
නව වසරේ ඇරඹුම කාට කෙසේ වෙතත් පාපන්දු ලොවට නම් කිසිදු ආකාරයේ සතුටක් දනවන්නක් නොවනු ඇත. ලෝක පාපන්දු ක්‍රීඩාවේ ඔටුනු පලන් රජු ලෙස කාගෙත් ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩක පේලේ මෙලොවින් සමුගත්තේ නව වසර උදාවීමට දින දෙකක් ඉතිරිව තිබියදීය. බ්‍රසීලයේ සාඕ පාවුලු නුවර ඇල්බර්ට් අයින්ස්ටයින් රෝහල ඉදිරිපිට එකම හිස් ගොඩකි.
පසුගිය සති කිහිපයක සිට මේ ශ්‍රේෂ්ඨයා රෝගාතූරව ප්‍රතිකාර ගනිමින් සිටියේ එම රෝහලේය. ඇතැමුන් පේලේ කුඩාවියේ සිටම ක්‍රීඩා කළ අංක 10 ක්‍රීඩා ජර්සියෙන් සැරසී සිටි අතර, තවත් සමහරු අත බැනර් තිබිණි. ඒවායේ ලියා තිබුණේ ‘සදාතනික රජු පේලේ‘ කියාය. පේලේගේ මරණය කිනම් මොහොතක හෝ සිදු විය හැකි බව බ්‍රසීලයේ ජනතාව දැන සිටි බව සැබෑය. එහෙත් එය විඳ දරා ගැනීමට අපහසු බවත් ඔවුහු දැන සිටියහ. පේලේ රෝහල්ගතව සිටියේ දරුණු වකුගඩු ආබාධයකට මුහුණපෑමෙනි. වසර 1977දී ඔහුගේ දකුණු වකුගඩුව ඉවත් කිරීමෙන් පසුව වරින් වර මුහුණ දුන් රෝගාබාධයකි. වයසට යෑමත් සමඟ ඔහුගේ සිරුර දුර්වලවීමෙන් පසු වකුගඩු රෝගාබාධය විඳ දරා ගැනීමට තරම් ශක්තියක් ඔහුට තිබුණේම නැත.
පේලේ ගැන කතා කිරීමට කරුණු එමටය. බ්‍රසීලයෙන් පෑයූ කළු තරුව පාපන්දු ලොවම එහෙම පිටින්ම පාට කළේ එතෙක් මෙතෙක් ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙමිනි. එහෙත් ක්‍රීඩකයකු හැටියට නොව උදාර මානව හිතවාදියකු ලෙස ඔහු ගැන කියන්නට ඇති දේවල් ඊටත් එහාය.
සැබැවින්ම පේලේට පෙරවදන් අවශ්‍ය නැත. දරිද්‍රතාව අතින් අන්තයටම ගිය දුගී දුප්පත් පවුලක කුසට අහරක් නැතිව වේල් ගණනාවක් නිරාහාරව ගත කළ මේ ආදරණීය කළු කොල්ලා 1958 වසරේ ස්වීඩනයේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් පසු ‘රන් කොල්ලා‘ බවට පත් විය. වැදගත්ම දේ නම් කළු සමක් සහිත පේලේට කිසිදු කළු සුදු භේදයකින් තොරව ලොවම ආදරය කරන්නට පටන් ගත්තේ වර්ණභේදවාදය පිළිකාවක් ලෙස ලොව පුරා ඔඩු දුවමින් සිටි සමයකදීය.
‘පේලේ කියන්නේ තර්ක ශාස්ත්‍රයේ මායිම් අතික්‍රමණය කළ ලොව එකම ක්‍රීඩකයා‘ පසුකාලීනව ලොව කීර්තිමත් විද්වතුන් පුන පුනා කීවේ පේලේ ගැනය. ළාබාල වියේදීම පාපන්දු ලෝක වාර්තා දුසිමකට වඩා අයිතිකර ගැනීමට සමත්වීමෙන් පසු කවුරුත් පේලේ හැඳින්වූයේ ‘පාපන්දුවේ රජු‘ ලෙසිනි.
කළු ජාතිකයකු වූවත් ජීවත්ව සිටි කාලය පුරා සුදු මිනිසුන් කෝටි ගණනාවකගේ හදවත් තුළ ලැගුම් ගැනීමට ඔහුට හැකි විය. වර්ණභේදවාදයට පයින් ගසා එවැනි සුදු මිනිසුන්ගේ කරමතින් පාපන්දු ලෝකයේ වීරයා බවට පත් වූ පේලේ මියයනතුරුම ඒ ගෞරවය දිනා සිටියේය.
