අහන සංගීතයෙන් කියැවෙන හිතේ අරුම | සිළුමිණ

අහන සංගීතයෙන් කියැවෙන හිතේ අරුම

එක හා සමාන සංගීත අභිරුචියක් දෙපාර්ශ්වයක බැඳීම් ශක්තිමත් කරන්නට හේතු විය හැකිය

නවාද අයියෝ ඒ දාලා තියෙන සින්දු?"

"ඒ මොකෝ? "

" අප්පිරියයි, මට නම් වමනෙට වාගෙයි."

" එහෙම කියන්න එපා. ඕනේ කෙනෙකුට අයිතියක් තියෙනවනෙ කැමති සංගීතයක් තෝරා ගන්න, අහන්න ?"

" ඔව්, ඒත් මට නම් කියන්න පුළුවන් කෙනෙක් අහන සින්දුවලින්ම එයා මොන ජාතියෙ මිනිහෙක්දැයි කියල."

" ඒක එහෙමමද කියන එක නම් සීයට සීයක් හරියි කියලා කියන්න බැහැ."

" ඒ වුණාට අපි අහන සංගීතය අපි ගැන මොනවා හරිම එළිදරව් කරනවා. "

ඇත්තටම ඒක එහෙමද? අප අසන සංගීතය අපේ ඇතුළාන්තය ගැන යම් ඉඟියක් දෙන්නට සමත්ද? මේ පිළිබඳ අප යමකුගෙන් ඇසුවොත් ඊට පිළිතුරු ගණනාවක් ලැබෙන්නට ඉඩ තිබේ. ඇතැම්විට සමහරකුගේ සංගීත ශ්‍රවණය මවාපෑමක් වන්නට ද ඉඩ ඇති බව ඔවුන් කියනු ඇත. ඒ කෙසේ වෙතත් ඔවුන් අසන සංගීතය සැබෑම වටපිටාවකදී හොයා බලන්නට අපට හැකි නම් එය ඔහුගේ පුද්ගල අභිරුචිය හෝ හිතන පතන ආකාරය හෝ යම්තාක් දුරට හෙළිදරව් කිරීමට සමත් බව කීම බොරුවක් නොවේ. ඒ සමඟම අප විසින් දත යුතු තවත් කාරණාවක් නම් යම් පුද්ගලයකුගේ සංගීත රුචිය කලින් කලට වෙනස් වන්නට ද ඉඩ තිබෙන බවය.

මිනිසුන් සතුව පුළුල් හා විවිධ පරාසවල විහිදුණු සාහිත්‍ය අභිරුචියක් තිබෙන්නට පුළුවන. එය සැබැවින්ම එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ය. මෙන්න මේ විවිධත්වයම ඔවුන් තුළ සැඟව ඇති විවිධ ලක්ෂණ හෙළිදරව් කර ගැනීමට උදවුවක් වෙතැයි සිතන්නට පුළුවන. ඒවාගේම එයින් යම් වාසියක්, උදවුවක් ලබා ගන්නට ද අපට පුළුවන් වෙයි.

පුද්ගලයන් අසන්නට පුරුදු වී ඇති සංගීතය ඔවුන් ගැන හෙළිදරව් කරන්නට සමත් වන්නේ මොනවා දැයි සොයා බැලීම සැබවින්ම වටිනා උත්සාහයකි. සාමාන්‍ය පිළිගැනීම නම් අප රුචි කරන සංගීතය අපේ පෞරුෂය හා දීර්ඝකාලීනව පවතින්නක් බවය. සරල උදාහරණයක් ගතහොත් නිර්මාණශීලී සහ බුද්ධිමය උත්තේජනයක් අවශ්‍ය පුද්ගලයන් බොහෝ විට ප්‍රිය කරන්නේ සම්භාව්‍ය සංගීතය, ජෑස් හෝ ජන සංගීතය වැනි සංකීර්ණ සංගීත ආර ය. එහෙත් අලුත් අලුත් අත්දැකීම් ලැබෙත්ම පුද්ගලයන්ගේ සංගීත රුචිය වෙනස් වීම ද සාමාන්‍ය තත්ත්වයකි. සමාජශීලි පුද්ගලයන් බොහෝ විට කාලීනව ජනප්‍රිය සංගීතය කෙරේ උනන්දුවක්, නැඹුරුවක් දක්වන්නට ඉඩ තිබේ. ඊට හේතුව වන්නේ එහි ප්‍රබෝධවත් බවක්, ධනාත්මක බවක් හැමවිටම කාලීන සංගීතයේ ගැබ්ව තිබෙන බැවිනි. එමෙන්ම ප්‍රියමනාප පුද්ගලයන්ගේ සංගීත නැඹුරුව ගැන ද යම් අනුමානයක් අපට දැනගන්නට ලැබේ. එබඳු පුද්ගලයන් නිතරම පාහේ අසන්නට තෝරා ගන්නේ ප්‍රසන්න, සංසුන් බවක් ඇති කරන ගීත හෝ සංගීතාංග ය. මේ සියල්ල ගැන කල්පනා කර බැලූ කල පෙනෙන්නේ මිනිසුන් නිබඳවම යොමු වන්නේ තමාගේ පෞරුෂය හා ගැළපෙන සංගීත මාදිලිවලට බවය.

