උප්පරවැට්ටිය | සිළුමිණ

උප්පරවැට්ටිය

සියලුම අපේක්ෂාවන් වික්‍රමගේ චිත්ත සන්තානය තුළ පෙරළි කරනුයේ වෙරළට ඇදී එන රළ පහර නැවත මහා සාගරයට ඇදී යන්නාක් මෙනි. වසර ගණනාවක පටන් තමා විසින් ගොඩ නැඟූ ලෝකය අද ඔහුට එරෙහිව නැඟී සිටිතැයි වික්‍රමට සිතුණි. 

තමා මෙතෙක් ගුරුවරයකු වශයෙන් ඉටු කළ මෙහෙවර කවරකු විසින් හෝ අවතක්සේරුවට ලක්කරනු ඇතැයි වික්‍රම කිසිදු විටෙක නොසිතුවේය. ඔහුගෙන් සිප්සතර හැදෑරූ දරුවන් බොහෝ පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි රැකියාවල නිරතවී සිටිති. එය ඔහුට මහත් අස්වැසිල්ලක් විය.

එහෙත් ජීවිතයේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය මෙතරම් ඉක්මනින්ම ළඟාකර ගත්තේ, තමා විසින්ම නොවේදැයි වික්‍රමට දැන් සිතේ. එහෙත් ඒ සියල්ලටම කිසියම් ආකාරයකින් හෝ සම්මාදම් වූ පිරිසක් ද තමා පසුපස සිටින බව ද ඔහු අමතක නොකළේය.

"ගමේ ඉස්කෝලේට මාරුවක් හදාගෙන එන්න අදහසක් නැද්ද? හැමදාම ගමෙන් පිට ඉන්නද කල්පනාව. මාරුවක් හදාගෙන ගමේ ඉස්කෝලෙකට එනවා..."

"මිස්ට වික්‍රම අපේ ළමයින්ට උගන්වන්න ගමේ ඉස්කෝලෙකට ආව නම් නේද හොඳ?"

"මල්ලි දැන් ගමට මාරුවක් හදාගෙන එන්න. දැන් අවුරුදු කීයක් ගමෙන් පිට හිටියාද?"

ආදී විවිධ අදහස් එදා වික්‍රමට අසන්නට ලැබිණි. අවසානයේ ඔහු තීරණයක් ගත්තේය.

සියලුම බාධා මැඬ ගනිමින් වික්‍රම මාරුවක් රැගෙන ගමේ පාසලට පැමිණියේ ඔහුගෙන් ඉටු විය යුතු සේවාව ගමේ දරුවන් වෙනුවෙන් ඉටු කිරීමේ අපේක්ෂාවෙනි. ඊට ඔහුට කිසිදු බාධාවක් ද නොවීය.

වසර හතක් අම්පාර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර පාසලක ඉගැන්වීමත්, පසුව ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක වසර විස්සකට අධික කාලයක් සේවය කිරීමත් වික්‍රමට ගමේ ජාතික පාසලකට මාරුවී පැමිණීමට මහත් රුකුලක් විය.

"මිස්ටර් වික්‍රමට අට වසර පන්තියක් තමයි දෙන්න වෙන්නෙ. ටික කාලයක් හවස් වරුවත් වැඩ කරන්න සිද්ධ වෙනවා. මොකද උදේ වරුවේ මුළු පාසලම පටන් ගන්න ගොඩනැඟිලි අඩුයි. ඒ වගේම උපාධිධාරී ගුරුවරු අපට වැඩියි. ප්‍රාථමික පුහුණු ගුරුවරු තමයි අපට දැනට අවශ්‍ය...." විදුහල්පතිවරයා පැවසූ වචන වික්‍රමගේ දෙසවන් තුළ දෝංකාර දෙන්නට විය.

"සර් ..... පහ වසර පන්ති...? "

" පහ වසර දැනට උගන්වන ගුරුවරුන්ට හැර වෙනත් අයට දෙන්න බැහැ. ඒක ගැටලුවක් වෙනවා. ඇරත් දෙමාපියන් ඇහැ ගහගෙන බලාගෙන ඉන්නේ තම දරුවන්ට උගන්වන ගුරුවරුන් ගැන. ඒ අය ආවාට ගියාට මාරු කරන්න මට බැහැ... " යි විදුහල්පතිවරයා කීවේ වික්‍රමගේ ඉල්ලීම එක්වරම ප්‍රතික්ෂේප කරමිනි.

