රට සංවර්ධනය කිරීමට නම් සියලු ක්ෂේත්‍රවල ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුයි | සිළුමිණ

රට සංවර්ධනය කිරීමට නම් සියලු ක්ෂේත්‍රවල ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුයි

මෙරට උද්ගතවී ඇති අර්බුද හමුවේ රට නැවත ගොඩනැඟීම ඉතා අසීරු කාර්යක් බවට ඇතැම්හු අදහස් පළ කරති. එහෙත් මේ අර්බුදයෙන් රට ගොඩනඟන්නේ කෙසේද යන බැරූරුම් කරුණේද විවිධ විෂය පථයන්හී ප්‍රාමාණික දැනුම ඇති පිරිස් විසින් රට නැවත ගොඩනැඟීම අසිරු කරුණක් නොවන බව පවසති. එහෙත් සාමූහිකව මේ රට ගොඩනැඟීමට යත්න දරන්නන්ගේ මතය සහ එම පණිවුඩය සමාජයට නිවැරදි ලෙස සම්ප්‍රේෂණය වීම ඉතාමත් සීමිත ය.

එහෙත් සබුද්ධිකව රජය සහ වෙනත් ආයතනන විවිධ මට්ටමින් රට ගොඩනැඟිමේ ප්‍රයත්නයක නියැළෙති. මෙරට ගොඩනැඟීමට නොහැකි බවට දුර්මතධාරීන්ගේ මතය සමාජය ගත වී ඇත. ඒ මතය සමාජගත කිරීමට ඇතැම් මාධ්‍ය විශාල මෙහෙවරක් කරයි. එවැනි හේතු මත මේ වන විට ඉච්ඡාභංගත්වයට පත් උගතුන් බුද්ධිමතුන් මෙන්ම සමාජයේ විවිධතලවල ප්‍රාමාණික විද්වතුන් ඇතුළු පොදු මහජනතාව මෙරටින් වෙනත් රටවලට සංක්‍රමණය වීම ආරම්භ කර ඇත.

රජය මෙන්ම ඇතැම් පාර්ශ්ව විසින් රට ගොඩනැඟීමේ කාර්යක නියැළුණ ද පවතින වාතාවරණය හමුවේ අවිශ්වාසය සහ භිතිය මහජනතාව තුළ ඇතිවීම සාධාරණය. එසේම නිවැරදි දිශානතියට රට යොමු කරන මාධ්‍යයට වඩා ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන මාධ්‍ය වැඩි වීමෙන් ඍණාත්මක මතවාදයක් සමාජගත වී ඇත.

කෙසේ වෙතත් රට ගොඩනැඟීමේ ප්‍රමුඛ කාරණාවේදී අධ්‍යාපනයට ආගමට තාක්ෂණයට, බලශක්ති ක්ෂේත්‍රයට විද්‍යාවට ධීවර කර්මාන්තයට වෙනත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පුහුණු ක්ෂේත්‍රවලට ආකාල්පමය වෙනසක් ඇති කරමින් ප්‍රතිසංවිධානය කිරීම ඉතා වැදගත් වෙයි.

එසේ නම් රට ගොඩනැඟිමේ කාර්යේදී මූලික සමාජ මතවාදය වෙනස් කිරීමට නම් ඒ පිළිබඳ නිවැරදි සන්නිවේදනය අවශ්‍ය වෙයි. සමාජයේ ඉහළ ස්ථරයන්වල සිට පහළ දක්වා නෛතිකමය අණපනත් සම්පාදන කිරීම නැවත ප්‍රතිසංස්කරණය වීම අවශ්‍යයි.

