
සිත් ඉමේ මතකපත් ලොවට හඬ ගා කියමින් ගම්මානයේ සුවඳ හාත්පස පැතිර යයි. වැව් රළ කඳ කළගෙඩිය තුළට ඇතුළු වන්නේ සශ්‍රීකත්වයේ අභිමානය මන්දස්මී උර දරන්නියක් බවට ඉඟිකරමින්ය. කොණ්ඩ කරල් දෙකක් ගොතා කළගෙඩිය උකුළ මත හොවා චීත්ත ගවුමකින් වත සැරසූ ඇය තරම් සොඳුරු යුවතියක් අහල ගම් හතේවත් නොමැති බව ගම්මුන්ගේ කයි කතන්දරවලින් පෙනේ. ඇය සතු රූ සපුව නෙක නේත්‍රයන් තුළ සිත අලවනසුලුය.ඉරිතලා ගිය පොළොව ආදරෙන් සිප ගැනීමට සීතල උරා ගත් වැහි බිඳු මහ පොළොවට පතිත වේ නම් ඒ මෙම දිරිය දියණිය නිසාවෙන්මය. ගව්ගණන් දුර ගොස් ජලය රැගෙන නිවෙසට පියමන් කරන්නේ අනවතර සුළඟින් මෙන්ම ගිනියම් අව්වෙන් හෙම්බත් වූ ග්‍රීෂ්මය නිවාඩු යැවීමට ලක ලැහැස්ති වන අයුරිනි. ගීතයක කසුකුසුව අසා සිටි හාත්පස සැරිසරන වෘක්ෂලතා මන්දස්මීගේ අතට යන්නේ ඉබේටම ය. අනෙක් පඳුරු සියල්ල ලෝබකම සිත තුළ දරා නදීගේ ගායනයට තුති පුදන්නාක් වැන්න. සුදු පසුබිමේ නිල් පැහැති මල් වැටුණු ඇගේ ගවුම් පොඩ්ඩ ඇගේ ලාලිත්‍යයත් සමඟ පැද්දෙන අපූරුව ගම්මානයේ කොලු ගැටයෙකුගේ නෙතට ගොදුරක් ඔහු වහාම ලැජ්ජාවෙන් මිරිකෙන මන්දස්මි බිමට හෙලූ දෙනෙත් යළි ඔසවන්නේ උන්ගේ එකිනෙකාගේ උසුළු විසුළු තම කනට නොඇසෙන තෙක් දුරට ගොසින්ය.
සිනහවට උර දරා අහිමි වීම් දෙස බලා හූල්ලන මොහොතේ ලැබුණු දේවල් දෙස බලා සතුටු වීමට තරම් ප්‍රබල සිතක් මන්දස්මි සතුය. සහජත්වයට උරුමකම් කී වාසනා ගුණයෙන් හෙබි ඈ ළයාන්විත කටහඬ දෙවියන් දුන් තිළිණයක් බව කියා පාන්නේ මුළු ගමම ශබ්ද නඟන මොහොතේ සියල්ල පරයා නැඟෙන ඇගේ ස්වරය නිසාය. කෙසෙල් ගස් කිහිපයක් සිටුවා ඇති වැට මායිමේ කඩුල්ල ඉදිරිපිටින් ඇළ ගලා බසී. ඇළෙන් එගොඩ වීමට ඇත්තේ ලෑලි කිහිපයක් තබා සකස් කළ වාරුවකි. මෙසේ පියනඟන ඇයගේ නෙතට හසු වන්නේ සකපෝරුව මත තාලෙට පාද තබමින් නටන මැටි බඳුනකි. ඇළ පසුකරනවාත් සමඟම වම් පසින් ගෙදර ඉදිරිපිටට මුහුණලා බුදු පහන දැල්වේ.
"සිඟිතියෝ තේ ඩිංගිත්තක් වැක්කෙරුවන"
"හා..හා...අම්මේ..."