එහෙත් විදුහල්පතිවරයාගේ එම තීරණය මාසයක් ගත වෙන්නටත් පෙර වෙනස් වු ආකාරය වික්‍රමගේ කුතුහලයට හේතුවක් විය. වික්‍රමට පසුව පාසලට පැමිණි වෙනත් ගුරුවරියකට පහ වසර පන්තියක් දීම වික්‍රම නොරිස්සුවේය. විදුහල්පතිවරයා සහ වික්‍රම අතර කිසියම් නොහොද නෝක්කාඩුවක් නැතහොත් සිත් පලුදු වීමක් සිදු වුයේ ද ඉන් අනතුරුවය.

"සර්... අලුත ආපු මිස්ගෙ පංතිය මට දෙන්න. මට හවස පංති කරන්න අමාරුයි. " වික්‍රම දිනක් කීවේය.

"වික්‍රම මම ඒ මිස්ට පහ ශ්‍රේණියක් දුන්නේ ඒ මිස් ප්‍රාථමික පුහුණු ගුරුවරියක් නිසයි. ඇරත් ඔය පහ වසර ශිෂ්‍යත්ව පන්ති ගැන දෙමාපියන් ඇහැ ගහගෙන බලා ඉන්නෙ. දැනට වික්‍රම අට ශ්‍රේණිය කරගෙන යන්න. ලබන අවුරුද්දේ මං වික්‍රමට පහ ශ්‍රේණියක් දෙන්නම්".

"සර්... මම ශිෂ්‍යත්ව පන්ති වසර ගණනාවක්ම කරපු කෙනෙක්. ළමයි සෑහෙන සංඛ්‍යාවක් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරපු කෙනෙක්. .." වික්‍රම කීවේ කෙසේ හෝ පහ වසර ශිෂ්‍යත්ව පන්තියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

"හරි... හරි මිස්ටර් මං ලබන අවුරුද්දේ හතර වසර පන්තියක් වික්‍රමට දෙන්නම්. පහ වසර පන්තිය දක්වාම දිගටම උගන්වන්න. "

"දැන් ඔය පන්තිය කරගෙන යන්නකෝ.." යි විදුහල්පතිවරයා කියත්ම වික්‍රමට ඇති වුයේ දැඩි කෝපයකි.

"සර්... මට හවස්වරුව වැඩ කරන්න අමාරුයි."

වික්‍රම කන්කෙඳිරි ගෑවේය.

"එහෙනම් වික්‍රමට පහ ශ්‍රේණිය කොහොමත් කරන්න අමාරුයි. මොකද ශිෂ්‍යත්වයට යන ළමයින්ට හවස් වරුවෙත් පන්ති කරන්න වෙනවා..." යි විදුහල්පතිවරයා කීවේ දැඩි ස්වරයකිනි.

විදුහල්පතිවරයාගේ කර්කෂ වචනවලින් කොපමණ කළකිරීමක් ඇති වුවත් ඒ සියල්ලක්ම යටපත් කරගෙන පාසලේ දරුවන් වෙනුවෙන් සේවය කිරීමට වික්‍රම අදිටන් කර ගත්තේය. එහෙත් ඒ අදහස පැවැතියේ ඉතා කෙටි කාලයකි. විදුහල්පතිවරයා වරින් වර කළ කෙනෙහිළිකම් නිසා වික්‍රමගේ සිත තදින්ම පෑරුණි.

"මං කැමැති නැහැ කිසිම ගුරුවරයෙක් බලෙන් මෙහෙ තියාගෙන ඉන්න. තමන්ට මෙතන කරදරයක් නම් මං පවරන වැඩ කරන්න බැරිනම් මාරුවෙලා යන එකයි තියෙන්නේ. වැඩ කරන්න බැරි ලෙඩ්ඩු මං මෙතන තියා ගන්න කොහෙත්ම කැමැති නැහැ. ඇරත් මේ පාසල ප්‍රදේශයේ තියෙන හොඳම ජනප්‍රිය පාසල. දෙමාපියන්ගේ අවධානයත් වැඩියි...." විදුහල්පතිවරයා ගුරු මණ්ඩල රැස්වීමේදී පැවසූ වචන වික්‍රමට එල්ල කරන ලද ඇණුම් පද යැයි ඔහුට වරෙක සිතිණි.

දිය යට වූ රබර් බෝලයක් සේ වික්‍රමගේ සිතිවිලි ද වරින් වර ඉස්මතු වීමට පටන් ගත්තේය. 

"මිසිස් පෙරේරා මම හවස් වරුව වැඩ කරන නිසා වරු දෙකෙන්ම වැඩක් නැහැ. මගේ දරුවන්ගේ වැඩ ගැන බලන්නවත් මට විවේකයක් නැහැ..." දිනක් වික්‍රම ඔහුගේ අපහසුකම් ගැන මිසිස් පෙරේරා සමඟ කීවේය.

