
ඔහු හැඳින්වීම සඳහා නිර්වචන කිහිපයක් භාවිත විය. එකකින් කියැවෙන්නේ කිසිදා කවර ලෙසකින්වත් පාඩු නොලබන ව්‍යාපාරිකයකු බවය. තව එකකින් කියැවෙන්නේ එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු බිම හෙළන ශූර දඩයක්කරුවකු බවය. තවත් එකකින් කියැවෙන්නේ දඹුලු වන්දනාවේ ගොස් ආපිට එන අතර තලගොයි දඩයමකුත් කරගෙන එන කපටියකු හැටියටය. මේ ආකාර කිහිපයෙන්ම හඳුන්වනු ලබන්නේ මධ්‍යම ප්‍රමාණයේ ශක්තිමත් සිරුරකට හිමිකම් කියන, හැමවිටම වැදගත් මහත්මයකු සේ පෙනී සිටින කෝටිපති ව්‍යාපාරික මුදිත සේනානායක ය.
හෙතෙම බැංකොක් නුවරට පැමිණියේ අරමුණු දෙකක් හිත දරාගෙනය. පළමුව මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වී තම ව්‍යාපාරික ගනුදෙනු තවදුරටත් පුළුල් කර ගැනීමේ වුවමනාව ඔහුට තිබිණි. දෙවැනුව සිය ඒකාකාරී ජීවිතයට අලුත් අත්දැකීමක් එකතු කර ගැනීමේ වුවමනාව ද ඔහුට තිබිණි.
මුදිත සේනානායක මීට පෙර බැංකොක් අත්දැකීමකට මුහුණ දුන් තැනැත්තෙක් නොවේ. එබැවින් ඔහු බැංකොක් යනු කවරාකාර නුවරක් දැයි කියවා තේරුම් ගැනීමට වෑයම් කළේය.
බැංකොක් යනු නැඟෙනහිර වැනීසිය යැයි කියමනක් ඔහුට හමු විය. වැනීසිය යනු ඈත අතීතයේ ඉතාලියේ පැවැති ආරක්ෂිත වෙළෙඳ නගරය බව ඔහු දනී. ලොව පුරා වෙළෙන්දෝ එහි පැමිණ සිය ගනුදෙනු සාර්ථක කර ගත්හ. අද එම නගරය ජලයෙන් යට වී ඇති අතර එහි පුරාණ ගොඩනැඟිලි වෙත බෝට්ටුවලින් යා යුතුය. ලෝක ප්‍රකට විශාල ආපණශාලා එහි පවතී. බැංකොක් යනු නොනිදන නගරයක් බව ද රාත්‍රී ගනුදෙනු බොහොමයක් එහි පවතින බව ද තවත් අතෙකින් ඔහු වටහා ගත්තේය. පූකට් හා පාතායා නමින් ප්‍රකට ස්ථාන දෙකක් කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු වී තිබිණි.
මුදිත සේනානායකගේ උගත් මිත්‍රයන් මේ ගමනට පෙර ඔහුට ලබා දුන් උපදේශන කිහිපයක් ද තිබේ.
"මිත්‍රයා පතායා යනවා නම් තනියම යන්ඩ එපා! ඒක භයානකයි!"
"තමුසෙ බැංකොක් යනව නම් තායි ගෑනුන්ගෙ අතට අත දෙන්ඩ එපා! අපේ විදිහට අත් දෙක එකට එකතු කරලා ආයුබෝවන් කියනවා!"
"මස්සිනා, හාල්වලින් හදන සැර බීරවර්ග තියෙනවා! ඒව බොන්නෙ බලාගෙන!
අනෙක් පැත්තෙන් තායි ගෑනු ඇවිත් ඔහේගේ ඇඟේ ඇතිල්ලෙයි!ඒකෙනුත් පරෙස්සම් වෙනවා!"
"හෝටලෙන් එළියට යනව කියන්නෙ සල්ලි වාෂ්ප වෙනවා කියන එකයි! පුළුවන් තරම් හෝටලේම ඉන්ඩ බලනවා!"
එම සමුළුවේ නිල වැඩසටහනට අනුව දින පහක් තුළ සාකච්ඡා පැවැත්වෙයි. සෑම දිනකම පෙ.ව. 9.00 සිට මධ්‍යාහ්න 12.00 තෙක් සැසිවාර පැවැත්වෙයි. සැසි වාරයකින් පසු නිදහස් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ඇත. කිසිදු බාධා කිරීමක් හෝ නීති පැනවීමක් හෝ නැත. අඩුම ගානේ උපදේශනයක්වත් නැත.
පළමු සැසිය නිමා කොට හෝටලයට පැමිණි මුදිත සේනානායක හැන්දෑව වන තෙක් හොඳට නිදා ගත්තේය. පසුව ස්නානය කොට හොඳින් හැඳ පැලඳ සල්ලි මිටි කිහිපයක් ද සාක්කුවල ඔබාගෙන පතායා කරා ටැක්සියකින් ගමන් කළේය.
මුදිත සේනානායක මුලසිටම හිතුවක්කාරයෙකි. ඔහු උපදේශන අසා සිටිය ද ඒවා පිළිපදින්නේ නැත. තමන්ගේම ක්‍රමයකට ජීවත් වීමට ද, තමන්ගේම උපාය මාර්ග ඔස්සේ අභියෝගවලට මුහුණ දීමට ද ඔහු පුරුදු වී සිටියේය. ඔහුගේ ක්‍රමය නිවැරැදිය. මෙතෙක් ඔහුට වැරදී නැත.
