
ලග්න රැසකට ස්වර්ණමය කාලයක්
17 දා සවස 6.03ට සෙනසුරු කුම්භ රාශියට
ග්‍රහ මාරුවෙන් උපරිම ඵල ලැබීමට සෑම ලග්න හිමියකුම ග්‍රහ මාරුව සිදු වන දිනට පෙර දින සිට සතියක පමණ කාලයක් නිර්මාංශීව සහ සත්ත්ව ඝාතනයෙන් වැළකී ආගමානුකූලව ජීවත් වීම වැදගත්
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදිනී
ශ්‍රීයා ගනේගොඩ
2023 වසර ආරම්භ වනවාත් සමඟම සෙනසුරු ග්‍රහයා කුම්භ රාශි ගතවීම සුවිශේෂි ග්‍රහ මාරුවක් ලෙස සැලකිය හැකිය. සෙනසුරු නම ඇසූ පමණින් බොහෝ දෙනෙක් බියට පත්වෙති. එහෙත් සෙනසුරු ග්‍රහයා අසුබ ඵල පමණක්ම ප්රදානය කරන ග්‍රහයකු නොවේ.
උපතේදී තම කේන්ද්‍රයේ සෙනසුරු ප්රබලව යහපත් තැනක සිටියේ නම් ඒ ඒ දශා කාලයන්හිදී ජන්මියාට උපරිම සැප සම්පත් හිමිකර දෙන බව නොරහසකි. 2023 ජනවාරි 17 වැනිදා සවස 18.03ට (පස්වරු 06.03ට)සෙනසුරු මෙවර තම ස්වක්ෂේත්ර මුලත්රිකෝණ රාශියට පැමිණෙයි. එහි වසර 2 1/2 - 3ත් අතර කාලයක් රැඳී සිටීමට ඉඩ ඇත.
ලංකා කේන්ද්‍රයට අනුව ලග්නයේම ගෝචර වන සෙනසුරු ග්‍රහයා අපට යහපත් වූ සහජීවනයකට කටයුතු සම්පාදනය කර දෙනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටිමු.
සෙනසුරු යනු යුක්තියට සාධාරණයට මුල්තැන දී කටයුතු කරන සහ පීඩිත පන්තියේ ජනතාවට උදවු උපකාර කරන ග්‍රහයෙකි.
එමෙන්ම සාධාරණ අපේක්ෂාවන් ඇති, ස්වෝත්සාහයෙන් ජීවිතය ගොඩනඟා ගන්නා වීර්යවන්ත පුද්ගලයන්ට ද සෙනසුරු වැඩි කැමැත්තක් දක්වයි.
මේෂ - ජයග්‍රාහී මාවතකට ඔබ යොමු කරයි
ගෘහ ජීවිතය :- මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 11 වැන්න වූ අයස්ථානයට සෙනසුරුගේ පැමිණීම ඔබගේ ජීවිතයේ සුවිශේෂී වෙනසක් ඇති කරයි. එම ස්ථානයට මූල ත්‍රිකෝණ බලයෙන් පැමිණෙන සෙනසුරු නිසා පසුගිය වසර තුළ මුඳුන් පමුණුවා ගැනීමට නොහැකි වූ ආර්ථික, සාමාජීය ජයග්‍රහණ මෙන්ම පදිංචි ස්ථානයේ දියුණුව ද සලසා ගැනීමට හැකිවෙයි. නව නිවෙසක් ඉදිකර ගැනීමට හෝ දැනට තිබෙන නිවෙස නවතාවයකින් අලුත්වැඩියා කර ගැනීමට ද ඉඩකඩ සැලසේ. එමෙන්ම මවුපිය උරුමයෙන් හෝ ඥාති වැඩිහිටි අයගෙන් හෝ ලැබිය යුතු ඉඩකඩම්, දේපළ, යාන වාහන හිමි වීමට භාග්‍යය පවතී. අසල්වැසියන් සමඟ සුහදව කටයුතු කිරීමටත් පවුල් පරිසරය තුළ ඉවසීම, කාරුණික බව තුළින් සමාදානයෙන් කටයුතු කරන්නටත්, ආවේගශීලී බවෙන් මිදී පරිණත භාවයෙන් පිරිපුන් උසස් මනසක් ඇති පුද්ගලයකු වීමටත් මේ සෙනසුරු මාරුව බලපවත්වනු ඇත. උද්යෝගය උනන්දුව, වැඩිහිටි අවවාද අනුශාසනා මත කුටුම්භ සංරක්ෂණය මැනවින් පවත්වා ගැනීමට හැකි වන අතර, ජීවිතය සතුටින් ගත කළ හැකිය. සමාජ සුබසාධන කටයුතුවලට මෙන්ම පුණ්‍ය කටයුතුවලට දායකත්වය සලසා දී මෙලොව පරලොව දෙකෙහිම අභිවෘද්ධියක් සලසා දීමට සෙනසුරු ඔබ පොලඹවයි. දරුවන්ගේ අවශ්‍යතාවන්ට මුල්තැන දෙන අතර ඔවුන්ගේ විවාහ, රැකීරක්ෂා කටයුතු ආදී සියලු යහපත් බලාපොරොත්තු සඵල වෙනු ඇති අතර ඔබගේ ආයුෂ ද වර්ධනය වේ.
රැකියාව :- ඔබ මෙතෙක් කරගෙන යන්නාවූ යම් රැකියා කටයුත්තක් වේද මෙම සෙනසුරු මාරුවෙන් පසු එහි සුබවාදී වෙනසක් දක්නට හැකිවනු ඇත. යුක්තියට සාධාරණයට අනුව මිස එයින් පරිභාහිර වූ දේකට රැකියා ක්ෂේත්රය තුළ ඔබට ඉඩ නැත. පොදු ජනයාගේ අසරණ අයගේ හඬට කන් දීමටත් ඔවුන්ගේ අවශ්‍යතා කලට වේලාවටත් කරදීමට සිදුවෙයි. වැටුප් ඉහළ නැංවෙනු ඇත. නව රැකියාවක් සොයමින් සිටින කෙනෙකු නම් බොහෝවිට සෞඛ්‍යමය අංශවල, ගුරුහරුකම් ලබාදෙන විද්යස්ථානවල, ශ්‍රමය කැප කරන රටෙහි දියුණුව සාර්ථකත්වයට උර දෙන කර්මාන්තශාලාවල ඉඩහසර සැලසෙනු ඇත. ආදායම් තත්ත්වය යහපත්ය. තැන්පත් ධනයකට ඉඩ සැලසෙන අතර අමතර ආදායම් මාර්ග ද සලසා ගැනීමට හැකිවේ.
අධ්‍යාපනය:- කුමන අංශයක ඉගෙනීම ලැබුවත් එහි ඵල නෙළා ගැනීමට ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ඔබට හැකිවේ. ඔබ විද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළට මුහුණ දෙන දරුවකු නම් සෙනසුරු ග්‍රහයා ඔබේ සියලු ලැබීම් පෙන්වන 11 වැන්නට පිවිසෙන බැවින් ඔබගේ කැපවීමට සාධාරණ පිටිවහලක් ලබා දෙනු ඇත. මේෂ ලග්නයේ අනෙකුත් දරුවනට ද මේ සෙනසුරු මාරුවෙන් යහපත උදාවෙයි. ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ ද ඔබට ගුරු භවතුන්ගේ පූජ්‍ය පක්ෂයේ වැඩිහිටි උගත් උසස් අයගේ ඇසුර ලබමින් ඉලක්ක සපුරා ගැනීමට ජයග්‍රාහී මාවත තෝරා ගැනීමට පහසු වේ. උත්සාහය, කැපවීම ඇති නිතර පොතපත පරිහරණය කරන දරුවන්ටත් වැඩිහිටියනට කීකරු සහ ඔවුන්ගේ අවවාද පිළිගන්නා දරුවන්ටත් සෙනසුරු අයහපතක් නොකරයි. ජයග්‍රහණ ලබා දෙයි. දැනුම වර්ධනය කර මතක ශක්තිය වඩවයි.
සෞඛ්‍යය :- පාදවල වේදනා, හෘද රෝග, ඇස් රෝග පහසුවෙන් සෑදීමට ඉඩකඩ ඇත. සෙම් පීනස් රෝගයන්ට ද ගොදුරු විය හැකිය. අස්ථි බිඳීම්, වැටීම් තැළීම් වැනි හදිසි සුළු අනතුරු ද ඇතත් ඒවා දිගින් දිගට බල නොපවත්වයි. ආහාර පාලනය කර ගැනීම වැදගත් වේ.
ජය අංක :- 1, 7, ජය වර්ණ - රතු, දම්,
සුබ දවස් - අඟහරුවාදා, සෙනසුරාදා
අපල අවම කර ගැනීමට :- 1. ජනවාරි 17න් පසුව එළඹෙන සෙනසුරාදා දිනයක සවස බෝධි පූජාවක් තබන්න. නුග කොළ මත එළඟිතෙල් පහන් 7ක් දල්වන්න. නිල්මල්, බුලත් පඬුරු, අනෙකුත් පූජා ද්‍රව්‍යය ද බෝධීන් වහන්සේට පූජා කර නිවෙසින් රැගෙන යන ලද පැන් බඳුනකින් බෝධීන් වහන්සේ දෝවනය කරන්න. පන්සිල් ගෙන දෙවියන්ට පින් දී අමා මෑණි බුදු පියාණන් වහන්සේට බුදු බව ලැබීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිහිට වූයේ යම් සේද මා හට ද මේ බෝ සමිඳුන්ගේ අනුහසින් සිතන පතන සැනසීම ලැබෙත්වා !නව ග්‍රහ දොස් දුරුවේවා! සෙනසුරු ග්‍රහ මාරුවෙන් පීඩාවක් නොවේවා! යැයි ප්‍රාර්ථනා කරන්න. අවසානයේ රතන සූත්‍රය කියා නැවතත් දෙවියන්ට පින් දෙන්න. මෙය මාසයකට එක් දිනක්වත් කරන්න.