පේලේගේ අභාවය පාපන්දු ලොවම මොහොතකට නිහඬ කර වූවකි. මෙසී, නේමර්, රොනල්ඩෝ වැනි ලෝක පූජිත ක්‍රීඩකයන් ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකී පණිවිඩ පිට පණිවිඩ සමාජ මාධ්‍යජාලයට මුදා හැර තිබිණි. සැබැවින්ම ඊයේ දිනය පුරා ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩිම ඉඩකඩ වෙන් වූයේ පේලේගේ අභාවය වෙනුවෙනි. සමාජ මාධ්‍යජාලා පිරී ඉතිරෙන්නට වූයේ පේලේ වෙනුවෙන් ලියා තැබූ විවිධ සටහන්වලිනි.
‘කිං පේලේ‘ බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුව නේමර් සිය ට්විටර් ගිණුමෙහි තැබූ සටහන ආරම්භ කර තිබුණේ එලෙසිනි. ඔහු කියන්නේ පේලේ හැම දෙයක්ම වෙනස් කළ බවය.
‘පේලේට කලින්, පාපන්දු කියන්නේ නිකම්ම නිකම් ක්‍රීඩාවක් විතරයි. ඔහු හැමදේම වෙනස් කළා. ඔහු පාපන්දු ක්‍රීඩාව කලාවක් බවට පත් කළා. ලෝක පාපන්දුවයි, බ්‍රසීලයයි ඉහළට ඔසවා තැබුවේ ඔහුයි. ඔහු අප අතරින් නික්ම ගියත්, ඔහුගේ විජ්ජාවක් බඳු දස්කම් සදාකාලිකයි‘ ලොව පුරා ක්‍රීඩකයන් පමණක් නොව ලෝක රාජ්‍ය නායකයන් ද ඔහුගේ අභාවය ගැන සොව පළ කර තිබේ.
ඔහු ක්‍රීඩාවේ රැඳී සිටියේ වසර 21ක තරම් කාලයක් පමණි. ඒ කාලය ඇතුළත බිඳ දැමිය හැකි වාර්තා, අලුතින් බිහි කළ හැකි වාර්තා කොපමණ ප්‍රමාණයකට ඔහු හිමිකම් කීවාදැයි ඔහුවත් නොදන්නා බව සහතිකය. පාපන්දු ලෝක කුසලාන තුන්වරක් දිනූ ලොව එකම ක්‍රීඩකයා වන පේලේ ‘සියවසේ ක්‍රීඩකයා‘ ලෙස වසර 2000දී ලෝක පාපන්දු සම්මේලනය නම් කළේය.
වරක් එංගලන්තයේ පුවත්පත් ලොවට මහ පුදුම කතාවක් කීවේය. ඔවුන් සිය පුවත්පත් මඟින් පාඨකයන්ට කියා සිටියේ පේලේ යනුවෙන් ඉංග්‍රීසි බසින් ලියන්නේ G-O-D කියා බවය. එය සුදු මිනිසුන්ගේ හදවත් තුළ මේ කළු මිනිසාට ඇති ගෞරවය හා ආදරයට කදිම නිදසුනකි. සැබැවින්ම ලොව පුරා පාපන්දු ක්‍රීඩාලෝලීන් පේලේ හඳුන්වනු ලැබුවේ ‘ජීවමාන දෙවියකු‘ ලෙසිනි.
‘සාර්ථකත්වය ඉබේ ඇතිවන හෝ හදිස්සියේ ඇතිවන දෙයක් නෙවෙයි. ඒකට පුදුමාකාර විදිහේ කැපවීමක් කරන්නට ඕනා. ඉගෙන ගන්න ඕනා. පරිත්‍යාග කරන්න ඕනා. ඒ හැමදේටම වඩා මිනිස්සුන්ට ආදරය කරන්න ඕනා‘ පේලේ නිතර නිතර එසේ කීවේය.
ඔහුගේ ජීවිතය තනිකරම මනුස්සකමින් සුවඳ හැමූ එකකි. බ්‍රසීලයේ ජනතාව ඔහුට කීවේ ‘කළු මුතු ඇටය‘ කියාය. බ්‍රසීලයේ රජය ඔහු ජාතික වස්තුවක් බවට පත් කළේය. ඔවුන් එසේ කළේ තවත් රටකට මේ ශ්‍රේෂ්ඨයා අත්පත් කරගැනීමට ඉඩ නොදීමටය. එහෙත් පේලේ යනු කවදත් ලොවටම අයිති වස්තුවකි. ඔහු පාපන්දුවෙන් සිය ජීවිතයට පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත ජීවිතවලට අපූරු පාටක් සොයා දුන්නේය. ඔහු ජීවත් වූයේ වසර 82ක් පමණි. එහෙත් ඔහු තවත් දිගු කාලයක් ලෝක පාපන්දු ප්‍රජාව තුළ ජීවත්වනු ඇත.