වෙහෙසේ බර හුස්මට මුසුකොට එය ගිල ගනිමින් දෙපා ගෙට ගොඩවීමට මත්තෙන් මවගේ වදන්වලට පිළිතුරු දීමට මන්දස්මිට සිදු විය. සිඟිති ලෙස තම නාමය වෙනස් කර කියන වාරයක් පාසා ඇය සතුටින් ඉපිල යන්නේ ඊට ඇය දක්වන ළැදිකම පෙන්වමිනි.නටන කේතලය දුම් විසි කරද්දී ඉහළට එසවුණු දෑතින් තේ සෑදීම කරනුයේ ගීතයක් මුණු මුණුවේ යෙදෙමෙනි.පිදුරු සෙවිලි කළ පැල්පතේ පිටුපසින් දිස්වන්නේ වෙල් ඉපනැල්ලයි. වෙල්යාය සිසාරා හමන සුළඟින් මැටි බිත්ති මත ගැටී නිතර සිසිල් වේ.
"අම්මේ...අප්පච්චී..තේ බිව්ව නම්.."මන්දස්මිගේ හඬ මැකී යාමට මත්තෙන් ඒත් සමඟම
"මගේ අම්මේ ඩිංගිත්තං මෙහෙන් වාඩි ගත්තානම්"
මව මෙසේ සමීපයට ගෙන කුමක් කියන්නේද යන්න ඇයට සිතාගත නොහැකිය.
"වැව් තාවුල්ලේ රංග එක්ක කතා කරපු එක ආරංචි වෙලාවත්ද? "
"නෑ නෑ එදා කවුරුත් හිටියේ නෑනේ. ඒක දකින්න විදියක් නෑ"
"කඩේ සැනිටන් අයියාවත් දැකලා කිව්වාද?අපොයි නෑ එදා කඩේවත් හිටියේ නෑ. ගෝමන් අයියා කිව්වා නෙවැ. හයියෝ මටත් පිස්සු මෙනාද මේ හිතන්නේ. මං කලබල වෙලානේ"
සිතුවිලිදාමයක මන්දස්මි අතරමං විය.
" ඈ බන් කෙල්ලේ මොනාද මේ අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කොරන්නේ"
"නෑ....නෑ....අ..ම්..මේ.මං..මේ..."
කියූ වචන ද ගිල ගනිමින් ගොත ගසන්නට වූයේ කුමකින් කුමක් සිදුව ඇත්දැයි සිතාගත නොහැකි නිසාය.
"මං මේ අහන්න ගියේ, මුදලාලිගේ ලොකු එකා සේතුං අයියා උඹට මනාපයි කියන්නේ. උඹ මොකද කියන්නේ කියලා බලන්ඩයි මං මේ ඩිංගිත්තක් කතා කෙරුවේ"
අනේ දෙවියනේ මාව බේරුවා කීමට සිත කී මුත් අනෙක් අතට පැටලී ඇත්තේ පඹගාලක බව ඇයටම සිතුණි. මිනිසුන් පරීක්ෂා කරන මොහොතක් පාසා තමාවම පරික්ෂා කරන්නක් බව වාරයක් පාසා ඇයට දැනුණේ රංගට ඇගේ සිතේ තිබූ ඉඩ ප්‍රස්තාව ඇය දන්නා නිසාවෙන් ය.
මන්දස්මී චීත්තය හැඳ සකපෝරුව මත මැටි ගුළියක් තබා කැරකවීමට පටන් ගත්තේ සිතේ බර මොහොතකට හෝ සැහැල්ලු කර ගැනීමට සිතාගෙනය. වෙනදා බලා සිටියදී අපූරුවට නිමවෙන බඳුන අද හැඩ වී ඇද පළුදු වේ. වෙනදා ගීතයේ යෙදෙමින් කරන ඈ අද ගොළු කතක් වී හමාරය. මී හරක් නාම්බෙක් හඬ ගා 'උම්බෑ' නඟන ශබ්දය මන්දස්මිගේ ගායනයට දෙවැනි වුවද යාන්තමින් කන වැකුණු එදා මෙන් නොව අද සක්සුදක් සේ සුපැහැදිලිව කනට ඇසේ.