"එහෙම කියන්න එපා වික්‍රම ඔයාගෙ ළමයි වගේම මෙතන ඉගෙන ගන්න ළමයි ගැනත් හිතන්න ඕන. ඇරත් ඔයාට ළමයි එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඇති. ඊට වැඩිය මෙතැන කොච්චර ළමයි ඉන්නවද? ඒක අමතක කරන්න එපා ...." මිසිස් පෙරේරාත් විදුහල්පතිවරයාගේ ගොන්නේම කෙනකු යැයි වික්‍රමට එදා සිතුණි. ඔවුන් අතර මනුෂ්‍යත්වය ගෑවිලාවත් ඇද්ද යන්න වික්‍රමගේ සැකයට තුඩු දුන් කරුණක් විය. වික්‍රමට එරෙහිව මුළු පාසල් පද්ධතියම අවි අමෝරා ගෙන ඇතැයි එවේලේ ඔහුට සිතුණේය.

නයි පොළොඟුන් මෙන් මෙසේ සිටීමට වඩා මාරු වී යෑම දහසකින් එකක් සැපතකැයි වික්‍රමට සිතුණි. "සර් මට පහ වසර දෙන්න බැරිනම් මං වෙනත් පාසලකට මාරු කරල යවන්න. සර්ට ඒක කරන්න පුළුවන්. "

"ඔව් මට ඒක කරන්න පුළුවන්. මගේ ගෝලයෙක් තමයි පළාතේ මන්ත්‍රීතුමා. ඒත් මිස්ටර් වික්‍රම ඔයා උපාධිධාරියෙක් වශයෙන් ඕනම පන්තියක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන .... අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕන..." විදුහල්පතිවරයා කීවේය..

"ඒක හරි සර් .... ඒත් සර් මට හවස් වරුව වැඩ කරන්න බැරි එකයි ප්‍රශ්නය. හවස් වරුවේ කරන්න මට ගෙදර රාජකාරි ගොඩාක් තියෙනවා සර්. ඒකයි මගේ ප්‍රශ්නය. ඇරත් මං මේක රස්සාවක් නැතිකමට කරනවා මිසක්, මගේ සුදුසුකම්වලට ගැළපෙන, මං කැමති රස්සාවක් නොවෙයි. ඒත් මං හිත හදාගෙන අවුරුදු විස්සක්ම දරුවන්ට ඉගැන්වීම් කළා."

"මිස්ටර් වික්‍රම පොඩි දරුවෙක් වගේ වැඩ කරන්න එපා. මට ඔයා කොහෙත්ම මාරු කරලා යවන්න බැහැ. අපට ගුරුවරු අඩුයි. අපි හිතන පතන හැම දෙයක්ම ඒ විදියටම සිද්ධ වෙන්නේ නැහැ. මිස්ටර් වික්‍රම මං දේශපාලනේ කළේ ඔයා ඉපදෙන්නත් කළින්. ඒත් මං තවම විදුහල්පතිවරයෙක් විතරයි. මටත් වික්‍රමට වගේ බලාපොරොත්තු ගොඩාක් තිබුණා. ඒත් ඒ එකක්වත් අද වෙනතුරුම ඉටු වුණේ නැහැ." ඔහු කියාගෙන ගියේය.

විදුහල්පතිවරයාගේ වචනවල දැඩි ඒකාධිකාරී ස්වරූපයක් ඇතැයි ද වික්‍රමට සිතුණේය. වික්‍රම අවස්ථා ගණනාවක්ම මාරුවී යෑමට උත්සාහ දැරුවද ඒ සියල්ලක්ම ව්‍යර්ථවී ගොස් තිබිණි. ඒ අන් කරුණක් නිසා නොව විදුහල්පතිවරයාගේ බලපෑම් නිසා නොවේ දැයි වික්‍රමට සිතුණේය.

"මිස්ටර් වික්‍රම ගිය සතියේ ඇමතිතුමා හමුවෙන්න ගියා කියල ආරංචියි. එහෙම නේද? ඒත් මට කනගාටුයි මිස්ටර් වික්‍රම අවුරුද්ද මැදදි කොහොමත් මට මාරු කරලා යවන්න බැහැ. ඒ වසරට දාන්න මට ගුරුවරයෙක් නැහැ. මේ අවුරුද්ද අන්තිමට මං මිස්ටර් වික්‍රම ඉල්ලන ඕනෑම ඉස්කෝලෙකට මාරුවක් අරන් දෙන්නම්... " යැයි විදුහල්පතිවරයා වීරයකු මෙන් කියාගෙන ගියේය. වික්‍රම නිහඬව කරබාගෙනම සිටියේ සෙල් පිළිමයක් ලෙසිනි.

