බෞද්ධ හා පාලි සරසවියේ විෂමාචාර | Page 2 | සිළුමිණ

බෞද්ධ හා පාලි සරසවියේ විෂමාචාර

  • වටින් ගොඩින් එළි වෙද්දි එදා පත් කළ කමිටුවේ නිර්දේශ මෙන්න
  • නිර්දේශ දී තිබෙන්නේ වසර දෙකකටත් කලින්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ගැන පසුගිය සති කිහිපය මුළුල්ලේම දැඩි කතාබහක් ඇති විය. සිදු කළ විමර්ශනයන්හිදී නේවාසිකාගාර අවටින් හිස් මත් පැන් බෝතල් සිය ගණනක් සොයා ගැනුණි. ‘මෙරට ථෙරවාද සම්ප්‍රදාය ආරක්ෂා කරනු පිණිස හා බුදු දහමේ චිරස්ථිතිය පිණිස කටයුතු කිරීම‘ යන අරමුණ කරා යාමට ඇති ප්‍රධාන කේන්ද්‍රයක් වන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මේ තරම් පිරිහීමට ලක් වූයේ ඇයි? මේ පිරිහීම එක්වරම ඇති වූවක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේ ශිෂ්‍ය, අධ්‍යයන හා අනධ්‍යයන අංශයන්හි වගකීම් විරහිත බව හා පාලනාධිකාරියේ වගකීම් පැහැර හැරීමත් අදාළ අමාත්‍යාංශයේ වගකීම නිසි පරිදි ඉටු නොවීමත් ලෙස පෙන්වා දිය හැකිය.

මීට වසර දෙකකට මඳක් වැඩි කාලයකට පෙර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇතිව තිබූ අර්බුදකාරී තත්ත්වයක් නිසා ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීම පිණිස කමිටුවක් පත් කරන ලදී. ඒ පංච පුද්ගල කමිටුවකි.

කමිටුවේ සභාපති ධුරය දරන ලද්දේ රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. කමිටු සාමාජිකයන් ලෙස සම්මානිත මහාචාර්ය කන්දෙගොඩ විමලධම්ම අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විශ්‍රාමික මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විශ්‍රාමික මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ කටයුතු කළහ.

කමිටුව විසින් දීර්ඝ විමර්ශනයක් සිදු කර අවසන් වාර්තාව සකස් කළ අතර එහිදී ප්‍රධාන අංශ 6ක් ඔස්සේ විමර්ශන කටයුතු සිදු කරන ලදී.

ඒ අනුව පිළිවෙළින් පහත විෂය ක්ෂේත්‍ර යටතේ කරුණු අධ්‍යයනය කරන ලදී.

1. 1995 අංක 37 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය (සංශෝධන) පනත මගින් සංශෝධිත 1981 අංක 74 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනතේ එන අරමුණු හා පරමාර්ථ

2. විශ්වවිද්‍යාලයේ පරිපාලනය

3. අධ්‍යයන විෂයමාලා

4. අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩල

5. ආයතනික විනය

6. විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව

කමිටුව විසින් විමර්ශන කටයුතු සිදු කිරීමේදී අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සාක්ෂි විමසන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් මෙහිදී විශේෂ කරුණු සටහන් කර ගන්නා ලදී.

එමෙන්ම අධ්‍යයන කාර්ය මණ්ඩලය වන සහාය මහාචාර්ය පූජ්‍ය ලෙනගල සිරිනිවාස හිමි, (පීඨාධිපති,භාෂා අධ්‍යයන පීඨය), මහාචාර්ය මොරගොල්ලාගම උපරතන හිමි (පීඨාධිපති, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය), මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමි (බෞද්ධ දර්ශන අංශය), මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි (සංස්කෘත අංශය), ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඉලුකේවල ධම්මරතන හිමි (අංශාධිපති, බෞද්ධ දර්ශන), ආචාර්ය පූජ්‍ය විතාරන්දෙණියේ චන්ද්‍රසිරි හිමි (පාලි අධ්‍යයන අංශය), ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි, මහාචාර්ය සමන්ත ඉලංගකෝන් (පීඨාධිපති, බෞද්ධ අධ්‍යයන පීඨය), ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊ. ඒ. වික්‍රමසිංහ (සිංහල අධ්‍යයන අංශය) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලන්ත පී. දිසානායක (බෞද්ධ සංස්කෘතිය අධ්‍යයන අංශය) දමයන්ති ගුණසේකර (පුස්තකාලයාධිකාරී) ගෙන්ද කරුණු විමසා තිබුණි.

එමෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය වන බෝගමුවේ ධීරානන්ද හිමි (සහකාර ලේඛකාධිකාරී, අධ්‍යයන හා ශිෂ්‍ය සේවා), නක්කලගොඩ යෝගානන්ද හිමි (නේවාසිකාගාර භාර උප පාලක නිලධාරී), ආර්. ඒ. පියරත්න (ලේඛකාධිකාරී), ගාමිණී සමරප්පුලි හිමි (නේවාසිකාගාර භාර උප පාලක නිලධාරී), එම්. ඩී. අසංක තිලකසිරි (නේවාසිකාගාර භාර උප පාලක නිලධාරී), අජිත් ප්‍රේමකුමාර (ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සහකාර කළමනාකරණ සේවා), කේ.එම්. නාමල් (මධ්‍යස්ථාන භාර ආරක්ෂක අංශ ප්‍රධානී, "ප්ලොඩ්" පුද්ගලික ආරක්ෂක ආයතනය) යන සියලු අංශ ඇතුළත් කර ගන්නා ලදී.

එමෙන්ම ශිෂ්‍ය සංගම් නියෝජනය සඳහා වාචික සාක්ෂි ලබා ගැනීමට 2020 වසරේ ජූලි මස 1 වෙනිදා සහ 8 වෙනිදා අවස්ථාවන් ලබා දී තිබුණද කිසිදු නියෝජිතයකු පැමිණ සිටියේ නැත. එහෙත් ඔවුන් විසින් ලිඛිතව සාක්ෂි ලබා දී තිබිණි.

එහිදී සිදු කළ විමර්ශනයෙන් පසුව බුදු දහම පාලි භාෂාව සුරක්ෂිත කරමින් භික්ෂුවකගේ භූමිකාව සුරක්ෂිත කිරීම මේ විශ්වවිද්‍යාලයේ අරමුණ බවත් ඒ අරමුණ ඔස්සේම කටයුතු කිරීම සිදු කළ යුතු බවත් කමිටු වාර්තාවේ සඳහන් විය. එම කාර්යය නිසි ලෙසින් නොවන හෙයින් අදාළ කාර්යයන් නිසි ලෙසින් සිදු කිරීමට අදාළ නිර්දේශ වාර්තාවේ සපයා තිබුණි.

විශ්වවිද්‍යාල පරිපාලනය ගැන සිදු කළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චක්‍රලේඛ, විශ්වවිද්‍යාලයීය පාලක සභා තීරණ හා මූලික සදාචාර සීමාවන් පවා ඉක්මවා යමින් පරිපාලනය විසින් තීන්දු තීරණ ගෙන ඇති බවයි.

පාලි, බෞද්ධ සංස්කෘතිය ඇතුළු බෞද්ධ දර්ශනයන් අධ්‍යයනය පිණිස ස්ථාපිත කළද විෂය මාලා සකස් කිරීමේදී එම බෞද්ධ විෂයන්ගේ ප්‍රමුඛතාවට හානි වන ලෙසින් වෙනත් විෂයයන් හඳුන්වා දී ඇති බව තහවුරුව තිබේ.

විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද කිසිදු ආකාරයක සෑහීමකට පත් විය හැකි තත්ත්වයක් තිබී නැත. විශ්වවිද්‍යාලයේ බෞද්ධ අනන්‍යතාව තහවුරු කිරීම පිණිස රෝපිත බෝධිය පවා කපා දැමීමෙන් මේ බව මනාව තහවුරු වේ.

