මම දකුණෙ මිනිහෙක්නෙ අතහරින, පරදින දේවල් මං ළඟ නෑ | සිළුමිණ

මම දකුණෙ මිනිහෙක්නෙ අතහරින, පරදින දේවල් මං ළඟ නෑ

Rainbow Distributors පුද්ගලික සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂ සහ RC Associates හි නේවාසික හවුල්කරු රුවන් චන්දික

ඉංග්‍රීසි විෂයය උගන්වන කාල පරිච්ඡේදයේදී රුවන් ඇතුළු යහළුවන් පිරිස කවදාවත් පාසලේ සිටියේ නැත. එහි ප්‍රතිඵල ලැබුණේ වාණිජ විෂයය ධාරාව හැදෑරීමට විශ්වවිද්‍යාලයට ගිය සැණිනි. උසස් පෙළ වාණිජ අංශයෙන් ගාල්ලෙ දෙවැනියා වෙමින් පාසලේ හොඳ ම ප්‍රතිඵල පෙන්වූ රුවන් චන්දිකට ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ උපාධිය මුළුමනින්ම උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බව දැනගත් විට හීන් දාඩිය දැම්මේ ය. මඟහැරි පාඩම් උගැන්මට දිවා රෑ වෙහෙස නොවුණහොත් සිය අනාගතය ම වතුරේ බැව් හේ දැන සිටියේ ය. උපාධියට නියමිත පොත් එක්වරක් දෙවරක් නොව දහවරක් පමණ කියවමින් තනියෙන් ඉංග්‍රීසි ඉගෙන ගත් රුවන්ට සරසවි නේවාසිකාගාරයට ඇතුළත් වීමේ ලිපිය ද තැපැල් ප්‍රශ්නයක් නිසා ලැබෙන්නේ නැත. තමන්ට හිමි නේවාසිකාගාර පහසුකම සහිත ලිපිය රුවන්ට ලැබෙන්නේ මාස 6ක් ගෙවුණු පසුය. එතෙක් බෝඩිමක සිටි රුවන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයට එන්නේ බොහෝ ප්‍රමෝදයෙනි.

මේ සියලු කඩඉම් ස්වකීය උත්සාහයෙන් ම ජයගත් රුවන් චන්දික අද දෙස් විදෙස් පතළ සාර්ථක ව්‍යාපාරිකයෙකි. වරලත් ගණකාධිකාරී ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙකි. අභියෝග කිසි

විටෙකත් අභියෝග සේ නොසැලකූ රුවන් චන්දිකගේ දිවිසැරියේ මතක පෙළකි මේ.

 සම්පූර්ණ නම

කෝට්ටේ හේවා රුවන් චන්දික

 උපන්දිනය

1977 සැප්තැම්බර් 16

 කොහේද ගම් පළාත

අම්බලන්ගොඩ, බටගොඩ

 අම්මා තාත්තා මොකද කළේ, මොනවද ඔවුන්ගේ නම්?

මගේ තාත්තා වැඩ අධීක්ෂක කෙනෙක්. තාත්තා ගොඩක් විදේශවල තමයි හිටියෙ. අම්මා ගෘහණියක්. තාත්තාගේ නම සිරිල් වර්ණකුල; අම්මා කල්‍යාණවතී. මට මල්ලිලා දෙන්නෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා.

 පාසල් යන්නේ?

මුලින්ම දොරල කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සෙ ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වෙලා 1988 දි අම්බලන්ගොඩ ධර්මාශෝකයට යනවා.

 අම්බලන්ගොඩ ධර්මාශෝකය මිශ්‍ර පාසලක්. කොහොමද පාසල් කාලෙ අත්දැකීම්?

ඇත්තටම බොහොම සුන්දර අතීතයක් ඒක. මම පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් විදියට වැඩ කළා. මට හොඳ යාළුවො කට්ටියක් හිටියා. ඉතින් අපි දඟ වැඩ නොකළාම නොවෙයි. සමිති සමාගම් රාශියක මම විවිධ තනතුරු දැරුවා. ආර්ථික සමිතියේ හා භූගෝල සමිතියේ සභාපති විදියට වැඩ කළා. මම ඉගෙන ගන්න පුළුවන් කියන කණ්ඩායමේ හිටියෙ.

 කොහොමද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල?

මට ඩී - 5 යි සී තුනයි තිබුණෙ. මට ගණන්වලට ඩී එකක් තිබුණෙ. ඉතින් වාණිජ විෂයය ධාරාවෙන් තමයි උසස් පෙළ කළේ.