2. සෙනසුරාදා අලුයම කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබතක් සාදා නිවැසියන් උදේ ආහාරයට ගැනීමට පළමුව බටහිර දෙසින් ලෑල්ලක් මත තබන්න.
3. නුග වෘක්ෂයකට ජල බඳුනක් දමන්න.
4. තල, තලකැරලි, නිල් රෙදි, නිල් තිර දානමය වශයෙන් දෙන්න.
පූජා කරන්න.
**************************
වෘෂභ - පෙර කළ කුසල කර්ම ඉස්මතු වේ
ගෘහ ජීවිතය :- ඔබගේ කේන්ද්‍රයේ 9 වැන්න සහ 10 වැන්න අධිපති වන සෙනසුරු 10 වැන්න වූ කර්මස්ථානයට පැමිණීම ඉතාම සුබදායකය. එමෙන්ම ශනි හෙවත් සෙනසුරු ඔබේ ලග්නයට යෝගකාරක ග්‍රහයා ද වෙයි. කේන්ද්‍රයට අනුව සෙනසුරු බලවත් ලෙස ස්ථානගත සිටියේ නම් අධික සුබඵල භුක්ති විඳින්නට හැකිවේ. එසේ නැතත් තදබල අපල නොයෙදේ. සන්සුන් මනසකින් යුතුව වැඩකටයුතු කිරීමට සෙනසුරු ඔබව පොලඹවනු ඇත. දහමට නැඹුරු කරයි.
ගෘහ ජීවිතය සමාදානයෙන් ගෙවන්නට හැකිවන අතර උත්සව අවස්ථා සඳහා සහභාගී වන්නට අවස්ථා උදාකර දෙයි. සමාජීය කටයුතුවල නියැළෙන අතර කීර්තිය, ගෞරවය අත්වේ. පූජ්‍ය පක්ෂයේ අවවාද අනුශාසනා ලැබ යහපත් අයගේ ඇසුරට යොමුවේ. දුවා දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වන අතර යුග දිවිය ප්‍රීතිමත්ය. පසුගිය වසරේ සම්පූර්ණ කර ගත නොහැකි වූ දියුණුව ඉදිරි වසර 2 1/2ක කාලය තුළ ළඟාකර ගත හැකිය. ලෝකෝත්තර දියුණුව පිණිස ද අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට හැකි වනු ඇත. විදසේ ගමන් සඵල වේ. පංච මහා පුරුෂ යෝගවලින් සැදි සස යෝගය නිර්මාණය වී ඇත.
රැකියාව :- රැකියා දියුණුවට ඉතා වාසනාවන්ත කල දසාවක් ඔබට උදාවන්නේ සෙනසුරු සැපත් වන්නේ ඔබගේ රැකියා ස්ථානයට වන නිසාය. දැනට රැකියාවේ අනපේක්ෂිත බවක් තිබුණේ නම් ස්ථිරතාවයකට පැමිණෙයි.
වැටුප් වැඩිවීම්, උසස්වීම් පවා ලබන්නට හැකිවේ. තැන්පත් ධනයකට හිමිකරුවෙක් වෙයි. අලුතෙන් රැකියාවක් සොයමින් සිටියේ නම් සාධාරණව මුදල් ඉපයිය හැකි යහපත් ස්වාමියකු යටතේ රැකියාවක් ලැබෙයි. ඔබගේ අවංකත්වයට ගෞරවය හිමිවේ. යහපත් රැකියාවකට යොමුවන ඔබගේ කායබල ශක්තීන් ද වර්ධනය වේ. බොහෝවිට කුසලයක් උපදවා ගත හැකි රැකියා ක්ෂේත්රවලට ඔබ යොමු කරවන්නට සෙනසුරු පසුබට නොවනු ඇත. අතමිට සරු කාලයකි.
අධ්‍යාපනය :- උසස් අධ්‍යාපනය ලබන සහ මෙවර කඩඉම් විභාගවලට මුහුණ දෙන දරුවන්ට අනිවාර්යයෙන් උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වනු ඇත. විද්‍යා අංශයෙන් නම් පොදු ජනතාවට පිහිට වන උසස් උතුම් රැකියාවකට යෑමට මඟ හෙළිවේ. නීති අංශයෙන් විභාගයට මුහුණ දෙන්නේ නම් සාධාරණය ඉටු කිරීමට ඉදිරි වසර දෙක තුළ සෙනසුරුගේ උපකාරය ඔබට හිමිවේ. අලස බව මගහරවා උනන්දුව, උත්සාහය, ධෛර්ය ඔබට සලසා දෙනු ලබන්නේ ඔබගේ උපත් ග්‍රහබල අතර සෙනසුරු යහපත් අයුරින් සිටීම නිසාය.
සෞඛ්‍යය:- සියලු සෙම් රෝග, හිස ගෙල පපුව ආශ්රිත රෝග සෙම් ගෙඩි, මලබද්ධය, දණහිස්, තුනටිය වේදනා සහ . ලේ ගමන අඩු වැඩි වීම සිදුවිය හැකිය.
ජය අංක:- 4, 6, ජය වර්ණය - සුදු,
සුබ දවස් - බදාදා, සිකුරාදා, සෙනසුරාදා
අපල අවම කර ගැනීමට :-
1. හැකි අයුරින් ධාර්මික වීම, අන්‍යයන්ට උපකාර කිරීම, ඇසුරු කරන්නන් අතර සහ රැකියා ස්ථානයේදි ඉවසීම, මෛත්‍රිය, ප්‍රිය වචන භාවිත කිරීමට අනිවාර්යයෙන් නැඹුරුවක් ඇති කරගන්න. ඒ හැරුණු විට සෙනසුරාදා දිනවල බෝධිපූජා තබා විෂ්ණු දෙවියන්ට පින් දී සෙනසුරු අපල අවම කර ගැනීමට උනන්දු වන්න.
2. ආබාධිත අයට සහ තිරිසන් සතුන්ට ආහාරපාන, ජලය ලබා දීම, වෙල් මාළුන්ට ආහාර දීම, ශල්‍යකර්මවලට භාජනය වූ අයට උදවු උපකාර සහ උවටැන් කිරීම.
3. තල, තලකැරලි, කොල්ලු, කළුපාට රෙදි පරිත්‍යාග කරන්න.
4. නුග වෘක්ෂයකට සත්කාර කරන්න.
**********************
මිථුන - විදෙස් ගමන් සඵල වෙයි
ගෘහ ජීවිතය :- ඔබගේ කේන්ද්‍රයේ 8 හා 9 වැන්න අධිපතිත්වය උසුලන සෙනසුරු තමාට අයත් 9 වැන්න වූ පුණ්යස්ථානයේම බලවත් වීම සුබපල ගෙනදෙයි. පසුගිය කාලය තුළ අෂ්ටම ඒරාෂ්ටකයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් අනේකවිධ ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඔබට සිදු වුවත් දැන් ඒ කාලය නිමවෙනු ඇත. ගෘහ ජීවිතයේ සමගිය, සමාදානය සාකච්ඡා මාර්ගයෙන් පවුලේ දියුණුව සලසා ගැනීම ආර්ථික ස්ථාවරත්වයක් සලසා ගැනීම නිරායාසයෙන් දක්නට ලැබේ. ධර්මස්ථානයේ සෙනසුරුත් කර්මස්ථානයේ ගුරුත් සිටීම යහපත් සාධාරණ සහජීවනයකට මඟ හෙළි පෙහෙළි කරයි. නිතර පූජ්‍ය පක්ෂය ඇසුරු කරමින් මැදිහත් බවින් කටයුතු කරන්නට පෙලඹේ. දූ දරුවන්ගේ අපේක්ෂා මුඳුන්පත් වෙයි. පවුලට නව සාමාජිකයන් එකතු වීමක් දක්නට ලැබෙයි. ප්‍රසිද්ධිය, කීර්තිය, ගෞරවය නිරායාසයෙන්ම අත්වේ. ගේදොර, යානවාහන ලැබීම් සඳහා ද භාග්‍යය පවතින බැවින් ඉදිරි වසර 2 1/2ක කාලය උත්සාහය අත් නොහැර ධෛර්යවත්ව කටයුතු කළ යුතුය.
