
- අකුරැස්සේ සිට මාතර පන්ති ආ නිමේෂ්, පසිඳු සිසුවෝ මුහුදේ ගිලී මිය ගිහින්
- මිතුරන් පිරිසක් සමඟ ජනවාරි 01 දා මුහුදේ නාන්න ගිහින් සිදුවූ විපත
- දෙදෙනාම උසස් පෙළ පන්තිවලට ඇතුළු වෙන්න හිටියේ මේ මාසයේ
“අකුරැස්ස බස් ස්ටෑන්ඩ් එකේදී පළමු වැනිදා හම්බවෙලා බදාගෙන සුබ පැතුවා. උසස්පෙළ විභාගේ කරන හැටි ගැන ගොඩාක් දේවල් කතා කළා. අනේ පන්ති ගිහින් එන්නම්... හවසට හමුවෙමු කියවපු මගේ රත්තරං යාළුවෝ දෙන්න මේ වගේ පෙට්ටියකින් එනව දකින්න මම කළ පව මොකක්ද? දෙවියනේ”
පපුවට අත තබා අහස දෙස බලා වචන මුමුණන පසන් මලීෂ්ගේ දෙනෙතින් කළුඳු කැට රූරා වැටෙන්නට පටන්ගත්තේ අවට රැස්ව සිටියවුන්ගේද දෙනෙත් කඳුළින් තෙමාලමිනි. ඒ අන් කිසිවක් නිසා නොව නව වසර උදා වූ පසුගිය පළමු වැනිදා උපකාරක පන්ති ගොස් සිටියදී මාතර කොටුවේගොඩදී මුහුදේ නාන්නට ගොස් ජීවිතය අහිමි කර ගත් අකුරැස්ස හේනේගම පළමු පටුමග කොරටුවෙ ගෙදර ජීවත්වූ 17 හැවිරිදි වික්‍රමාරච්චි පතිරණගේ නිමේෂ් දිල්සංඛ සහ අකුරැස්ස මලිදූව කොරහන පදිංචිව සිටි 17 හැවිරිදි එච්. එල්. පසිඳු ආලෝචන යන මිතුරන් දෙදෙනාගේ හදිසි වියෝවත් සමඟ ඇතිවූ වේදනාව දරාගත නොහැකිවය.
“අනේ අපි හැමදාම එකතු වෙනවා. ඒ හම්බවුණාම කොච්චර දේවල් කතා කරනවද? උසස්පෙළ කරන හැටි ගැන අපි කොච්චර හීන දැක්කද? ඒත් මගේ රත්තරන් යාළුවෝ දෙන්න ඒ හැම හීනයක්ම එයාලගේ හිතේ තද කරගෙන අපි තනි කරල යන්න ගහින්. මොන වරදක් කළාටද දෙවියනේ?” හිරුමල් යෞවනයෙකු වූ පසන් මලිෂ්ගේ මෙම අඳෝනාව අසා සිටින්නට අපහසු තරම්ය.
අකුරැස්ස මහා විද්‍යාලයෙන් සහ ගොඩපිටිය ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ නිමේෂ් සහ පසිඳු පසුගිය වසරේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත්ව උසස් පෙළ හැදෑරීමට සූදානමින් සිටියහ. නිමේෂ් උසස් පෙළ සඳහා ජීව විද්‍යා විෂය ධාරාව තෝරාගෙන සිටි අතර ඔහු ඒ සඳහා තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට තේරී සිටියේය. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට සැලසුම් කර සිටි පසිඳු ඒ සඳහා ඔහු ඒ වන විටත් අධ්‍යාපනය ලැබූ ගොඩපිටිය ජාතික පාසලම තෝරාගෙන සිටියේය. එහෙත් එම පාසලේ උසස් පෙළ පන්ති ආරම්භයට දිනකට පෙර මේ දෙදෙනාම තම ජීවිතයෙන් සමුගෙන ගියේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් මහා බලාපොරොත්තු තබා සිටි මාපියන් දුක් කඳුළෙන් නහවමිනි.