බඩුත් හොරුත් රාළහාමි ළඟ තිබියදී තවදුරටත් පැමිණිලි කිරීමෙන් පළක් නොවේ යැයි වික්‍රම සිතුවේය.

එදා පටන් විදුහල්පතිවරයා සෑම විටකදීම වික්‍රම වෙත එල්ල කරන ලද්දේ දැඩි වාග් ප්‍රහාරයකි. එය කිසිවකුට හෝ නොදැනෙන පරිද්දෙන් වික්‍රම වෙත එල්ල කිරීමට ඔහුට තිබුණේ ශූර බුද්ධියකි.

"දුවේ, පුතේ තමන්ගේ දක්ෂතාව, හැකියාව පෙන්වන්න ආචාර්ය, මහාචාර්ය උපාධි අවශ්‍ය නැහැ. අධිෂ්ඨානය, උත්සාහය, කැපවීම අවශ්‍යයි. අපේ මුළු ජීවිතයම අරගලයක්. අරගලයෙන් තොරව අපට කිසිම ජයග්‍රහණයක් ලබා ගන්න බැහැ. දරුවන් දන්නවා කොරෝනා වසංගතය කාළේ අපට පාසල් එන්න ලැබුණේ නැහැ.

ඒත් අපි අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තේ නැහැ. ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගත්තා. ඒත් නගරයෙන් ඈත දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට ඒකටත් අරගල කරන්න සිද්ධ වුණා. සිග්නල් නැති නිසා ගල්පර්වත උඩට නැග්ගා. ගස්වල අට්ටාල උඩට නැග්ගා. ඉගෙන ගන්න දැඩි අරගලයක් කරන්න සිද්ධ වුණා. ඒ විතරක් නොවෙයි දරුවනේ, අපටත් ඉල්ලීම් දිනා ගන්න. අරගල කරන්න සිදු වුණා. ඒ නිසා දුවේ, පුතේ අරගලයෙන් තොරව අපේ ජීවිතයේ කිසිම ජයග්‍රහණයක් ලබා ගන්න බැහැ." යි දිනක් විදුහල්පතිවරයා උදෑසන රැස්වීමකදී ප්‍රකාශ කළේ වික්‍රමට ඇණුම් පදයක් එල්ල කරන්නාක් මෙනි.

" මොනවාද ගුණේ මේ ප්‍රින්සිපල් දොඩවන්නේ"වික්‍රම අසල සිටි ගුණසේකරගේ කණට කෙදිරුවේය. "ඒක තමයි මමත් කල්පනා කළේ, මිනිහාට පිස්සුද ? ළමයින්ට කියන දේවල්ද ඕවා. කොල්ලො කෙල්ලොත් කැමති වෙයි පාඩම් නොකරම අරගල කරන්න." ගුණසේකර, වික්‍රමගේ අදහස අනුමත කරමින් අදහස් පළ කළේය.

පසුවදා මවුපියන් අතරද විදුහල්පතිවරයාගේ කතාව කසුකුසුවකට භාජනය වී තිබිණි.

"මොකද සර් ප්‍රින්සිපල්ගේ ඔළුව හොඳ නැද්ද? ළමයින්ට ඉගෙන ගන්න කියන්නේ නැතුව අරගල කරන්න කියන්නේ....?" යි අයෙක් වික්‍රම කතාවට ඈඳා ගැනීමට උත්සාහ ගත්තේය. එහෙත් විදුහල්පතිවරයාට එරෙහිව මවුපියන් ඉදිරියේ කතා කිරීම වික්‍රම වැන්නකුට යෝග්‍ය නොවන්නක් බැවින් ඔහු හා සිනාසී වික්‍රම නිහඬ විය.

"නෑ මං අහන්නේ මහත්තයා එයා ජ්‍යෙෂ්ඨය විතරක් පාස් වෙලා දේශපාලනය කරලා මෙතෙන්ට ආවාට, අපේ දරුවන්ට ඉගෙන ගන්න එපා කියන්න, එයාට කිසිම අයිතිවාසිකමක් නැහැ. අපට ආරංචියි සර්ටත් උපාධිධාරී ගුරුවරයෙක් නිසා නිතරම කැපිල්ල දානවා කියලා..." ඔහු වික්‍රම ඉදිරියේ කියාගෙන ගියේය.