තවත් එක් අදහසක් වන්නේ සංගීතය අපේ ජීවිතයේ, චරිතයේ අනන්‍ය ලකුණක් වශයෙන් ක්‍රියාත්මක වන බවය. එමෙන්ම ඔවුන්ගේ සාමාජයීය තත්ත්වය පෙන්නුම් කෙරෙන එක් දර්ශකයක් ලෙස ද ඔවුන් ශ්‍රවණය කරන සංගීතය යොදා ගත හැකිය. සංගීතය යනු එක්තරා විනෝදාංශයක් හෝ විනෝදාස්වාද ස්වරූපයකැයි සාමාන්‍ය පිළිගැනීමක් පැවතුනද එයින් අප අගය කරන වටිනාකම් හා සාරධර්ම - ගතිගුණ ගැන ද ඉඟි ලබා දෙන්නකැයි සැලකිය යුතුමය. ඒ අනුව යමකු ඔහු හෝ ඇය ප්‍රිය කරන සංගීත ආර හෝ පරාසය කෙමෙන් වෙනස් කළේ යනු ඔහුගේ පෞරුෂයේ ද, හිතන පතන ආකාරයේ ද, ඔහු ගරු කරන අගනාකම්වල ද වෙනසක් සිදු වී යැයි කියන්නට සාක්ෂ්‍යකැයි අපට සිතිය හැකිය.

පුද්ගල වයස් මට්ටම් අනුව ද ප්‍රිය කරන සංගීතයේ ස්වභාවය වෙනස් විය හැකිය.

කෙසේ නමුත් පුද්ගලයන් වයස්ගත වෙද්දී ඔවුන්ගේ සංගීත රුචිය වෙනස් වීම සාමාන්‍ය තත්ත්වයකි. එ‍ෙමන්ම පරම්පරා දෙකක් අතර සිතන පතන ආකාරයේ වෙනස්කම් තේරුම් ගන්නට ද සංගීතය හොඳ මෙවලමකි. තරුණ පරම්පරාවේ බොහෝ දෙනා කලබලකාරී, වේගවත් සංගීතය ප්‍රිය කරන මුත් වයස්ගත පුද්ගලයන් මේ ආකාරයේ සංගීතයක් කොයි ලෙසකින් හෝ රුස්සන්නේ නැත. එයින් ඔවුන්ට දැනෙන්නේ අපහසුවක් හා නොගැළපීමක් පමණකි. එහෙත් මුළු ජීවිත කාලය පුරාම පුද්ගලයන් එක්තරා වර්ගයකට පමණක් කොටු වී සිටිනු ඇතැයි කල්පනා නොකළ යුතුය. ඒ ඒ අවස්ථාව අනුව එනම්, සංදර්භය අනුව අසන සංගීතය වෙනස් විය හැකිය. මංගලෝත්සවයකදී අසන්නට ලැබෙන්නේ වෙනස්ම ආකාරයක සංගීතයකි. වෙනත් උත්සව අවස්ථාවකදී එය ඊට වඩා වෙනස් වෙයි. ව්‍යායාම සැසියකදී අපට අවශ්‍ය තවත් ආකාරයක සංගීතයකි. සිත ගත විඩාවට පත් වූ කල අපේ අවශ්‍යතාව නිවෙන - සනහන සංගීතයකි. එමෙන්ම දවසේ එක් එක් වේලාව අනුව ද අපේ රුචිය වෙනස්වන්නට ඉඩ තිබේ. වැඩෙහි යෙදෙද්දී අපට අවශ්‍ය "ගැම්මක්" එන රිද්මයකි.

