ගල් ගසා ප්‍රදර්ශනාගාර බිඳින ලෝක හොරා වැලිගමදී අල්ලයි | Page 3 | සිළුමිණ

ගල් ගසා ප්‍රදර්ශනාගාර බිඳින ලෝක හොරා වැලිගමදී අල්ලයි

විශාල ප්‍රදර්ශනාගාරවල ඉදිරිපස වීදුරු බිඳ ඇතුළුවී දේපොළ සොරකම් කිරීමට පුරුදු වී සිටින සොරෙකු ගාල්ලේදී ප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයක ඉදිරිපස වීදුරුවට ගලකින් ගසා බිඳ ඊට ඇතුළුවී රුපියල් එක්කෝටි දසලක්ෂ අනූ තුන්දහසක් වටිනා භාණ්ඩ සොරකම් කර පලා ගොස් සිටියදී අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයනට පසුගියදා හැකි විය. මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

වැලිගම, පොල්වත්ත පාරේ පදිංචිකරුවකු වන හේවා පේඩිගේ තාරක ලසන්ත පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය. ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ තාරක වැඩිදුර අධ්‍යාපනයක් නොලැබීය. ඉන් අනතුරුව ඔහු ජීවත්වීමේ මාර්ගය ලෙස තෝරා ගන්නේ ධීවර රැකියාවයි. එම රැකියාව තෘප්තිමත් නොවීම නිසා ඔහු කුලී වැඩට හුරු වූයේය. ගමේ තැනින් තැන දෛනික වැටුපට කුලී වැඩ කළ තාරක මිතුරෙකුගේ මාර්ගයෙන් කොළඹට පැමිණියේ පසු කලෙකය.

කොළඹ වැඩබිම්වල 'අත්උදවුකරුවෙකු' ලෙස රැකියාව කිරීමට ඔහුට හැකි විය. මේ අතර බොහෝ පුද්ගලයින් ජංගම දුරකතන පාවිච්චි කරනු දුටු තාරකට ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමේ දැඩි ආශාවක් ඇති විය. එහෙත් ඒ සඳහා වැයවන මුදල පිළිබඳ කල්පනා කළ විට එය ඔහුට සිහිනයකි. එසේ නම් ඒ සඳහා කුමක් කළ යුතු දැයි ඔහු දිවා රාත්‍රි කල්පනා කළේය. "

ඒ අනුව තාරක නැවතී සිටි කොළඹ ප්‍රදේශයේ ලිබර්ටි ප්ලාසා ප්‍රදර්ශනාගාරය බිඳීමට තීරණය කළේය. දින කීපයක් එම ප්‍රදර්ශනාගාරය අවට සැරිසරමින් ඔහු ඒ සඳහා ඔත්තු බැලුවේය. ඒ අනුව 2018 වසරේ මාර්තු මාසයේ දිනක මැදියම් රැය උදාවන තුරු තාරක නොඉවසිල්ලෙන් බලා සිටියේය. මොහු එම ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපස වීදුරුවට ගල් පහරක් එල්ල කොට බිඳ දැමුවේය. එම ගල් පහරට විශාල ශබ්දයකින් ප්‍රදේශයම දෝංකාර දුන් නමුත් කිසිවෙකු හෝ කලබල වූ බවක් තාරකට නොපෙනුණි.

සැඟවී සිටි තාරක හෙමින් සීරුවේ ප්‍රදර්ශනාගාරය වෙතට ළඟාවී වටපිට බැලුවේය. ගල් පහරින් බිඳී ගිය ස්ථානයේ වීදුරුවේ විශාල සිදුරකින් තාරක ප්‍රදර්ශනාගාරයට ඇතුළු වී එහි තිබූ ජංගම දුරකතන, අත් ඔර්ලෝසු ඇතුළු විද්‍යුත් උපකරණ රැසක් මල්ලක දමාගෙන පලා ගියේය. පොලිසියටද මේ පිළිබඳ පැමිණිල්ලක් ලැබුණි. ඒ සමගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේය. සොරකම පිළිබඳ සීසීටීවි දර්ශන අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා සැක පිට තාරක අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. නඩු විභාගය අවසානයේ වරදකරුවූ තාරකට වසර දෙකයි මාස හයක සිර දඬුවමක් නියම විය.

