ඉන්දීය සංචාරයෙන් චන්දිමාල්ව කැපුවේ ආගමික පිල්ලිය ද ? | සිළුමිණ

ඉන්දීය සංචාරයෙන් චන්දිමාල්ව කැපුවේ ආගමික පිල්ලිය ද ?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය ගිල ගන්නා එක්තරා ආගමික නිකායක් පිළිබඳ කතාබහ යළි ඉස්මතු වී තිබේ. මෙවර එය කතාබහට ලක් වන්නේ සුපිරි පිතිකරුවකු හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන දිනේෂ් චන්දිමාල් එළැඹෙන ඉන්දීය සංචාරයෙන් ඉවත් කිරීම නිසාය. පසුගියදා නිමාවට පත් වූ එල්පීඑල් තරගාවලියේ වැඩිම ලකුණුලාභින් අතර තුන්වැනි තැනට පත්වූ මේ පළපුරුදු පිතිකරුවා ඉන්දීය සංචාරයට තෝරා නොගැනීම මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද වැඩි අවධානයට ලක්වූ එකකි.

චන්දිමාල්ට තවදුරටත් කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීම කතාබහට ලක් වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට නම් එක්තරා ආගම් නිකායක භක්තිකයකු විය යුතු බවට මීට වසර ගණනාවකට පෙර මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ පැතිර ගිය අද්භූත කතා පුවත යළි යළිත් ක්‍රිකට් ක්ෂේත්‍රය සිසාරා ඔඩු දුවන පිළිකාවක් බවට පත්වී ඇති බවට ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පාර්ශ්ව චෝදනා කරමින් සිටින පසුබිමකදීය.

කොළඹ ආනන්ද විදුහලෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන 33 හැවිරිදි චන්දිමාල් කලම්බු ස්ටාර්ස් පිල නියෝජනය කරමින් පසුගිය එල්පීඑල් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් පිල සමඟ පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 49ක් රැස් කරමින් සිය කණ්ඩායම ඔසවා තැබූ පිතිකරුවාය. එම තරගයෙන් ජැෆ්නා කිංග්ස් පිල හමුවේ කලම්බු ස්ටාර්ස් පිල පරාජයට පත්වූවද අවසන් මහා තරගය දක්වා කලම්බු ස්ටාර්ස් පිල රැගෙන යෑමට චන්දිමාල්ගේ පිත්ත ඉටු කළේ නිහඬ සේවයකි.

මෙවර එල්පීඑල් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා අවිශ්ක ප්‍රනාන්දුය. ඔහු ඉනිම් 10කදී ලකුණු 339ක් රැස් කළ අතර, දෙවැනි තැනට පත් වූ සදීර සමරවික්‍රම ඉනිම්9කදී ලැබූ මුළු ලකුණු සංඛ්‍යාව 294කි. තුන්වැනි තැනට පත් වූ චන්දිමාල් ඉනිම් 11කදී ලකුණු 287ක් රැස් කිරීමට සමත් විය. ඉනිම් 9කදී ලකුණු 266ක් රැස් කළ ඇන්ඩ්‍රි ෆ්ලේචර් සිව්වැනි තැනටත්, තරග 9කදී ලකුණු 260ක් ලැබූ කමිඳු මෙන්ඩිස් පස්වැනි තැනටත් පත් විය. ඉනිම් 9කදී ලකුණු 256ක් රැස් කළ කුසල් මෙන්ඩිස්ට 6 වැනි තැන හිමි වූ අතර, චරිත් අසලංක 10 වැනි ස්ථානයේත්, පැතුම් නිශ්ශංක 11 වැනි ස්ථානයෙත් පසුවූහ. හිටපු නායකයකු වන ඇන්ජෙලෝ මැතිව්ස් 12 වැනි තැනට පත් වෙද්දී භානුක රාජපක්ෂට හිමි වූයේ 26 වැනි තැනය. ඔහු තරග 7කදී ලකුණු 95ක් රැස් කර තිබිණි.