රැකියාව :-කෘෂිකාර්මික අංශවල නියැළෙන අයට ප්රතිලාභ ලබන්නට සුදුසු කාලවකවානුවකි. ස්වයංරැකියාවල යෙදෙන අයගේ එම කටයුතුවලට අගයක් එම අදාළ අංශවලින් ලැබෙනු ඇත. එමෙන්ම ලිපි ලේඛන ආශ්රිත කටයුතු කරන, පොතපත ආශ්‍රිතව කටයුතු කරන වෘත්තිකයන්ට ද සුබ කාල වකවානුවකි. ඔබ උපයන ධනයෙන් කොටසක් ඉතිරි කර ගැනීමට ද හැකි බැවින් ප්‍රවේශමෙන් මුදල් පරිහරණය සිදුකරන්න. රැකියාවල ස්ථාන මාරු ඇතිවිය හැකි වුවත් ඒවායින් අවැඩක්, අපහසුතාවක් ඇති නොවේ. විදෙස්වල සිටින මිතුරන්ගෙන් ප්‍රයෝජන හිමිවනු ඇත. විදෙස් රැකියා ඉල්ලුම් කර ඇති අය උනන්දු වන්න. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට, ජනතාවගේ දුකට පිහිට වන ක්ෂේත්රවල අයට වෘත්තිමය ලාභ හිමිවේ. සමාජ සුබ සාධන කටයුතු සම්බන්ධ ආයතනවල නියැළීමට හැකියාව පවතී. කෙසේ වුවද ඔබගේ අතමිට සරු වන භාග්‍යවන්ත වූ වසර දෙකහමාරකි.
අධ්‍යාපනය :- උසස් පෙළ පමණක් නොව ප්‍රාථමික අංශවල ඉගෙන ගන්නා සියලු දූ දරුවන් දැනුම අතින් ඉතා උසස් මට්ටමක තැබීමට සෙනසුරුගේ පිහිටාධාරය ද බලපවත්වයි. විද්‍යා, කලා, කළමනාකරණ පාඨමාලා මෙන්ම තාක්ෂණය, භාෂා ඥානය ආදී සියලු අංශ හදාරන මිථුන ලග්න දරුවන්ට ඉදිරි වසර 2 1/2ක කාලය යහපත් වේ. පිරිවෙන් අධ්‍යාපනය හදාරන කුඩා ස්වාමීන්වහන්සේලා ද දක්ෂතා දක්වයි. තව තවත් උනන්දු වන්න.
සෞඛ්‍යය :- හෘදය සම්බන්ධ අසනීප, ස්නායු රෝග, හිරිවාත, සෙම් රෝග මෙන්ම හදිසි සුළු අනතුරු ඇතිවිය හැකි බැවින් අවබෝධයෙන් සහ කල්පනාවෙන් කටයුතු කරන්න.
ජය අංකය- 5, ජය වර්ණය - කොළ,
සුබ දවස් - බදාදා, සිකුරාදා
අපල අවම කර ගැනීමට:-
1. සෙනසුරාදා දින දරුවන් සමඟ විහාරස්ථානයට ගොස් බෝධි මළුව පිරිසුදු කර බෝධි පූජා තබන්න. ස්වාමීන් වහන්සේලාට ගිලන්පස පිළිගන්වන්න.
2. හැකිනම් අටවිසි බෝධි පූජාවක් තවත් අය සම්බන්ධ කරගෙන කරන්න. විෂ්ණු දෙවියන් ප්‍රධාන දෙවිවරුනට පින් දී සෙනසුරුගේ සුබඵල වඩා වර්ධනය කර ගන්න.
3. දානමාන පින්කම්වලට සහභාගී වන්න. අසරණ අතපය වාරු නැති අයට ඇප උපකාර කරන්න.
4. කුඩා දරුවනට පොතපත පරිත්‍යාග කරන්න. නුග වෘක්ෂයකට සත්කාර කරන්න. තිරිසන් සතුන්ට ජලය, ආහාර දෙන්න.
**********************
කටක - දැහැමි පැවතුම්වලින් අපල දුරුකර ගන්න
ගෘහ ජීවිතය :- සෙනසුරු ග්‍රහයා කටක ලග්නයට අසුබ වන්නේ 7 සහ 8 අධිපති බැවිනි. එහෙත් ඔබගේ කේන්ද්‍රයේ සුබ ග්‍රහයකු ලෙස බලවත් පිහිටීමක් තිබුණොත් තරමක් දුරට අපල අවම වෙයි. ඒ කෙසේ වෙතත් මෙවර සෙනසුරු මාරුවෙන් ශනි අට වැන්නට පිවිසීම අෂ්ටම ඒරාෂ්ටකයක් නිර්මාණය වීමකි. ඒ නිසා බාල මහලු තරුණ සියලු දෙනාටම මෙය එක සේ බල පවත්වයි. විපරීත යෝග, පරිවර්තන යෝග ආදී පිහිටීම්වලින් ද අසුබඵල මගහරවයි. අන්සතු ධනය, වස්තුව ලැබීමට ද ඉඩකඩ ඇතත් මහා පරිමාණයෙන් නොවේ. අපල මග හරවා ගැනීමට නිරතුරුව ආගමික අංශයට නැඹුරු වීම යහපත් වනු ඇත. එවිට මෙවර සෙනසුරු මාරුව සුබවාදී පැත්තට හරවා ගැනීමට ඔබට හැකි වනු ඇත. ඒරාෂ්ටක කාලවලදී සමහරු එය සුබ අතට හරවා ගනු ලබන්නේ සාධාරණය අනුව කටයුතු කිරීමෙනි. යුක්තියට සාධාරණයට අනුව අන්‍යයන් සමඟ සහයෝගයෙන් මානුෂීය බැඳීමකින් කටයුතු කරන සහ උත්සාහයෙන් කටයුතු කරන්නන් කෙරෙහි සෙනසුරු දක්වන්නේ ලැදියාවකි. එලෙස ගුණ ධර්ම වර්ධනය කර ගනිමින් අන්‍යයන්ට කරදරයක් නොවී ජීවිතය පවත්වා ගන්නා ඔබට මේ කාලය ආශිර්වාදයකි.
රැකියාව :- අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය තුළ ඔබට රැකියාවේ ගැටලු සහගත අවස්ථා මුණ ගැසෙන අතර, ඉවසීමෙන් සහ දරාගැනීමේ හැකියාවන් තුළින් ඒවා මගහරවා ගැනීමට සිදුවේ. වැටුප්, අතිකාල දීමනා පිළිබඳ ගැටලු පැන නගී. දුෂ්කර මාරු මෙන්ම ප්‍රධානීන්ගේ චෝදනා එල්ල වීමට ද පුළුවන. රැකියාව එපා වන තරමට කරුණු යෙදිය හැකිය. ඒරාෂ්ටකයක් තුළ මේ සියල්ල තිබිය හැකි බව ඔබ විසින් අවබෝධ කරගෙන සිටීම වැදගත් වේ. වෙනත් ආදායම් මාර්ග පවත්වා ගත හැකි නම් ඒ පිළිබඳ සිතා රැකියාව ද ආරක්ෂා කර ගැනීම සුදුසුය. විදෙස් රැකියා සඳහා යොමු වීමෙන් අපල කාලය ගෙවා දැමීමට ද සමහරුනට හැකිවේ. ණයවලට අත්සන් තැබීම, ණය දීම සුදුසු නොවේ.
අධ්‍යාපනය :- ඉගෙනීමේ කටයුතුවල යෙදෙන දුවා දරුවනට අලස නිදිමත ගති, පාඩම් මතක තබා ගැනීමට නොහැකියාව වැනි තත්ත්වයන් උද්ගත විය හැකිය.
එහෙත් ඒරාෂ්ටක කාල යෙදෙන්නේ ඔබව අවදියෙන් තබා විභාගවලින් සමත් කර දීමටය යන කියමන අනුව දැඩි උත්සාහයෙන් කැපවීමෙන් යුතුව සෙනසුරු අපල පරදා ජය ලැබීමට උත්සාහ කරන්න. ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව මිස සියලු දෙනාටම එකසේ අපල බල නොපවත්වයි.
සෞඛ්‍යය :- වයස්ගත අයගේ තුනටිය ආශ්රිත ගැටලු මතුවිය හැකිය.වැටීම්, තැළීම් ආදියෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගන්න. වාහනවලින් ගමන් බිමන් යෑමේදී ආරක්ෂාකාරීව සහ අවේලාවේ ගමන් නොයන්න. හෘද රෝග, උණ රෝග, වීෂබීජ ශරීරගතවීම්වලට ඉඩ ඇත.
ජය අංකය :- 2, සුබ වර්ණ - සුදු, ක්‍රීම්
සුබ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
අපල අවම කර ගැනීමට :-
1. අඩුම තරමේ සෙනසුරාදා දිනයේවත් මස්මාංස අනුභවයෙන් වළකින්න. මරණයට කැප වූ සතුන් නිදහස් කරන්න. පක්ෂීන්ට කෑම දමන්නට තැනක් පිළියෙල කර කෑම සහ ජලය තබන්න.
2. මඟතොටදී අසරණ කෙනෙක් දුටුවොත් පාර මාරුවෙන්නට උදවු කරන්න. කුසගිනි නිවෙන්නට යමක් දෙන්න. බස්රියකදී තම අසුන වැඩිහිටි සහ අසරණ අයකුට ප්රදානය කරන්න. පාරවල් සහ ළිං කැණීමට ආගමික ස්ථානවල කටයුතුවලට උදවු කරන්න.
3. බෝධි පූජා තබන්න. සෙනසුරාදා දිනවල එළඟිතෙල් පහන් දල්වා දෙවියන්ට පින් දෙන්න.