නිවැරදි ක්‍රමවේද අනුගමනය කිරීමට නම් යල්පැන ගිය නීති රීති ඉවත් කර නිති සම්පාදනය යාවත්කාලීන වීම අනිවාර්ය කාර්යකි. ඒ සඳහා තීන්දු තීරණ ගත යුතුයි. පැරණි යල් පැන ගිය නීති රීති වලින් මේ රට ඉදිරියට ගෙන යෑමට නොහැකියි. ආකාල්පමය වෙනස්කම් ඇති කිරීම මෙන්ම තිරසර තීන්දු තීරණ ගැනීම ඉතාමත් වැදගත් වෙයි. දේශපාලඥයන්ට පමණක් ඇඟිල්ල දිගු කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. මේ රටේ ඇති සංකිර්ණ ගැටලුවක් ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන් විසින් සාමූහික තීන්දු තීරණවලට එකඟ නොවීමයි. උදාහරණයක් ලෙස පරිපාලන සේවයේ ප්‍රාමාණිකයන්ගේ දැනුම යොදා ගත යුතු අවස්ථාවල යොදා ගතයුතු අතරම වෙනත් ක්ෂේත්‍රවල ප්‍රාමාණික දැනුම ඇති පිරිස ද පොදු එකඟතාවන් හිදි රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශවල තීන්දු තීරණ ගැනීමේදී යොදා ගැනීම ඉතා වැදගත් වෙයි. සෑම ක්ෂේත්‍රයක්ම දියුණු කිරීමට නම් අදාළ අංශයේ වැඩ කළ හැකි සහ වැඩ කිරීමෙන් ප්‍රතිඵල ලබා ඇති පිරිස් යොදාගත යුතුය. ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළව කමිටු පත් කර එමඟින් සාමූහික තීරණ ගැනීම වැනි ක්‍රමවේදයක් අනුගමනය කළ හැකිය. එසේම තීරණ ගැනීමට බලය ලබා දිය වන්නේ එවැනි පිරිස්වලටයි.

තාක්ෂණික විශේෂඥ සහය ලබාදීමට අවැසි පිරිසකගේ සහය ද අවශ්‍ය වෙයි. න්‍යායාත්මක දැනුම පමණක් ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක කිරීම අසීරුය. ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක විද්වතුන් මෙන්ම න්‍යායාත්මක දැනුමත් ලබාදීමට ප්‍රාමාණික දැනුමැති අය ද අන්තර් ජාතිකව යම් සම්බන්ධතා ඇති රටට ආදරය කරන පිරිසක් ද අවශ්‍යයි. ඒ ඒ ක්ෂේත්‍රවල අවශ්‍ය ප්‍රතිඵල පෙන්වා ඇති අයගෙන් සැදුම්ලත් පිරිස් අතරට විශ්වවිද්‍යාල මහචාර්යවරයකු ද සම්බන්ධ කිරීම වැදගත් වෙයි.

විශේෂයෙන් සමාජයේ ඕනෑම ස්ථරයක් නියෝජනය කරන ඕනෑම පුද්ගලයකුට තමාගේ දැනුම්වත් විෂය ක්ෂේත්‍ර යටතේ නායකයෙක් විය හැකියි. විවිධ පාර්ශ්වයන් ගනු ලබන තීරණ නිවැරදි ද එසේ නොවේ; නම් යම් සංශෝධනයක් විය යුතුයිද යන අදහස් දැක්විය හැකියි. විවිධ පාර්ශ්ව ගනු ලබන තීන්දු තීරණ වල බලපෑම කුමනාකාරද ධනාත්මක හෝ ඍණාත්මක බලපෑමක් ඇති කරන්නේ ද යන්න පිළිබඳව අවධානම කළමනාකරණය කිරීම සිදු විය යුතු ප්‍රමුඛ කාර්යයි. එසේම රජය විසින් ගනු ලබන තීන්දු තීරණ සම්ප්‍රේෂණය කිරීම කෙසේ සිදු කළ යුතුයිද? සැලසුම කුමක්ද? යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතුයි. එසේ නොවන්නට රජය නිහඬව සැලසුම් කළත් එය මහජනතාවට සන්නිවේදනය නොවන්නේ නම් මහජනතාවට විශ්වාසයක් නැතිනම් ජනතාවගේ සහය නොලැබෙයි. ඒ තීරණ ගනු ලබන කමිටුවලදී මහජනතාව පිළිගත් පුද්ගලයන් කිහිප දෙනෙක් හෝ සිටිය යුතුයි. ඔවුන්ට ස්වාධීන පුද්ගලයන් ලෙස බලපෑමකින් තොරව පත්වීම් ලබාදිම අවශ්‍යයි. පත්වීම් සිදුකිරීමේදී දේශපාලනඥයන්ගේ හිත මිතුරුකම ඇති දක්ෂයන් අතුරින් තුන්වැනි දක්ෂයාට නොව රටට වැදගත් පළමුවැනි දක්ෂයා තෝරා ගත යුතුයි.

