නේපාලයේ ගුවන් අනතුරක් - අනතුරට ලක් වූ පිරිස් සොයා මෙහෙයුම් | සිළුමිණ

නේපාලයේ ගුවන් අනතුරක් - අනතුරට ලක් වූ පිරිස් සොයා මෙහෙයුම්

පුද්ගලයන් 72 දෙනෙකු රැගත් ගුවන් යානයක් නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථය ආසන්නයේ  අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 44 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.
 
විදේස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති බවය.
 
අනතුරට ලක් වු යානයේ මගී අතර විදේශිකයන් 15දෙනෙකු ද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ඒ අතර, මගීන්ගෙන් 53 දෙනෙකු නේපාල ජාතිකයන් වන බවත් එහි ඉන්දීය ජාතිකයින් 5දෙනෙක්, රුසියානු ජාතිකයින් සිව්දෙනෙක් සහ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු සිට ඇත.  එමෙන්ම අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව සහ ප‍්‍රංශය යන රටවලින් ද එක් මගියෙකු බැගින් ද සිට ඇති බව වාර්තා වේ.
 
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.
 
නේපාලයේ පැරණි ගුවන් තොටුපොළ සහ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් යානය අනතුරට ලක් ව ඇත. මෙම ගුවන් යානය කත්මණ්ඩු සිට Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
 
අනතුරින් සිදුව ඇති මරණ සංඛ්‍යාව පිළිබඳ වාර්තා විවිධ වේ. එක් නිලධාරියෙකු මරණ සංඛ්‍යාව 62 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන් කර ඇති අතර තවත් නිලධාරියෙකු පැවසුවේ අවම වශයෙන් මළ සිරුරු 29 ක් මේ වන විට සොයාගෙන ඇති බවයි.
 
මේ අතර නේපාල පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ මියගිය සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෙතෙක් දිවි ගලවා ගත් කිසිවෙක් සොයාගෙන නොමැති බවත්ය. නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශක ජගන්නාත් නිරෝලා එම සංඛ්‍යාව තහවුරු කර තිබේ. 
 
නේපාලයේ හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙහෙයුම් සඳහා සොල්දාදුවන් 200ක් පමණ යොදවා ඇති බවත් අනතුරට ලක් වූ යානය කෑලිවලට කැඩී ගොස් ඇති අතර හමුවූ මළ සිරුරු වලට අමතරව අනෙක් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවය.
 
එමෙන්ම නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් විසින් මේ සම්බන්ධයෙන් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් ද කැඳවා ඇති බව වාර්තා වේ.
 
 
 

Comments