දළදාවත් විකුණන්න හදන හොර තක්කඩි | සිළුමිණ

දළදාවත් විකුණන්න හදන හොර තක්කඩි

ව්‍යාජ දළදා මාලිගය ඉදිවෙමින් පැවතියදී සහ චෝදනා ලබන ජානක සේනාධිපති

මෙහෙම ඉදිකිරීමකට අදාළ කිසිදු අවසරයක් හෝ බලපත්‍රයක් රජය ලබා දී නැහැ.
පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් ඩී. ඒ. දිසානායක

ආරාමයෙන් මෙයා ඉවත් කර ගන්න මට නීතියේ පිහිට පතන්නට පවා සිදු වුණා.
පූජ්‍ය පොන්නිලව උත්පලවන්නා මෙහෙණින් වහන්සේ

මා බටහිර හෝ දේශීය වෛද්‍යවරයකු නොවේ. මා කරන්නේ බෝධි පූජා පවත්වන එක සහ පිරිත් දේශනා කරන එක පමණයි.
චෝදනා ලබන ජානක සේනාධිපති

මේ පුද්ගලයා මීට පෙර දන්ත ධාතුන් වහන්සේ නුවර දළදා මාලිගාවේ නැහැ; පකිස්තානයට වැඩලා; තමන් දළදා මාලිගාව ඉදි කළාම ඒ දළදා මාලිගාවට වඩිනවා කියලා කියපු හඬපට ඇතුළු හඬපට දහසකට කට වඩා වැඩි ප්‍රමාණයක් මා සතුව තියෙනවා
සමාජමාධ්‍ය ක්‍රියාධරයකු හා ව්‍යාපාරිකයකු වන නිලන්ත රණසිංහ

මස්ත ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ද ලෝක වාසී ජනතාවගේ ද ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වෙමින් පවතින ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහනුවර රාජධානි සමයේ සිට මහනුවර පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වඩා හිඳුවා පුද සත්කාර කර ගෙන එයි. වරින් වර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ⁣ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු නිරාකරණය කරගනිමින් විවිධ රජවරුන් සහ ඒ ඒ කාලවල වැඩ වාසය කළ ගරුතර මහ සඟ රුවන විසින් මහත් ගෞරවයෙන් යුක්තව රැක බලාගත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව නොගැළපෙන කතාබහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනගත වන්නට ගත්තේ ජාතියේ මුදුන් මල්කඩ නමින් ගෞරවාදරයට පත් මේ දන්ත ධාතුන් වහන්සේය. 

මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි භාරකාරත්වයෙන් සහ පත්වන දියවඩන නිලමේ වරයාගේ ගිහි භාරකත්වයෙන් සුරක්ෂිත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ගෞරවයට හානිකර අයුරින් සිදුවන ප්‍රකාශ ක්‍රියාවන් කිසිසේත්ම උචිත තත්ත්වයක් නොවන බවට පැතිර යන කතාබහ සහ මහජන විරෝධතා මත අතිපූජනීය මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා, ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.

එම ලිපිය මඟින් පෙන්වා දී ඇති පරිදි ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනඟමින් සිටින බව කියන ජානක සේනාධිපති නමැති පුද්ගලයකු සහ සමාජ මාධ්‍ය ජාලා හරහා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ හෑල්ලුවට ලක් කළ බව කියන සේපාල් අමරසිංහ නම් ⁣පුද්ගලයකු පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස එම ලිපියෙන් මහා නායක ස්වාමීන්වහන්සේ එසේ ඉල්ලා සිටිති.

එවන් මොහොතක මෙවන් කතාබහක් දිගින් දිගට ගෙනයමින් තවදුරටත් අපේ මුදුන්මල්කඩ වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ හෑල්ලුවට ලක්කිරීම නොවිය යුතු,නොකළ යුතු කාරණයක් බව අවධාරණය කරමින් මෙම කතාබහට වස්තු බීජ වී ඇති කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් නිරීක්ෂණය කිරීම සඳහා අපි එම ස්ථානයට ගියෙමු. ඊට පෙර එහිලා බොහෝ තොරතුරු ගවේෂණය කළ බව කියන සමාජ මාධ්‍ය ක්‍රියාධරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන නිලන්ත රණසිංහ දුරකතනයෙන් අප හා සම්බන්ධ විය.

