සිනමාවේ හා වේදිකාවේ කැරැලිකාරයාගේ නිර්මාණාවලෝකනය | සිළුමිණ

සිනමාවේ හා වේදිකාවේ කැරැලිකාරයාගේ නිර්මාණාවලෝකනය

ධර්ම­සිරි බණ්ඩා­ර­නා­ය­ක­යන්ට රුහුණ විශ්ව­වි­ද්‍යා­ල­යේ කුලපති ආචාර්ය අකුරටියේ නන්ද නාහිමියන් අතින් දර්ශ­න­සූරි ගෞරව ආචාර්ය උපා­ධිය පිරි­න­මනු ලැබූ අවස්ථාවයි මේ

මෙරට සිටින අද්විතීය නිර්මාණකරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායක විසින් කලා ක්ෂේත්‍රයට සිදු කරන ලද මහඟු දයකත්වය වෙනුවෙන් ‘ධර්මසිරි කැරලිකාර නිර්මාණාවේශය’ මැයෙන් උපහාර උත්සවයක් පසුගිය 21වැනිදා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්විණි. ‘මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය’ මඟින් හෙතෙම අගයමින් පිරිනැමුණු විශේෂ ගෞරව සම්මාන පදක්කම පිළිගැන්වීම ද මෙහිදී සිදු විය. එමෙන්ම ශ්‍රී ලාංකේය ජන සමාජයට ධර්මසිරි බණ්ඩාරනායකගේ නිර්මාණ තුළින් ඇති කළ පරිකල්පනීය වෙනස පදනම් කර ගනිමින් රුහුණු විශ්වවිද්‍යාලය මඟින් ද පසුගියදා දර්ශනශූරි ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීම ද සිදු විය. 

1949 ඔක්තෝබර් 6 වැනිදා කැලණියේදී මෙලොව එළිය දුටු ධර්මසිරි බණ්ඩාරනායක මුලින්ම අධ්‍යාපනය ලැබුවේ කිරිබත්ගොඩ ඊරියවැටිය මහා විදුහලේය. දෙවන වසර දක්වා එහි අධ්‍යාපනය ලැබූ හෙතෙම පසුව මවගේ ගම වූ වෑවිට ගල්තුඩේ මහ විද්‍යාලයට ඇතුළත් විය. ඒ කාලයේ වෑවිට මහ විහාරයේ නායක හමුදුරුවන් යටතේ ද හෙතෙම අධ්‍යාපනය ලැබීය. අනතුරුව හොරණ විද්‍යාරතනයට ඇතුළත් වන හෙතෙම කලා ලෝකයට අත්පොත් තබන්නේ එහිදීය. ඒ වන විටත් ශ්‍රී ලංකාව පුරා, විශේෂයෙන් කොළඹින් පිටත දේශපාලනික වශයෙන් සක්‍රීය නාට්‍ය සංස්කෘතියක් පැවති අතර, ඔහුට එය තදින් දැනී ඇත්තේ ඔහුගේ පාසලේ නාට්‍ය ගුරුවරයකු වන හේමසිරි ලියනගේ (ඔහු ද හොරණ ප්‍රදේශයේ) නිසාය. ලියනගේ ඔහුගේ දෛවය වෙනස් කළ චරිතයක් වූ අතර, ඔහු පාසලේදී වේදිකා ගත කළ බොහෝ නාට්‍ය හරහා තම ශිෂ්‍යයාගේ පරිකල්පනය කැරලි ගැසීමට ඉඩ හැරියේය. හැටේ දශකය වනාහි මෙරට දේශපාලන ඉතිහාසයේ ද නොසන්සුන් කාල පරිච්ඡේදයකි.