විස්සයි 20 සහ එක්දින තරග 3 බැගින් ඇතුළත් ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයට ක්‍රීඩකයන් විසිදෙනකු එක්වන අතර, ඉන් භානුක සහ නුවන් තුෂාර නම් කර ඇත්තේ විස්සයි 20 සංචිතයටය. ජෙෆ්රි වැන්ඩෙසේ සහ නුවනිඳු ප්‍රනාන්දු එක්දින සංචිතයට ඇතුළත් වෙති. නායකත්වයට දසුන් ශානක නම් කර ඇති අතර, විස්සයි 20 උප නායකත්වයට වනිඳු හසරංග පත් කර ඇති අතර, එක්දින උප නායකත්වයට කුසල් මෙන්ඩිස් නම් කර තිබේ. ප්‍රශ්නය වන්නේ මේ ක්‍රීඩකයන් විසිදෙනාගේ සංචිතයට ඇතුළත් වීමට තරම් එල්පීඑල් තරගාවලියේ චන්දිමාල්ගේ දස්කම් ප්‍රමාණවත් නොවන්නේදැයි යන්නය. අනිත් අතට ලකුණු අතරේ නොසිටින භානුක රාජපක්ෂ ඉන්දීය සංචාරයේ විස්සයි 20 කණ්ඩායමට ඇතුළත් වූයේ කෙසේද යන්නය. මේ කරුණු දෙකම ක්‍රීඩාලෝලීන්ගේ විමතියට කාරණාවකි.

අනිත් අතට එය දෙස් විදෙස් මාධ්‍යවල පවා දැඩි කතාබහට ලක් වූවකි. එසේ වුවත් චන්දිමාල් ඉන්දීය සංචාරයෙන් හැලීම සම්බන්ධව පළමු වෙඩිල්ල තැබුවේ දේශීය මාධ්‍ය නොව ජාත්‍යන්තර මාධ්‍යයකි. සුප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ‘ක්‍රික්ඉන්ෆෝ‘ එදිනම මේ පිළිබඳ කතා පුවත පළ කර තිබුණේ චන්දිමාල් අවාසනාවන්ත ක්‍රීඩකයකු බව කියමිනි. එල්පීඑල් තරගාවලියේ චන්දිමාල්ගේ ලකුණු ලැබීමේ සාමාන්‍යය 31.88ක් බවත්, ප්‍රහාරාත්මක වේගය 126.99ක් බවත් එහි සඳහන් වී තිබිණි. එසේ වුවත් ලකුණු අතරේ නොසිටීම යටපත් කරමින් භානුක රාජපක්ෂ සංචාරයට ඇතුළත් වීම ප්‍රශ්න කර ඇත්තේ එල්පීඑල් තරගාවලියේ පමණක් නොව පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉනිම් 7කදී රැස් කළ ලකුණු 125 ද සැලකිල්ලට ගනිමිනි.

දිනේෂ් චන්දිමාල් දකුණත් පිතිකරුවෙකි. භානුක රාජපක්ෂ වමත් පිතිකරුවෙකි. ඉන්දීය සංචාරයට කණ්ඩායම නම් කිරීමේදී වමත් පිතිකරුවකුගේ වැඩි අවශ්‍යතාවක් තිබූ බැවින් භානුක සංචිතයට ඇතුළත් කර ඇතැයි ඇතැම් ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. චන්දිමාල් කැපී ඇත්තේ ඒ අනුව බවට ද වාර්තා වේ. එය එසේ නම් තවත් වමත් පිතිකරුවකු වන කමිඳු මෙන්ඩිස් ඉන්දීය සංචාරයට නම් නොකළේ මන්දැයි ගැටලුවක් මතු වෙයි. මන්ද ඔහු මෙවර එල්පීඑල් තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර පස්වැනි තැන පසුවූ බැවිනි.

