වෙඩිතලතිව් රක්ෂිතය වැනසේද? | සිළුමිණ

වෙඩිතලතිව් රක්ෂිතය වැනසේද?

මුහුදු තෘණ, කඩොලාන, මඩ තට්ටු හා ලවණ ලෙස පරිසර පද්ධති හතරකින් සැදි වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතයේ හදවත කඩොලානය. මෙය රටේ ඉතිරිව ඇති අවසන් අඛණ්ඩ කඩොලාන බිම් තීරුවලින් එකකි. මේ සමෘද්ධිමත් පරිසර පද්ධතිය මිල කළ නොහැකි එසේම මෙහි වාසය කරන ජනතාව ස්වාභාවික විපත්වලින් ආරක්ෂා කරන භූමියයි. බොහෝ මත්ස්‍යයන්ට, සාගර ජීවීන්ට අභිජනන කාර්යයන්ට පසුබිම් සකසන මෙන්ම මේ වන විට වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ඌරාට නිවහන සපයන මුහුදු තෘණ පරිසරයක් මැවෙන්නේ ද වෙඩිතලතිව්වලය.

2016 වර්ෂයේදී විශේෂ ආරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් ගැනුණු මෙය ඊට පෙරාතුව පැවැතියේ යුදමය ප්‍රදේශයක් ලෙසය. නමුත් තිස් අවුරුදු යුද්ධයෙන් අනතුරුව ආරක්ෂිත හේතුමත වෙඩිතලතිව් පවත්වාගෙන යායුතු යැයි තීරණයක් ගෙන තිබුණ ද පසුගියදා මේ තීරණය වෙනස් කරන්නට කටයුතු යොදා තිබුණි.

වේඩිතලතිව් උරුමය යනු කුමක්ද? විවිධ පිරිස් අදහස් මතු කරද්දී පරිසරවේදීහු තර්ක කරන්නේ මෙය වැඩක් නැති බිමක් නොවන බවයි. බොහෝ දෙනා නොදත්ත ද වෙඩිතලතිව් වනාහි සංවේදී ජෛව විවිධත්ව පාරිසරික උරුම රැසකගේ නිජබිමකි. ලංකාව රැම්සාර් සම්මුතියට අත්සන් තබා ඇති රටක් හෙයින් මේ පරිසර පද්ධති ආරක්ෂා කිරීමට බැඳී සිටියි.

“ අවුරුදු 30 සිවිල් යුද්ධය මේ රටේ ජනතාවට, පරිසරයට අතිවිශාල බලපෑමක් එල්ල කළා. 2019 දි එය අවසන් වන විට වනජීවි පරිසර ආයතන එකතු වී උතුරු පළාතේ පරිසර වැදගත් කලාප පිළිබඳ ගවේෂණයක් සිදු කළා. මේ පර්යේෂණ වාර්තාවෙන් අතිවිශේෂ සංවේදි කලාප නම් කළා. මෙහිදි අතිවිශේෂ පරිසර සංවේදී කලාපයක් ලෙස 2016 අංක 1956/13 පනතින් වෙඩිතලතිව් වනජීවි ස්වාභාවික රක්ෂිතයක් වුණා. විවිධ ආයතන මේ බිම ගැන විශේෂ අවධානය යොමු කළා. 2017 විවිධ ආයතන හරහා මීට නොයෙකුත් බලපෑම් ඇති කරන්න වුණා. 2017 ධීවර අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්වී මෙම රක්ෂිතය ගැසට් නිවේදනයෙන් ඉවත් කිරීමට සැලැස්වුවා. ආරක්ෂිත කලාපයක් ලෙස පැවැතුණේ එක් වසරයි. 2019 මීට තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කළා. මේ වාර්තාවෙන් පැහැදිලිවම කිව්වේ මේ පරිසර පද්ධතිය ආරක්ෂිත තත්ත්වයෙන් ඉවත් නොකළ යුතු බව. වනජීවී පනතේ 2-4 හා 2-5 වගන්තින්ට අනුව ඉහත 2019 තාක්ෂණික උපදේශක කමිටු නිර්දේශිත යෝජනා ඉවත් කරන්න පුළුවන්ද? තාක්ෂණ කමිටුවේ නිර්දේශ කැබිනට් පත්‍රිකාවකින් ඉවත් කරන්නේ කෙසේද? “ ඒ වෙඩිතලතිව් වෙනුවෙන් සටන් කරන රේගුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකරය.

ජෛව විවිධත්වයට ඇවැසි මුහුදු ලවණ ශාක වෙඩිතලතිව් ස්වාභාවිත රක්ෂිතයේ පැවතීම එහි විශේෂත්වයකි. එමනිසා වෙඩිතලතිව් වැනි පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම රටේ වගකීමක් මෙන්ම වගවීමක් ද වන්නේය.

