ජීවිතයක් බිලිගත් කැරම් බෝඩ් ආරවුල | Page 3 | සිළුමිණ

ජීවිතයක් බිලිගත් කැරම් බෝඩ් ආරවුල

- ඇල්ලූ සැකකරුට විරුද්ධව මීට පෙරත් පොලිසියේ පැමිණිලි
- මත්පැන් සාදයේදී ඇදුණු කැරම් බෝඩ් කතාවෙන් එක්දරු පියා ජීවිතක්ෂයට

හින්බස් වීම්, ඇනකොටා ගැනීම්, අකාලයේ ජීවිතවල සමු ගැනීම් ඇතැම් විට සුළු සිද්ධීන්වල අනිසි ප්‍රතිඵලයන්ය. මෙවැනි සිදුවීම් රටපුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම ද සුලබය. මීට ප්‍රධානම හේතුව මත්පැන් සාදයි. අධික බීමත්කම අවසානයේ කලකෝලාහලවලින් කෙළවර වීමද දැන් දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඇතැම් සිද්ධීන්වල අවසානය වන්නේ ඇතැමුන්ට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීමයි. මේ එවැනි සිද්ධියකි. 

එය වාර්තා වූයේ පුත්තලම දිසාවේ නොරොච්චෝලේ පොලිස් බල ප්‍රදේශයේ මාම්පුරිය ගම්මානයෙනි. එම ප්‍රදේශයේ පදිංචි බොහෝ දෙනෙකුගේ ජීවිකාව වන්නේ ගොවිතැන් කිරීම, කුලී වැඩ කිරීම එසේත් නැතිනම් ධීවර කටයුතුවල නිරත වීමයි.

එම ගම්මානයේ පදිංචි රොෂාන් ප්‍රදීප්ගේ වයස අවුරුදු තිස් දෙකකි. ඔහු එක් දරු පියෙකි. එදිනෙදා කුමන හෝ කුලී වැඩක් කර ජීවත් වූ ඔහුගේ බිරිය ඔහු අතහැර ගොස්ය. ඒ රොෂාන් මත්පැනට ඇබ්බැහි වීම නිසා සහ බිරිය සමඟ නිරන්තරයෙන් අඩදබර කරන නිසාය. බිරිය ඔහු දමා ගිය පසු රොෂාන් දැඩි ලෙස මත්පැනට ඇබ්බැහි වී එය දෛනික චර්යාවක් බවට පත්කර ගෙන තිබිණි. රොෂාන්ගේ ගජ මිතුරා නිමල්ය. නිමල් ජීවත් වන්නේ රොෂාන්ගේ නිවෙසේ ඉදිරිපිට නිවෙසේය. ඔහුද මත්පැනට ඉතා ලොල් පුද්ගලයෙකි.

සාමාන්‍යයෙන් ඉඩ ලැබූ අවස්ථාවල දෙමිතුරන්ගේ කතාබහවල අවසානය වන්නේ මත්පැන්වලින් සප්පායම් වීමයි. සිද්ධිය වූ දින ද මෙසේ දෙදෙනා 'කටගැස්මක්' සාදාගෙන මත්පැන් පානයට කටයුතු කළේ නත්තලේ උණුසුම නිසාය. වෙනදා මෙන් නොව දෙදෙනා අතර කතාබහ තරමක් උණුසුම් ස්වරූපයක් ද ඇති විය. ඒ එම ගම්මානයේ ඊට දින කීපයකට පෙර සිදු වූ මළගෙදරකට රැගෙන ගිය 'කැරම් බෝඩ් එකක්' මුල්කර ගෙනය. එම කැරම් බෝඩ් එක නිමල්ගේය. නිමල් එම කැරම් බෝඩ් එක මළගෙදරට ලබා දී ඇත්තේ මීට දින කීපයකට පෙරය. රොෂාන් එම මළගෙදරට ගිය විට කැරම් බෝඩ් එක රැගෙන යාමට අවශ්‍ය බව නිවැසියන්ට දන්වා තිබේ. එහිදී මෙම සිද්ධිය නිමල්ට ආරංචි වීමත් සමඟ ඒ ගැන රොෂාන් සමඟ තිබුණ කහට මත්පැන් සාදයේදී ඉස්මතු විය. මේ සම්බන්ධව දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් පැවති අතර අවසානයේ එය ගැටුමක් බවට පත් විය. අනතුරුව කෝපාවිෂ්ට වූ නිමල් අසල තිබූ යකඩ පොල්ලකින් රොෂාන්ට පහර පිට පහර කිහිපයක් එල්ල කළේය. රොෂාන් ලේ විලක් මැද ඇද වැටුණේය. ඒ ඔහුගේ ජීවිත ගමනේ අවසානය විය.

ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මේ සිද්ධිය සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ධර්මකුමාර් ඇතුළු කණ්ඩායමක් පැමිණ සිද්ධිය වූ ස්ථානයේ විමර්ශන කටයුතු සිදුකර ලබාගත් සාක්ෂි මත සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. මෙසේ ඝාතනය කරන ලද පුද්ගලයා මාම්පුරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රොෂාන් ප්‍රදීප් නැමති එක් දරු පියකු බව හෙළි වන්නේ පොලිසිය සිදුකරන ලද විමර්ශනවලදීය. අත්අඩංගුවට ගැනුණු සැකකරු 56 වියේ පසුවේ. ඔහු තිදරු පියෙකි.

නොරොච්චෝලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව මෙයට පෙරද විවිධ වැරදි සම්බන්ධව චෝදනා, පැමිණිලි ඇති බව පොලිසිය සඳහන් කරයි.

නොරෝච්චෝලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ධර්මකුමාර්ගේ උපදෙස් මත නොරෝච්චෝල පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටී. පුෂ්පානන්ද ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන ලදී.

Comments