මව, පියා සහ එකම මල්ලි සමග ජීවත්වූ නිමේෂ් දිල්සංඛගේ පියා වඩු කාර්මිකයෙකු ලෙස සේවය කළ අතර මව පොරඹ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කළාය. පසිඳු ද දරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමලා වූ අතර ඔහුට සිටියේ මල්ලී කෙනෙකු පමණි. පසිඳුගේ මව රැකියාවක් නොකළ අතර පියා කුඩා තේ වත්තක් පවත්වාගෙන යමින් සහ වෙනත් සුළු ආදායම් ලැබෙන සේවාවල යෙදෙමින් දරුවන්ගේ අනාගතය ගොඩ නඟමින් සිටියේය.
“මගේ රත්තරං පුතා විභාගේ පාස් වුණාම අපිට දැනුණ සතුට වචනයෙන් කියන්න බෑ. අපොයි එදා අපි මොනතරම් සතුටින් ද දෙවියනේ හිටියේ. අනේ! පුතා උසස් පෙළට තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට තේරිලා හිටියේ. ඉස්කෝලෙ පන්ති පටන්ගන්න තිබුණේ දෙවැනිදා. ඒත් පන්ති පටන්ගන්නකොට යන්න අපේ පුතා දැන් අපි අතර නෑ. මගේ පුතා දෙවියෝ අරං ගිහින්. මගේ පවුලට සතුට ගෙනා රත්තරං පුතා” නිමේෂ්ගේ මව විලාප නගමින් එසේ පැවසුවාය.
ආදරණීය මවක තම දරුවාගේ වියෝව දරාගත නොහැකිව මේ හඬා වැටීම බලා සිටිය නොහැකි තරම්ය. නිමේෂ් පුතු ජීව විද්‍යා විෂය හදාරා වෛද්‍යවරයෙකු වනු දකින්නට මව තුළ වූ හීනය අද හිත තුළ හිරවූ හීනයක් පමණක්ම වී ඇත්තේය.
“මගේ පවුලම ගොඩදාන්න සිටි මගේ පුතා. එයා මෙච්චර ඉක්මණට අපි දාල ගියා කියල කොහොම හිතන්නද දෙවියනේ? උදේ පන්ති යන්න බස් එකට ගෙනැත් දැම්මෙත් මමයි. පොලිසියෙන් හවස ගෙදරට ඇවිත් කියනකම් අපි වෙච්ච කිසි දෙයක් දන්නේ නෑ. අපේ බලාපොරොත්තු ඔක්කොම සුන් වුණා. මගේ පුතා දැන් නෑ. අනේ මම මේ දුක කාට කියන්නකද?” මියගිය පසිඳු අලෝචනගේ පියා වූ මලිදූව ලියනගේ සුමනසිරි පපුව අත ගාමින් පිටකරන වචන අසා සිටින්නන්ගේ ද නෙත් කඳුළින් තෙමා දමන්නේය.
මාතර කොටුවේගොඩ වෙරළ තීරයේ ළමා උද්‍යානය අසල මුහුද විටෙක දිය නෑමට තබා රළ පෑගීමට මුහුදට බැසීමටත් අවදානම් තත්ත්වයක් ගෙන දෙන ස්ථානයකි. මුහුද පිළිබඳ කිසිම අවබෝධයකින් තොර නිමේෂ් සහ පසිඳු ඇතුළු තරුණ කණ්ඩායම මුහුදේ නාමින් සිට ඇත්තේ එකී චණ්ඩ රළ නඟින වළවල් සහිත ගැඹුරු ස්ථානයේය.
හිරු අවරට යමින් සිටියදී ජනතාව මාතර වෙරළ පුරා ඇවිද යමින් විනෝද වෙමින් සිටියේ එදින නිවාඩු දිනයක් මෙන්ම නව වසරේ ආරම්භක දිනය සමරමිනි. මාපියන්, දූ දරුවන් මෙන්ම පෙම්වතුන් ඇතුළු තරුණ තරුණියන් ද ඒ අතර වූහ. නව වසරේ බිල්ලක් අපේක්ෂාවෙන් මරුවා මුහුදු රළ මත පාවෙනු කිසිවෙක් දකින්නට නැත. එහෙත් විරෝධය නොතකා නිමේෂ් සහ පසිඳු ඇතුළු කණ්ඩායම මුහුදට බසින්නට ඇත්තේ මරුවාගේ කැඳවීමක් නිසා වන්නට ඇත.