කලබලකාරී සති අන්තයක මන්දස්මී රංග මුණගැසීමට යෑමට ලකලැහැස්ති වී කැඩපත ඉදිරිපිට හැඩ වන්නට විය. මුහුණ අත්ලෙන් පිරිමැද මඳක් නිහඬව තමා දෙසම බලා සිටි ඇය එම සිහිනෙන් අවදි වූයේ කම්මුල් හරහා ගලා ගිය කඳුළු ධාරාව ඇගේ අත සිපගැනීමත් සමඟය.
කඳුළු පිස පියරු ගා කෙහෙරැල්ල යළි ක්ෂණයෙන් පීරා,"අම්මේ...අප්පච්චී වැව් කණ්ඩියට ගිහිල්ලා එන්නම්" කියාගෙනම නිවෙසින් එළියට බැස්සාය.
" වැව් කණ්ඩියට? මේ මද්දහනේ?
"රාධාත් යනවා අප්පච්චී "
"හා හා ඉක්මනට වරෙන් එහෙනම්. පරිස්සම් වෙයම් සිඟිතියෝ. දන්නවනේ මේ ගමේ එවුන් ගැන"
"හොඳයි අප්පච්චී"
බුදු පහනට වැඳ කඩුල්ල පනිනවාත් සමඟම හමා ආ සුළං ධාරාව ඇය දවටා ගත්තේ ඇයටත් නොකියාමය. ප්‍රබෝධවත් සිතින් ඇය තම මිතුරිය රාධා සමඟ වැව් කණ්ඩියට පියනඟන්නට විය. වැව් තාවුල්ලේ ඇවිද යෑමට නදී ඉතා කැමතිය.
ගලක් වතුරට විසිවෙද්දී ජබොක් ගා නඟන හඬෙන් රංග ඇවිත් සිටින බව මන්දස්මී හැඳින ගත්තාය. පඩිපෙළක් මත සිට ගලක් විසි කිරීමට සූදානම් වූ අවස්ථාවේ මන්දස්මිගේ ඇස් වෙත එබුණු බැල්මෙන් ඉන් ඉවත් වීමට රංගට සිදුවිය. මොහොතක් දෙදෙනා සිටි තැන නතරව ගොළු වන්නට විය. රාධාගේ හඬින් දෙදෙනාගේ නෙත් ඉහළට එසවිණ.
"ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ මොකෝ මේ. කතාකරපන්කෝ බං. අනේ මන්දා උඹල නම්.. අපිට තිබ්බ නම් මෙහෙම ලව්."රාධාගේ හඬට දෙදෙනාම යළි පියවි ලෝකයට පැමිණියහ.
"අනේ මේ හිටපන් උඹ උඹේ පාඩුවේ"එවැනි ප්‍රතිචාරයක් ලැබේ යැයි රාධාවත් රංගවත් සිතුවේ නැත. මන්දස්මීගේ හඬින් පිටවූ ඒ වචනවලින් රංගගේ සිතට වෙනසක් දැනිණි. ඇගේ උරහිස් මත දෑත තැබූ රංග දකුණතින් ඇයගේ මුව මඳක් ඉහළට එසවීය.
"මන්දස්මි, ප්‍රශ්නෙකද ඉන්නේ ඔයා"
"එහෙම නෑ රංග. මං හොඳින්"
ඒ පිළිතුරින් රංග දෙලොවක් අතර අතරමං විය. ඇය පැවසූයේ සත්‍ය නොවන බව රංග තේරුම් ගත්තේ ඇය ඔහුගේ දෙනෙත් මඟහැර පිළිතුරු දුන් නිසාය.
"අද පෝය, පන්සල් එනවාද රංග"
ඒ මොහොතේ නොසිතූ ප්‍රශ්නයක් මැද අතරමං වූවා සේ රංගට දැනුණි.
"මොකද අද මෙයාට වෙලා තියෙන්නේ. අමු කැවිලද?"සිතින් සිතූ මුත් ඔහු එවදන් නොකියා සිටියේ මන්දස්මිගේ ඇස්වලින් යමක් ඉඟි කරනු බවක් හැඟුණු නිසාය.