********************
සිංහ- ව්‍යාපාරික කටයුතුවලට සුබයි
ගෘහ ජීවිතය :- ඔබගේ කේන්ද්‍රයේ 7 වැන්න වූ විවාහක ස්ථානයට පැමිණෙන සෙනසුරු සුබ අසුබ දෙකම ලබා දෙයි. එහෙත් සෙනසුරු එම ස්ථානයට දිග්බල බැවින් සුබ පල වැඩියෙන් පෙන්වයි. ව්‍යාපාරික ස්ථානය ද 7 වැන්න බැවින් ආදායම් පිළිබඳ කරුණුකාරණාවලද වෙනස්කම් ඇති වෙයි. 6 සහ 7 යන භාවයන් දෙකෙහිම අධිපති බැවින් ශාරීරික වශයෙන් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. යුග දිවිය පිළිබඳ ගැටලු සාමකාමීව විසඳගෙන මනා අවබෝධයකින් කටයුතු කරන්නට ලැබෙයි.මෙතෙක් විවාහ පිළිබඳ තිබු ප්‍රමාද දෝෂ ඉවත්වෙයි. සසර පින මත ඔබට හිමි සහකාරිය හෝ සහකරු මුණ ගැසීමට අවස්ථා උදාවේ. ඔබගේ නොපසුබට වීර්යය අනුව දියුණුවට කටයුතු සැලසේ. යොවුන් වියේ පසුවන්නන්ට ප්‍රේම සබඳතා ඇතිවේ. සතුරු කරදර පහව යයි. විදෙස් ගත වීම් පිළිබඳව උනන්දුවක් දක්වන අයට ද සුබපල හිමි වෙයි.
රැකියාව:- දැනට කරගෙන යන රැකියාවලින් ආදායම් වැඩිවීමටත් නව ව්‍යාපාරික කටයුතු ඇරඹීමටත් හැකියාව ලැබේ. කෘෂිකාර්මික අංශවල දියුණුවක් දක්නට පුළුවන. නව නිර්මාණ කටයුතුවලට දක්ෂතා ඇති අයට ස්වයංරැකියා දියුණු කර ගැනීමටද එය නිපැයුම් සඳහා විදෙස් වෙළෙඳපොළ වෙත යොමු වීමට ද හැකි වේ. උත්සාහය, කැපවීම මත කුමන හෝ ක්ෂේත්රයක නියැළී එය දියුණු මාවතකට ගෙන යෑමට සෙනසුරු ඔබට උපකාරී වෙයි. කෙසේ වුවද හවුල් කරුවන් සමඟ ණය ගනුදෙනුවලට පෙලඹීම ඔබට අසුබය. විදෙස් ධනය ඉපයීමට ද ඉදිරි කාලය යහපත් වේ.
අධ්‍යාපනය :- සෙනසුරු 7 වැන්නේ ගත කරන කාලය තුළ ඔබේ ඉගෙනීමේ කටයුතු අඩාළ නොවනු ඇත.
7 වැන්නේ සිට 9 වැන්න සහ සිවු වැන්න දැකීම හේතුවෙන් ප්‍රාථමික අංශවල සහ උසස් අධ්‍යාපන කටයුතුවලින් සුබපල නෙළා ගැනීමට හැකිවේ. සෙනසුරු ග්‍රහයා බලවත්ව සිටින කේන්ද්‍ර හිමි දරුවනට නම් කිසිදු අයුරකින් ඉගෙනීමට බාධා ඇති නොවේ. පොදුවේ කියනු ලබන පලාපලවල යම් වෙනස්කම් ඇති විය හැකි වුවත් සිංහ ලග්න දරුවන් පසුපසට යෑමට මැළි නොවන නිසා බාධක ඉදිරියේ නොසැලී තම අරමුණු මුඳුන්පත් කර ගැනීමට වෙහෙසෙයි. ඉදිරියේ පවත්වනු ලබන විභාගවලින් උසස් ජයක් හිමි කර ගත හැක. ඒ සියල්ලට මුල් වන්නේ ඔබගේ උනන්දුව හා කැපවීම වන අතර දක්ෂයාට නිසි තැන දීමට සෙනසුරු මැළි නොවෙයි.
සෞඛ්‍යය :- හෘදයේ ආබාධ, කොඳු ඇට පෙළේ අබාධ, වකුගඩු රෝගවලට ඉඩ ඇත. තුන්දොස් කිපීම, අජිර්ණ රෝග ද මතු විය හැකිය. උණ හා සෙම් රෝග ආදියට ද ඉඩ ඇත. වම් පාදයේ සුළු අනතුරු ද පෙන්වයි.
ජය අංකය - 4, සුබ වර්ණය - රතු, දම්
සුභ දවස් - අඟහරුවාදා, ඉරිදා
අපල අවම කර ගැනීමට :- 1.නිල් සහ රතු පාට මල්, රතු නෙළුම් පුජා කරන්න. අබතෙල්, එඬරු තෙල් මිශ්‍ර පහන් 07 ක් දල්වා බෝධියේ අබියස හිඳ පන්සිල් ගෙන රතන සුත්‍රය තුන් වතාවක් කියන්න. සෙනසුරු අපල දුරුවේවා යැයි ප්‍රාර්ථනා කරන්න.
2. බලු කපුටු දානයක් දී එළඟිතෙල් මිශ්‍ර කිරි බතක් ගුලි 09ක් කපුටන් වෙනුවෙන් තබන්න.
3. සෙනසුරුගේ ආහාරය වන තල රෙදි කැබැල්ලකට දමා පොට්ටනි කර එය තල තෙලෙන් පොඟවා සෙනසුරු වෙනුවෙන් දල්වන පහනකට දමන්න. මෙය නුග ගහක් මුල තබා නිල් මල් පුජා කරන්න.
**********************
කන්‍යා - නොසිතූ විරූ ලැබීම් සහ ජයග්‍රහණ රැසක්
ගෘහ ජීවිතය :- ඔබගේ කේන්ද්‍රයේ 5 වැන්න සහ 6 වැන්න අධිපති ස්වක්ෂේත්ර මූල ත්‍රිකෝණ බලයෙන් යුතුව 6 වැන්නට පැමිණිම සුබපල ගෙන දෙන කරුණකි. මෙතෙක් ඔබට සතුරු කරදර තිබුණේ නම් ඒවා ඉවත් වී ගෘහ ජීවිතයේ දියුණුව සලසා ගැනීමට උනන්දුව ඇතිවේ. සාමාජීය දේශපාලනික සහ සුභසාධන කටයුතු වලට යොමුවේ. විදෙස්ගත වීම් බලාපොරොත්තුව සිටියේ නම් ඒවා ද සඵල වේ. පසුගිය කාලයේ නිම කර ගන්නට බැරි වූ කටයුතු යළි ඇරඹිය හැකිවෙයි.
පෙර කුසලය අනුව ඔබට කීර්තිය, ගෞරවය, ප්‍රශංසා හිමිවේ. ගේ දොර, යාන වාහන, ඉඩ කඩම් ලැබීමේ භාග්‍යය පවතී. උගත් උසස් මිතුරන් සහ පුජ්‍ය පක්ෂයේ හිමිවරුන් ඇසුර, අවවාද අනුශාසනා තුළින් තමා තුළ තිබු අඩුපාඩු සකස් කර ගැනීමට ද හැකිවේ.
රැකියාව :- 6 වැන්නේ සිටින සෙනසුරුට ත්‍රිකෝණගතව 10 වැන්න පෙනීම නිසා ඔබ මෙතෙක් කරගෙන ආ රැකියාවේ වැටුප් වැඩි වීම්, උසස් වීම්, තනතුරු ලාභ හිමි විය හැකිය. යුක්තිය සාධාරණය අනුවම රැකියා ස්ථානවල සියලු කටයුතු ඉටු කරන්නට සිදුවේ.
පොදු ජනයාගේ අවශ්‍යතා මැනවින් ඉටු කර දිය යුතු වැඩපිළිවෙළකට යොමු වීමට සිදුවන අතර, අයුක්තිය අසාධාරණයට ඔබගේ සේවා ස්ථානයේ ඉඩ කඩ නැත.
ඒ අනුව රැකියාව වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්නට සිදුවේ.
සමහර විට විදෙස්ගත රැකියාවට යොමු වීමට පුළුවන.
සැලසුම් සහගතව අමතර ආදායම් මාර්ගවලට යොමු වුවහොත් ලාබදායි අන්දමට පවත්වා ගෙන යා හැකිය. කුමනාකාරයෙන් හෝ ආර්ථිකය ශක්තිමත් වන අතර වියදම් ද වැඩි වේ. එසේ වුවද තැන්පත් ධනයක් වර්ධනය කර ගත හැකිය.
අධ්‍යාපනය :- ඉගෙනුම ලබන දරුවන්ගේ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකිය. ප්‍රාථමික අංශවල පටන් උසස් පෙළ දක්වා දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වීමත් විවිධ ක්ෂේත්රවලින් දක්ෂතා මතු කර ගැනීමටත් හැකි වේ.
මෙවර උසස් පෙළ විභාගයට විද්‍යා අංශයෙන් ඉදිරිපත් වන කන්‍යා ලග්න හිමි දරුවන්ට සෞඛ්‍ය ක්ෂේත්රය හා අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළම තනතුරක් වෙනුවෙන් පවත්නා උපාධි ඩිප්ලෝමා පාඨමාලාවලට සුදුසුකම් ලබයි. ඉදිරි වසර 2 1/2 තුළද ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන යෑමට සෙනසුරු මාරුවෙන් පිටුබලයක් ලැබෙනු ඇත.