සාමාන්‍යයෙන් ඕනෑම තරගාවලියකට හෝ සංචාරයකට කණ්ඩායමක් නම් කිරීමේදී මිණුම් දණ්ඩ වන්නේ අදාළ ක්‍රීඩකයන්ගේ වත්මන් තත්ත්වය බව කවුරුත් දනිති. නොඑසේ නම් අවසන් වරට අදාළ ක්‍රීඩකයා ක්‍රීඩා කළ තරගයේ හෝ තරගාවලියේ ඔහුගේ දස්කම් කෙසේද යන්නය. ඊළඟ තරගයට හෝ තරගාවලියට ක්‍රීඩකයා නම් කරනු ලැබීම රඳා පවතින්නේ අවසන් වරට ඔහු ක්‍රීඩා කළ තරගයේ හෝ තරගාවලියේ පෙන්වූ දස්කම්ය. එය එසේ නම් ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේදී එල්පීඑල් තරගාවලියේදී ක්‍රීඩකයන් දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් එය සැබැවින්ම එසේ වූවා දැයි තවත් ගැටලුවක් මතු වන්නේ සංචාරයට ඇතුළත් නොවූ චන්දිමාල් එල්පීඑල් තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර තුන්වැනි තැනට පත් වූ බැවිනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටුවල පැටිකිරිය අප මීට පෙර අනාවරණය කළෙමු. ‘ෆේවරිට්ලාට විතරක් තැන දෙන ක්‍රිකට් සිලෙක්ටර්ස්ලාගේ මාෆියාව‘ නමින් පසුගිය නොවැම්බරයේ මුල් භාගයේ ‘සිළුමිණ‘ පළ කළ එම ලිපිය අද චන්දිමාල්ගේ ඉවත් කිරීමට අවශ්‍ය පිළිතුරු සහ සාධක එමට ඇති බැවින් නැවත එම ලිපිය කියවන්නැයි අප පාඨකයන්ට ඇරයුම් කරමු. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට වගකීම වන්නේ ස්වාධීනත්වය සහ අභිමානය රැක ගනිමින් නියම වෙලාවට නියම තීන්දු තීරණ ගැනීමය. රටක ක්‍රිකට් අනාගතය රඳා පවතිනුයේ එවැනි තීන්දු තීරණ මතය. තේරීම් කමිටුවක් විසින් ගනු ලබන එක් වැරදි තීරණයකින් ක්‍රිකට් ක්ෂේත්‍රයම උඩු යටිකුරු වීමට පවා ඉඩ තිබේ. එබැවින් නියමිත කාලය අවසන් වීමෙන් පසු තනතුර හැර යෑමට සිදුවූවත් ක්‍රිකට් තේරීම් කමිටුවලට ශක්තිමත් කශේරුවක් තිබිය යුතුය. එහෙත් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී මෙරට තේරීම් කමිටුව ඔවුන්ගෙන් යම්කිසි සන්තෝසමක් බලාපොරොත්තු වන්නේදැයි කිසිවකුට සිතෙන්නට බැරි නැත. එය කොළඹ කේන්ද්‍ර කරගත් එක්තරා ප්‍රධාන ක්‍රිකට් සමාජයකදී හෝ නොඑසේ නම් වෙනත් ස්ථානයකදී ලබා දෙන්නේ දැයි කිසිවකුට සිතෙන්නට ද බැරි නැත. නොඑසේ නම් තේරීම් කමිටුවට බාහිරව එල්ල වූ බලපෑමක් මත ක්‍රීඩකයන් තෝරා ගන්නට ඇති බවට ද කිසිවකුට උපකල්පනය කළ හැකිය.