“ මුහුුදු තෘණ, මුහුදු ලවණ ශාක මේ වෙඩිතලතිව් රක්ෂිතයේ පැවතීම මෙහි ඇති එක් විශේෂත්වයක්. මුහුදු තෘණ කියන්නේ මුහුද තුළ ඇති සපුෂ්පක ශාකයක්. මේ ශාකය මහද්වීප 6 ම ව්‍යාප්තව පවතිනවා. ලොව වැඩිපුරම ඵලදායි ශාකය මෙයයි. මෙහි විශේෂ 72 න් විශේෂ 15 ක් ලංකාවේ ඇති බව හඳුනාගෙන තියෙනවා. මේ ආශ්‍රිතව විශාල මත්ස්‍ය අස්වැන්න හැදෙනවා. රටේ ප්‍රෝටීන් අවශ්‍යතාව මේ හරහා ජනනය වෙනවා. මුහුදු ඌරාගේ ප්‍රධානම ආහාරය මෙයයි. ඔවුන්ට රැඳෙන්න මේ ශාක තිබිය යුතුයි. රළ පහර වේගය පාලනය අවම වන්නේ මේ ශාකය හරහා. ලොව තුන් වැනි පරිසර පද්ධතිය ලෙස විද්‍යාඥයන් මෙවැනි ශාක පද්ධති හඳුන්වනවා. වෙඩිතලතිව් මුහුදට නිරාවරණය වූ කොටසේ වැඩි ප්‍රමාණයක් ඇත්තේ මුහුදු තෘණ. වෙරළක් නැතිව කඩොලනවලට සම්බන්ධ වන ලංකාවේ විවෘත කොටසක් ඇත්තේ මෙහියි. විශේෂ 10 ක් එකට තියෙන එකම ප්‍රදේශය වෙඩිතලතිව්“ ඒ බ්ලූ රිසෝර්සස් ත්‍රැස්ට් හි අධ්‍යක්ෂක (මුහුදු තෘණ හා දේශගුණික විපර්යාස අංශය) සුසන්ත උඩගෙදරය.

“ වෙඩිතලතිව් රක්ෂිතයට වූ හානිය සම්බන්ධයෙන් අපි පර්යේෂණ කර වාර්තාවක් නිකුත් කළා. මීගමුවේ සිට වෙඩිතලතිව් දක්වා වූ ජලජ ජිවි ව්‍යාපෘති පිළිබඳ පර්යේෂණයන් කළා. කිරි ඉස්සන් ප්‍රභවය ලංකාවට පැමිණියේ කෙසේද යන්න ප්‍රශ්න කළ යුතුයි. මෙය ලංකාවට ආවේණික ප්‍රභවයක් නොව හවායි දූපතේ සිට පැමිණි දෙයක්. 2011 සිට කිසිදු අවසරයකින් තොරව මේවා පුත්තලමේ ව්‍යාප්ත කර තියෙනවා. කිසිදු පර්යේෂණයක් නොකරයි මේ ඉස්සෝ හඳුන්වා දී තියෙන්නේ. 2017 මේ ඉස්සන්ගේ බෝ කිරීම සිදුකර තියෙනවා. ඇයි මෙය ලංකාවට ප්‍රශ්නයක් වුණේ ? මේවා ජලජ ජීවී ප්‍රදේශවල බෝ කළාට පරිසරයට එක්වෙලා. එය සිදු නොවිය යුතු දෙයක්. 

වෙඩිතලතිව්වලට ආවේණික නොවන විශේෂ එකතු වුවහොත් බරපතළ විනාශයක් සිදු විය හැකියි. “ඒ පර්ල් ප්‍රොටෙක්ටර්ස් සංගමයේ නිර්මාතෘවරයකු වූ මුදිත කටුවාවලගේය.

නව සර්පයෝ විශේෂ, දුර්ලභ සත්ත්ව විශේෂ, හූනන් විශේෂ ආදී නව විශේෂ බොහෝමයක් මේ ප්‍රදේශයෙන් හමුවී ඇති බව පරිසරවේදී මෙන්ඩිස් වික්‍රමසිංහ පවසයි. ඔහු පවසන්නේ වාණිජ අරමුණවලට මුදල් සෙවිය හැකි වුවත් මේ ජීවීන් විනාශ වුවහොත් යළි ඔවුන්ට පණ ගැන්විය නොහැකි බවයි.

“ වසර 25 ක් තුළ විශාල භූමි භාගයක මගේ පර්යේෂණයන් සිදු කර තියෙනවා. දුර්ලභ ජීවීන් විශාල කොටසක් වෙඩිතලතිව්වලින් සොයා ගෙන තියෙනවා.

සමහර ජීවීන් මෙහි ඉතා කුඩා කොටසකට පමණක් සීමා වෙනවා. වැලි පිඹුරා නම් කුඩා පිඹුරු විශේෂය හමුවන්නේ මේ ප්‍රදේශයෙන්. වල් ගැරඬියා 1860 ගණන්වල මන්නාරම් ප්‍රදේශයේදි හමුවෙලා තියෙනවා. පසුව වෙඩිතලතිව්වලින් හමුවෙලා තියෙනවා. ලංකාවට ආවේණික නොවන බෝදිලිමා ව්‍යාප්තව ඇත්තේ වෙඩිතලතිව්වල. “ ඒ පරිසරවේදී මෙන්ඩිස් වික්‍රමසිංහය.

වෙඩිතලතිව් මඩ තට්ටුවල එක් දර්ශනයකදී කුරුල්ලන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේ නිසාවෙන් රාජ්‍ය ආයතන 25 කට ආසන්න සංඛ්‍යාවක් මේ පරිසර පද්ධති ආරක්ෂා කිරීමට 2009 හා 2014 අතර උතුරු පළාත සඳහා පවත්වන ලද විස්තීර්ණ උපාය මාර්ගික පරිසර තක්සේරුවකින් පසු තීරණය කළේ එබැවිනි. මේ නිසා වෙඩිතලතිව් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සැමගේ දායකත්වය අත්‍යවශයයි.

Comments