අපි පැහැදිලි කර ගත යුතු කරුණක් නම් සම්ප්‍රදායික උගත්තුන්ට ප්‍රායෝගිකව මෙවැනි අවස්ථාවක් කළමනාකරණය කිරීම කළ නොහැකිය. ඒ අය හැමවිටම ගනු ලබන තීන්දු ප්‍රායෝගික තලයේ නොවන අතර ප්‍රායෝගික තලයේ අත්දැකීම් ඇති උගත්තු පිරිසක් එනම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් පත් කළ යුතුයි. එසේ ම ඒවායේ බාධක සොයා බලා එම බාධක ඉවත් කළ යුතුයි.

විශේෂයෙන් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිම තීන්දු රටට වඩා වැදගත් වෙයි. යල්පැනගිය අධ්‍යාපනික ක්‍රමවේදයෙන් ඉවත් කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ආයුතුයි. අද ගෝලියකරණය වූ ලෝකයට ගැළපෙන අධ්‍යාපන රටාවක් සකස් කර ගැනීම පිළිබඳව කිසිවකු විසින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් යෝජනා කරන්නේ ද යන්න ගැටලුවකි.

එසේ ම සංවර්ධන උපාය මාර්ගයන්හී මූලික පදනමක් වන කර්මාන්ත පිළිබඳ කතා කිරීමේදී හැම දිස්ත්‍රික්කයකම කර්මාන්ත සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් වෙන් කළ යුතුයි. රටේ කර්මාන්ත ක්ෂේත්‍රය නඟා සිටුවීමට රජයේ ස්ථාපිත ආයතනයන් ඍජුව ක්‍රියාත්මක විම අත්‍යවශ්‍ය වෙයි. මේ වැරදි ආකල්ප මැදට ප්‍රායෝගික මිනිසුන් යෙදිය යුතු වන්නේ ඒ හෙයිනි. එසේම රටේ සංවර්ධන ක්‍රියාවලියේ මූලික ඒකකයක් වන සුළුමධ්‍යම සහ මහ පරිමාණ කර්මාන්ත සඳහා යම් කිසි සහනයක් දිය යුතුයි. ගෝලිය වෙළෙඳපොළ සමඟ තරගකාරීත්වය පවත්වා ගැනීමට නම් රජය විසින් මේ අවස්ථාවේදී එම කර්මාන්ත සඳහා අවශ්‍ය සහනයක් දීම වැදගත් වෙයි. භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට යන වියදම වැඩිවිම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් යම් සහනයක් දිය යුතුයි. ආදායම් බද්ධක් අය කිරීමේදී එය අයකිරීම සිදුවන්නේ රටේ කුමන සංවර්ධන කාර්ය වෙනුවෙන් ද යන්න මහජනතාව දැනුම්වත් විය යුතුයි.

යම්කාර්යක දී පළමු දක්ෂයා තෝරා ගත යුතුයි. ලංකාවේ දේශපාලන පක්ෂය පළමු තැන වන අතර, දක්ෂතා දෙවැනි තැන පවතී. මේ මානසිකත්වයෙන් ඉවත් විය යුතුයි. එයින් ඉවත් වීමට නම් දේශපාලනඥයන්ට පමණක් දොස් නැඟිමෙන් ඵලක් නොවෙයි; තමන්ගේ මතවාදය දරන දේශපාලන පක්ෂය බලයට පැමිණ මේ රට ගොඩනඟන තෙක් සිටිම පටු ආකාල්පමය මතවාදයෙන් අපි මි‍ඳීමට අවශ්‍යයි.