සැබැවින්ම ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රටවල පවා ජාතික ක්‍රිකට් කණ්ඩායම් තෝරා ගැනීමේදී ක්‍රිකට් තේරීම් කමිටුවලට විවිධ ක්‍රිකට් උපදේශකවරුන්ගේ බලපෑමට හෝ පීඩනයට යට වීමට සිදුවන අවස්ථා එමටය. තේරීම් කමිටු දැඩි විවේචනයට ලක්වීම හෝ වැරදි තීන්දු මතින් ක්‍රීඩකයන්ගේ අනාගතය විනාශ වීම හෝ සිදුවන්නේ එවැනි අවස්ථාවන්හීදීය. මෙවර ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී මෙරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් එවැනි උපදේශකවරුන්ගේ බලපෑමකට හෝ පීඩනයකට මුහුණ පෑවාද? ඩොලර් ලක්ෂ ගණනින් වැටුප් ගනිමින් ක්‍රිකට් කණ්ඩායමේ සිය ආධිපත්‍ය පතුරුවාලන එවැනි ක්‍රිකට් උපදේශකවරුන් මෙරට සිටීද?

එය එසේ නම් පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ පරාජයට එවැනි ක්‍රිකට් උපදේශකවරු වගකිව යුතු නොවේද? ජයග්‍රහණයට පියවරු සියයක් බවටත්, පරාජය අවජාතක බවටත් වන කියමන යළි යළිත් සනාථ කරමින් ඔවුන් සැඟවී සිටියේද?

භානුක රාජපක්ෂ මෑත කාලයේදී වැඩි කතාබහට ලක් වූයේ ඔහුගේ දස්කම් නිසා නොව ඔහු එක්තරා ආගමික නිකායකට බැඳී එම නිකාය ප්‍රවර්ධනය කිරීමට ක්‍රීඩාව භාවිත කිරීම නිසාවෙන් බවට පසුගිය කාලය තුළ විවිධ චෝදනා එල්ල විය. විශේෂයෙන් භානුකගේ දස්කම් මතින් ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකි වූයේ අදාළ ආගමික නිකාය හේතුවෙන් බවට ඔවුන් විසින්ම සිදු කළ ප්‍රකාශ ද කතාබහට ලක් විය. එසේ නම් මෙවර ඉන්දීය සංචාරයට කණ්ඩායම තේරීමේදී එම ආගමික නිකායෙන් බලපෑමක් එල්ල වූවාද ? මෙරට ක්‍රිකට් උපදේශකවරුන් ද එම ආගමික නිකායේ සාමාජිකයන් බවට ඇතැමුන් චෝදනා නඟන බැවින් මේ පිළිබඳ අවධානය යොමු කිරීම වටී.

මෙරට ක්‍රිකට් උපදේශකවරු සිටීනම් ඔවුන් පසුවන්නේ ක්‍රිකට් ඔස්තාර්ලා ගාණට බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද ක්‍රිකට් ඔස්තාර්ලා යැයි කියාගත් බොහෝ පුද්ගලයන් සිය මඩිය තර කර ගැනීමට කටයුතු කළා මිස මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තැබීමට කිසිදු දායකත්වයක් නොදැක්වූ බවට අතීතයේදී චෝදනා එල්ල වී තිබූ බැවිනි.

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයට ආගමික නිකායක බලපෑමක් එල්ල වන්නේ නම් එය සොයා බලා අවශ්‍ය පියවර ගැනීම ක්‍රීඩා අමාත්‍යාංශය සතු වගකීමකි. පසුගිය කාලයේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඒ පිළිබඳ සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කරනු ලැබුවේ එම වගකීම මැනවින් අවබෝධ කරගනිමිනි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතුව නම් කර ඇති එම කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සුදත් නාගහමුල්ල, විශ්‍රාමික අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් සහ නීතිඥ ශලනී රොෂානා ප්‍රනාන්දු මහත්ම මහත්මීහු කටයුතු කරන බව වාර්තා විය. අදාළ චෝදනා සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා එම විමර්ශන කමිටුවට උපදෙස් දී තිබුණු බවත් වාර්තා විය. මේ වන විට එම කමිටුවේ කාලසීමාව තවත් මසකින් දීර්ඝ කර ඇති බවත්, විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බවත් වැඩිදුරටත් වාර්තා විය.

