම් නගර සංකල්පය යටතේ ලොව පළමු තෙත් බිම් අග නගරය කොළඹයි
- වඳ වී යාමේ තර්ජනයන්ට ලක්වූ හදුන් දිවියා, දිය බල්ලා මෙන්ම කළු වඳුරා බැද්දගාන තෙත් බිමේ
- දියසරු උයනේ අපූරු ජෛව විවිධත්වයක්
එකිනෙකා පරයමින් නැඟී සිටින මහ විසල් කොන්ක්‍රීට් ගොඩනැඟිලි ඇති කොළඹ නගරය විටක දිස්වන්නේ ගෙන්දගම් පොළොවක් ලෙසය. එහෙත් ඔබ මා නොදකින ඇස නොගැටෙන මේ ගෙන්දගම් පොළොවේ අති සුන්දර වූ තෙත්බිම් දෙස මොහොතකට හැරී බැලුවොත් නාගරිකරණයෙන් යුතු මේ ගෙන්දගම් පොළොවේ ඔබත් මමත් නොදකින අත්දැකීමක පහස ලබන්නට හැකි වන්නේය. අප ගතට සිතට දැනෙන්නේ අස්වැසිල්ලකි. ඒ කොන්ක්‍රීට් පුරවරයේ වූ තෙත් බිම් උද්‍යාන සොයා අප ගිය අපූරු අත්දැකීම් පිරි ගමනේදීය. මේ අපූරු නාගරික තෙත් බිම් උද්‍යාන ලංකාවේ ජෛව විවිධත්වයට මෙන්ම නගර නිර්මාණයට, කායික මානසික වින්දනයට ගෙන දෙන්නේ සුවිසල් දායකත්වයකි. 
ලොව පළමු තෙත්බිම් අගනුවර ලෙස වසර 2018 දී කොළඹ නම් වූයේ රැම්සා ජාත්‍යන්තර සමුළුවේ 13 වැනි සැසිවාරයේ දීය. රැම්සා තෙත්බිම් නගර සංකල්පය යටතේ එම වසරේ කොළඹ ඇතුළුව ලොව තවත් නගර 18 ක් තෙත් බිම් නගර බවට නම් විය. එයිනුත් එකම අගනගරය වූයේ කොළඹ පමණී. යළිත් 2022 වසරේදී ලොව තවත් නගර 43 ක් තෙත් බිම් නගර වශයෙන් නම් විය. කොළඹින් අනතුරුව දෙවැනි අගනුවරක් තෙත් බිමක් වූයේ ඒ වසරේදි ය. ඒ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් අගනුවරය. ලොව රටවල නගර නාගරීකරණයත් සමඟ වඳ වෙමින් යන ජෛව විවිධත්වය, පරිසර තුලනය මෙන්ම වන සංරක්ෂණය අරමුණ කරගෙන නගර සීමාවල මේ අපූරු තෙත් බිම් නිර්මාණය වන්නට වූයේ නාගරික තෙත් බිම් උද්‍යානය සංකල්පය ප්‍රාණවත් කරමිනි. නැණවත් භාවය ප්‍රධාන කර ගනිමින් තෙත් බිම් සංරක්ෂණය වූ අතර ගංවතුර පාලනය, ජෛව විවිධත්වයට රුකුලක් දීම අරමුණු කර ගනිමින් ලංකාවේ වූ එකම තෙත් බිම් උද්‍යාන දෙක බිහි වූයේ කොළඹ අග නගර සීමාවේය. ඒ බැද්දගාන තෙත් බිම හා දියසරු උයනය.
රැම්සා සම්මුතියේ අර්ථ දැක්වීම්වලට අනුව වසර පුරාම හෝ වසරේ විවිධ කාලවකවානුවලදී තාවකාලික හෝ ස්ථිර වශයෙන් ජලය රැදී පවතින, ගලායන හෝ නිශ්චලව පවතින මිරිදිය, කිවුල් දිය හෝ කරදියෙන් සමන්විත, ස්වාභාවිකව නිර්මාණය වූ හෝ කෘත්‍රිමව මිනිසා විසින් නිර්මාණය කරන ලද ඇළ දොළ ගංගා වැව් පොකුණු විල්ලු, වගුරුබිම්, කුඹුරු, කළපු, ගංමෝය කඩොලාන හා බාදිය මට්ටමේදී මීටර් 6 ට අඩු මුහුදු ප්‍රදේශ ඇතුළු ජලාශ්‍රිත පරිසර පද්ධතීන් තෙත් බිම් වේ.