මේ කාලයේදී (වයස අවුරුදු 17 දී පමණ) ප්‍රවීණ කලාකරු දයානන්ද ගුණවර්ධනගේ ඇසුර ලැබීමට හෙතෙම වාසනාවන්ත විය. මේ හමුව කොතරම් දුරදිග ගියේ ද යත් දයානන්ද ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ බක් මහ දීගේ (Marriage of Figaro නම් ප්‍රංශ නාට්‍යයේ අනුවර්තනයකි.) සිනමාපටයේ ප්‍රේමදාස නැමැති (අහිංසක හා මෝඩ දාසයකුගේ) චරිතය සඳහා ධර්මසිරිව තෝරා ගත්තේය. අනතුරුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ වීර පුරන් අප්පු (1978) සිනමාපටයේ පුංචිරාල ලෙස තෝරා ගැනුණේ ද ධර්මසිරිවය.

සිනමාව මෙන්ම වේදිකාව ද මේ වන විට දේශපාලන වශයෙන් සක්‍රීය වෙමින් තිබුණි. 1971 වසර වන විට රටේ බොහෝ විශ්වවිද්‍යාල පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කෙරිණි. මේ දේශපාලන උණුසුමෙන් ආභාසය ලබමින් ධර්මසිරි සිය නිර්මාණ දිවිය ආරම්භ කළේය. ඔහු සිය නාට්‍ය දිවිය ආරම්භ කළේ 1971 දී ඒකාධිපති නිෂ්පාදනය කරමිනි. එමෙන්ම ඔහුගේ මකරාක්ෂ වේදිකා නාට්‍ය ගැන කතා කරන විට හෙන්රි ජයසේනගේ මකරා අපට අමතක කළ නොහැක්කේ ධර්මසිර මකරා හි ලාංස් ලොට් ලෙස රඟපෑ නිසාය. හෙතම පසුව මකරාක්ෂ බවට ප්‍රතිනිර්මාණය කළේ එමඟින් ලද උත්තේජනය ඔහුගේම ආත්ම ප්‍රකාශනයක් බවට පෙරළමිනි.

නැඟෙනහිර යුරෝපීය සිනමාව ගැන උනන්දු වූ තරුණ ධර්මසිරි චිත්‍රපට නැරඹීම සඳහා ප්‍රොජෙක්ටරයක් මිලට ගෙන එය ඔහුගේ නිවසේ සවි කළේය. ඇතැම් විචාරකයන්ගේ මතය වන්නේ ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියකු වුව ද කැමරාකරණයට සහ සංස්කරණයට වැඩි උනන්දුවක් දැක්වූ බවයි. විශේෂයෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය පතිරාජ සහ වසන්ත ඔබේසේකර වැනි ප්‍රවීණයන්ගේ සිනමා නිර්මාණ ඔහු කුළු ගැන්වීය.

නවසිය 60 අගභාගය වන විට අභ්‍යන්තර හා බාහිර දේශපාලන ප්‍රශ්නවල ප්‍රතිඵලයක් ලෙස තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ බලාපොරොත්තු අත්හැරීමට සිදු විය. ධර්මසිරි ද රැකියාවක් සොයා ඇවිදින්නට විය. මේ ප්‍රයත්නය මල්ඵල දරන්නේ 1971 දී රබර් පාලන දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරක් ලැබීමෙනි. “ඒකාධිපති” නාට්‍යයෙන් ආරම්භ වූ නිර්මාණ දිවියත් රැකියාවත් යන දෙකම සමබර කර ගැනීමට හේ අදිටන් කර ගත්තේය. ඒ වන විට හෙතෙම 26 වියැති තරුණයකු විය. ‘එ්කාධිපති’ සඳහා රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳ ම ස්වතන්ත්‍ර නාට්‍යයට හිමි සම්මානය ඇතුළු සම්මාන රාශියක් විය. එ් යුගයේ අද මෙන් නොව 99.9%ක් ම නාට්‍යය නැරඹූ යුගයකි. වසන්ත ඔබේසේකර පළඟැටියෝ (1979) හි ප්‍රධාන චරිතය වූ සරත් ගුණවර්ධනගේ චරිතයට තෝරා ගත්තේ මේ පසුබිම තුළය. 1980 දී තිරගත වූ ‘සෙවණැලි ඇද මිනිස්සු’ චිත්‍රපටයේ වික්ටර්ගේ භූමිකාව නිරූපණය කළේ ධර්මසිරිය. මීට අමතරව1981 තිරගත වූ ‘බඹා කෙටූ හැටි’,1981 ම තිරගත වූ ‘සතර පෙරනිමිති’ සිනමාපටයේ සුදත් ‘සාධු’, 1983 තිරගත වූ ‘මුහුදු ලිහිණි’ සිනමාපටය සහ 2015 දි තිරගත වූ ‘බොර දිය පොකුණ’ හි ඩෙස්මන්ඩ් ඔහු රංග ප්‍රතිභාවට සාක්ෂිය.