‘ මම මේ කියන හැම කාරණයක්ම ඉතාමත්ම වගකීමෙන් සහ එම කරුණු සනාථ කළ හැකි සාක්ෂි ඇතිවයි කතා කරන්නේ.

පිළිකා ඇතුළු බොහෝ රෝග තම බලයෙන් සුවපත් කරනවා කියන මේ පුද්ගලයා කියන දේවල් සත්‍යයෙන් තොරයි. ඔහු මේ කරගෙන යන්නේ ව්‍යාපාරයක් බව මම වගකීමෙන් කියනවා. මේ පුද්ගලයා ගැන මා වසර පහක් තිස්සේ කරුණු හොයලා තමයි මේ ප්‍රකාශය මම කරන්නේ.

මම පෞද්ගලිකව මේ පුද්ගලයා ගැන සොයාගෙන තියෙන තොරතුරුවලට වඩා මේ මොහොතේදී මතු කර දෙන්නේ ඔහු විසින් අපේ දළදා මාලිගාව සහ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ හෑල්ලු කිරීමට කරන දේවල් ගැන.

මම මේ ප්‍රශ්නය පිළිබඳව මමත් අති ගෞරවනීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා දැනුම්වත් කළා.

මේ ප්‍රශ්නය මතුවේගන එනකොට තමයි මේ පුද්ගලයා තමන් කියපුවා ⁣වෙනුවට වෙනස් දේවල් කියන්න පටන් අරගත්තේ.

මේ පුද්ගලයා මීට පෙර දන්ත ධාතූන් වහන්සේ නුවර දළදා මාලිගාවෙ නැහැ; පකිස්තානයට වැඩලා; තමන් දළදා මාලිගාව ඉඳි කළාම ඒ දළදා මාලිගාවට වඩිනවා... කියලා කියපු හඬපට ඇතුළු හඬපට 1200 කට වඩා වැඩි ප්‍රමාණයක් මා සතුව තියෙනවා. ඒවා මේ ගැන යම් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවල ඉදිරිපත් කරන්න මම සූදානම්.

මේ පුද්ගලයාට මා අපහාස කරන බවට එයාගෙ අනුගාමිකයන් මට එරෙහිව පොලිස් පොතේ පැමිණිලි ලියලා තියනවා. මේ සියලු තොරතුරු මා නොපමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. අනික මේ මුදල් ගනුදෙනු. එයා කියන හැටියට එයාගෙ බැංකු පොත් හිස්. නමුත් මෙතන සල්ලි උපයන ව්‍යාපාරයක් තියෙනවා. මේ පුද්ගලයා අධි සුඛෝපභෝගී වාහන තමයි පාවිච්චි කරන්නෙ. එයාට සල්ලි නැත්නම් එයා කොහොමද එහෙම වාහන පාවිච්චි කරන්නේ. මෙයාට මේ කටයුතුවලට උදව් කරන 150 කට ආසන්න පිරිසක් මෙයා එක්ක ඉන්නවා.

මෙම ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් බව අප සමඟ කතාබහ කළ බොහෝදෙනෙකු පවසන හෙයින් අපි පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් ඩී. ඒ. දිසානායක ඇමතුවෙමු.

මෙහෙම ඉදිකිරීමකට අදාළ කිසිදු අවසරයක් බලපත්‍රයක් ලබා දී නැතැයි එයට පිළිතුරු දුන් ප්‍රාදේශීය ලේකම්වරයා අප හා පැවසීය.

මෙම ස්ථානයේ නීත්‍යානුකූල බව පිළිබඳව ප්‍රශ්න කරන බොහෝ අය පවසන්නේ මෙම ස්ථානය බෞද්ධාගමික ස්ථානයක්, පන්සලක් නම් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් විය යුතු මෙන්ම ඒ හරහා ⁣බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වැනි ආයතන ද දැනුවත් විය යුතු බවයි.