සංගීතය අපේ ජීවන ස්වභාවයේ පැතිකඩක් පෙන්වන්නා සේම, එය පුද්ගල සංවර්ධනය, මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම ආදී කාරණා සම්බන්ධයෙන් ඉහළ කාර්යභාරයක් උසුලන බව කිව යුතුය.

අනෙක් අතට අප විසින් සිහි කළ යුතු කරුණක් වන්නේ සංගීතයත් විද්‍යාවත් අතර බැඳීමය. සංගීතය අප හැම කෙනකුගේම ජානවලට බැඳී තිබෙන්නකි. භුගෝලීය වශයෙන් ලොව කවර ප්‍රදේශයක්, කලාපයක් සලකා බැලුවද ඒ හැම තැනකටම අනන්‍ය වූ සංගීතයක් පවතී. දරු නැළවිලිත්, එයින් නැළවෙන, සැනසෙන, ප්‍රතිචාර දක්වන බිලින්ඳනුත් ලොව සියලු තැන්හිම හමු විම මේ කාරණය ගැන පෙන්වන්නට තිබෙන ප්‍රබලතම සාක්ෂ්‍යය. එබැවින් සංගීතය සැලකෙන්නේ ජීව විද්‍යාත්මක උරුමයක් වශයෙනි.

දරු නැළවිල්ලක් හරහා අපට හිමි වන මේ ජීව විද්‍යාත්මක උරුමය ඉබේම පාහේ එතැන් සිට අප මනසේ වර්ධනය වන්නේ ද එසේත් නැත්නම් එය අප විසින් වුවමනාවෙන්ම ඉගෙන ගත යුත්තක්දැයි බොහෝ දෙනා අසන ප්‍රශ්නයකි. ඊට දෙන්නට හැකි සරලම පිළිතුරුවලින් එකක් වන්නේ එහිදී නියුරෝන යම් යම් ශබ්දවලට ප්‍රමුඛතාවක් පෙන්වන්නට පටන් ගන්නා බවත්, ඉනික්බිති එය එතැන් පටන් මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය යටතේ වැඩි දියුණු වන්නට පටන් ගන්නා බවත්ය.

මෙතැනදී අපට වඩාත් වැදගත් වන කාරණය එය නොවේ. මිනිස් මොළය හැඩ ගස්වන්නට සංගීතය දරන දායකත්වයයි. මිනිස් මොළයේ වර්ධනය කෙරේ සංගීතය දක්වන දායකත්වය සොයා බැලීම සඳහා ලොව එතෙක් මෙතෙක් සිදු කර ඇති අධ්‍යයන රාශියකි. ඒ අතරින් මීට වසර කිපයකට පෙර "Mozart Effect" යන මැයෙන් සිදු කරන්නට යෙදුණු පර්යේෂණය මේ සම්බන්ධයෙන් අපට අදහසක් ලබා ගන්නට උදවු වෙයි. මේ පර්යේෂක කණ්ඩායමේ පළමු පෙළේ විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමකට මෝසාර්ට්ගේ සංගීතය විනාඩි දහයක කාලයක් අසන්නට සැලැස්විණි. ඉන්පසු රටා ගැළපීම් වැනි කාලය හා අවකාශය සම්බන්ධ ක්‍රියාකාරකම්වල යොදවා ප්‍රගතිය මැන බැලිණ. මේ විනාඩි දහයේ ක්‍රියාකාරකමට පසුව පැහැදිලිවම ඔවුන්ගේ හැකියාවේ හා ක්‍රියාකාරීත්වයේ දියුණුවක් ඇති වී තිබුණි.