 උසස් පෙළ කරද්දිත් අර යාළුවො එක්ක කළ දඟ වැඩ එහෙමම කළා ද?

උසස් පෙළ කරද්දි මම ඇත්තටම ඉගෙනීමටම යොමු වුණා. මම හැම විෂයකින්ම ඒ සාමාර්ථ්‍ය ගත්තා. 1996 ගාලු දිස්ත්‍රික්කෙ දෙවැනි ස්ථානය අරන් පාසලෙත් හොඳම ප්‍රතිඵල වාර්තා කරලා උසස් පෙළ ඉහළින් ම සමත් වුණා. මට ලකුණු 319 ක් තිබුණා.

 ඔබ ගණකාධිකාරී විෂය ධාරාව කරන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පහසුවෙන් ම තේරෙන්න ඇති.

ඔව්. ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයට තමයි මම තේරුණේ. ඒක ඉහළ ම ලකුණු ගන්න අය තේරෙන විෂයය ධාරාව. ලංකාවෙන්ම වාණිජ විෂයය ධාරා හදාරලා දිස්ත්‍රික්කවලින් හොඳම ලකුණු ගන්න කිහිප දෙනා බැගින් තෝරලා තමයි ඒ උපාධිය හදාරන්න සිසුන් ගන්නෙ. ලංකාවේ දිස්ත්‍රික්ක 24න්ම ආව අපි ඔක්කොම 150 තෝරා ගත්තෙ ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයට. 1998 දි මම විශ්වවිද්‍යාලෙට එන්නෙ.

1996 ඉඳන් 1998 දක්වා උසස් පෙළ ඉවර වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බලන් ඉන්න අවුරුදු දෙකක කාලය මොකද කළේ?

උසස් පෙළ ඉහළ ලකුණු ගත්ත නිසා මට ගෙදර ඉන්න කාලෙ ඇතුළත අම්බලන්ගොඩ මහජන බැංකුවේ පුහුණු නිලධාරියෙක් විදියට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ අවුරුදු දෙකේම මම බැංකුවෙ වැඩ කිරීමෙන් ගත් අත්දැකීම තමයි මගේ පළමු රැකියා අත්දැකීම

 ගාල්ලෙ ඉඳන් විජේරාමෙට ආව ඔබ හොස්ටල් ද නතර වුණේ?

මට එතැන ප්‍රශ්නයක් වුණා. මම ඇත්තට ම හොස්ටල් ඉල්ලලා තිබුණෙ. ඒත් මට හොස්ටල් ලැබුණෙ නෑ. පස්සෙ හොයල බලද්දි තැපෑලේ ප්‍රශ්නයක් නිසා මට හොස්ටල් එකට එන්න කියලා එවලා තිබුණු ලියුම මට ලැබුණෙ මාස හයකට පස්සෙ. ඒ නිසා මුල් මාස 6 මම හිටියෙ බෝඩිම්වල. පස්සෙ ලියුම හම්බු වුණාම ඒක අරන් ගිහින් මම හොස්ටල් එකට ඇතුළත් වුණා.

 අතරමඟදි සම්බන්ධ වුණා කියලා, හොස්ටල් එකේ ඉඩ ප්‍රශ්න ආවෙ නැද්ද?

හොස්ටල් ජීවිතේ කියන්නෙ ඉතින් වෙනස් එකක්නෙ. එහෙම ගැටලුවක් නෑ. එක කාමරේ ඉන්න පුළුවන් 6කට විතරක් වුණාට අපි 10ක් 12ක් හිටියා.

 ඒ කියන්නෙ ගජේට ඉන්න ඇති? පාඩම් කරන්න එහෙම ප්‍රශ්න ආවෙ නැද්ද එහෙම ඉද්දි?

ඇත්තටම නෑ. ඒ කාලෙ ඔය වගේ දේවල් ගැන අපට කිසි ප්‍රශ්නයක් නෑ. ඕන යාළුවෙක් ඒ කාලෙ අපි හොස්ටල් එකට ගෙන්න ගන්නවා. හැමෝම කොහොම කොහොම හරි එකට හිටියා. ඒක හරිම සුන්දර අත්දැකීමක්. කොහොමත් අපි පාඩම් කරන්නෙ රීඩින් රූම්වලනෙ. යාළුවො එක්ක ඉද්දි හැමදේම බෙදා හදා ගෙන අපි හැමෝම එකා වගේ මහන්සි වෙලා විභාග කරගත්තා. 2002 දි තමයි මම විශ්වවිද්‍යාලෙන් පිට වෙන්නෙ.

 සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත ඔබට එක පාර ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගනිද්දි ගැටලු ආවෙ නැද්ද? කොහොමද ඒ වෙනකොට ඔබේ ඉංග්‍රීසි දැනුම?

මට විශ්වවිද්‍යාලෙට යන්න කලින් ලැබෙන ඉංග්‍රීසි පුහුණු පාඨමාලාව ඒ කියන්නෙ ගෙල්ට් එකට සහභාගී වෙන්නත් බැරි වුණා. ඒ වෙනකොට මම බැංකුවෙ පුහුණු වෙමින්නෙ හිටියෙ. ඒ විතරක් නෙවෙයි, මම පාසලේදිත් ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙක් නොවෙයි. අපට උසස් පෙළටත් ඉංග්‍රීසි තිබුණා. හැබැයි සියලු විෂයයන් හොඳට කළ මම පන්තියෙ නොහිටපු එකම විෂයය තමයි ඉංග්‍රීසි. ඉංග්‍රීසි වෙලාවට විතරක් අපි පන්ති කට් කළා. විවේක වෙලාවට කලින් පීරියඩ් එකේ තමයි අපට ඉංග්‍රීසි තිබුණෙ. අපි ඒ වෙලාවට පන්තියෙ විතරක් නෙවෙයි; පාසලේවත් නෑ.

 මොකද වුණේ. උගන්නපු ක්‍රමේ වැරැද්ද ද? නැත්නම් ළමයින්ගෙ වැරැද්ද ද?

අපේ වැරැද්ද තනිකරම. ඒක ගුරුවරුන්ගෙ වැරැද්දක් නොවෙයි. විශ්වවිද්‍යාලෙට ආවම තමයි තේරුණෙ කරපු වැරැද්ද. දුර පළාත්වලින් ආව සමහර පළාත්වලින් ආව ළමයි ඉංග්‍රීසි බැරි නිසා වෙන විෂයය ධාරා කරන්න මාරු වෙලා ගියා.

 හැබැයි ඔබ අතාරින්නෙ නෑ. කොහොමද ඉංග්‍රීසි හදා ගත්තෙ?

මේකට විකල්පයක් නෑ, මම ම තමයි මේක හදා ගන්න ඕන කියන එක මම තේරුම් ගත්තා. ඇත්තට ම මම තනියෙන් මහන්සි වෙලා ඉංග්‍රීසි හදා ගත්තෙ. මාස තුනක් යද්දි අවශ්‍ය කාර්යසාධන මට්ටමට මම ළඟා වුණා.

 කොහොමද තනියෙන් ඉංග්‍රීසි හදා ගත්තෙ. අනික විෂයානුබද්ධ පාරිභාෂිත වචන ඔබ කොහොමද තනියෙන් හැදෑරුවෙ?

උවමනාවයි ඕන. මම අපට තිබුණු ලොකු පොත් ඒ කියන්නේ පිටු තුන්හාරසීයේ ටෙක්ස්ට් බුක් සේරම කිහිප වතාවක් කියවමින් තේරුම් ගත්තා. මං කොච්චර සාර්ථක වුණා ද කියනවා නම් පළවැනි අවුරුද්දෙ පළවැනි සෙමෙස්ටර් එකේ මම බැච් ටොප් වුණා. ළිඳට වැටුණ ම ළිං කටෙන්මනෙ ගොඩ එන්න ඕන. ඉතින් මම ම මහන්සි වුණා. ඒක මට අභියෝගයක් වුණා; නමුත් මම ඒක ජයගත්තා.

 මේ අතරෙ ඔබ වරලත් ගණකාධිකාරී විභාග කරමින් ද හිටියෙ?

ඇත්තටම මම විශ්වවිද්‍යාලෙට එද්දිම චාර්ටඩ් විභාගවලින් දෙකක් කරලා පාස් වෙලා හිටියෙ. ඒ කියන්නෙ ආවස්ථරික 2 කියන විභාගය. කැම්පස් එකේ ඉද්දි අන්තර්මාධ්‍ය විභාගය නැවත වාරයක් කරන්න වුණා. ඒ විෂයය ධාරාවෙ සිදු වුණු වෙනස්කම නිසා. පළමු වරම මම ඒක පාස් වුණා.

 මේ තාක් කල් කළ විභාගවලින් එකපාර කරගන්න බැරි වුණු විභාග තියෙනවද?