මෙම ස්ථානයට යාබදව ඇත්තේ උත්පලවන්නා මෙහෙණි ආරාමයයි. එහි ආරාමාධිපති ලෙස වැඩ වාසය කරන්නේ පූජ්‍ය පොන්නිලව උත්පලවන්නා මෙහෙණින් වහන්සේ ය.

‘මේ ජානක සේනාධිපති මීට වසර හතරකට පෙර අපේ ආරාමය බෝධි පූජා පවත්වන්න කියලා ඉල්ලා සිටියා. හොඳ වැඩක් නිසා මා ඒ සඳහා අවස්ථාව සලසා දුන්නා. නමුත් ටික කලක් යනකොට මට කරදර වැඩි වුණා. පස්සේ ආරාමයෙන් මෙයා ඉවත් කර ගන්න මට නීතියේ පිහිට පතන්නට පවා සිදු වුණා‘

මෙවැනි චෝදනා හැමතින් එල්ල වෙද්දී එහි චුදිතයාව සිටින ජානක සේනාධිපති සොයා අප මෙම ව්‍යාජ දළදා මාලිගාවක් ඉදි කර ඇතැයි කියන ස්ථානයට ගියෙමු.

ඉකුත් ජනවාරි 04 වන දින සවස් භාගයේ අප එහි යන විටත් ජානක සේනාධිපති එම ස්ථානයේ නොසිටි අතර එහි සිටි අයකු හරහා අපේ දැනුම් දීම යොමු කළෙමු.

ඒ අනුව අප වෙතට ආ කාන්තාවක් එහි දළදා මාලිගාවේ ආකෘතියට අනුව ඉදි කිරීම් නිම වෙමින් තිබූ ගොඩනැඟිලි පරිශ්‍රයට අප කැඳවා ගෙන ගියාය. මෙම ගොඩනැඟිල්ලට ඇතුළු වන ⁣ආරුක්කු හැඩයේ දොරටුව දළදා මාලිගාවේ පිහිටි එවැනි දොරටුව සිහි ගන්වයි.

එම දොරටුවට වම් පසින් කුඩා චෛත්‍යයකි.

වම් පසින් උඩුමහලට ඇතුළු වන ලී පඩි පෙළයි. දෙවැනි මහල සහ එහි ඇති ධාතු මන්දිරය බොහෝදුරට මහනුවර දළදා මාලිගාවට සමාන ලෙස නිර්මාණය කර ඇත. ඒ වනවිටත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එම ස්ථානයට විවිධ පිරිස් පැමිණෙමින් සිටියහ.

එම ගමනේදී අපට ජානක සේනාධිපති මුණ නොගැසුණත් ඔහුව දුරකතනයට සම්බන්ධ කර ගැනීමට ජනවාරි 6 සිකුරාදා අපට හැකි විය. මේ අප ඇසූ ප්‍රශ්න කිහිපයකට ඔහු දුන් පිළිතුරුයි.

ඔබ දන්ත ධාතුන් වහන්සේ දැන් මහනුවර වැඩ නොසිටින බවටත් එම ධාතුන් වහන්සේ දැනට පකිස්ථ‍ානයේ කෞතුකාගාරයයක තිබෙන බවත් එය ඔබ හදන දළදා මාලිගාව ඉඳිකර අවසන් වූ වහාම එම ස්ථානයට වැඩම කරන බවට ඔබ ප්‍රකාශ කරන්නේ කොහොමද?

නැහැ මා එහෙම ප්‍රකාශයක් කර නැහැ. හැබැයි සතර දළදා වහන්සේලා ගැන මෙහෙම බොහොම නිවැරදි නිරවුල් ප්‍රකාශයක් කරලා තියනවා.