සංගීතය එක් එක් පුද්ගලයාගේ ජීවන හැඩතලය පෙන්වන්නාක් මෙන්ම මන සුව වඩන හා මන සුව රකින මෙවලමක් ලෙස ද අපට වැදගත් ය. අද සමාජයේ බොහෝ දෙනකුට ඇති ගැටලුවක් වන්නේ සතියයි. මනා සිහිය පිළිබඳ ප්‍රශ්නයයි. සතිය හෝ මනසේ ඒකාග්‍රතාව සම්බන්ධයෙන් සංගීතයේ කාර්යභාරය ගැන කතා කෙරෙන්නේ අද ඊයේක සිට නොවේ.

සංගීතය භාව ප්‍රකාශනයේ ප්‍රබලතම මෙවලමකි. එමෙන්ම නිර්මාණශීලීත්වයේ කැඩපතකි. එහි ඇති විශේෂත්වය නම් අපට මෙහිදි හැඟීම් ප්‍රකාශනයෙහිලා එකම වචනයක් හෝ කතා කරන්නට අවැසි නොවීමය. ඔබ ඔබේ සමීපතමයකු හෝ ආදරණීයයකු සමඟ සිටින මොහොතක ඔබ විසින් වාදනය වන්නට සලස්සන ගීත ලයිස්තුව ඇතැම් විට ඔබේ හැඟීම් පිළිබඳ ඔහුට හෝ ඇයට පැහැදිලි ඉඟියක් දෙනවා වන්නට පුළුවන. බාගවිට වචනයෙන් කියා ගන්නට බැරි දෙයක් ඒ හරහා හුවමාරු වූවා වෙන්නට ද පුළුවන.

මූඩ් ෆික්ස් කරන්නට හැක්කේ ඉඟුරුවලට පමණක් නොවේ. සන්තුෂ්ටිය උපදන හෝර්මෝන ඉහළ නංවමින් ගෙවෙන මොහොතක ආනන්දජනක කරන්නට සංගීතයට ඇත්තේ පුදුම හැකියාවකි. දේශනවලට හෝ යම් ඉදිරිපත් කිරීමකට අදිමදි කළ විටෙකදී වරක් මට මගේ මිතුරකු යෝජනා කරන්නේ ගීත කීපයකට සවන් දී විශ්වාසය ගොඩ නඟාගන්නා ලෙසය. පසු දවසක ඒ ගැන සොයා කියවූ මට දැන ගන්නට ලැබුණේ ද්වීකර්ණික තාල සංගීතය එනම්, ශබ්දය කන් දෙකටම වෙන වෙනම අසන්නට සැලැස් වීමේ ක්‍රමය ආත්ම විශ්වාසය ඉහළ නංවන්නට උදවු වන බවකි. එය කාංසා තත්ත්ව දුරලන්නටත් උදවුවකැයි තවදුරටත් කියැවෙයි. හර්ට්ස් 8 -12 අතර ඇල්ෆා තරංග මනසේ විශ්වාසය පිළිබඳ ස්ථාවර තත්ත්වයක් ඇති කරන්නට සමත්ය.

විවේකයත් නින්දත් පරිපූර්ණ හා තෘප්තිමත් බවට පත් කරන්නට ද සංගීතය දායක වෙයි. විශේෂයෙන්ම පියානෝව හෝ තත් වාද්‍ය භාණ්ඩවලින් නැඟෙන හඬ පරිපූර්ණ විවේකයක් ගතට මෙන්ම සිතට ද අත් කර දෙන්නට සමත්ය.

අද දවස වන විට අප ජීවත් වන්නේ මහා අවුල් ජාලාවකින් යුක්ත සමාජයකය. ප්‍රශ්න අර්බුද හා කරදරවල ඉමක් කොනක් නොපෙනෙන තැනකය. වටපිටාවකදී වැඩි මනත් වශයෙන් අප සිත්වල උපදින්නේ සෘණාත්මක චිත්තවේගයි. මෙකී සෘණාත්මක චිත්තවේග දිගින් දිගටම පැවතුණහොත් එය අපට හෝ අපේ සමීපතමයනට හෝ කිසි සේත් යහපතක් ඇති නොවේ. එය යම් පමණකට හෝ යට කර දමන්නට අකා මකා දමන්නට හැකි ප්‍රබලම මෙවලමක් හැටියට සංගීතය හඳුන්වන්නට පුළුවන.

Comments