මේ පද්ධතිවල පාරිසරික වැදගත්කම නිසාවෙන් මෙම තෙත් බිම් සංකල්පය අදටත් ලොව රටවල් 6 ක නගර 18 ක් තුළ ක්‍රියාත්මක වන්නකි. මුලින්ම ලංකාවේ රැම්සා තෙත් බිම් 6 ක් හඳුන්වා දුන්නේය. එ් බූන්දල, වන්කාලෛ, ආනවිලුන්දාව, විල්පත්තුව, මාදු ගඟ හා කුමනය. අනතුරුව ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අභය භූමිය, බද්දගාන තෙත්බිම් උද්‍යානය, කොළොන්නාව තෙත්බිම්, කොළඹ බේරේ වැව, තලවතුගොඩ දියසරු උයන කේන්ද්‍ර කරගත් තෙත්බිම් පද්ධතිය, තලංගම වැව පාරිසරික ආරක්ෂක කලාපය, බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමිය මේ කොළඹ නගරය ආශ්‍රිතවූ ජෛව විවිධත්වයෙන් පිරි පරිසර පද්ධති වන අතර තෙත් බිම් උද්‍යාන සංකල්පය යටතේ ක්‍රියාත්මක වන්නේ බැද්දගාන තෙත්බිම හා දියසරු උයනය. මෙයින් බැද්දගාන තෙත්බිම් උද්‍යානය ස්වාභාවිකවම පවතින තෙත්බිම් උද්‍යානය වෙයි. 
“ රැම්සා තෙත් බිමක් ජලාශ්‍රිත ශාක හා සත්ත්වයන්ට වාසස්ථාන විය යුතුයි. එසේම එය නැනවත් භාවිතයට සඳහා විය යුතුයි. නගරයක් කාර්යබහුල වුවත්, නාගරීකරණය වුවත් මේ තෙත් බිම් නිසි කළමනාකාරිත්වයට ලක් වන අතර නෛතික පදනමකින් ද යුතුයි. පාර්ලිමේන්තුව සකස් කිරීමේදී එහි බිමේ වූ රොන් මඩ පිරෙව්වේ මේ වගුරු බිම්වලට. නමුත් 2010 විශාල ගංවතුරත් සමඟ මේ බිම් සංරක්ෂණය කළ යුතුය යන ස්ථාවරයකට පැමිණියා. 2015 දී කොළඹ අධිනාගරික තෙත් බිම් කළමනාකරණ උපායමාර්ගික සැලැස්මක් ප්‍රකාශයට පත් කෙරෙනවා. ඒ අනුව මෙහි පළමු නිර්මාණය වන්නේ බැද්දගාන තෙත් බිම් උද්‍යානයයි. මෙය අක්කර 20 ක මිරිදිය වගුරු බිම් උද්‍යානයක්. මෙහි පැවැති ශාක හා සතුන්ට කිසිදු හානියකින් තොරවයි මේ උද්‍යානය සකස් වන්නේ. 2016 වසරේදි එය ජනතාව සතු වෙනවා. එසේම මෙය පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල සිසුන් හා පර්යේෂකයන්ට විවෘත වූ ප්‍රධානම තෙත් බිම් අධ්‍යාපනික උද්‍යානයක් ද වෙනවා. එසේම ගංවතුර පාලනය, නාගරික පරිසරයේ කායික මානසික සුවතාව වෙනුවෙන් හා විවේකය සඳහා වෙන්වූවක් ද වෙනවා. මේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ ශාක වර්ග 300 කට අධික ප්‍රමාණයක් පවතින අතර සත්ත්ව වර්ග 250 ක් පමණ සිටිනවා. වඳ වී යෑමේ තර්ජනයන්ට ලක්වූ හඳුන් දිවියා, දිය බල්ලා මෙන්ම කළු වදුරා වැනි සතුන් තිදෙනා මේ පරිසරයේ දකින්නට හැකි වෙනවා. විවිධ කුරුලු විශේෂ පමණක් නොව සංචාරක පක්ෂීන්ද නිරන්තරයෙන් බැද්දගාන තෙත් බිමේ මෙන්ම තලංගම වැව, දියසරු උයනේ දැකිය හැකි වෙනවා. එය විශේෂත්වයක්. ඒ වගේම ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ මෙන්ම දේශිය මත්ස්‍ය විශේෂ ද මේ පරිසර පද්ධතියේ පහසුවෙන් දැකීමට හැකි වීම විශේෂත්වයක්.“ ඒ පරිසරවේදිනි නර්මදා දංගම්පොළයි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මේ බැද්දගාන තෙත් බිම් උද්‍යානය ගෙන්දගම් පොළොවේ අපූරු නිර්මාණයකි. කිසිදු ඉදිකිරීමක් සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිත නොකරමින් ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය එලෙසම පවතින පරිදි දෙතුන් පැයක් නොව පුරා දිනක් හෝ අපූරුවට අත්විඳින්නට හැකිවේ.