නවසිය අසූවේ සිය කුළුඳුල් සිනමා නිර්මාණය වන ‘හංස විලක්’ නිර්මාණය කරන ධර්මසිරි එහි ප්‍රධාන චරිතය වූ නිශ්ශංකගේ චරිතයට පණ පෙවීය. මෙම චිත්‍රපටයට මැන්හයිම් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නියෝජනය කිරීමට අවස්ථාව උදා වූ අතර ඔහුට ඒ සඳහා සහභාගී වීමට රබර් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් නිවාඩු ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා රැකියාවට ආයුබෝවන් කීමට සිදු විය. ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමා නිර්මාණ දිවිය තුළ මෙන්ම ශ්‍රී ලාංකේය සිනමා වංශය තුළ ‘හංස විලක්’ සුවිශේෂ චිත්‍රපට අතරෙන් එකක් ලෙස සැලකේ. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ඇල්බට් ජයසිංහ විසිනි. විචාරකයන්ගේ මතවාදය අනුව එය ඔහුගේම ආත්ම ප්‍රකාශනයකි.

හංස විලක් සහ පළඟැටියෝ සැසඳීමක් කරන්නේ නම්, කතා දෙකෙහිම ධර්මසිරි විසින් හෙළා දකින ලද ප්‍රධාන චරිතයක භූමිකාවක් නිරූපණය කරයි. නිශ්ශංක (හංස විලක් චිත්‍රපටයේ ධර්මසිරි රඟපාන) මිරැන්ඩා (ස්වර්ණා මල්ලවාරච්චි) සමඟ අනියම් පෙම් සබඳතාවක් ආරම්භ කරන අතර ඔවුන්ගේ රහස් ප්‍රේම පොලිසියට අසුවීමත් සමඟ ගැටලු සමුදායකට මුහුණ දෙයි. පන්ති භේදයෙන් තෙම්පරාදු වූ පළඟැටියෝ මෙන් නොව හංස විලක් පෞද්ගලික හැඟීම්, පවුල් බැඳීම් සහ සමාජ සීමා වටා කැරකෙයි. එක් අතකින් හංස විලක් සහ තුන්වෙනි යාමය අනෙකුත් සිනමා නිර්මාණ අතරින් කැපී පෙනීමට එක් හේතුවක් වන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයයි.

ළමා වියේ අහිමි වූ අහිංසක කතන්දරයක් වටා ගෙතෙන තුන්වෙනි යාමය මනෝවිද්‍යාත්මක ආත්මීයත්වය නිරූපණය කරයි.

