
ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු ප්‍රබල අපරාධ සැකකරුවෙක් වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි ඉම්රාන්' තමිල්නාඩුවට පැනගොස් තිබේ.
ද හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ ඇප ලබා වෙස්වලාගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පිටව ගිය ඉම්රාන් තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට පැමිණි බවට තමිල්නාඩු බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවයි.
තමිල්නාඩු රාමනාතපුරම් වෙරළට පලා ආ කංජිපානි ඉම්රාන් සහ තවත් සැකකරුවෙක් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.
ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ, ඉම්රාන් ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ හෙරොයින් සහ කොකේන් සැපයුම්කරුවන් සමඟ දැඩි සම්බන්ධතා සහිත මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙක් බව සහ සමුද්‍ර සීමා හරහා මත්ද්‍රව්‍ය ජාවාරමට සක්‍රීයව සම්බන්ධ බවයි.
එමෙන්ම, ඔහු පකිස්ථානයේ හාජි සලීම් සහ තමිල්නාඩු මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ගුණසේකරන් සමඟ සමීප සබඳතා පවත්වන බවට ද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සැඟව සිටියදී 2019 වසරේ දී ඩුබායි හි පැවති උපන්දින සාදයකදී විශේෂ විමර්ශන කණ්ඩායමක් ඉම්රාන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළේය.
ඒ වන විට ඉම්රාන් ට එරෙහිව මාලිගාවත්ත පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය නඩු දෙකක් ගොනු කර තිබුණි.
ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ගාල්ල, බූස්ස කඳවුරේ වසරකට අධික කාලයක් රඳවාසිටියේ පොලිස් නිලධාරියෙකුට තර්ජනය කිරීමේ චෝදනාවටයි.
පසුගිය දෙසැම්බර් 20 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සැකකරුට ඇප නියම කළේ, විදෙස් ගමන් තහනමක් පනවමින්ය.
මේ අතර, අපරාධ චෝදනාවලට ලක්වූ විදේශීකයන් රඳවා සිටින තමින්නාඩු තිරුචි හි විශේෂ කඳවුරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ පසුගිය සතියේ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය(NIA) අනාවරණ කළේය.