සෞඛ්‍යය :- කොඳු ඇට පේළියේ වේදනා, උදර රෝග, කෙණ්ඩාවල වේදනා මතු කරයි. යටි බඩ, බඩවැල්, ගර්භාෂගත රෝගවලට ද ඉඩ ඇත. අක්ෂි රෝග සහ පාදවල ඉදිමීම වැනි රෝග මෙන්ම හදිසි සුළු අනතුරුවලටද ඉඩකඩ පවතී. ආහාර රටාව පිළිවෙලකට ගෙන යන්න.
ජය අංකය - 07, ජය වර්ණය - කොළ,
සුබ දවස - බදාදා, සිකුරාදා
අපල අවම කර ගැනීමට:-
1. කකුලක් ආබාධිත යාචකයන්ට සෙනසුරාදා උදය කාලයේ කැකුළු බත් සමඟ එළවළු වෑංජන දානමය වශයෙන් පරිත්‍යාග කරන්න. වෙල් මාළුන්ට පොරි වැනි ආහාර දමන්න.
2. පිළිකා, වකුගඩු රෝගීන්ට ඇප උපකාර කරන්න. සෙනසුරාදා දින උදේ හෝ සවස නුග කොළ මත එළඟි තෙල් පහන් තබා නිල් මල් පූජා කර බෝධි පූජා තබන්න. මාසයකට එක් වතාවක්වත් බෝධි පූජා සිදු කරන්න. කළු තල, අංජන කැට, ලොත් සුබුළු, බැබිල , වී පොරි, සතකුප්ප තැම්බු වතුර ස්නානය කරන්න.
*********************
තුලා - පෙර පින් බල පවත්වන කාලයකි
ගෘහ ජීවිතය :- ඔබගේ කේන්ද්‍ර සටහනේ 5 වැන්න වු විද්‍යස්ථානයට මුලත්රිකෝණ බලයෙන් පිවිසෙන සෙනසුරු සසර පින ඉස්මතු කරමින් ඔබගේ ජීවිතයේ මෙතෙක් අත් නොවූ ජයග්රහණයන්ට ඉඩ කඩ සලසා දෙයි. ඔබ මෙතෙක් දරුවකු නොලද කාන්තාවක් නම් යහපත් පින්වත් දරු උපත් සිදු වෙයි.
ඔබගේ දක්ෂතා මැනවින් ඔපවත් කර දෙමින් සමාජය තුළ කීර්තිය, ගෞරවය ඇතිව සාධාරණ අයකු ලෙස ජීවත් වන්නට ඉඩ සලසා දෙයි. සෙනසුරුගේ ඇල්ම බැල්ම යුක්තිගරුක ගුණ ගරුක මනුෂ්‍යත්වය හඳුනන අයට බැවින් ඔබගේ දියුණු වෙන කාලය මෙය බැව් සලකන්න. ගේදොර, යාන වාහන, ඉඩකඩම් ලැබීමේ භාග්‍යය ඇත. ධනෝපායන මාර්ග හමුවේ තැන්පත් ධනයක් වර්ධනය කර ගැනීමට මෙන්ම ව්‍යාපාරවලට අත ගසන්නට ද සුදුසු වසර දෙක හමාරක කාලයකි. කේන්ද්‍රයේ සෙනසුරු බලවත්ව නොසිටියත් මේ ජයග්‍රහණ භුක්ති විඳින්නට උත්සාහය, කැපවීම තුළින් ඔබට හැකියාව ඇත.
රැකියාව :- වසර 30කට පසුව ශනි ග්‍රහයා ඔබගේ 5 වැන්නට පිවිසීම ඔබ රැඳී සිටින රැකියා ක්ෂේත්රයේ සුවිශේෂි දියුණුවකට ඉඩ කඩ සලසයි. වැපුප් වැඩි වීම, උසස් වීම් මෙන්ම ඔබ නොසිතූ ලෙස නවක සේවා ස්ථානවල රාජකාරී ලැබීමට පුළුවන. රැකියාවක් සොයමින් සිටියේ නම් පෙර භවයේ කරන ලද පින් ඇතිව පුවත්පත් කලාව, පොතපත, ලිය කියවිලි ආශ්‍රිතව මෙන්ම විදෙස් විනිමය ගෙනෙන ආයතන නිෂ්පාදන අංශවල පිරිවෙන් ආශ්‍රිතව රැකියා ලාභ ලැබීමට හැකි අතර ඒවායේ සඵලතාව ගොඩ නැඟේ. විදෙස් රැකියා ද හිමි විය හැකිය. කාල කලමනාකරණය තුළින් ඔබට අමතර ආදායම් ලබා ගැනීමට මාර්ග බොහෝමයක් ඉදිරි කාලය තුළ හමුවිය හැකිය.
අධ්‍යාපනය :- ඔබගේ කේන්ද්‍රයේ 5 වැන්නට පිවිසෙන සෙනසුරු ඔබ කරගෙන යන්නා වු විෂය ධාරාවට අනුගතව එහි උපරිම ඵල නෙළා ගැනීමට උපකාරී වේ. 5 වැන්න යනු පූර්ව පුණ්‍යස්ථානය බැවින් කුඩා දරුවාගේ සිට උසස් අධ්‍යාපනය හදාරන්නා වු සියලු දෙනාගේ නැණ නුවණ වර්ධනය කරයි. විශේෂයෙන් විභාග ජයග්‍රහණය කිරීමට, අභියෝග ජය ගැනීමට අලස නොවී ක්‍රියාත්මක ශක්තියෙන් ජීවිතය දිනන්නට උත්සාහ කරන දරුවන්ට සෙනසුරු අතහිත දෙයි.
පෙර පින ගැන කියැවෙන 5 වැන්නේ සිට ලග්න භාවය දැකීම අනුව ඔබට කීර්තිය, ගෞරවය හිමි කර දෙයි. 9 වැන්න ද සෙනසුරුට පෙනෙන නිසා උසස් අධ්‍යාපන කටයුතුවලින් ඉහළ ජයක් ලබන්නට වෛද්‍ය, නීතිය, ගණිත අංශයෙන් ජීවිතය දිනා රටට වැඩදායි පුරවැසියන් වන්නට ඉඩ ලැබෙනු ඇත.
සෞඛ්‍යය:- උදරය, ආමාශය ආදී නාභියෙන් උඩ කොටස්වල අසනීප, හෘදය, දණහිස්, මුහුණ අවට ඉන්ද්‍රියන්ගේ වේදනා කැක්කුම් ඇති විය හැකිය.
ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් වන්න. තමාට අපත්‍ය බව දැනෙන හැඟෙන ආහාර නොගෙන ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන්න. සෙම් රෝග ඇති විය හැකි බැවින් අවේලාවේ ස්නානය කිරීමෙන් වළකින්න.
ජය අංකය:- 03,06, සුබ වර්ණය - සුදු,
සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
අපල අවම කර ගැනීමට:- 1. ප්‍රතිපත්තිගරුක ජීවිතයකට හුරුවන්න. දාන මාන දෙන්න. හැකි අයුරින් පුණ්‍ය කටයුතුවල නියැළෙන්න. අනෙකාගේ දුක දකින හදවතක් ඔබට තිබේ නම් අපල ඔබ අසලට නොඑනු ඇත.
2. තිරිසන් සතුනට, පක්ෂීන්ට ආහාර ජලය දෙන්න. වෙල් මාළුන්ට පොරි වැනි ආහාරයක් දමන්න. බෝධි පූජා පවත්වන්න. පින් බලාපොරොත්තුවෙන් සිටින දෙවියන්ට පින් දෙන්න. නුග පැළයකට සත්කාර කරන්න.
3. ස්වාමීන් වහන්සේලාට, වැඩිහිටි සහ මහලු දුබලතා ඇති අයට උදවු උපකාර කරන්න.
**********************
වෘශ්චික - සමාජයෙන් ගෞරව ප්‍රශංසා සහ කීර්තිය
ගෘහ ජීවිතය :- කේන්ද්‍රයේ සිවු වැන්නට පිවිසෙන සෙනසුරු ඔබගේ මෙතෙක් පැවති දුර්වලතා හදාගෙන ජීවිතේ සුබදායි මාවතක ගමන් කර වීමට සහාය වෙයි. මවුපිය පාර්ශ්වවලින් වැඩිහිටි අයගෙන් ලැබිය යුතු උරුම හිමිකම්, අවවාද අනුශාසනා මත සුබපල උදා කර ගැනීමට සෙනසුරු ග්‍රහයාගේ බලපෑම ඔබට නොමඳව ලැබෙනු ඇත. සියලු යහපත් බලාපොරොත්තු ඉටුවෙන කාලයක් බැවින් ඉදිරි වසර දෙක හමාර උත්සාහය, උනන්දුව සහ සැලසුම් සහගතව ගෙවන්නට උනන්දු වන්න. මාර්තු, අප්‍රේල්, අගෝස්තු මාසවල දියුණුවේ ආරම්භය ඇති වෙයි. සාමාජීය පිළිගැනීම ගෞරවය කීර්තිය හිමි වෙයි. ගේ දොර ඉඩකඩම් උපයා සපයා ගැනීමට සහ පදිංචි ස්ථානයේ දියුණුව සැලසෙයි. ධන ලාභවලට භාග්‍යය පවතී. ඔබගේ කේන්ද්‍රයේ සෙනසුරුගේ පිහිටීම අනුව මේ තත්ත්වය වෙනසකට භාජනය විය හැකිය..