"මන්දස්මී එනවා නම් මං පන්සල් එන්නම්"
" ඇත්තමද?"
"ඔව්..ඔව්..ඔයා එනව නම් මං සුවර් එකටම එනවා"
"මට දැන් යන්න වෙනවා. මේ වැව් තාවුල්ලට එන එවුන් කටකතා හදන්න බැරි නෑ"
නැවත ඇගේ වචනවල නොසන්සුන් ගතිය දැනෙද්දී රංග මොහොතක් නිරුත්තර විය. "ඔයා කියනවා නම් එහෙම කරමු"කීමට රංගගේ සිත කීවත් ඇයව කතාවට අල්ලා ගැනීමට සිත් විය.
"එහෙනම් පන්සලේදී හම්බෙමු මන්දස්මි. මං බලාගෙන ඉන්නවා ඔන්න ඔයා එනකම්"
"හරි නොවැරදීම හම්බෙමු අපි" එවදන් අවසන දෙදෙනා දෙපසකට නික්ම ගියහ.
"ඇයි මං රංගට එහෙම කළේ? කොච්චර ආදරයක් තියෙනවද මට? ඇයි මං එහෙම කළේ? අපේ ස්නේහ අක්කාගේ පොඩි එකා වගේ කියන කියන දේට හා කිව්වා මිසක් මගේ හිත රිදෙන මුකුත් නොකියා ඉන්න රංග මට කොච්චර ආදරේද?"
මන්දස්මිගේ සිත ඇයටම දොස් තබන්නට විය.
"මන්දස්මී ඔයා ඇයි මට එහෙම කතා කළේ? ඔයාගේ හිතේ මට ආදරයක් නැද්ද? ඔයා ඇයි මට මෙහෙම කරන්නෙ? "
රංගගේ සිත ද එසේ පසුතැවෙමින් තිබිණ.
"මොන මඟුලක්ද මේ මුහුදේ ඉන්නේ එක මාළුවයෑ"වරෙක එසේ සිතූ රංග,
"නෑ නෑ මන්දස්මිම තමා"යනුවෙන් තවත් වරෙක තමාටම කියා ගත්තේය. මන්දස්මි පිළිබඳ බැඳි සිත රබර් බෝලයක් වතුර යට සිට ඉහළට ඉලිප්පෙන්නා සේ රංගගේ සිතේ පැළපදියම් විය.
සඳ රැස් පඩිපෙළ මතට වැටී ඇත්තේ දෙදෙනාට මඟ පෙන්වන්නට මෙනි. මන්දස්මිගේ ඉදිරිපිටින් වේගය නවතා ගැනීමට නොහැකි වවුලෙකුගේ ගමනාන්තයට මන්දස්මී එක්වර පැන රංගව වැලඳ ගත්තේ නොසිතූ ලෙසය. විනාඩි කිහිපයක නැවතුමට එම ඉඩ සාදා දුන් නමුත් වෙන අතකට ගැනීමට මන්දස්මිට හැකි වූයේ ඉන් ගැලවී යෑමට හැකි වූ නිසාවෙන් ය. අරලිය මල් සුගන්ධය දෙදෙනාගේ නාස්පුඬු විනිවිද ගියහ. රැහැයියකුගේ හඬ දෙදෙනාටම ඉවසා සිටිය නොහැකි වුවද දෙදෙනාගේ පැමිණීම මත සුළු මොහොතකට නතර වූයේ කිසිවෙකුත් නොසිතූ පරිදිය. එයවත් ඔවුනට නොදැනුණේ දෙදෙනා මනෝ ලෝකවල අතරමංව සිටින හෙයිනි. රංග අරලිය මලක් ගෙන මන්දස්මිගේ හිසේ ගැසුවේය.