ආචාර්ය උපාධිය දක්වා න්‍යායාත්මක දැනුම නොවෙන අතර, රටේ ප්‍රායෝගික තලයේ ප්‍රශ්න ගොඩදැමීමට අවශ්‍ය කරන වටපිටාව සැකසීමටය. විශ්වවිද්‍යාල තුළ නායකත්වය ඇති කළ යුත්තේ පාලකයන් දේශපාලඥයන් නොවෙයි. එහි පරිපාලනයේ නායකත්ව පුහුණුව තිබිය යුතුයි. මේ රටේ සංස්කෘතිය මීට වඩා දියුණු වීම සහ ලෝකයට අනුව යම් අනුගතවීමක් අවශ්‍යයි. නූතනයට ගැළපෙන ආකාරයට අපේ ක්‍රමවේද වෙනස් කළ යුතුයි.

අපි වැළඳගෙන සිටින මේ වික්ටොරියානු සංස්කෘතිය වෙනස් කිරීම අත්‍යවශ්‍යයි. එසේම වැඩවසම් සහ ගෝත්‍රික මානසිකත්වයෙන් මිදීම අවශ්‍යයි. මෙරට පාලනය කළ පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ රට තුළ විදේශ වෙ‍ෙළ‍ඳාම සිදු විය. එසේම ධාතුසේන රජතුමා රටවල් සමඟ වෙළෙඳ සබඳතා පැවැත්වූ බව ඉතා පැහැදිලිය. මේ රට ලෝකයට විවෘත වීම සහ ගෝලියකරණය ආරම්භ වූයේ ඉතිහාසයේ සිටයි.

මෙවැනි අවස්ථාවක රට පත්ව ඇති තත්ත්වයයෙන් ගොඩගැනීමට සියලු පාර්ශ්වයන් සාමූහිකව වගකීමකි. මෙරටට පැමිණෙන විශේෂයෙන් සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම පහළ මට්ටමක පවතී. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් ඒ අයට අවශ්‍ය පරිසරය සකස් කළ යුතුයි. අපි ජාතියක් ලෙස ආගම සහ සංස්කෘතිය යොදා ගන්නේ ද ඇතැම්විට අවස්ථාවාදී ආකාරයටයි. මේ වැරදි සම්ප්‍රාදාය වෙනස් කිරීමට අවශ්‍යයි. රටේ හොඳ පරිසරයක් සහ ස්වභාවික සම්පත් පෞරාණික වැදගත්කමකින් යුතු දේ විශාල ලෙස වෙයි.

මේ රටේ ස්වභාවික ගල්පර්වත දිය ඇලි වනාන්තර සහ ඓතිහාසික පෞරාණික වටිනාකම් ඇත. එසේම සංචාරකයන්ට අවශ්‍ය ප්‍රායෝගික අවශ්‍යතා සපුරාලීමට වටපිටාව සකස් කරන්නේ නම් ලංකාව හොඳම සංචාරකයන් පැමිණෙන රටක් බවට පත් වීම අනිවාර්ය කාර්යකි. රටේ සංචාරකයන්ට අදාළ කලාපවල අවශ්‍යතා සපුරාගැනීමට වටපිටාවක් සැකසීම කාලීන අවශ්‍යතාවකි.

අනෙක් කරුණ නම් විදෙස් ප්‍රේරණයන් වැඩි කිරීමට නම් අනිවාර්යෙන් ඒ අයට උත්පේරණයක් ඇති කළ යුතුයි. විදෙස් රටවල් සිටින පිරිසට විශ්වාසය ලබා දිය යුතු සේම එය නිසි ලෙස සන්නිවේදනය කළ යුතුයි.