රැකියාව:- සෙනසුරු මාරුව තුළින් වසර 30කට පසුව ඔබගේ සිවු වැන්නට එනම් පදිංචි ස්ථානයට සුබඵල පමුණුවයි. කෘෂිකාර්මික අංශයට යොමු වීම ලාභාදායි රැකියා ආයෝජනයකි. ඔබට සුදුසුම රැකියා එය වුවත් වෙළෙඳාම් තුළින් ද ලාභ ප්‍රයෝජන අත්වේ. කෙසේ වුවද ඔබ දැනට කරගෙන වෘත්තිමය කටයුතු අත් නොහැර වෙනත් ආදායම් මාර්ග සලසා ගැනීම වැදගත් වේ. කැපවීම තුළින් ධෛර්යයෙන් යුතුව ස්වෝත්සාහයෙන් කටයුතු කරන පුද්ගලයන්ට සෙනසුරු මාරුවෙන් කිසිදු අසුබ බවක් නැත. දියුණුව සැලසේ.
අධ්‍යාපනය:- පෙර පාසැල් වයසේ පසුවන දරුවන්ගේ සිට උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට ද සෙනසුරු සිවු වැන්නට පැමිණ බලවත් වීම සුබදායකය. පංච මහා යෝගවලින් එකක් වන සස යෝගයක බලපවත්වන බැවින් වෘශ්චික ලග්න හිමි දරුවන්ගේ දැනුම, ශක්තිය, මතක ශක්තිය වර්ධනය වේ. නිහඬ යහපත් දැක්මක් සහිතව ඉගෙනීමේ නියැළෙන දරුවන්ට සිතන පතන ආකාරයෙන් අභියෝග ජය ගැනීමට සුදුසු කාලයක් වනු ඇත. ඉදිරි වසර 2 1/2 ඇතුළත ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු සඳහා ඉලක්ක ගත උත්සාහයක යෙදෙන්න.
වෛද්‍ය, ඉංජිනේරු, නීතිය හදාරන දරුවනට සෙනසුරුගේ අසුබ කිරණ බල නොපවත්වයි. එමෙන්ම සෑම අංශයකම පරිගණක, භාෂා හැකියා ප්‍රගුණ කර විභාග ජය ගැනීමට ඔබට හැකි වනු ඇත. ඉදිරි කාල සීමාවේ අනාගතය භාර ගන්නට සිටින දරු පරපුරගේ අභිලාෂයන් සිඳ බිඳ දමන්නට තරම් සෙනසුරු අධර්මිෂ්ඨ නොවනු ඇත. බිය නොවී ඔබේ කටයුතු කරගෙන යන්න.
සෞඛ්‍යය :- පපුව, පෙණහැල්ල ආශ්‍රිතව හෘද රෝග මෙන්ම පාද ආශ්‍රිතව කලවාවල වේදනා, වම් ඇලය එසේ නොමැතිනම් දකුණු ඇලපත නාසයේ සිරවීම්, හුස්ම ගැනීමේ අපහසුතා, සෙම් රෝග ආදියට ඉඩ ඇත. කෑම මෙන්ම නෑම ද පිළිවෙළකට අනුව කාල වේලාවට කරගෙන යන්න. වෛද්‍ය උපදෙස් පිළිපදින්න.
ජය අංක :- 1, 2, සුබ වර්ණය - රතු,
සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා, බ්‍රහස්පතින්දා
අපල අවම කරගැනීමට:-
1. පළමුව සිත ශක්තිමත් කර ගන්න. ධාර්මික වන්න.
2. අට විසි පූජාවක් කළ හැකි නම් හිතවතුන් එකතු කරගෙන එය කරගන්න.
3. දුර්වල අයට ඇප උපකාර කරන්න. සෙනසුරු ග්‍රහයාගේ සුබ කිරණ අප වෙත පතිත වන්නේ අප යහපත් කටයුතුම කරනවා නම් පමණි. බලු කපුටු දාන ද දෙන්න.
4. භික්ෂුන් වහන්සේලාට උවටැන් කරන්න. බෝ මළුව අමදින්න. රෝගී අයට උපස්ථාන කරන්න. බෝධි පූජා පවත්වන්න.
*******************
ධනු - ඒරාෂ්ටකය අවසන් වී වාසනාවන්ත කාලයක ඇරඹුම
ගෘහ ජීවිතය :- පෙර කුසල කර්ම පෙරට විත් ඔබ මෙතෙක් කලක් අත්විඳි පීඩනය, ආතතිය, පසුතැවිල්ල යටපත් කරමින් සහනදායි බවක් ඇති කරයි. මෙතෙක් ඔබට පැවති අවුරුදු 7 1/2ක ඒරාෂ්ටකය අවසන් විය. ඉඩකඩම් දේපළ, නිවාස ප්‍රශ්න, ගැටලු පැටලුණු නූල් බෝලයක් හා සමානව විසඳුම් නොමැතිව ගත කළ කාල සීමාව ද නිමාවට පත් කිරීමට දැන් ඔබට හැකිවනු ඇත. උත්සාහවන්තව සැලසුම් සහගතව ධර්මානුකූලව වසර ආරම්භයේ සිට ජීවිතය අලුතෙන් ගොඩනඟා ගැනීමට අරමුණු කර ගන්න. ඔබේ සහජ දක්ෂතාවලට නිසි තැන ලැබෙන සහ පදිංචි ස්ථානය නිගමනය වන සෙනසුරු මාරුව ද මෙයයි. විදේශයකට යෑමට බලාපොරොත්තු සිටියේ නම් එයට ද අවස්ථාව මෙයම වෙයි. පවුලේ සමගිය, සතුට ගොඩ නැඟෙයි. දරුවන්ගේ අනාගතය සැලසුම් සහගතව ඔවුන්ට සුබවාදී මාවතක් තනා දෙන්නට වෙහෙසෙයි. ඒ සියල්ලටම විසඳුම් ඔබට ලැබෙනු නොඅනුමානය. ඒ සඳහා මවුපිය, සහෝදර සහෝදරියන්ගේ ද උපකාර හිමි වනු ඇත.
රැකියාව:- දැනට කරගෙන යනු ලබන රැකියා කටයුතුවලින් ඔබට පාඩු නොවේ නම් සහ එය ආර්ථිකයට ශක්තියක් නම් පමණක් එහි රැඳී සිටියාට වරදක් නැත. ඉන් පරිභාහිරව ඔබ යහපත් කර්මාන්තයකට පිවිසෙන්නට සිතන්නේ නම් හොඳින් සිතා බලන්න. විදෙස් රැකියාවකට යෑමට අදහස් කළේ නම් ඒ ගැන ද හොඳින් සිතා බලා බුද්ධිමත් තීරණයක් ගැනීම වැදගත් වේ. කෘෂිකාර්මික කටයුතුවලින්ද ඔබට ආදායම් ලැබීමේ හැකියාවක් පවතින අතර ධනය ඉතිරි කර ගැනීමට ද හැකියාව ලැබෙයි.
ඔබ කුමන තීන්දුවක සිටියත් සහෝදර ස්ථානයේ සිටින සෙනසුරුගෙන් ඇප උපකාර හිමි වනු ඇත. ඒ ඔබ සාධාරණ යුක්ති සහගත කෙනෙක් බැවිනි. ධනු ලග්නයේ ලග්නාධිපති ගුරු සැමවිටම යහපත අත්දකින බැවින් සෙනසුරු එයට අනුබල දෙයි.
අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දරුවන්ගේ සහජ හැකියාවන් මතුවීමට අවස්ථාව උදාවෙන ඉදිරි වසර 2 1/2 ක කාලය තුළ බොහෝ සුබපල ඔබට අත්විඳින්නට හැකි වනු ඇත. විදෙස් අධ්‍යාපනයට, ශිෂ්‍යත්ව ආදිය ලැබීමට ද පුළුවන. ළදරු පාසැල් වියේ දරුවන්ගේ පටන් උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට දුක් මහන්සි වී තම විෂය ධාරාවන්ට අනුව මතක ශක්තිය අවදි කර ගැනීමට හැකි වනු ඇත. 3 වැන්නේ සිටින සෙනසුරුට විදස්ථානය වූ 5 වැන්න පෙනීම අනුව පුර්ව අධ්යාපනය්, ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ කඩඉම්වල සිටින දරුවන්ගේ දැනුම අවදි කරයි. ඥාන ශක්තිය වැඩි වෙයි. පාසල් තුළ ද දරුවනට අවශ්‍ය කරන පහසුකම්වලට වැඩි ඉඩක් හිමි වනු ඇත.
සෞඛ්‍යය :- උරහිස් වේදනා, සෙම් රෝග, ආමාශගත අසනීප, පිත් රෝග, ශරීරයේ තෙල් තැන්පත් වීම නිසා හට ගන්නා අසනීප මතුවිය හැකිය.ආහාර පාලනය වැදගත් වන අතර, තෙල් මිරිස් අධික ආහාරවලින් වැළකීමෙන් ඉහත රෝග පාලනය වේ. සෑම විටම දේශීය ආහාර ශරීරයට එක්කර ගැනීම සුදුසුය.
ජය අංකය - 05, සුබ වර්ණය - කහ,
සුබ දවස් - ඉරිදා, බදාදා
අපල අවම කර ගැනීමට:- 1. පංචශීලය රැකීම වුවද ප්‍රමාණවත් වේ. ඔබ ආයතනයේ ප්‍රධානියකු නම් සේවකයන්ට කරුණාව, දයාව පතුරුවන්න.