සමස්ත විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව අදාළ පෞද්ගලික ආරක්ෂක අංශය සතු වුවත් ආරක්ෂක අංශවලින් ලැබුණු තොරතුරුවලින් තහවුරු වී ඇත්තේ වරින්වර පාලනාධිකාරිය විසින් වාචිකව ලබා දුන් උපදෙස් අනුව ශිෂ්‍යයන් පමණක් නොව බාහිර පුද්ගලයන් පවා පරීක්ෂා කිරීම සීමා කර ඇති බවයි. අනෙකක් තබා ශිෂ්‍ය හැඳුනුම්පත් පවා පරීක්ෂා කිරීම පවා ආරක්ෂක අංශවලට සීමා කර ඇති බව අනාවරණය විය. එසේම ශිෂ්‍ය සංගමයේ අවසරයකින් තොරව ආරක්ෂක අංශවලට ශිෂ්‍ය නිවාසවලට ඇතුළු නොවන ලෙස පාලනාධිකාරිය විසින් වාචිකව දන්වා ඇති බවද තහවුරු වී තිබේ. එමෙන්ම ශිෂ්‍ය නිවාස පරිපාලනය, ඒවායේ යතුරු බාර දීම බාර ගැනීම ශිෂ්‍යන් විසින්ම මෙහෙයවා තිබෙන බව අනාවරණය වී ඇත.

විශ්වවිද්‍යාලයේ ප්‍රමාණවත් ආචාර්යවරුන් සංඛ්‍යාවක් සිටියත් ඇතැම් අධ්‍යයනාංශයන්හි අනවශ්‍ය ලෙසින් බාහිර කථිකාචාර්යවරුන් බඳවා ගෙන ඇති බව මෙහිදී නිරීක්ෂණය වී තිබුණි. එසේම එම ඇතැම් කථිකාචාර්යවරුන් ප්‍රමාණවත් සේවාවක් ලබා දී නොතිබුණු බව සාක්ෂි සහිතවම තහවුරු වී ඇත. ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග ගැනීමට පරිපාලනය විසින් ක්‍රියා මාර්ග ගෙන නැති බවද වාර්තාවේ සඳහන්ය.

අනධ්‍යයන සේවකයන් බඳවා ගැනීමේදී අක්‍රමිකතා රැසක් ඇතිව තිබෙන බව ද කමිටුවට තහවුරු වී තිබේ. එමෙන්ම ඔවුන්ගේ සේවා ස්ථිරත්වයන් පවා පමා වී ඇති අතර උසස්වීම් පවා නිසි ලෙසින් ලබා දී නොමැති බව අනාවරණය වී තිබේ. මේ නිසා අනධ්‍යයන සේවක අසහනයක් ද නිර්මාණය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලයේ ප්‍රතිරූපයට හානි වන ආකාරයේ ක්‍රියාවන්ට අනධ්‍යයන සේවකයන් යොමු වී ඇති බව අනාවරණය වී තිබේ.

අනධ්‍යන සේවකයන් එසේ කටයුතු කරද්දී ක්‍රමයෙන් විනය පිරිහුණු නේවාසිකාගාරයන්හි නේවාසිකයන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් අසල්වාසි ජනතාවගෙන් දැඩි දෝෂ දර්ශන එල්ල වී ඇති අතර ඒ වන විට බෞද්ධාගමික බව හැඟවීමට රෝපණය කර තිබූ බෝධිය පවා පවා කපා දැමීම ඊට හොඳම උදාහරණය වී තිබේ.

වාර්තාව නිකුත් වූයේ මීට වසර දෙකකටත් අධික කාලයකදීය. එහෙත් මේ අක්‍රමිකතාවන්ට නිසි විසඳුමක් ලැබුණේද?

නේවාසිකාගාරවල සිසුන් නිවාඩු කාලයේදී නේවාසිකාගාරවල යතුරු බාර දී නිසි වේලාවට පිටත්විය යුතු වුවත් එම යතුරු නිසි ලෙසින් බාර දීම බාර ගැනීම් සිදුව නොමැති බවත් ඒවා සියල්ල නේවාසිකාගාර පාලකයන්ගේ අධීක්ෂණයෙන් තොරව සිසුන්ගේ අභිමතය පරිදි සිදුව ඇති බවට තහවුරු වී තිබේ. මේ නිසා විශ්වවිද්‍යාල නිවාඩු කාලයන්හි පවා සිසුන් නේවාසිකාගාර තුළ රැඳී සිට ඇත.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය, අධ්‍යයන විෂය මාලා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය, ආයතනික විනය සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළ යුතු කරුණු රැසක් මෙම කමිටු වාර්තාවේ ඇතුළත් කොට ඇත.

විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම පත්කිරීම් ආදිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අක්‍රමිකතා සහ චෝදනා සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත්, කමිටුව විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ප්‍රකාරව ඉදිරියේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සැලසීමටත්, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල විසින් කලින් කල සංශෝධනය කරන විෂයමාලාව විෂයභාර අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට පත්කොට පනතේ අරමුණු ඉටු වන අයුරින් සංශෝධනය වී ඇත්දැයි සොයාබැලීමට සහ අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් පසුව එවැන්නක් ක්‍රියාත්මක කිරීමට අවකාශ ලබා දීම ඇතුළු ප්‍රමුඛ කරුණු රැසක් කමිටු වාර්තාවේ සඳහන් විය. එම වාර්තාව 2020 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදා එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලබා දුන්නේය. එහෙත් මේ දක්වා එම වාර්තාවේ සඳහන් නිර්දේශ නිසි ලෙසින් ක්‍රියාත්මක වූයේ ද යන්න අපට මහත් ගැටලුවකි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුවූ තත්ත්වයට ස්ථාවර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ අනුව ඊට අදාළ අණපනත්, විධිවිධාන සහ ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීමට යෝජනා විය.

එහෙත් අද වන විට තත්ත්වය වඩාත් බරපතළය. එදා තිබූ තත්ත්වයට වඩා අද තත්ත්වය බෙහෙවින් පරිහානිය කරා ගොස් ඇත.

කමිටුවේ විසින් ලබා දුන් නිර්දේශ ප්‍රධාන වශයෙන් අංශ දෙකක් ලෙස ලබා දී ඇත. එයින් එක් අංශයක් ලෙස දක්වා ඇත්තේ විෂයභාර අමාත්‍යාංශයට ලබා දුන් නිර්දේශ ය.

ඒ අනුව අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, පත්කිරීම්, සේවය ස්ථිර කිරීම් උසස් කිරීම්, සේවය අත්හිටුවීම් සහ සේවයෙන් පහ කිරීම් පිළිබඳව ඉදිරිපත්වන අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම පළමු නිර්දේශය ලෙස ලබා දී ඇත.

දෙවැන්න ලෙස ලබා දී ඇත්තේ, ඉදිරිපත් කොට ඇති සංශෝධන අනුව හැකි ඉක්මනින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කොට පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සැලසීමයි.

එමෙන්ම කලින් කලට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යමණ්ඩලය මගින් සංශෝධනය කෙරෙන විෂය මාලාව විෂය භාර අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය ලක් කර පනතේ අරමුණු ඉෂ්ට වන ආකාරයෙන් සංශෝධනය වී ඇත්දැයි සලකා බලා අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් පසුව පමණක් එවැන්නක් ක්‍රියාත්මක කිරීමට අවකාශ ලබා දීම, තුන්වන නිර්දේශය ලෙස ලබා දී තිබේ.

මීට අමතරව විශ්වවිද්‍යාල පාලක සභාව විසින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය පිළිබඳව රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකි රෙගුලාසි සකස් කර ගැනීම සඳහා මඟ පෙන්වීම ද ඇතුළත්ය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය සුවිශේෂ අරමුණු හා පරමාර්ථ මත පිහිටුවන ලද ආයතනයක් බැවින් විශ්වවිද්‍යාලයේ සනාතන සභාව හා පාලක සභාව මඟින් කලින් කලට ගනු ලබන තීරණ එම විශ්වවිද්‍යාලයේ එකී පරමාර්ථ සාධනයට අදාළ වන බව 1995 අංක 37 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සංශෝධන පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියා කිරීමට අදාළ රෙගුලාසි සකස් කර ගැනීමත් මෙහිදී ලබා දුන් විශේෂ නිර්දේශයකි.

විශ්වවිද්‍යලයේ ශිෂ්‍යයන්, ආචාර්යවරුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩල බඳවා ගැනීමේ දී බෞද්ධ ආකල්ප හා බෞද්ධ ශිෂ්ටාචාරයට අනුගතව ම ක්‍රියා කිරීම සඳහා වන රෙගුලාසි සකස් කිරීම ද මේ නිර්දේශ අතරට අයත්ය.

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්, ආචාර්යවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වයන් හිදී භික්ෂු ආකල්ප හා විනය, ගිහි විනය, ආයතනික ගෞරවය පවත්වා ගැනීමට අනුගත වන පරිදි ක්‍රියා කිරීම සඳහා වන රෙගුලාසි සකස් කිරීමත් කමිටුව විසින් හඳුන්වා දී ඇති නිර්දේශ යටතට අයත්ය.