සතර දළදා වහන්සේලාගෙන් වම් දන්ත ධාතූන් වහන්සේ මහනුවර සෙංකඩගල වැඩ සිටිනවා. දකුණු දන්ත ධාතුව සෝමාවතී මහ සෑයේ වැඩ වාසය කරනවා.පකිස්ථාන කෞතුකාගාරයේ තවත් දන්ත ධාතූන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. තව්තිසා දෙව්ලොව ඊළඟ දන්ත ධාතූන් වහන්සේ වැඩ ඉන්නවා. මෙයයි මා කළ ප්‍රකාශය. මා කළ ප්‍රකාශය අපහාසයක් ලෙස සමාජගත වී ඇත්තේ ඒ කතාව විකෘති කරලා.

චෛත්‍යය විශාල ප්‍රමාණයක් ගොඩනඟා ඇති තවමත් ගොඩනඟන එයට මූලික වන ඔබ ඒ මුදල්වලින් කිසිවක් පෞද්ගලික පරහරණයට ගන්නෙ නැත්නම් ඔබ පවුලක් හැටියට ජීවත් වෙන්න ලබන ආදායම් මොනවද?

මා පෞද්ගලික බැංකුවක වසර 18 ⁣රැකියාව කළා. ඉන් ඉවත් වෙද්දී විශාල මුදලක් මට හිමි වුණා. මට සහ මගේ බිරිඳට දෙමාපිය උරුමයෙන් ලැබුණු ඉඩකඩම් කූඹුරු තියනවා. මගේ පුතා පරිගණක ඉංජිනේරුවෙක්. දුව කුරුණෑගල ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සේවය කළා. නමුත් විවිධ අය මට අභූත චෝදනා එල්ල කරද්දි, මාව හොරෙක් කියද්දී ඒ පීඩනය නිසාම දුව රැකියාවට යන්න බැහැ කියලා නැවතුනා.

ඔබේ බැංකු රැකියාව නැති වුණේ මූල්‍ය වංචාවක් නිසා කියලා කතාවකුත් යනවා

මගේ රැකියාව නැති වුණේ මා වෙනත් බැංකුවක ගිණුමක් විවෘත කිරීම නිසා. එහෙම නැතිව මට සත පහක මුදල් වංචා චෝදනාවක් නැහැ.

මේ රෝග සුවපත් කිරීම මොකක්ද ඔබ වෛද්‍යවරයෙක් ද

නැහැ. මා බටහිර හෝ දේශීය වෛද්‍යවරයකු නොවේ. මා කරන්නේ බෝධි පූජා පවත්වන එක සහ පිරිත් දේශනා කරන එක. බුදු ගුණ බලය මුසු වූ එම තෙල් ගැල්වීම සහ පිරිත් නූල් බැඳ ආශිර්වාද කිරීමයි. එය මා කරන සේවයක් ලෙස මිස ව්‍යාපාරයක් ලෙස නොවේ. මේ කාරණා වැරදි ලෙස වටහා ගෙන මට අස්ථාන චෝදනා කිරීම සහ අපහාස කිරීමයි මේ සිදු වෙන්නේ. ඒ ජානක සේනාධිපති කියන කතාවයි.

මේ රටේ දන්ත ධාතුන් වහන්සේටත් අපහාස අවලාද නමින් ව්‍යාජ ඉතිහාසයක් මවා පාන්නට හදන හොර තක්කඩින්ට මේ රට උන්ගේ සෙල්ලම් පිටියක් කර ගන්නට තවදුරටත් ඉඩ දිය යුතු නැත. බුදු දහමට නැඹුරු ජනතාවගේ පහන් සිත් පාරවමින් දුෂණය කරමින් පඬුරු පාස්කුඩම් ගරාගෙන අධි සුඛෝපභෝගි ජීවිත ගෙවන්නට යත්ත දරනවුන් නීතියේ රැහැනට හසුකරගෙන නිසි දඩුවම් ලබා දෙන්නට තවදුරටත් පමා විය යුතු නැත.


ඡායාරූප - තාරක විජේවර්ධන, කුලියාපිටිය සමූහ

Comments