සසුනඹර එකලු කළ ගලයායේ පියදස්සි නාහිමියෝ අපවත් වෙති | සිළුමිණ

සසුනඹර එකලු කළ ගලයායේ පියදස්සි නාහිමියෝ අපවත් වෙති

ක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරණ සංඝනායක කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත එම්.බී.ඊ. නාමධාරී ගලයායේ පියදස්සි නාහිමියෝ මෙම 19 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට ලන්ඩනයේ නොත්වික් පාර්ක් රෝහලේදී අපවත්වී වදාළහ.

1947 ජුනි මස 28 වන දින පන්නල ගලයායේ ජන්ම ලාබය ලැබ, අමුණුවෙල සෝමානන්ද මහතෙරුන් යටතේ තරුණ වියේදී පැවිදි බවට පත්ව ගලයායේ පියදස්සි යන නාමය ලැබීය. සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනට ඇතුළත් කරන ලදුව ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් සාමාර්ථ්‍යය ලැබීය. වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් ප්‍රාචීන පණ්ඩිත උපාධිය ද හිමි කර ගත්හ. අනතුරුව 1976 වසරේදී කැලණිය විශවිද්‍යාලයට ඇතුළුව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා පියදස්සි හිමියෝ හුණුපිටිය ගංගාරාම පිරිවෙන, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන, මහනුවර සංඝරාජ පිරිවෙන යන ආයතනවල ආචාර්යවරයකු ලෙස සේවය කළහ.

1984 වසරේදී, බිංගිරිය රජමහා විහාරාධිපතිව වැඩ විසූ මලඟනේ අත්ථදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙහෙය වීමෙන් එවකට ලන්ඩන් බෞද්ධ විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කළ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස මාහිමියන් වහන්සේට සහාය වනු පිණිස ලන්ඩන් විහාරයට වැඩම කළහ. 1987දී හම්මලව නාහිමියන් ලන්ඩන් විහාරාධිපති ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ටික කලක් බර්මින්හැම් විහාරයේ ද වැඩ සිටි පියදස්සි හිමියෝ 1989 දී ඩෙන්සිල් පාරේ අංක 10 දරන ස්ථානයෙහි බෞද්ධ මධ්‍යස්ථානයක් ආරම්භ කළේ, පූජ්‍ය බඹරබොටුවේ ආනන්ද මංගල හිමියන් සමඟිනි. හම්මලව මහානාහිමියෝ පාදයේ සුළු ආබාධයකට නොත්වික් පාර්ක් රෝහලට ඇතුළත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් පසු 13 වනදා උන්වහන්සේ අපවත් විය.

එකී බෞද්ධ මධ්‍යස්ථානය ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙස නම් කළහ. ශ්‍රී ලංකාවේ විවිධ සමාජ සේවා කටයුතු කළ පියදස්සි නාහිමියෝ ලන්ඩනයේ ද ඒ පිළිවෙත අනුගමනය කළහ. ඒ අනුව පළමුවරට ලන්ඩනයේදී එළිමහනේ සිංහල අලුත් අවුරුදු උත්සවයක් අරඹා මහාචාර්ය මුදියන්සේ දිසානායකයන්ගේ සේවය ද ලබා ගත්හ.

ලන්ඩනයේ ජනප්‍රියතම විහාරය බවට පත් කළ පියදස්සි හිමියෝ යාබද ගොඩනැගිල්ලද ගෙන විහාරය පුළුල් කළහ.

උන්වහන්සේගේ සේවය අගය කළ බ්‍රෙන්ට් කවුන්සිලය එම නගරයේ විශිෂ්ට පුරවැසියකු ලෙස උන්වහන්සේ සම්මානයට පාත්‍ර කෙරිණ.

අනතුරුව බ්‍රිතාන්‍ය මහරැජින විසින් ද එම්.බී.ඊ. සම්මානයෙන් පුදන ලදී. පියදස්සි නාහිමියන්ගේ විහාරස්ථානය අසල පෞරාණික ගල්කන්දේ මුදිත ළමා නිවාසය පියදස්සි හිමියන් විසින්ම අරඹන ලද්දකි.

හම්මලව නාහිමියන්ගේ ශාස්ත්‍රීය සේවාව පවත්වාගෙන යෑමට නාවල ප්‍රදේශයේ ඉඩමක් ලබාගෙන පුස්තකාලයක් ද අරඹා ඇත.

දැනට වසර දෙකක සිට පාකින්සන් රෝගයෙන් පීඩා විඳි පියදස්සි නාහිමියෝ පසුගිය 19 වැනිදා සවස සදහටම දෙනෙත් පියාගත්හ.

 

lආචාර්ය අකුරටියේ නන්ද නාහිමි

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති,

කිංස්බරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ

පාලක මණ්ඩල සාමාජික

Comments