වසර දෙකහමාරේ සිර දඬුවම ගෙවී ගොස් නිදහස ලබා තාරක බන්ධනාගාරයෙන් පිටව ගියේය. එහෙත් කොළඹ ජීවිතයට හුරුවී සිටි ඔහු ගමට නොගොස් නැවත කොළඹම නතර විය. අනතුරුව රාජගිරියේ පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ සමාගමකට අයත් වෙළෙඳ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් බිඳ ජංගම දුරකතන, අත් ඔර්ලෝසු ඇතුළු විද්‍යුත් භාණ්ඩ තොගයක් සොරකම් කරනු ලැබීය. එම ප්‍රදර්ශනාගාරය ද බිඳින ලද්දේ ද ඉදිරිපස වීදුරුවලට ගල් ගසා හානි සිදු කොට බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. ලිබර්ටි ප්ලාසා වෙළෙඳ ප්‍රදර්ශනාගාරය සහ රාජගිරියේ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයද බිඳ ඇත්තේ වීදුරුවලට ගල් ගසා හානි සිදු කිරීමේ එකම ක්‍රමයට බව අවබෝධ කර ගත් පොලිසිය තාරක සැක කොට අත්අඩංගුවට ගනු ලැබීය. තාරකගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ රාජගිරිය වෙළෙඳ ප්‍රදර්ශනාගාරයද බිඳ ඇත්තේද ඔහු විසින් බවය. මෙම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තාරක අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මාස කීපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි තාරක පසුගිය දෙසැම්බර් 19 වන දින අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබීය. එවිට කොළඹ නතර නොවී ගමේ යෑමට තාරක තීරණය කළේය. ඒ අනුව ඇප ලැබූ දිනයේම පදිංචිව සිටින වැලිගම බලා යෑමට තාරක කොළඹින් දුම්රියකට නැග්ගේය. එහෙත් අතරමගදී ගෙදර යෑමේ තීරණය වෙනස් කළ තාරක ගාල්ල දුම්රිය පොළෙන් බැස්සේය.

දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිණි තාරක මුළු දවස පුරා ගාල්ල නගරයේ සැරිසැරුවේය. අවසානයේ එදින රාත්‍රී ගාල්ල මහ වීදියේ පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ සමාගමකට අයත් ප්‍රදර්ශනාගාරයක් ගල් ගසා බිඳීමට තීරණය කළේය.

ඊට පසුව ඔහු ගාල්ලේ ධිවර තොටුපොළට ⁣ගොස් එහි ඇවිද හිස් පොහොර උරයක් සොයා ගත්තේය. තවදුරටත් ධීවර තොටුපොළේ ඇවිද කිලෝ දොළහක් පමණ බර කළු ගලක්ද සොයා ගත් තාරක එම කළු ගල පෝර උරයේ දමාගෙන අඳුර වැටී රෑ වන තෙක් මුහුදු වෙරළේ ගත කළේය.

දිවා කාලයේ අතිශය කාර්යබහුල ගාල්ල නගරය මැදියම් රාත්‍රිය වන විට පාළුවට ගියේය. නගරයේ වීදි පහන් දැල්වෙන නමුත් මාර්ගවල කෙනෙකු ගමන් කරන්නෙ ඉඳහිටය. වටපිට බැලූ තාරක තමන්ට බිය විය යුතු කිසිම හේතුවක් නොමැති බව දැන ගත්තේය. එම නිසා තව දුරටත් ප්‍රමාද නොවීය යුතු බව තීරණය කළ තාරක තමා රැගෙන පැමිණි විශාල කළු ගල ඔසවා වෙළඳ ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපස වීදුරුවට පහර දුන්නේය. බිඳින ලද වීදුරුවේ විශාල සිදුරකින් තාරක ප්‍රදර්ශනාගාරයට ඇතුළු විය. ඔහු අති සු⁣ඛෝපභෝගී ජංගම දුරකතන, අත් ඔර්ලෝසු, රැහැන් රහිත ශ්‍රවණ උපකරණ ඇතුළු රුපියල් එක්කෝටි දස ලක්ෂ අනූ තුන් දහසක් වටිනා භාණ්ඩ තොගයක් තමන් ගෙනෙන ලද පොහොර බෑගයේ දමාගෙන ඇතුළු වු සිදුරෙන්ම පිටවී නගරය දෙසට පැමිණියේය. අනතුරුව දුම්රිය ස්ථානය වෙත ගොස් බලන විට උදේ පහට මාතර බලා දුම්රියක් ධාවනය වන බව දැන ගෙන එම දුම්රියට ගොඩ විය. පාන්දරම වැලිගමට ළඟා වූ තාරක සිය නිවෙසට මීටර් පන්සියයක් පමණ දුරින් හමුවු පාළු නි‌ෙවසේ සොරකම් කරන ලද භාණ්ඩ සඟවා තම නි‌ෙවසට ගියේය. බොහෝ කලකින් පුතා ගෙදරට පැමිණීම පිළිබඳ තාරකගේ මව සහ පියා සතුටට පත් වූහ. ඊට පසුව තමාට නිදිමත බව පැවසූ තාරක නින්දට වැටුණේය.

