
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ඇතැමුන් මහා පරිමාණ ගණිකා නිවාස පවත්වාගෙන යන්නේ පොලිස් ඇසටද වැලි ගසමිනි. විශාල බෝඩ් ලෑලිවල 'SPA' යනුවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර තිබුණද ඒවා ඇතුළත සිදු වන්නේ ලොව පැරණිම රැකියාවය. ඒවායෙහි දේශීය මෙන්ම විදේශීය කතුන් අලෙවි වන්නේද ඉහළ මිල ගණන්වලටය.
කොල්ලුපිටිය, බම්බලපිටිය ආදී ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙවැනි ගණිකා නිවාස වැඩි වශයෙන් පවත්වාගෙන යනු ලබයි. ඒ සංචාරකයන් මෙන්ම ධනවතුන් ඒ අවට බහුලව සැරි සැරීම හේතුවෙනි. මෙලෙස ප්‍රාදේශීය පොලිසිවලටද හසු නොවන අයුරින් කොල්ලුපිටියේදී සූක්ෂ්මව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් පසුගියදා 13 වැනිදා සමත් විය.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාරට කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු හෝටලයකටද සම්බන්ධකමක් පවතින ස්ථානයක පවත්වාගෙන යන ගණිකා නිවාසයක් ගැන තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය. ඒ කොල්ලුපිටිය මුහුදු මාවතේ පිහිටි 'SPA' නමින් බෝඩ් ලෑල්ලක් ගසා ගත් විදේශීය කතුන් වැඩි මුදලට අලෙවි කරනා ස්ථානයකි. මේ ගණිකා මඩම වැටලීමට සියලු සැලසුම් සකස් වන්නේ ඉන් අනතුරුවය.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියට යොදවන්නේ මේ සම්බාහන මධ්‍යස්ථානය ගැන යම්කිසි හෝඩුවාවක් සොයා ගැනීමටය. එය එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවුණේ අතිශය රහසිගතව මෙය පවත්වාගෙන යෑම හේතුවෙන්ය. සාමාන්‍ය කෙනකුට මේ සම්බාහන මධ්‍යස්ථානයෙන් සේවා සපයා ගැනීමටද හැකියාවක් නැත. දින කිහිපයක් 'ආවේක්ෂණ රාජකාරියේ' නිරතව සිටි පොලිස් නිලධාරීන්ට යම් හෝඩුවාවක් සොයා ගැනීමට හැකි විය. ඒ මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වීමට නම් එහි නිතර යන එන 'කස්ටමර්' කෙනකුගේ නමක් දැන සිටිය යුතු බවය. නිලධාරීන් අවට ත්‍රිරෝද රථ ගාල්වල රියැදුරන් සමඟද සුහද වී එහි නිතර යන එන කස්ටමර් කෙනකුගේ නමක් සොයා ගැනීමට තැත් කරන්නෙ මේ ස්ථානයට කෙසේ හෝ ඇතුළු වීමේ අරමුණෙනි. මෙවැනි ස්ථානවලට පැමිණෙන සල්ලිකාරයන් පෞද්ගලික වාහනවලින් නොපැමිණෙන්නේ තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමටය.
පොලිස් නිලධාරීන් මේ සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වීමට 'පොටක්' පාදා ගත්තද ඊට නීතියෙන්ද අවසරයක් ලබා ගත යුතුව ඇත. වැටලීම සිදු කරනා දිනයේදීම උදෑසන කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේගෙන් සෝදිසි වරෙන්තුවක් පොලිස් නිලධාරින් ලබා ගන්නේ මෙහෙයුම සාර්ථක කර ගැනීමටය.
වෙස් වළාගත් නිලධාරීන් දෙදෙනකු පසුගියදා 13 දා සවස් කාලයේ කොල්ලුපිටිය මුහුදු මාවතේ පිහිටි මේ සම්බාහන මධ්‍යස්ථානයට යන්නේ කාන්තාවන් දෙදෙනකු මිලදී ගන්නා අයුරිනි. මේ නිලධාරීන් එතැනට පැමිණෙන කස්ටමර් කෙනකුගේ නමක් භාවිත කර විශ්වසනීයව සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වන අතර එහිදී කළමනාකාරවරයා ඔවුන් සමඟ සුහදව කතාබහකද නිරත විය.