මම කවදාවත් විභාගයක් දෙපාරක් කරලා නෑ. කරපු හැම විභාගයක්ම එකපාරම පාස් වුණා. මොකද මම හොඳට ලෑස්ති වෙලා තමයි විභාග කරන්නෙ. ශිෂ්‍යත්වෙ, සාමාන්‍ය පෙළ විභාගයේ ඉඳන් මේ දක්වා ඔක්කොම එහෙමයි. මම කරන්නෙ යාළුවන්ට කියලා දෙන එක. කියලා දුන්නම තමයි මට ගොඩක් මතක හිටින්නෙ.

 මේ වෙනකොටත් ගෙදරින් ද වියදම් කරන්නෙ?

අපෝ නෑ. මම කැම්පස් එද්දිත් මහජන බැංකුවෙ වැඩ කරලා ආවෙ. මගේ උසස් පෙළ ප්‍රතිඵලත් එක්ක මට ලොකු ඩිමාන්ඩ් එකක් ආවා ටියුෂන් කරන්න. මාත් උගන්වන්න ආසයි. අනික මට ආදායමක් ලැබෙනවා. මම හිතුවා මේ තමයි හොඳම කාලෙ මම ම තනියෙන් දියුණු වෙන්න කියලා. ඊට පස්සෙ මම උසස් පෙළ ප්‍රතිඵල ආව දවසෙ ඉඳන් ම බැංකුවෙ රස්සාවට අමතර ව අමතර පන්තිත් කළා. ඉතින් ගෙදරින් සල්ලි ඉල්ලන්න අවශ්‍යතාවක් ආවෙ නෑ. ඒ අතරේ චාටඩ් වලටත් පන්ති ගියා.

 විශ්වවිද්‍යාලෙ සහ වරලත් ගණකාධිකාරී විභාගවලට පුහුණු වීම සඳහා කොහේටද යන්නෙ?

විශ්වවිද්‍යාලෙ දෙවැනි අවුරුද්දෙ ඉඳන් අපට විගණන ආයතනයක පුහුණු වීමටකට යන්න අවශ්‍ය වුණා. හැබැයි මම මුලින් ම ගියේ විගණන ආයතනයකට නොවෙයි. ගැමා ෆාමසි කියන ආයතනයේ තමයි පුහුණු වීමට ගියේ. මම එතැන හිටියෙ මාස 5යි. මාව අධීක්ෂණය කරන්න හිටපු වරලත් ගණකාධිකාරීවරයා හදිසියේ විදේශගත වුණා. ඒ නිසා මාව අතරමං වුණා. පස්සෙ මට වරලත් ගණකාධිකාරී ආයතනයෙන් උදවු කළා. මාව Ernest & Young කියන ආයතනයට ඒ අය විගණන පුහුණුව සඳහා යොමු කළා. ඒ 2001දි. එතැනදි තමයි මගේ සම්පූර්ණ වෙනසක් වෙන්නෙ. පුහුණුවන්නෙක් විදියට වැඩ කළ මට එතැන කළමනාකරුවෙක් විදියට උසස්වීමක් ලැබුණා.

 ඒ වෙනකොට විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලාද?

ඔව්. මට මාතර ශාඛාවේ කළමනාකරු විදියටයි උසස්වීමක් ලැබුණෙ. ඒ වෙනකොටත් මගෙ පුහුණුවෙන් මාස 6ක් තියෙද්දි තමයි මට ඒ උසස්වීම ලැබුණෙ. ඊට පස්සෙ මම 2003 වසරෙ වරලත් ගණකාධිකාරී අවසන් විභාගය පාස් වුණා. මට වරලත් ගණකාධිකාරිවරයෙක් විදියට සාමාජිකත්වය හම්බ වෙන්නෙ 2003 දි.

 පළමු සෙමෙස්ටර් එකේ දක්ෂතම විද්‍යාර්ථියා වුණු ඔබ උපාධිය අවසන් කරද්දිත් දක්ෂතම සිසුවා ද?