ආගමික නිකායක බලපෑමක් මෙරට ක්‍රිකට් කණ්ඩායමට එල්ල වන බවට පළ වන චෝදනා පිළිබඳ හෝ එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිගමනය කිරීම හෝ ඒවා තහවුරු කෙරෙන ප්‍රකාශ නිකුත් කිරිමට තවමත් වේලාසන වැඩිය. එහෙත් එවැනි චෝදනාවල කිසිදු පදනමක් නැති බවට ඇතැමුන් කරනු ලබන ප්‍රකාශ ද පිළිගැනීම අසීරු වන්නේ කණ්ඩායම තෝරා ගැනීමේදී දැන් දැන් සිදුවන සිතාගත නොහැකි ආකාරයේ සහ තාර්කික නොවන ආකාරයේ කටයුතු නිසාය. තේරීම් කමිටු ඒවාට උත්තර බැඳිය යුතු නොවන්නේද? නොඑසේ නම් වගකිව යුතු කිසිවකු හෝ ඉදිරිපත් වී ප්‍රතිචාර දැක්විය යුතු නොවන්නේද? යම්කිසි ආගමික පිල්ලියකට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නතු වන්නේ නම් එය සිදුවන්නේ කාගේ අවශ්‍යතාව මත ද? මේවා මේ ලියුම්කරුට හෝ සිළුමිණ පුවත්පතට හෝ පැන නැඟුණු පෞද්ගලික ප්‍රශ්න නොව රටේ තොටේ බුද්ධිමත් මහජනතාව සහ ක්‍රීඩාලෝලීන් මෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිටින බොහෝ පාර්ශ්වවලට ඇති පොදු ප්‍රශ්න සමුදායකි. මන්ද මෙරට ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් යනු ඔවුන්ගේ ජීවිතයේම කොටසක් බවට පත්වී තිබෙන බැවිනි.

කනගාටුවට කරුණ වන්නේ දිනෙන් දින දියුණු වන නව තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට ආදේශ කරමින් ක්‍රීඩාවේ ප්‍රගතියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර රැසක් ගනිමින් සිටින කාලයක ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, ඇතැම් ක්‍රිකට් බලධාරින් තවමත් අවිද්‍යාව පසුපස දිව යෑමය.

අවසන් වශයෙන් කිව යුතු වන්නේ ජාතික තේරීම් කමිටුවට නොපෙනුණු චන්දිමාල්ගේ දස්කම් මැනවින් අවබෝධ කර ගැනීමට ජාත්‍යන්තර කණ්ඩායම් සමත්ව සිටින බවය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ‘කාලිජ් ටයිම්ස්‘ පුවත්පත පසුගියදා සඳහන් කළේ ලබන වසරේ මුල් භාගයේදී එරට පළමුවරට පැවැත්වෙන ‘අයිඑල්ටී 20‘ තරගාවලියට ( International League T20 ) දිනේෂ් චන්දිමාල් එක්වන බවය. ඔහු ‘ඩෙසර්ට් වයිපර්ස්‘ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත බව එම පුවත්පත සඳහන් කර තිබිණි. ඔවුන් කියන්නේ චන්දිමාල් ඉන්දීය සංචාරයේ විස්සයි 20 සංචිතයට ඇතුළත් නොකළ ද, විස්සයි 20 ක්‍රීඩාවට ඇති ඔහුගේ හැකියාව ලොවට පෙන්නුම් කිරීමට ‘අයිඑල්ටී 20‘ තරගාවලිය කදිම අවස්ථාවක් වනු ඇතැයි විශ්වාස කරන බවය.

Comments