"ආ .... එහෙමද? අනේ මම නම් ඒ බවක් දන්නේ නැහැ. අනික මං විතරක්ද, මේ ඉස්කෝලේ කොච්චර උපාධිධාරි ගුරුවරු ඉන්නවද?" වික්‍රම යථාර්ථය වසන් කර ගනිමින් කීවේය. වික්‍රමගේ අදහස් දැන ගැනීමේ චේතනාවෙන් සමහර විට විදුහල්පතිවරයා විසින්ම ඔහු වික්‍රම වෙත එවන ලද අයකු දැයි යන්න ඔහුගේ සැකයට හේතුවක් විය. කෙසේ වුවත් නිහඬතාව සෑම හඬකටම වඩා වැදගත් දෙයක් යැයි වික්‍රමට සිතුණි.

දිනෙන් දින විදුහල්පතිවරයා පිළිබඳ පාසල තුළ ගොඩ නැඟුණු ප්‍රතිරූපය සුභවාදී එකක් නොවීය. එහෙත් කිසිවකු හෝ ඔහුට එරෙහිව නැඟී සිටීමට උත්සාහ නොගත්තේද ඔහුට තිබු දේශපාලන සවිය අවියක් විය හැකි යැයි සිතූ නිසා විය හැකිය. ඔහුගේ සෑම අණ පනතකම කීකරුව කටයුතු කිරීමට ඒ වනවිටත් ගුරුවරු බොහෝ දෙනෙක් නැඹුරුවී සිටියහ.

විදුහල්පතිවරයාට එරෙහිව සිටි අය පවා ඔහු ඉදිරියේ එඩිතරව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. එසේ අදහස් පළ කළහොත් ඔහුගෙන් කිසිදු ගැලවීමක් නොමැති බව ද ඔවුහු දැන සිටියහ.

"සර්... සර්ට ප්‍රින්සිපල් සර් එන්න කිවුවා..."

දිනක් වික්‍රම පංති කාමරයක උගන්වමින් සිටියදී සිසුවකු පැමිණ කීවේය. තමා කැඳවා ඇත්තේ කුමක් නිසා දැයි යන්න වික්‍රමගේ සිතට කුකුසක් හට ගත්තේය. තමා කිසිම විටෙක විදුහල්පතිවරයාට එරෙහිව වචනයක් හෝ කතා නොකළ බව වික්‍රම හොඳින් දනී. එබැවින් ඔහුට බිය විය යුතු කරුණක් ද නොවීය.

වික්‍රම සිතින් තර්ක විතර්ක කරමින් ගොස් විදුහල්පතිවරයාගේ කාමරයට ඇතුළු විය. විදුහල්පතිවරයා මේසය දෙසට කරබාගෙන කිසියම් වැඩක නියැළී සිටියේය. වික්‍රම ඔහු පැමිණි බව ඇඟවීමට සපත්තුව තදින් බිමට ගැසුවේය.

"ආ .... මිස්ටර් වික්‍රම ආවද? .... පොඩ්ඩක් වාඩි වෙන්න.... " යි විදුහල්පතිවරයා කීවේ නියැළී සිටි ඉරියව්ව වෙනස් කර නොගෙනමය. වික්‍රම මේසය ඉදිරියේ තිබූ පුටුව මත හිඳ ගත්තේය. "මිස්ටර් වික්‍රම මං එන්න කිවුවේ වැදගත් කාරණාවක් කියන්න.

මට ඇමැතිතුමා පොරොන්දු වුණා ප්‍රාථමික පුහුණු ගුරුවරු කිහිප දෙනෙක් පාසලට දෙන්න. ඒත් දැන්ම නොවෙයි. ලබන වාරේ මුලදී. වික්‍රමට පුළුවන් කැමති පාසලකට මාරුවෙලා යන්න. මං ඒකට අනුමැතිය දෙන්නම් ..." විදුහල්පතිවරයාගේ සෑම වචනයක්ම වික්‍රමගේ සිතට සහනයක් ගෙනාවේය. විදුහල්පතිවරයාගේ ගෝල මන්ත්‍රීවරයා ඉදිරියේ බැගෑපත් නොවී මාරුවී යෑමට අවස්ථාව උදා වීම වික්‍රම තමා ලැබූ භාග්‍යයක් ලෙස සැලකුවේය.

"ඉතින් මිස්ටර් වික්‍රම දැන් සතුටු ඇති නේද?"

"ඔව් මට සතුටුයි තමයි.... තමුසෙගෙන් ඈත්වෙලා යන්න ලැබෙන එක..." යි වික්‍රමට කෑ ගසා කීමට සිත් වුවද ඔහු එය ආයාසයෙන් යටපත් කර ගත්තේය.

Comments