2. සෙනසුරු අපල සඳහා සෙනසුරු කැමති කරුණු කාරණා අපෙන් ඉටුවේ නම් බිය නොවී සිටිය හැක. අන්‍යයන්ගේ සිත් රිදෙන අයුරින් තම වචන භාවිත නොකරන්න. ඒ හැරුණු විට ඔබගේ මානසික සුවය සඳහා සති අන්තයේ පවුලේ සියලු දෙනා සමඟ ගොස් බෝධි පූජාවක් තබන්න. සෙනසුරාදා නම් වඩාත් සුදුසුයි. බෝධියට මෙන්ම පන්සල් බිමෙහි තිබෙන නුග වෘක්ෂයට ද පැන් කලයක් දමන්න. තල කැරලි ටිකක් කුඩා දරුවන්ට බෙදා දෙන්න. කුසගින්නේ සිටින අයට ආහාර වේලක් දෙන්න.
******************
මකර - සැනසිලිදායක කාලයක ඇරඹුම
ගෘහ ජීවිතය :- කේන්ද්‍රයේ ලග්නාධිපති හා දෙවැන්නාධිපති වෙමින් ධනස්ථානයේ බලවත් වන සෙනසුරු ග්‍රහයා මෙවර ඔබට සුළු සහනදායී බවක් අත්කර කර දීමට මැළි නොවේ.
හිස මත තිබුණු බර මොහොතකට බිම තැබුවා වැනි හැඟීමක් ඔබට දැනෙනු ඇත. ජීවනෝපාය මාර්ග අවහිරවී අසනීප වී එක්තැන් වී ගෙවූ කාලය තවත් වසරකින් පමණ අවසන් වී සුපුරුදු කාර්යයන්වල නියැළීමේ හැකියාව ලැබෙනු ඇත. සිත පෙළන කලකිරුණු ස්වභාවයෙන් මිදෙන්නට අවකාශ ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් තව තවත් පින් දහම්හි නියැළෙමින් ඔබෙන් ගිලිහී ගිය බලාපොරොත්තු නවතාවයකින් යුතුව ඉටුකර ගත හැකි කාලයක් උදා වී ඇති බැවින් සිත ශක්තිමත් කර ගන්න. වසර 2 1/2ක් පුරා සෙනසුරු ධනස්ථානයේ රැඳී සිටින අතරතුර ඔබගේ අතමිට සරුසාර වනු ඇත.
රැකියාව :- ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට කැපවීමෙන් කටයුතු කළ යුතු වෙයි. ප්‍රිය මනාප සුහදශීලී ගුණයෙන් ඔබට අන්‍යයන්ගෙන් සේවා ලබා ගැනීමට හැකියාවක් පවතී. කෘෂිකාර්මික කටයුතුවලින් ප්‍රයෝජන හිමිකර ගැනීමේ භාග්‍යය පවතී. ආදායම් කෙතෙක් ලැබුවත් ඉතිරි කර ගැනීමට හෝ තැන්පත් ධනයක් පවත්වා ගැනීමේ අපහසුතාවක් ද ඇත. ඒ ගැන උනන්දුවක් ඇතිකර ගන්න.
දැනට ඔබ කරගෙන යන යම් වෘත්තිමය කටයුතුවල වැටුප් වැඩි වීම්, අතිකාල දීමනා ආදිය සහ සේවා ස්ථාන වෙනස්වීම් සිදු වීමට පුළුවන. ශ්රමයට සරිලන වැටුපක් මෙතෙක් ඔබට නොලැබුණේ නම් ඒ පිළිබඳ සහනදායී වැඩපිළිවෙළකට යෑමේ අවස්ථාව උදාවෙයි. විදෙස් රැකියා සඳහා යොමු වීමේ ප්‍රවණතාවක් ද ඇත.
අධ්‍යාපනය :- සෙනසුරු මාරුවෙන් ඔබගේ ඉගෙනීමේ කටයුතුවල සුබවාදී වෙනසක් දක්නට ලැබෙනු ඇත. පසුගිය කාලවකවානුවේ තිබූ ඒරාෂ්ටක තත්ත්වය නිසා අධ්‍යාපනයට බාධා, විභාග ජයග්‍රහණය කිරීමේ අපහසුතා ඇති වුණත් ඉදිරි කාලයේ එම ඉලක්ක සපුරා ගැනීමට ඉඩකඩ සැලසේ. නීති ක්ෂේත්රයේ නියුතු සිසු දරුවන්ට හොඳ වාග් ශෛලියක් ඇතිවේ. සංගීතය හදාරන අයට ද කටහඬ පරීක්ෂණවලින් සාර්ථක විය හැකි අතර, කුඩා දරු දැරියන්ගේ ගායන හා කථිකත්වයත් වැඩි දියුණු වී අන්‍ය ආකර්ෂණයට නතු වේ.
සෞඛ්‍යය:- හිස සහ මුහුණ ආශ්රිත අවයවයන්ගේ වේදනා කැක්කුම් මෙන්ම පාදවල වේදනා හෘදය සම්බන්ධ අසනීප උද්ගත විය හැකිය. ගෙදර දොර කටයුතුවලදී සංයමයකින් වැඩ කටයුතු කිරීම වැදගත් වන්නේ සුළු අනතුරු ඇතිවිය හැකි බැවිනි. දේශීය ආහාරවලට හුරු වීම, තෙල්, සීනි අධික ආහාරපානවලින් ඈත් වීම ශරීර සෞඛ්‍ය රැකගැනීමට පිටුබලයක් වේ.
ජය අංකය- 9, සුබ වර්ණය - නිල්,
සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
අපල අවම කර ගැනීමට:-
1. දාන, ශිල, භාවනා වැඩසටහන්වලට යොමු වීම, සමාජ සුබ සාධන කටයුතුවලට සහයෝගය දීම, දුගී මගී යාචකයනට හැකි අයුරින් උපකාර කිරීම, බලු කපුටු දාන දීම, ශල්‍යකර්මයකට බඳුන් වූ අයකුට වචනයකින් හෝ උදවු උපකාර කිරීම, දැක බලා ඒම සුහදතාවය දැක්වීම, කුඩා දරුවනට ආදරය සෙනෙහස දැක්වීම.
2. බෝධි පූජා පැවැත් වීම, නුග වෘක්ෂයකට සත්කාර කිරීම.
*******************
කුම්භ - පදිංචි ස්ථානයේ සුබවාදී වෙනස්කම් රැසක්
ගෘහ ජීවිතය:- ඔබගේ ලග්න භාවයේම ගෝචර වන සෙනසුරු ජීවිතයට සහනදායී බවක් ගෙන එනු ඇත. පදිංචි ස්ථානයේ සුභවාදී වෙනස්කම් මෙන්ම සමාජ සේවා කටයුතුවලින් කැපී පෙනෙන බවක් ඇතිවේ. ගෞරවය, කීර්තිය, ප්‍රශංසාව සහ නායකත්වය හිමි වේ. පුණ්‍ය කටයුතුවලට නිරතුරු යොමු වීම තුළින් මෙලොව පරලොව යහපත උදා කර ගනී. උගත්, උසස් ගුණගරුක මිතුරන් හමුවන කාලයකි. පුජ්‍ය පක්ෂයේ අනුශාසනා නිරතුරු හිමිවේ. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වන කාලයකි. අලුත් නැදෑ හිත මිතුරන්ගේ බැඳීම් වර්ධනය වන අතර, පවුලට නව සාමාජිකයන් එකතු වන කාලයකි. ගේදොර, ඉඩ කඩම් යාන වාහන සහ මෙතෙක් ඔබට නොතිබූ ලැබීම්වලට භාග්‍යය සහ උරුම හිමිකම් ඇත. බොහෝ අපහසුතාවයන්ගෙන් මිදී නිදහසේ ගත කිරීමට හැකි, සිතේ සතුට, සැනසීම, දුවා දරුවන්ගේ දියුණුව අත් විඳින කාල සීමාවකි.
රැකියාව :- දැනට නියැළෙන රැකියාව තුළ විශේෂ අවස්ථා හමුවෙනු ඇත. වැටුප් විෂමතා තිබුණේ නම් ඊට සාධාරණයක් ලැබෙනු ඇත. වෙනදාට වැඩි ශ්‍රමයක්, කැපකිරීමක් රාජකාරි මට්ටමෙන් කරන්නට සිදු වනු ඇත. විදෙස් රැකියාවලට ඉල්ලුම් කර තිබුණේ නම් සුබපල අත්විය හැකිය. අලුතෙන් රැකියාවක් සොයමින් සිටියේ නම් ඔබට සෞඛ්‍යය ක්ෂේත්රයේ ගුරුහරුකම් දෙනු ලබන ආයතන ප්‍රධානී, පොදු ජන අවශ්‍යතා සපුරාලන ආයතන ප්‍රධානී, පිරිවෙන් ගුරු උපදේශක, ආරක්ෂක අංශ ප්‍රධානී ආදී තනතුරුවල කටයුතු කිරීමට ද අවස්ථාව සැලසේ. තමන්ගේ ධනය පවත්වා ගැනීමට ඉදිරි වසර 2 1/2 ක කාලය තුළ සෙනසුරුගේ ලග්න ගත වීම ඔබට වාසි සහගත වේ. කෘෂිකාර්මික කටයුතුවලින් නව ආදායමක් ලබා ගැනීමට ද හැකියාව පවතී.