ස්වභාව ධර්මයේ අපූරු නිමැවුමක් වූ මේ මනස්කාන්ත පරිසර පද්ධතියේ වගුරු ආශ්‍රිත ශාක, පඳුරු සහිත බිම්, තණ බිම්, ගංගාධාර සහ කඩොලාන වනාන්තර ඇතුළත් ප්‍රධාන ශාකාවරණ 7කින් යුතුය. බත්කූරන්, සමනල විශේෂ, ගොළුබෙලි විශේෂ , මිරිදිය මත්ස්‍ය විශේෂ, සහ ක්ෂීරපායි විශේෂ බොහෝය. බැද්දගානටම ආවේණික වූ පරිසරයේ අනන්‍ය වූ බස්සන් ජෝඩුව සංචාරක ආකර්ෂණය දිනා ගත්තකි.
“ දියවන්නාවේ රොන් මඩ පිරි භූමියක් නිසා බැද්දගාන තෙත් බිමේ එක් පසෙක කාලයක් යනතෙක් ගස් වැවීම අපහසු වුණා. මේ නිසා උස් කඳු සේ සකස් කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉතා වටිනා මෙන්ම දුර්ලභ ශාක වැවුවා. බොහෝ ගස් අදටත් කුරුයි. ඒ මේ පසේ ස්වභාවය නිසා. මේ ප්‍රදේශයේ පන් විශේෂ, විවිධ මීමන වර්ග, විවිධ බට පඳුරු වර්ග, වල්මිදි, බෝබු, ඇත්තෝර, බලුදං, කුරුඳු මෙන්ම වතුරේ බැර ලෝහ උරා ගන්නා ඉදුරු වැනි ශාක වර්ග බහුලව දකින්නට හැකි වෙනවා. කණ කොකා, කිතලා, කළුමැටි කොකා, දියකාවා වැනි කුරුලු විශේෂ පමණක් නොව කිඹුලා ඉඳහිට දියබල්ලා, හඳුන් දිවියාත් දකින්නට පුළුවන්. ඒ වගේම මේ සංරක්ෂණ භූමියේ මේ වන විට විවිධ ආක්‍රමණික ශාක බෝවීමේ තර්ජනයට ලක් වෙලා. එයින් ප්‍රධාන වන්නේ වෙල් ආතා ශාකය. මේ ශාකය වගුරු තෙත් බිම් ගොඩබිම් බවට පත්කෙරෙනවා. ඒ වගේම සැල්වීනියා ශාකවල ද බෝවීම වැඩි වෙමින් පවතිනවා. පසුගිය කාලයේ සතුන් බොහෝමයක් දැකිය හැකි වුවත් මේ වන විට ඒ සත්ත්ව ගහනයන්ගේද යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. “ ඒ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරී ටී. වි. කේ සේපාලය. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙම බැද්දගාන තෙත් බිම් උද්‍යානය මෙන්ම රැම්පාත් උද්‍යානයද භාර කළමනාකරු වන්නේ සිසිර හේවාසිංහය. විවිධ සංවර්ධන කටයුතු හේතුවෙන් මෙවැනි වටිනා තෙත් බිම්වලට යම් තර්ජනද නැත්තා නොවේ. කුණු කසළ බැහැර කිරීම් මෙන්ම නිසි කසළ කළමනාකරණයක් නොවීමෙන් මේ පරිසර පද්ධතිවලින් සත්ත්ව ගහනය ටිකෙන් ටික අඩුවන්නට පටන් ගෙන තිබේ. බේරේ වැවේ, දියවන්නාවේ ඝන