එක් නිලධාරියකු රුපියල් පහළොස් දහසක් කළමනාකාරවරයාට දී එහි සිටින කාන්තාවන් ගැන විමසන්නේ ඉන් පසුවය. එහිදී කාන්තාවන් ලබා ගැනීමට සුළු මොහොතක් රැඳී සිටිය යුතු බවට කළමනාකාරවරයා පවසන අතර නිලධාරීන්ද ලද අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එම ස්ථානය පිළිබඳ නිරීක්ෂණය කරන්නේ ඔය අතරය. සුළු වේලාවකින් සුරූපී තායි කතුන් පස්දෙනකු පැමිණ නිලධාරීන් ඉදිරියේ සිට ගත් අතර එක් නිලධාරියකු කාන්තාවක පෙන්වමින් කළමනාකරුට ඒ බව දැන්විය. අනෙක් නිලධාරියා තම මිතුරකු පැමිණෙන බව පවසා ඔහුද පැමිණි පසු කාන්තාවක තෝරා ගන්නා බවට පැවැසීය. තායි කාන්තාව සමඟ කාමරයකට ගිය පොලිස් නිලධාරියා ඒ බව පිටත සිටිනා නිලධාරීන්ට එස්.එම්.එස්. පණිවිඩයකින් දැනුම් දෙන්නේ ඉන් පසුවය.
ගත වූයේ සුළු මොහොතකි.
එකවරම සම්බාහන මධ්‍යස්ථානයේ දොර විවර විය. පොලිස් නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකි. පොලිස් නිලධාරිනියන්ද ඒ අතරය.
"අපි වලානෙන්... කරුණාකරලා අපේ රාජකාරියට බාධා කරන්න එපා... ඔයාලගෙ ෆෝන් පැත්තකින් තියන්න..."
කළමනාකරුගේ ඇස් උඩ ගියේය. ඔහු කිසිවක් සිතාගත නොහැකිව ගල් ගැසී සිටියේය. කිසි දිනෙක පොලිස් නිලධාරීන් මෙය වටලන්නේ නැති බවට කළමනාකරු තුළ තිබූ විශ්වාසයද කඩවී ගොසින්ය.
පොලිස් කොස්තාපල්වරියන් විසින් එහි සිටි තායි කාන්තාවන් පස්දෙනකු අත්අඩංගුවට ගන්නේ ඉන් පසුවය. වැටලීම සිදු කළ අවස්ථාවේදී සේවා සපයා ගැනීමට පැමිණ සිටි අයකුද සිට ඇත. ඊට අමතරව උපත් පාලන කොපු සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා විශේෂිත උපකරණයක්ද හමු වී ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා තායි කාන්තාවන් කොල්ලුපිටිය පොලිසියට භාර දී තිබේ.
එහි සිටි කළමනාකරුගේ දුරකතනයට කතා කළ මෙකී ස්ථානයේ හිමිකරු යැයි පවසනා කෙනකු වලාන පොලිස් නිලධාරීන්ට පගාව දීමටද උත්සාහ කර තිබේ. එහිදී අයිතිකරු යැයි කියනා පුද්ගලයා 'ඕනෑම ගානක් දෙන්නම්... ඔය කට්ටියව නිදහස් කරන්න' කියා බැගෑපත්ව ඉල්ලීමක් කර තිබේ. එසේම කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක අයිතිකරුවකුට මේ ගණිකා නිවාසය අයත් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ජනාකීර්ණ ප්‍රදේශයක නිදහසේ මෙවැනි ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේ කෙසේද යන්න ඕනෑම කෙනකුට ඇතිවන කුකුසකි. එසේම අවට පොලිස් ස්ථාන ගණනාවක් තිබියදී පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ටම මෙය වැටලීමට සිදුවීම තවත් කනගාටුවටද කරුණකි. තවද විදෙස් කතුන් මෙන්ම මෙරට කතුන් යොදා ගනිමින් 'SPA' මුවාවෙන් නීතියේ ඇස වසා පවත්වාගෙන යන ගණිකා මධ්‍යස්ථාන බොහෝ ඇත.
පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදයගේ උපදෙස් මත පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන්, බණ්ඩාරනායක, සැරයන් ජයලාල් (428), (39850) අශාන්, (91287) සංජීව, (104547) කුරුකුලසූරිය, (104679) නෙරංජන්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන (11352) දිල්හාරා, (11476) දේශානි සහ පොලිස් සැරයන් රියැදුරු (11919) අජිත් යන නිලධාරීහු වැටලීමට එක් වූහ.