සයිමන් නවගත්තේගම විසින් රචිත නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ සුද්දිලගේ කතාව (1985) ධර්මසිරි අතින් නිමැවුණු තවත් විශිෂ්ට සිනමා නිර්මාණයකි. මෙය නිෂ්පාදනය කරන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන විසිනි. එය ද පුරුෂාධිපත්‍යක සමාජ ක්‍රමය තුළ ස්ත්‍රිය කායිකව මෙන්ම ලිංගිකව සූරාකෑමට ලක්වන ආකාරය විශද කරයි. ධර්මසිරිගේ අනෙකුත් සිනමා නිර්මාණ වන බව දුක සහ බව කර්ම (1997 තිරගත වූ) ගැන කතා කරන විට බව දුක ඔහුගේ පියාගේ බාල සොහොයුරා වන K.S පෙරේරා විසින් රචනා කරන ලද නවකතාවක් මත පදනම් වී ඇත. මෙහි නිෂ්පාදනය ඇම්. ආර්. ආබ්දීන් විසිනි. සැලකිය යුතු කරුණ නම් මෙම නවකතාවේ එක් චරිතයක් ධර්මසිරිගේ පියා වීමයි. මෙම සිනමා කෘතිය මඟින් ඔහු වැඩවසම් සමාජයේ කුලීනයන් විසින් කුල හීනයන් කායිකව මෙන්ම ලිංගිකව ද සූරාකනු ලබන ආකාරයත් එකී ඉරණමට ගොදුරු වන ස්ත්‍රිය විසින් එම පුරුෂාධිපත්‍යයික බලහත්කාරය ගෞරවණීයව බාර ගන්නා සංකීර්ණ මනෝභාවයත් විශද කරයි.

2019 දී ධර්මසිරි බණ්ඩාරනායක අවසාන වශයෙන් නිර්මාණය කළ ‘පාරාදීසය සොයා’ වාර්තා චිත්‍රපටය මිථ්‍යා මත අතීතයේ සිට බණ්ඩාරනායක ඝාතනය දක්වා සමාජ දේහයට බලපෑවේ කෙසේද යන්න පෙන්වයි. මෙය ගාමිණී වියන්ගොඩ ගේ තිර රචනයකට අනුව නිර්මාණය වූවකි.

1976 ‘එ්කාධිපති’ වලින් ඇරඹි ධර්මසිරිගේ වේදිකා තරණය ‘මකරාක්ෂ’, ‘ධවල භීෂණ’, ‘යක්ෂාගමනය’, ‘ට්‍රෝජන් කාන්තාවෝ’ ආදි විශිෂ්ට ගණයේ ආන්දෝලනාත්මක නාට්‍ය ගණනාවකින් සුපුෂ්පිතය. මෙම නිර්මාණ නිසා ඔහුට මරණ තර්ජන පවා එල්ල වූ වාර අපමණය. එසේම ටී.එම් ජයරත්න විසින් ගයනා කරන ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් හැඩවුණ ‘පවනට සැලෙනා දොඹමල් සුවඳින්’ ගීතයේ ගේය පද රචකයා වන්නේද ධර්මසිරි බණ්ඩාරනායකය. මෙය මව විසින් අතහැර ගිය දරුවකු ඇති දැඩි කරන්නට මහත් වෙහෙසක් දරන පියකු පිළිබඳ ප්‍රවෘත්තියකි. එය ඔහුගේ ජීවිතයේ ඇති වූ යම් කම්පනයක ප්‍රතිඵලයකි.

මෙම උපහාර උලළේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ පැවසූ පරිදි “සිනමා විචාරකයා හා මෙරට විශිෂ්ට සිනමා කෘති අතර පරතරය පියවිය යුතු අතර; අතීතයට එක් වූ විශිෂ්ටත්වයට අතීතයේ සැතපෙන්නට ඉඩ නොහැර කතිකාවක් ගොඩ නැඟිය යුතු කාලය එළැඹ තිබේ”.

ඇත්තෙන්ම ධර්මසිරි බණ්ඩාරනායකයන් ජාති කුලමල ආගම් නොතැකූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයකු (උසස් මනසක් ඇත්තා) වේ. මේ අදීන නිර්මාණකරුවා මෙරටට සම්පතකි. මෙවැනි කාලයක ඔහු වැනි දැවැන්තයකු මෙලෙස පුදනු ලැබීම සංවේදී සිතැති අප සැමගේ සතුටට හේතු වන්නකි.



Comments