මීට අමතරව විශ්වවිද්‍යාල පරිපාලන අංශය වෙතද නිර්දේශ 13ක් කමිටුව විසින් ඉදිරිපත් කර ඇත්තේ සිසු විනය රැකගෙන පරිපාලන කටයුතු බෞද්ධාගමට ගැලපෙන අයුරින් සිදු කළ යුතු බවටය.

විශ්වවිද්‍යාල පරිපාලන අංශ වෙත කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ අතර මුල් තැනක් ගන්නේ ගිහි අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇඳුමෙන් හා විනයගරුක හැසිරීමෙන් කටයුතු කළ යුතු බවයි. එය අවධාරණයෙන් යුක්තව පෙන්වා දී තිබේ.

එමෙන්ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට ආදර්ශයක් වන පරිදි ආචාර්ය භික්ෂුන් වහන්සේ හැසිරිය යුතු බවද එහිදී අවධානයට යොමු කර තිබේ. භික්ෂු අනන්‍යතාවට හානි විය හැකි වාහන පැදවීම් නොකිරීම මෙන්ම නිසි ලෙසින් චීවරය පැලඳීම වැනි කටයුතුද මෙහිදී අවධානයට යොමු කළ කරුණු අතර උපුටා දක්වා තිබේ.

මීට අමතරව නවක සිසුන්ට බෞද්ධ ගිහි විද්වතුන් සම්බන්ධ කර දින 3කට නොඅඩු වැඩමුළු පවත්වා විශ්වවිද්‍යාලයේ අරමුණු හා පරමාර්ථ හඳුන්වා ‌ෙදන ලෙසද නිර්දේශ කර තිබුණි.මෙහි විශේෂ කරුණක් ලෙස පෙන්වා දිය හැක්කේ අංක 4 යටතේ හඳුන්වා දී තිබූ විශ්වවිද්‍යාල පරිසරයේ පැවිදි සිසුන්ට පොහොය සීමාවක් ස්ථාපිත කිරිම හා එම කටයුතු වෙනුවෙන් පැවිදි සිසුන්ට ලකුණු ලබා දීමය.

අධ්‍යයන කාර්ය මණ්ඩලය බෞද්ධ විෂය පිළිබඳ මනා දැනුමක් ඇති අය වීමත් පනතේ මූලික අරමුණු අනුව කටයුතු කළ යුතු වීමත් ශිෂ්‍ය ආකල්ප වර්ධනය වන අයුරික් භාවනා, ධර්ම දේශනා ආදිය පැවැත්වීමත් මෙහිදී පෙන්වා දී තිබේ.

මෙහිදී විශේෂ කරුණක් ලෙස පෙන්වා දී ඇත්තේ ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි අනුවම ශිෂ්‍ය සංගම්වල ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට වගබලා ගැනීමයි.

විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක තනතුර නිරතුරුවම ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ නමක් විසින් දැරිය යුතු බවටද විශේෂ නිර්දේශයක් ලබා දී තිබේ.

එමෙන්ම සම්මාන උපාධි පිරිනැමීමේදී බුදු දහමට හා පාලි භාෂා අධ්‍යයනයට සේවාවක් කළ අයට පමණක් එසේ පිරිනැමීම කළ යුතු බවටද නිර්දේශ කර තිබුණි.

එසේම විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශයට ස්වාධීනව කටයුතු කළ හැකි වන අයුරින් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමත් විශ්වවිද්‍යාල පරිශ්‍ර යේ සීසීටීවී කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමත් ලබා දුන් නිර්දේශ අතර වේ.

එසේම නේවාසික උප පාලකවරුන් පත් කිරීමේදී සුදුසුකම් ලත් භික්ෂූන් වහන්සේ පමණක් තෝරා ගැනීමද නිර්දේශ කර තිබේ.