අපද්‍රව්‍ය ජලයට මුසු වීමෙන් මෙන්ම අනවසර පදිංචි වීමෙන් පරිසර පද්ධතියට හිමිකම් කියූ වනජීවීන් මේ පරිසර පද්ධතිවලට සමු දෙන්නට පටන් ගෙන තිබේ. ඒ අතර මේ භූමිවල වූ කබරගොයි වැනි සත්ත්ව ගහනයන්ගේ වර්ධනය හේතුවෙන් අනිකුත් විලෝපිකයන් ඔවුන්ගේ ගොදුර බවට පත්වීම් නොවැළැක්විය හැකි කරුණක් වෙයි. කෙසේ වෙතත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු බලධාරීන් දිවා රෑ නොතකා බැද්දගාන මෙන්ම රැම්පාත් තෙත් බිම් උද්‍යාන රැක ගැන්මට අපමණ වෙහෙසක් දරන්නේය. අඩු කාර්ය මණ්ඩලයක් මධ්‍යයේ වුව ද මෙම ජාත්‍යන්තර සංකල්පය යටතේ නිර්මිත උද්‍යානවල ප්‍රමිතිය රැක ගැන්මට ඔවුන් විශාල කැප කිරීමක් කරන්නේය.
හෙක්ටයාර් 18ක් පමණ ප්‍රදේශයක විසිර පවතින මෙම තෙත් බිම් උද්‍යාන නිර්මාණය කිරීමේ පළමු පියවර ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මඟින් 2009 දී ව්‍යාපෘති ප්‍රදේශය හඳුනා ගත්තා. ඉන් පසුව 2013 වර්ෂයේ මහ කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ ලෝක බැංකු අරමුදල් මඟින් බැද්දගාන තෙත්බිම් උද්‍යානය නිර්මාණය කර 2016 වර්ෂයෙහි දේශීය විදේශීය සංචාරකයන් සදහා වෙන් කළා. මෙම උද්‍යාන නිර්මාණය සහ ගොඩනැඟීමේ විශේෂත්වය වූයේ යන්ත්‍ර උපකරණ භාවිතයෙන් තොරව කණු මත පක්ෂි නිරීක්ෂණ කුලුනු, ඇවිදීමේ මං තීරු , පාවෙන වේදිකාව නැරඹුම් මධ්‍යස්ථාන ගොඩනැඟීමයි. බැද්දගාන තෙත් බිම උද්‍යානයේ මූලික අරමුණ තෙත් බිම් පරිසරය සංරක්ෂණය කරමින් ඥානාන්විත භාවිතයන් සඳහා යොමු කිරීමයි. තෙත්බිම් උද්‍යානය ගංවතුර පාලනයට ජල රැදවූම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන අතර විවිධ ශාක සහ සතුන්ට වාසස්ථානය සැපයීම මෙන්ම අවට ප්‍රදේශයේ උෂ්ණත්වය පාලනය කිරීම සිදු කරයි. දේශීය විදේශීය පරිසර හිතකාමි සංචාරකයන් සඳහා මෙන්ම පාසල් දරු දැරියන්ගේ තෙත් බිම් පරිසර පද්ධති පිළිබඳ දැනුම ලබා ගැනීමට ලංකාවේ නිර්මාණය වූ පළමුවැනි තෙත් බිම් උද්‍යාන මෙයයි.....“ ඒ නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂිකා ( පාරිසරික උපදේශන ) රේණුකා මුණසිංහය.