රටට ආදරය කරන පිරිස් විදේශවල සහ මේ රටේ වෙයි. මේ පවතින සමාජ දේශපාලනික සංස්කෘතික ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. එය නැවත සකස් කළ යුතුයි. එමෙන්ම විදෙස් ප්‍රේරණයන් ලබා ගැනීමට විදෙස් ගත ශ්‍රමිකයන්ට යම් උත්තේජනයක් ලබා දීම අනිවාර්ය කාර්යකි. එසේ ම ගෝලීය කරණයට ලක් වූ ලෝකය සමඟ ගමන් කිරීමට නම් අපි තොරතුරු තාක්ෂණය ගොඩනැගීමට අවශ්‍ය කරන උපකරණ සඳහා බද්දෙන් නිදහස් කළ යුතුයි. කොම්පියුටර් ලැප්ටොප් වැනි උපකරණ සහ විදෙස් පුහුණුවීම් සඳහා පිරිස් යොමු කිරීමට යම් සහනයක් දිය යුතුයි. වෘත්තිය පුහුණුව ඇති පිරිසට දක්ෂතා ඇගැයීමට යම් පිළිගත් ආයතනයකින් සහතිකයක් ලබා දිය යුතුයි. වැඩ කළ හැකි පිරිස් අදාළ ක්ෂේත්‍ර සඳහා යොමු කළ යුතුයි. එසේ ම දේශීය ආයුර්වේදය කර්මාන්තය, ලංකාවේ මැණික් කර්මාන්තය මිනිරන් පොස්පේට් කර්මාන්තය දියුණු කිරීම සඳහා නවීන ක්‍රමවේද උපයෝගි කර ගත යුතුයි. එසේම තේ රබර් කුරුදු කර්මාන්තයට අවශ්‍ය අතිරේක වටිනාකම් එකතු කරමින් ගෝලීය වෙළෙඳපොළට යොමු කිරීමට යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

අපේ දූපත් පිටරට ආයෝජකයන්ට ලබා දී යම් ආයෝජනයන්ට ඉඩ ප්‍රස්ථා සැලසීමට සුදුසු පාරිසරික සාධක සකස් කිරීම වැදගත් වෙයි. එසේ ම යල්පැන ගිය චක්‍ර ලේඛන නැවත සංශෝධනය කළ යුතුයි. එම සංකිර්ණ චක්‍ර ලේඛන මේ රට ගොඩනැඟීමට බාධාවකි.

නිවැරදි දැක්ම ප්‍රකාශ කිරීම ද අවශ්‍ය කාරණයකි. සෑම රාජ්‍ය නිලධාරියෙක්ටම කාර්ය සාධනය අවශ්‍යයි. දක්ෂතාව අනුව, කාර්ය සාධනය අනුව තනතුරු ලබා දීම අවශ්‍යයි. තනතුරු අතර ඇති පරස්පරතාවන් ඉවත් කර සෑම වෘත්තියකටම ඇගැයීම් තිබිම වැදගත් වෙයි. රටයුතු නිවැරදි දිශානතිය තෝරා ගත යුතුයි. නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු ස්ථාපිත කිරීම කළ යුතු සේම වැරදි කරන පිරිස්වලට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදිය යුතුයි. හැම ආයතනයකම තරුණ පරපුරක්ම දැක්මක් සමඟ ඉදිරි සැලසුම් ලබාදීමට කටයුතු කරන අතරම පාලක පන්තියේ වරප්‍රසාද යම් පමණකින් හෝ අඩු කිරීමට සැලසුම් සකස් කළ යුතුයි.

පරිසරය, අධ්‍යාපනය, බලශක්ති, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය ආදී සියලු ක්ෂේත්‍රවල ප්‍රාමාණික දැනුම ඇති පිරිස්වලට මේ තීන්දු ගැනීමේදී යම් ප්‍රමුඛතාවක් ලබාදිය යුතුයි. සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිඳීය යුතු සේම ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු බලගැන්වීමට චක්‍ර ලේඛන වෙනස් කර ලිහිල් ප්‍රතිපත්ති ඇති කළ යුතුයි. රටේ ජනතාවට ආදර්ශය ලබාදීම පාර්ලිමේන්තුව තුළින් ඇරුඹීම වැදගත් වෙයි.

මේ රටේ දක්ෂයෝ සියලු ක්ෂේත්‍රවල සිටින අතර මිනිසුන් රට හැර යෑම සිදු කරන්නේ අනාගතයක් නොපෙනීම නිසයි. මේ රටේ සැලසුම් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය යුතුයි; නිවැරදි දිශානතියක් කරා රට ගමන් කරවීමට නම් නිවැරදි සන්නිවේදනයක් ජනතාව තුළට යා යුතුයි.

Comments