අධ්‍යාපනය:- ලග්නගත සෙනසුරු ත්‍රිකෝණ දෘෂ්ටියෙන් 5, 9 යන භාවයන් දැකීම හේතුකොට රටවැසි සියලු දරුවන්ට දැනුම, ඥානය වැඩි දියුණු වෙයි. ප්‍රාථමික අංශවල සිට උසස් අධ්‍යාපනය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන්නා වූ සියලු දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වේ. සෙනසුරු ග්‍රහයාගේ මෙවර ගෝචර ගමන අවුරුදු 2 1/2 පුරා ඉදිරියට දරුවනගේ අධ්‍යාපනය අවශ්‍යතා සපුරනු ඇත. ඉංජිනේරු අංශයෙන් විභාගවලට ඉදිරිපත් වන දරුවන්ට වඩාත් සුබ දායක වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසකට ජයග්‍රහණ හිමිවනු ඇත.
සෞඛ්‍යය :- හිසරදය, මුහුණ අවට ඉන්ද්‍රියන්ගේ ඇස, දත්, කන් සහ ගෙල ආදී අවයවවල අසනීප, පපුවේ වේදනා, දණහිස් දුර්වලතා හටගත හැකිය.ආහාර රටාව පාලනය කර ගැනීම වැදගත් වේ. දේශීය ආහාරයන්ට යොමු වන්නේ නම් අසනීප ගති බොහෝ දුරට මග හරවා ගත හැකිය. හදිසි අනතුරු ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. අවේලාවේ ගමන් බිමන් නොයන්න.
ජය අංක - 3, 9 සුබ වර්ණ- රතු, නිල්,
සුබ දවස - සිකුරාදා , සෙනසුරාදා
අපල අවම කර ගැනීමට:-
1. දාන ශීල භාවනා කරන්න. චෛත්‍යයක් අබියස නිල් මල් පූජා කර රටටම සෙත් පතන්න. ධර්ම පත්‍රිකා බෙදාහරින්න. ධර්ම දේශනාවලට සහභාගි වන්න. ආරණ්‍යයවාසී භික්ෂු භික්ෂුන්ට දන් දෙන්න. එක් තැන් වී සිටින වැඩිහිටියකු නහවන්න. උපාසක ඇත්තන්ට ගිලන්පස පූජා කරන්න. තිරිසන් සතුන්ට මෙත් වඩන්න. ආහාරපාන දෙන්න. අසරණ පවුලකට ආහාර වේලක් දෙන්න. මං මාවත් පිරිසිදු කරන්න.
2. සෙනසුරාදා දින බෝධි පුජා තබා සියලු සතුන්ට පින් දෙන්න. අවසානයේ කරණීය මෙත්ත සුත්‍රය කියා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කර සියලු ලෝක සත්ත්වයන්ට මෙත් වඩන්න.
******************
මීන - අධ්‍යාපනික කටයුතුවලින් ජය පිට ජය
ගෘහ ජීවිතය :- ඔබගේ කේන්ද්‍රයේ 12 වැන්නට පැමිණෙන සෙනසුරු ලග්න ඒරාෂ්ටයක්ද නිර්මාණය කරයි. පසුගිය කාල පරිච්ඡේදය තුළ සෙනසුරු ඔබගේ කේන්ද්‍රයේ අයස්ථානයේ ගත කළ හෙයින් කිසිදු අගහිඟතාවක් නොදැනෙන්නට ඇති අතර, නොයෙකුත් ලැබීම් හමුවේ ඔබ සතුටට පත්වන්නට ද ඇත.
එහෙත් මෙවර සෙනසුරු ඔබගේ වැය ස්ථානය වු 12 වැන්නට පිවිසීම ධනය වැඩියෙන් වියදම් වන්නට හේතුවකි. දුර ගමන් බිමන්, වන්දනා ගමන් ආදියෙන් වියදම් අධිකව යෙදුණත් ඔබට සිත් තැවුල් නොදැනේ. ඒ, ලග්නයේ සිටින ගුරු ඔබගේ මානසිකත්වය යහපත් කරන බැවිනි. ගෘහ ජීවිතය තුළ සුළු සුළු මත ගැටුම් ඇති වුවත් ඒවා තාවකාලික වේ. අනවශ්‍ය හා තමන්ට නොගැළපෙන අයගේ ඇසුර නිසා මේ කාලයේදී ඔබට සිත් වේදනා, කලකිරීම් වැනි තත්ත්වයන් ඇති විය හැකිය. ණය ගනුදෙනුවලට අත්සන් තැබීම මෙන්ම ණයට දීමෙන් ද ඔබට පාඩු සිදු විය හැකිය. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබුණේ නම් ඒවා සඵල වේ. පදිංචි ස්ථානයේ දියුණුවට තරමක් දුරට බාධා පැමිණිය හැකිය. දරුවන්ගේ කරුණු කාරණා යහපත් ඇසුරින් ඉටු වේ. සියලු දේ මධ්‍යස්ථව විඳ දරා ගැනීමට හැකි චිත්ත ශක්තියක් ආත්ම ධෛර්යයක් ඔබ තුළ ඇත්නම් ගැටලු ඇති නොවේ.
රැකියාව :- දැනට කරගෙන යන රැකියාව අතහැර විදේශ ගත වීම් සිදු වීමට ද ඉඩ ඇත. එසේ නොවුණහොත් දුර පළාතකට මාරු වීමක් ලැබීමට හෝ කුමන හෝ වෙනසක් සිදු වීමට හැකියාවක් ඇත.
ඔබගේ කේන්ද්‍රයේ දෙවැන්නේ සිටින රාහු ද වියදම් වැඩි කරයි. ඒ නිසා යම් මුදලක් ඔබ අතට ලද කල එය කළමනාකරණයකින් යුතුව ඉතිරියක් කර ගන්න. ඔබ කරන රැකියාව සාධාරණ එකක් විය යුතු අතර එසේ වුවහොත් සෙනසුරුගේ අසුබ පල හිමි නොවනු ඇත. ඉදිරි වසර 2 1/2 තුළ ඒ අයුරින් තමා කරන ජිවනෝපාය කටයුතු පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.
අධ්‍යාපනය:- ලග්නයේ 12 වැන්නට සෙනසුරු පැමිණීම අනුව ඉගෙනීමේ කටයුතුවලට බාධාවක් පෙන්නුම් නොකරයි. ඒ, ඔබගේ ලග්නගතව ගුරු හංස යෝගයෙන් සිටින ගුරු ග්‍රහයා නැණ නුවණ වර්ධනය කර දෙන නිසාය. ගුරුට 5 වැන්න සහ 9 වැන්න පෙනෙන හෙයින් ප්‍රාථමික අංශවල සිට උසස් අධ්‍යාපනය දක්වාම ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ බලාපොරොත්තු පරිදිම ඔවුන්ට සුබ ප්‍රතිඵල අත්විඳින්නට හැකි වනු ඇත.
උනන්දුවෙන්, උත්සාහයෙන් කැපවීමෙන් කටයුතු කරන්න. විදේශවල ඉගෙනීමට ශිෂ්‍යත්ව පවා ලැබීමට පුළුවන. වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ මෙන්ම කලා අංශවල ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට මේ වසර තුළ හැකි වනු ඇත.
සෞඛ්‍යය :- පාදවල වේදනා, දත්, ඇස්, උගුර ආදී අවයවවල අසනීප මෙන්ම හදිසි අනතුරු ආදියට ද ඉඩකඩ ඇති බැවින් කරන කියන සෑම කටයුත්තකදීම ප්‍රවේශම් සහගතව සහ අවදානම පිළිබඳ විමසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වේ.
ජය අංකය - 03, සුබ වර්ණය - කහ
සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා
අපල අවම කර ගැනීමට:-
1.සෙනසුරාදා දිනවල නිර්මාංශ වන්න. එදින බෝධි පුජා පවත්වා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දෙන්න.
2.කූඩු කර ඇති හෝ මරණයට කැප වූ සතුන් නිදහස් කරන්න. පිරිසක් එකතු කරගෙන හෝ එවැනි පින්කමක් කරන්න.
3. වෙල් මාළුන්ට පොරි වැනි ආහාරයක් දමන්න. තිරිසන් සතුන්ට ආහාර, ජලය දෙන්න. කපුටන්ට කිරිබත් එලගිතෙල් මිශ්‍ර කර ගුලි සාදා බටහිර දිශාවේ උස් තැනක තබන්න.
පක්ෂීන්ට, ලේනුන්ට ආහාර දමන්න.
4. අතපය වාරු නැති වයසක දුර්වල අය පිරිසුදු කරන්න.ඔවුන්ට බෙහෙත්, ආහාරපාන දෙන්න. ඔවුන් සමඟ කාලය ගතකර සිත් සතුටු කරන්න. ධර්මය අසන්නට සලස්වන්න.
5. පාරවල්, ළිං මෙන්ම පින්තාලි සකස් කරන්න.
6. පෙනීම දුර්වල අයට බෙහෙත් ලබා දීම, ශල්‍යකර්ම කර ගැනීමට උපකාර කිරීම, භික්ෂූන් වහන්සේලාට ගිලන්පස, දානමාන දීම, බෝමළුව පිරිසුදු කිරීම