
සාත්තු සේවා වෘත්තිකයින් ලෙස විදේශ රැකියාවල නිරතවීමට උනන්දුවක් දක්වන උතුරු මැද පළාතේ සිටින තරුණ තරුණියන්හට නොමිලේ සාත්තු සේවා පුහුණුව ලබාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා උතුරු මැද පළාත් සභාව අත්සන් තබයි.
කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා ගිවිසුම සඳහා අත්සන් තැබූ අතර, උතුරු මැද පළාත් සභාව වෙනුවෙන් පළාත් සභාවේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඊයේ(29) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ගිවිසුමට අත්සන් තබන ලදී.
මෙම අවස්ථාවට එක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, මේ වන විට රටේ ඩොලර් සංචිත ඉහළ නැංවීම හා තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම ජාතික වශයෙන් ඉතා වැදගත් කර්තව්‍යයක්ව ඇති බවත්, එම ජාතික අවශ්‍යතාවය වටහාගෙන මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරිම පිළිබඳව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, ප්‍රධාන ලේකම් ඇතුළු පළාත් සභාවට විශේෂ ස්තූතිය පළකරන බවයි.
උතුරු මැද පළාත් සභාව මගින් එම පළාතේ තරුණ තරුණියන්ට වෘත්තීමය පුහුණුව ලබාදීම සඳහා “රන් මාවත” නමින් වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ යටතේ සාත්තු සේවා පුහුණුව ලබාදීම සඳහා කාර්යාංශයේ පුහුණු අංශයේ මෙහෙයවීම යටතේ මෙම පාඨමාලාව පැවැත්වීමට නියමිතය. මෙම පාඨමාලාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා අනෙකුත් බාහිර පහසුකම් උතුරු මැද පළාත් සභාව මගින් ලබාදෙන අතර, මූල්‍ය දායකත්වයද ලබාදෙනු ලබන්නේ සේෆ් ෆවුන්ඩේෂන් (Safe Foundation) ආයතනය හා උතුරු මැද පළාත් සභාව මගිනි.
නොමිලේ බඳවාගැනීම් සිදුකරන මෙම පාඨමාලාව දින 45ක් පැවැත්වෙන අතර, එය අවසානයේදී NVQ III මට්ටමේ සහතික පත්‍රයක් පුහුණුලාභීන්ට පිරිනමනු ලබයි. මේ වන විට මෙම පුහුණුව ලබාගැනීම සඳහා 150 කට ආසන්න පුහුණුලාභීන් පිරිසක් තෝරාගෙන ඇත.