බත්තරමුල්ල, ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පාරේ කිඹුලාවලට ආසන්නව දියවන්නා ඔය ඉදිරිපිට දියසරු උයන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් පාලනය වෙයි. ජෛව විවිධත්වයෙන් යුතු මෙහි විශාලත්වය අක්කර 60කි. 1981 වනවිට කුඹුරු ඉඩමක් ලෙස පැවති මේ ප්‍රදේශය නව පාර්ලිමේන්තුවේ ඉදිකිරීමත් සමඟ රජයට පවරා ගැනුණි. පසුව එය විවිධ ඉදිකිරීම්වල ඉවතලන පස් ගොඩ කිරීමට යොදාගත් තැනක් විය. 2010 දී ගංවතුර පාලනය කිරීමේ අරමුණ මුල් කරගෙන ඇළ මාර්ග හා ජලාශ සහිත තෙත්බිමක් ලෙස සංවර්ධනය වූ මෙය අද නාගරික ජනතාවගේ විනෝදය මෙන්ම පාරිසරික දැනුමක් ද ලබාගත හැකි රමණීය බිම්කඩක් ලෙස සංවර්ධනය වී ඇත්තේය.
“ මෙම තෙත් බිම් උද්‍යානවල ඉහළ ජෛව විවිධත්වයක් ඇති වීමට හේතුව වී ඇත්තේ ශාක වාසස්ථාන විවිධත්වය නිසා. මෙහි වඳ වී යන ශාක මෙන්ම දැඩි ලෙස අන්තරායකාරි ශාක ද මේ කොළඹ නගර ආසන්නයේ ඇති උද්‍යානවල පවතිනවා. දියසරු උයනේ අක්කර 63 ක් තියෙනවා. මෙය ජනතාවට විවෘත වන්නේ 2016 දී. මෙම දියසරු උද්‍යානය ජෛව විවිධත්ව උද්‍යානයක් ලෙස සංවර්ධනය වුවත් පසුව නාගරික ජනතාවගේ වෙහෙස නිවන උද්‍යානයක් බවට පත් වුණා. කොළඹ නගරයට උද්‍යානයකින් ලැබිය යුතු සේවාව ලබා දුන්නා. නාගරික වැසියන්ට තමන් ජීවත්වන පරිසරය ගැන අවබෝධයක් මෙමඟින් ලැබෙනවා. කොළඹ ජලපෝෂක ප්‍රදේශයේ වර්ග කිලෝ මීටර 19 ක් නාගරික තෙත් බිම් වශයෙන් හඳුනාගෙන තියෙනවා. නමුත් ලංකාව පුරා ඇති තෙත් බිම් වර්ග කිලෝමීටර් ප්‍රමාණය නිශ්චිතව කියන්න බැහැ. ඊට හේතුව තෙත් බිම් නිර්වචනය විවිධාකාරව අර්ථ දැක්වීමයි. සාමාන්‍යයෙන් කුඹුරක්, වගුරු බිමක් පවා තෙත් බිමක් වශයෙන් හැඳින්වෙනවා. එසේම එය තෙත් බිමක් වශයෙන් අර්ථ දක්වද්දි මේ පරිසරයේ විවිධ පරිසර පද්ධති ජීවත් වෙනවා. ඒ නිසා ඉදිරියටත් මේ පරිසර පද්ධති රැක ගැන්ම අපේ යුතුකමක්“ ඒ පරිසර විද්‍යාඥ ආචාර්ය චේතිකා ගුණසිරිය.
“ ලොව පළමු රැම්සා නාගරික තෙත් බිම වශයෙන් නම්වූයේ කොළඹයි. නමුත් අද මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මෙම තෙත් බිම් විනාශයට ලඟා වෙමින් තියෙනවා. මේ නිසා අපි දිගින් දිගටම ජනතාව දැනුම්වත් කරමින් යනවා, මේ තෙත් බිම් ආරක්ෂා කිරිම සඳහා....“ ඒ වනජීවී හා වන සංරක්ෂණ සංගමයේ ( WNPS) සභාපති ස්පෙන්සර් මැනුවෙල්පිල්ලේ ය.

සේයාරූ - නිශ්ශංක විජේරත්න