පස්සෙ ඉතින් මම තව බොහෝ දේ කළානෙ. අමතර පන්ති කළා. වරලත් ගණකාධිකාරී විභාග කළා. සමහර වෙලාවට දේශනවලට යන්න වුණෙත් නෑ. අපිට දේශන තිබුණෙ රෑ. ඒත් ඒ දේශනවලටත් ගොඩක් වෙලාවට යන්න වුණේ නෑ. මොකද ඒ වෙනකොට විගණන පුහුණුවටත් යනවනෙ. මේ ගොඩක් වැඩ නිසා ඇත්තට ම මට විශ්වවිද්‍යාලයෙන් නික්මෙද්දි තිබුණෙ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක්. ලංකාවේ කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේත්, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයෙත් අනතුරුව මම සමාජිකත්වය ගත්තා. වෘත්තීය සාමාජිකත්ව තුනක් හිමි වෘත්තිකයෙක් මම. ඒ අතරෙ මම පශ්චාත් උපාධියක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ම හදාරලා නිම කළා.

 මේ අතරෙ කොහොමද ඔබේ රැකියා තත්ත්ව වෙනස් වෙන්නෙ?

2003 වෙද්දි මම කළමනාකරුවෙක්. 2005 දි මට අවස්ථාවක් ලැබෙනවා Ernest & Young ආයතනයේ USA බොස්ටන් ශාඛාවේ වැඩ කරන්න. එතන කාලයක් වැඩ කරලා මම ආයෙත් දකුණු පළාතේ ශාඛා භාරව කටයුතු කරනවා. ඒ අතරේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු තනතුරත් ලැබෙනවා. 2008 දි මට හොංකොංවල වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. 2010 වෙනකොට මම Ernest & Young ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් වෙනවා. 2015 දි මම ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ තනතුරට පත් වෙනවා. 2016 දි මම ඒ ආයතනයේ යන්න පුළුවන් ඉහළ ම තැනට ඒ කියන්නෙ හවුල්කරුවෙක් බවට පත් වෙනවා. 2016 ඉඳන් 2018 දක්වා මම Ernest & Young ආයතනයේ හවුල්කරුවෙක් විදියට වැඩ කරනවා. මම Ernest & Young ආයතනයේ අවුරුදු 17ක් හිටියා.

 මේ අතරෙ හිතුණෙ නැද්ද තමන්ගෙ ව්‍යාපාරයක් කරන්න?

Ernest & Young ආයතනයේ වැඩ කරද්දි මට හරියට ඇවිදින්න වුණා. ඒක හරිම මහන්සි වැඩක්. ඒ නිසයි මම හිතුවෙ මගේම ආයතනයක් පටන් ගන්න. 2018 දි මම මගේම විගණන ආයතනයක් පටන් ගත්තා. ඒක ගොඩක් දියුණු වුණා. ඒ අතරෙ මම අමතර කොටස් ගෙන්වලා විකුණන ආයතනයක් පටන් ගත්තා. ඒ Rainbow Distributors (Pvt) Ltd නමින්. මම ඒකෙ කළමනාකාර අධ්‍යක්ෂ. මගේ තව ව්‍යාපාරයක් තියෙනවා R & S Real Investments (Pvt) Ltd නමින්. මම එහි සම කොටස් කරුවෙක්. මම මගේ මිත්‍රයෙක් එක්ක එකතු වෙලා තව ව්‍යාපාරයක් කරනවා, The Autochoice කියලා. ඒක අමතර කොටස් බෙදා හරින ව්‍යාපාරයක්. මේ වන විට මම RC Associates හි නේවාසික හවුල්කරු ලෙසත් කටයුතු කරනවා.

 ඔබ සේවකයන්ට මොන වගේ ප්‍රධානියෙක් ද?

මම Ernest & Young ආයතනයේ ඉන්න කාලෙ ඉඳල ම සේවකයො මට ටිකක් බයයි. ඒක මගේ දැක්මෙන්ම එන දෙයක්. ඒත් මම නපුරු බොස් කෙනෙක් නොවෙයි. මම සේවකයන් එක්ක බොහොම සුහද ව ඉන්න බොස් කෙනෙක්. මගේ යාළුවො වගේ තමයි මගේ සේවකයනුත්. එයාලා දන්නවා වැරදි කළොත් මම සැර බොස් කෙනෙක් කියලත්. මම එයාලගේ පහසුව සහ වැටුප් ගැන සැලකිලිමත්.

 මොකද්ද ඔබේ සාර්ථකත්වයේ රහස?

ඇත්තටම මගේ රහස තමයි, මගේ උත්සාහය. මම කිසි දෙයක් ලේසියෙන් අතහරින්නෙ නෑ. මම හිතුවොත් දෙයක් කරන්න ඕන කියලා, මම ඒක අනිවාර්යයෙන් කරල තමයි පස්ස බලන්නෙ. මට පුළුවන් ඕන දෙයක් කරන්න කියන විශ්වාසය මට තියෙනවා. ඇත්තටම මම මවුපියන්ගේ කිසි වත්කමක් ගත්ත කෙනෙක් නොවෙයි. මට ඕන වුණේ මම ම නැඟිටින්න.