එමෙන්ම විශ්වවිද්‍යාල නිවාඩු කාලයන්හිදී විශේෂ අධ්‍යයන කටයුත්තකට හැර වෙනත් කිසිදු හේතුවකට කිසිදු සිසුවකු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ හෝ විශ්වවිද්‍යාලයේ වෙනත් කිසිදු පරිශ්‍රයක රැඳී නොසිටිය යුතු බවත් එසේ අධ්‍යයන කටයුත්තක් වෙනුවෙන් රැඳී සිටිය ද අනිවාර්යෙන්ම මහෝපාධ්‍යායන් වහන්සේගේ පූර්ව අනුමැතියක් ලබා ගත යුතු බවටද නිර්දේශ කර තිබුණි.

මීට අමතරව විෂය මාලා සංශෝධනය යටතේද අංශ 5ක් යටතේ සංශෝධන හා නිර්දේශ හඳුන්වා දී තිබුණි.

ඒ අතර පනතේ අරමුණුවලට අනුව විෂය මාලා සංශෝධනය කරන ලෙස උපදෙස් ලබා දී තිබේ. විශේෂයෙන්ම පනතේ අරමුණුවලට අදාළව පාසල්වල බුදුදහම උගැන්විය හැකි ගුරුවරුන් නිර්මාණය කිරීමට මුල් තැනක් ලබා දිය යුතු බවත් ඒ අනුව පාලි, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය, සංස්කෘත, පුරාවිද්‍යාව, සමාජ දර්ශනය, පුරාවිද්‍යාව වැනි බෞද්ධාගමට ඍජුව සම්බන්ධිත විෂයයන් පමණක් අධ්‍යයන කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ලෙස වාර්තාවේ දැක්වේ. එමෙන්ම ඒ වන විට හදාරමින් සිටි සිසුන්ට හැර වෙනත් නවක කිසිදු සිසුවකුට ඉහත දැක්වූ පරිදි බෞද්ධාගමට සම්බන්ධතාවක් ඇති විෂයයන් හැර අනෙක් විෂය ක්ෂේත්‍රයන්ගෙන් ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය හැදෑරීමට අවස්ථාවක් ලබා නොදිය යුතු බවට නිර්දේශ කර තිබේ.

ඊට අමතරව පනතේ අරමුණු අනුව භික්ෂූ විනය පිළිබඳව හා භාවනාව පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක්ද ඇති කළ යුතු බවට විෂය මාලා සංශෝධනය කළ යුතුයැයිද විශේෂ නිර්දේශයක් ලබා දී ඇත.

පනතේ අරමුණුවලට අනුව පාඨමාලා ප්‍රතිසංවිධානය කිරීමත් මෙහිදී අවධාරණය කර ඇත.

එමෙන්ම මහෝපාධ්‍යාණන් වහන්සේ, පීඨාධිපතිවරුන් මෙන්ම අනෙකුත් පාලනාධිකාරිවරුන් මෙන්ම ආචාර්යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලිව නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර ඒ සෑම නිර්දේශයකින් පෙන්වා දී ඇත්තේ බෞද්ධ උරුමය රැකෙන පරිදි කටයුතු කළ යුතු බවයි.

නේවාසික පහසුකම් සැපයීමේදී වුවද එකම පරිශ්‍රය තුළ වුවත් ගිහි පැවිදි සිසුන් මිශ්‍ර නොවන සේ නේවාසිකාගාර පහසුකම සැපයීම කළ යුතු බවද කමිටු වාර්තාවේ සඳහන් වේ.

ගැටලුව වන්නේ මෙසේ සිදු කළ කමිටු නිර්දේශ මේ වන විට විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වන්නේ ද යන්නයි. වසර දෙකකටත් අධික කාලයක් ගතව ඇතත් අනෙක් නිර්දේශ නොව භික්ෂූ විනය රැකෙන පරිදි නිර්දේශ කළ කරුණු මේ වන විට හමස් පෙට්ටියේය. ඒ නිසා ගිහි පැවිදි වෙනසක් නොමැතිව විශ්වවිද්‍යාලය පරිසරය දූෂිත වී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ දසුන් නැරැඹීමේදී පෙනී යන්නේ 2020 වසරේ සැප්තැම්බර් මස ලබා දුන් නිර්දේශයන් වසර දෙකක් ඇතුළත යම් ලෙසකින් හෝ ක්‍රියාකාරී වූයේ නම් එවැනි පරිහානියක් දූෂිත තත්ත්වයක් ඇති නොවන බවයි.

එම දූෂිත තත්ත්වය වැළැක්වීම පිණිස දැන් හෝ අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය.

Comments