අලුත උපන් බිළිඳා පණ පිටින් වැළලු මව අත්අඩංගුවට | සිළුමිණ

අලුත උපන් බිළිඳා පණ පිටින් වැළලු මව අත්අඩංගුවට

අනියම් සම්බන්ධයකින් අලුත උපන් බිළිදාව සිය නිවස පිටුපස පණ පිටින් වලදමා ඝාතනය කළ තිදරුවක් මරදන්කේණි පොලීසිය පෙරේදා (02) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 
 
මරදන්කේණි පොලිස් වසමේ තාලයඩි ගම්මානයේ පදිංචිව සිටින 36 හැවිරිදි මෙම කාන්තාව විසින් දරුවා ප්‍රසූතිකර ඇත්තේ පසුගිය ජනවාරි 01 වෙනිදා උදාවත් සමගිනි. ඒ සිය නිවස තුළදිය. 
 
එහිදී ඇය එම බිළිදාව නිවසේ පිටුපසට රැගෙන ගොස් වලක් හාරා වලදමා කිසිවක් නොවූ ආකාරයට නිවසට වී සිට ඇත. 
 
බිළිදාව වලදැමූ ස්ථානය පෙරේදා (02) දහවල් සුනඛයෙක් විසින් හාරා බිළිදු මළ සිරුර ගොඩගෙන එය ඇදගෙන යමින් සිට ඇත. අසල නිවසක සිටි කාන්තාවක් මෙය දැක  සුනඛයා විසින් හා පැටියෙක්ව අල්ලාගෙන යන බව සිතා සුනඛයාට ගලකින් පහරදී ඇති බව පොලීසිය කියයි. එහිදී සුනඛයා විසින් බිළිදාව අතහැර දිව ගොස් ඇති බවත් සුනඛයාට පහරදී පලවා හැරිය කාන්තාව  සුනඛයා විසින් අතහැර ගිය හාවා ගැන බැලීමට පැමිණිමේදී ඒ බිළිදෙකු බව දැක පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබුණු බවත් පොලීසිය කියයි. 
 
ඒ අනුව පොලීසිය මෙම බිළිදාගේ සිරුර ගැන පරීක්ෂණ පැවැත්වීමේදී ඒ අසල නිවසක පදිංචිව සිටි කාන්තාවක් විසින් මෙම බිළිදා ප්‍රසුතිකර වලදමා ඇති බව අනාවරණය වූ බැවින් ඇයව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 
 
ප්‍රශ්න කිරීමේදී පවා ඇය එය පිළිගත් බවත් ගර්භනී භාවය මාස 10ක් පුරාවට සඟවාගෙන සිට දරුවා ප්‍රසූති කළ බවත් ඇය පවසා තිබේ. 
 
ඇය මෙම බිළිදාව වලදමා ඇත්තේ වැලි සහිත පසක බවත් එය නොගැඹුරු ලෙස වලදමා තිබීම නිසා සුනඛයා විසින් එය ඇදගෙන ගොස් තිබෙන බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. 
 
මෙම කාන්තාව ප්‍රසූතිකර ඇත්තේ ඇගේ තෙවැනි දරුවාවය. වැඩිමහල් දරුවා පාසලේ 10 පන්තියේත් දෙවැනි දරුවා 05 පංතියේත් අධ්‍යාපනය ලබන බව පොලීසිය කියයි. ඇය සිය ස්වාමියාගෙන් වෙන්ව ජීවත්වන බව ද පොලීසිය කියයි.
 
සුහස්කරන් ඉලක්කි රංජනී නැමැති මෙම කාන්තාව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 
 
(ගයාන් කුමාර වීරසිංහ )
 

Comments