 මට හිතෙනවා, ඔබ තනි තීරණ ගන්න කෙනෙක් කියලා. වැරදුණු පාඩු වුණු තැන් තියෙනවද?

එහෙම නැත්තෙ නෑ. මම තීරණ ගනිද්දි දත්ත විශ්ලේෂණය කරලා තමයි ගන්නෙ. නමුත් සමහර හදිසියේ ගත්ත තීරණ වැරදිලා පාඩුවෙලා තියෙනවා. සමහර වෙලාවට මම ගෙන්වන බල්ක්වල මිල තරගකාරී තත්ත්ව යටතේ වැඩි වුණු අවස්ථා තියෙනවා. බිස්නස් කරද්දි ඕවා ඔහොම තමයි. කලබලය නිසා ඒවගේ දේවල් නොවුණා නොවේ. මම ගොඩක් වෙලාවට මගේ බිරිය එක්ක තමයි කතා කරන්නෙ. සමහර වෙලාවට මිතුරන් එක්කත් කතා කරන අවස්ථා තියෙනවා.

 මොකද්ද ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය?

මම Ernest & Young ආයතනයේ පුහුණුවන්නෙක් විදියට ඉද්දි කළමනාකාරීත්වය එකපාර කිව්වා මාතර ශාඛාවේ කළමනාකාර තනතුර බාර ගන්න කියලා. එතැන ඒ වෙලාවෙ හිටියෙ වරලත් ගණාකාධිකාරීවරයෙක්. මම පුහුණුවන කෙනෙක් පමණයි. ඒක මට ලොකු අභියෝගයක් වුණා. නමුත් මම ඒ අභියෝගය ගත්තා. මම දකුණෙ මිනිහෙක්නෙ. අතහරින, පරදින දේවල් මම ළඟ නෑ. මට මේක කජ්ජක් නෙවෙයි කියලා මම උසස්වීම බාර ගත්තා. ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.

 හැමදේම ගත්තෙ මහන්සියෙන්ද? නිකම් ලැබුණු දේවල් නැද්ද?

මම ගත්ත, මට ලැබුණු හැමදෙයක් ම මම මහන්සියෙන් ගත්ත දේවල්. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා.

 කවුද ජීවන සහකාරිය

ඇය චම්පා චාන්දනී කළුබෝවිල. ඇය ඉංග්‍රීසි සාහිත්‍යය ගුරුවරියක්. අපි විවාහ වෙන්නෙ 2002 දී. අපට ඉන්නෙ දියණියන් දෙදෙනෙක්. අපේ ලොකු දුව පියති පමායාට දැන් අවුරුදු 20යි. වෛද්‍යවරියක් වීම සඳහා ඇය ජෝර්ජියාවෙ ඉගෙන ගනිමින් ඉන්නවා. මගේ පොඩි දුව සඳිති නිමායාට අවුරුදු 16යි. ඇය උසස් පෙළ හදාරමින් ඉන්නවා.

 පොත් කියවන්න, චිත්‍රපට බලන්න කැමැතිද?

ඉස්සර නම් ගොඩක් පොත් කියෙව්වා. නමුත් දැන් විෂයානුබද්ධ දේවල් තමයි අධ්‍යයනය කරන්නෙ. ඉඳහිට චිත්‍රපට බලනවා මම බිරිය එක්ක.

 සංචාරය කරන්න කැමැති කොහේද?

යාළුවො එකතු වෙලා පවුල් විදියට තමයි අපි ගොඩක් දුරට ඇවිදින්න යන්නෙ.

අපි නුවරඑළිය, යාල, නිලාවැලි වගේ තැන්වලට ගොඩක් කැමැතියි.

 සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ

මම ඇත්තට ම බ්‍රෑන්ඩ්ස් ගැන සැලකිල්ලක් නෑ.

 හැරිලා බලද්දි ජීවිතේ මේ දේවල් නොකර හිටියා නම් හොඳයි කියලා හිතෙන අවස්ථා තියෙනවද?

එහෙම හිතෙන එක තැනයි තියෙන්නෙ. ඒ උසස් පෙළ කාලෙ ඉංග්‍රීසි පන්තිය කට් නොකළා නම් කියන එක.

Comments