මේ අතර ගාල්ල මහාවීදියේ ප්‍රසිද්ධ වෙළද ප්‍රදර්ශනාගාරයකට සොරුන් ඇතුලුවී ඇති බව ගාල්ල නගරය පුරා වේගයෙන් පැතිර ගියේය. ඒ සමඟම මේ පිළිබඳව පොලිසියට ද පැමිණිල්ලක් ලැබුණි. ඒ අනුව ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ උපදෙස් පරිදි ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. ජී. ආනන්ද උප පරීක්ෂක නිහාල් මෙන්ඩිස්, සැරයන්වරුන් වන හසන්ත (58987 ) අනුර (27683), චන්ද්‍රසේන (7964 ) සහ සරත් (6387) ඇතුළු පොලිස් කණ්ඩායම පරීක්ෂණ ආරම්භ කළේය. වෙළඳ ප්‍රදර්ශනාගාරයට ඇතුළු වී ඇත්තේ ඉදිරිපස වීදුරු බිඳ දමා එහි සිදුරකින් බව තේරුම් ගත් පොලිස් නිලධාරින් එවැනි අන්දමට ප්‍රදර්ශනාගාරවල වීදුරු බිඳ ඇතුළු වී දේපොළ සොරකම් කර ඇති සැකකරුවන්ගේ තොරතුරු වෙනත් පොලිසිවලින් ලබා ගන්නා ලදි. ඒ අනුව කොළඹ ලිබර්ටි ප්ලාසා වෙළඳ ප්‍රදර්ශනාගාරය සහ රාජගිරියේ ප්‍රසිද්ධ සමාගමකට අයත් වෙළඳ ප්‍රදර්ශනාගාර බිඳ ඇත්තේද තාරක විසින් එකම ක්‍රමවේදයට බව අනාවරණය කර ගත් පොලිසිය මෙම සොරකමටද තාරක සම්බන්ධ බවට පොලිසිය සැක කළේය. ඒ අනුව තාරක පිළිබඳ තොරතුරු සොයා ගත් පොලිස් පරීක්ෂක ආනන්ද ඇතුළු කණ්ඩායම වැලිගම පොල්වත්තට ගොස් තාරකගේ නි‌ෙවස වැටලුවේය. පෙර දින රාත්‍රියේ මෙම සොරකම සඳහා නිදි වරා සිටි තාරක ඒ වන විට නින්දට වැටී සිටියේය. පොලිසිය තාරක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු අනුව එම නි‌ෙවස අසල පිහිටි පාළු නි‌ෙවසක සඟවා තිබූ සොරකම් කරන ලද දේපොළ ද සොයා ගැනීමට පොලිසියට හැකි විය.

මෙම සොරකම සිදුවී පැය කීපයක් ඇතුළත සැකකරු අත්අඩංගුවට ගෙන සොරකම් කරන ලද සියලු දේපොළද සොයා ගනිමින් පොලිස් නිලධාරින් කරන ලද අගනා මෙහෙවර ඇගැයීමට ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ අමතක නොකළේය. ඒ අනුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ එදිනම ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක පුලස්ති සොයිසා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩී. ජී. ආනන්ද යන දෙදෙනාට එදිනම මුදල් ත්‍යාග පිරිනමන ලදී.

Comments