"ඔයා අද හරි ලස්සනයි මන්දස්මී. ඒ වගේම පුදුම තරම් සුවඳයි"
"විහිළු නොකර ඉන්න රංග. පෝය දවසෙවත් බොරු නොකියා ඉන්න"
මන්දස්මි එසේ කියමින් ලැජ්ජාවට බර වූ නෙත් මොහොතක් රංගගේ නෙත් මත තබා බිම බලාගත්තාය. දෙදෙනා අත් පටලාගෙන පඩි පෙළ මත වාඩි වූහ. පරිසරය නිහඬ බවින් යුක්ත වූ අතර, සාධු සාධු නාදය මුළු පන්සල පුරාම රැව් දෙමින් තිබිණ බුදුගෙයි හඳුන්වැටිවල දුම්ගුළි එළියට බැස සඳේ අාලෝකය සමඟ පොරබදින අපූරුව දෙස මොහොතක් බලා හිඳි මන්දස්මි අනතුරුව රංගගේ දෙනෙත් දෙස කෙළින් බැලුවාය.
" රංග ඔයා මට ඇත්තටම ආදරෙයිද?"
"මොනාද මන්දස්මී මේ අහන්නේ ? දෙයියනේ මං ඔයාට කොච්චර ආදරේද?"
"එහෙනම් මාව අමතක කරන්න පුළුවන්ද?"
ඒ වදන් රංගට ඇසුණේ සිහිනයෙන් මෙනි. සියලු බලාපොරොත්තු හිස මත කඩා වැටුණාක් සේ දැනෙන්නට විය. සඳ එළිය ද කෙමෙන් කෙමෙන් වැසී යන්නට විය. කළු වලාකුළු බර වූ අහස හිතුමනාපෙට නොසිතූ මොහොතක හිමින් සීරුවේ ඇද හැලුණේ අසාධාරණ ලෙසටය.
"ඇයි රංග "
මන්දස්මිගේ ස්වරය ඉතා පැහැදිලි එකක් විය.
"යකෝ මේකි බලහන්කෝ. තව ඇයි කියලත් අහනවා"රංග තමාටම කියාගත්තේය. ඔහුට තවදුරටත් මන්දස්මිගෙන් අසන්නට, කියන්නට බොහෝ දෙවල් තිබුණත් තවදුරටත් කිසිවක් අසන්නට ඔහුට සිත දුන්නේ නැත.
අහසේ හැඬුම් ඇසෙද්දී රංගට සිතුණේ මේ කියන්නේ තමාගේ සිතේ දුක කියාය. මොහොතකට නතර වූ සිහින් වැහිපොද අතරින් සඳ එළිය මළුවට වැටී මුළු බිමම ආලෝකවත් විය. අප වාඩි වී සිටින පඩිපෙළ ඉදිරිපිටින් තරමක් වැඩි නොවූ සිහින් රැව් හඬක් නඟමින් ඇළ ගලා බසින්නට විය. මන්දස්මී තම දබරගිල්ල දිගුකොට ඇළ හරහා ගමන් කරන සුදු අරලිය මල් දෙකක් රංගට පෙන්වූයේ සඳ එළිය ආධාරයෙන්ය.
"රංග අර බලන්න. පිපිලා සුවඳ දීලා පරවෙලා එයාලගේ පාඩුවේ යන ලස්සන. අන්න අර බලන්න වෙනස් ම මලක් තව පිටිපස්සෙන් පාවෙලා යනවා. ඔව් ඒක ඇත්තටම කළු අරලිය මලක්. හරියට ඒ මල මං වගේ නේද? "
මොහොතක් දෙදෙනාම ඒ දෙස බලාගෙන සිටියහ.මන්දස්මී අත් ඔරලෝසු මුහුණට එබී බලා රංගගේ දෑතින් සීරුවට ගැලවී, නැවත අදැහැලෙන්නට ගත් සිහින් හිරිපොද අතරින් නොපෙනී ගියායා.
"එයාව අමතක කරන්න පුළුවන්ද කියලා ඇහුවාට අමතක කරන්න කියලා මන්දස්මී මට කිව්වෙ නෑනේ"
බලාපොරොත්තුවෙන් පඩිපෙළින් මඳක් බැස ඇළ පෙදෙසට ගලක් විසි කළේය.
ඉෂාරා තරංගනී අමරසිංහ