පාතායා යනු මිහිබට සුරපුරයක් යැයි ඔහුට සිතිණි. සියලු වීථි විදුලි ආලෝකයෙන් අලංකාර වී ඇත. ආලෝක පද්ධති විවිධ මෝස්තරයෙන් ක්‍රියාත්මක වෙයි. සෑම තැනකම කෑම බීම හා සංගීතය ඇත. අඩ නිරුවත් සුරූපී තරුණියෝ "හා...යි!" කියමින් මහල්ලන්ට පවා අත වනති. ඔවුහු තම ශරීරාංග ඉස්මතු වන සේ විවිධ ඉරියව් රඟ දක්වති. ඒ සෑම දෙයක්ම ආකර්ෂණීය විය.
මුදිත සේනානායක වෙරළබඩ වීදිය දිගේ ඈතට ඇවිද ගියේය. එහි වැල්ලේ කාණ්ඩ වශයෙන් පිරිස් රැස් වී කති - බොති, සිනාසෙති. සෑම ෆාම් ගසක් අසලම සුන්දර යුවතියක් රැඳී සිටී. ඔවුන් අත නොවැරදීම භාණ්ඩ දෙකකි. එකක් විශාල අත් බෑගයකි. අනෙක මනා පෙනුමෙන් යුතු ස්මාර්ට් ජංගම දුරකතනය ය. සුන්දර යුවතියෝ ජංගම දුරකතනයට එබී ඊට ඇඟිල්ලෙන් ඇන ඇන සිටියද තමා ඉදිරි පිටින් යන සියලු පිරිමින්ට හායි කියා ආරාධනා කරති. මුදිත මහත් උද්දාමයකින් පාන්දර තෙක් වීථිවල ඇවිද ගියද සුන්දර යුවතියන් ඉදිරියේ පසුබා සිටියේය.
දෙවැනි දවසේ ඔහු ෆෙරියක නැඟී කොලාන් දිවයින වෙත ගියේය. හැබෑවටම එය සුන්දර කුඩා දිවයිනකි. පාරවල් තනා දිවයින තුළ යතුරුපැදිවලින් ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබේ. වෙරළෙහි රැඳෙන බොහෝ දෙනෙක් කමින් බොමින් ප්‍රීති වෙති. යුවතියක රැගෙන එම දිවයිනට පැමිණියේ නම් හොඳහැටි විනෝදවීමට පුළුවන් බව ඔහුට සිතිණි.
තෙවැනි දිනයේ ඔහු ගියේ කෝසන් වීදියේ තවත් ආපණ ශාලාවක් වෙතය. එය ඕල්ඩ් නම්බර් සෙවන් ලෙස නම් කර තිබිණි. එහි සියලු කටයුතු සිදුවූයේ සුන්දරම යුවතියන් වෙතින්ය. එම යුවතියන්ගේ විශේෂත්වයක් තිබිණි. එනම් සෑම යුවතියක්ම උසින් වැඩි වීමය. තායි ස්ත්‍රීන් මිටි තැනැත්තින් වුවත් මේ යුවතියෝ මිටි නොවෙති. ඔවුන්ගේ ගමන් විලාස මෙන් ම කතා විලාස ද ඕනෑම කෙනකුගේ සිත් වසඟ කර ගනී. "සෙන්සේෂන් බාර්" යන පාඨය ද එහි ලියා තිබිණි. මුදිතගේ ජීවිතය වෙනස් කළ "නාඩියා" නම් සුරූපී තරුණිය ඔහුට මුණ ගැසුණේ මේ ස්ථානයේදීය.
ඔහු පළමුව ආදරය කරන්නට පටන් ගත්තේ නාඩියාගේ උස් දෙපාවලටය. ඒවා වාත්තු කළාක් මෙන් දිලිසෙයි. මස් පිඬු සිනිඳුත් නැත. තදත් නැත. ඇය කතා කරන සෑම මොහොතකම කොණ්ඩය සකස් කරයි. හිස පහත්කොට සිනාසෙයි. ඇසකින් ඉඟිමරයි. දිව දික් කරයි. ඇගේ දිගු සුන්දර අතැඟිලි හැමවිටම කුමක් හෝ මෘදු ලෙස ස්පර්ශ කරයි.
"නම මොකක්ද?"
"නා..ඩි..යා!"
"වයස?"
"විසි තුනයි!"
"ඔයාගෙ ගාණ කීයද?"
"වන් මිලියන්!"
මුදිත සේනානායක පුදුමයට පත්වුවද ආශාව ඉදිරියේ සියල්ල යටපත් විය. ඔහු ලක්ෂ පහකට තරුණිය සිය හෝටලයට රැගෙන යෑමට එකඟතාවක් ඇති කර ගත්තේය. ඉනික්බිති ඔවුහු බියර් පානය කළහ. මිල අධික බයිට් වර්ග ගිල දැමූහ. පාන්දර කිට්ටුව ටැක්සියක නැඟී හෝටලය වෙත පැමිණියහ. මුදිත එතෙක් ජීවිතයේ විඳි අමුතුම අත්දැකීම ලබා ගත්තේය. අවසන් ලෙස එම යුවතිය කියා සිටියේ "අයෑම් අ ලේඩි බෝයි!" යන්න ය. මුදිත ඊට පසුදාත් නාඩියා සොයා ගියේය. අන්තිම දවසේත් නාඩියා සොයා ගියේය. නාඩියා තරම් සුන්දර හා ආස්වාදජනක යුවතියක් ඔහු මීට පෙර දැක නැත.
ශ්‍රී ලංකාවට පැමිණි මුදිත සේනානායක මසකට වරක් ගානේ නාඩියා බලන්නට ගියේය. ඔහුගේ ව්‍යාපාර දිනෙන් දින පිරිහෙන්නට වුවද මුදිතගේ බැංකොක් ගමන නැවතුණේ නැත.