“මෙතන වෙරළ සුන්දර තැනක් වුණාට මුහුදේ තැන තැන වළවල් තිබෙනවා. ඒ වගේම රළ පහර සමහර වෙලාවට හරි සැරයි. අපි වෙළෙඳාම් කරනකොට කාටවත් මෙතැන මුහුදේ නාන්න දෙන්නේ නෑ. අපි එපා කියනවා. මේ ළමයින්ටත් අපි ඒ විදියටම කීවා. ඒත් හිතුවක්කාර කොල්ලො ටික අපි කියපුවා ගණන් ගත්තේ නෑ. එයාලා ඕන විදියට මුහුදට බැහැල නෑවා. අද කාලේ හැදෙන සමහර ළමයි අපි කියන ඒවා ගණන් ගන්නේ නෑ. එහෙම යමක් දන්න කෙනෙකු දෙයක් කීවාම ගණන් නොගෙන හිතුවක්කාර වෙන්න ගියාම වෙන විනාශයක් තමයි මේ සිදුවුණේ. අපරාදෙ තරුණ ජීවිත තුනක් රටට නැති වුණා” යැයි සිදුවීම වන අවස්ථාවේ වෙරළේ වෙළෙඳාම් කරමින් සිටි වැඩිහිටියෙකු වූ ගුණදාස පැවසුවේය.
තරුණයන් සිවුදෙනෙකු ජල පහරට හසුව දියඹ දෙසට ඇදී යද්දී පෙර පින් බෙලෙන් දෙනෙකු රළ පහරේම පිහිටෙන් දිවි බේරා ගෙන ගොඩබිම දෙසට පාවී එද්දී අවට සිටියවුන් ඔවුන් බේරාගෙන ගොඩබිමට දමද්දි නිමේෂ් සහ පසිඳු දිය වැළකට හසුව දියඹ දෙසට ඇදී ගියේ වෙරළේ රැස්ව සිටියවුන්ගේ විලාප හඬ මධ්‍යයේය.
ඒ වන විටත් වෙරළේ වෙළෙඳාම් කරමින් සිටි තරුණයන් සහ විදේශිකයන් පිරිසක් තම දිවි පරදුවට තබා මුහුදට පැන නිමේෂ්ගේ සහ පසිඳු දිවි බේරා ගන්නට කටයුතු කරද්දී මාතර කොටුව ගැමුණු හේවා බළ ඇණියේ භට පිරිස් ද සහායට දිව ආවේ ජනතා හඬත් සමඟය. සියලු දෙනා එක්ව මුහුදට පැන චණ්ඩ රළ පහර හා සටන් කර නිමේෂ් හා පසිඳු ගොඩබිමට ගෙනවිත් රෝහල කරා රැගෙන යන තෙක් අවශ්‍ය ප්‍රථමාධාර ලබා දෙද්දී විදේශීය තරුණියක ඇතුළු පිරිසක් සිසුන්ගේ දිවි ගලවා ගැනීමට ගත් උත්සාහය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.
සියල්ලන්ගේ සහායෙන් තරුණයන් දෙදෙනා වහා මාතර මහ රෝහලට රැගෙන ගියද ඒ වන විටත් ඔවුන් ජීවිතය හැර ගොස් සිටියේ සියලු උත්සාහයන් අපතේ හරිමිනි.
මේ පිළිබඳ මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිගේ උපදෙස් මත සිදුකළ පොලිස් පරීක්ෂණ හා මාතර වැඩබලන නාගරික හදිසි මරණ පරීක්ෂක ජයන්ත සමරසිංහ ඉදිරියේ පැවති හදිසි මරණ පරීක්ෂණයෙන් සහ මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පැවති පශ්චාත් මරණ පරීක්ෂයෙන් පසු මෘතදේහ භාරකරුවන්ට ලබා දුන්නේය. අනතුරුව පසුගිය 03 වන දින හිරු අවරට යමින් තිබියදී නිමේෂ් හා පසිඳු දෙමාපියන් ඇතුළු තමන්ට ආදරය කළ සියලු දෙනාගෙන් වෙන්ව මහ පොළොව මත මිහිදන් වූයේ හිතුවක්කාර ලෙස හැසීරීම තුළින් සිදුවන විනාශය පිළිබඳ මහා පාඩමක් ද කියා දෙමිනි.