සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රාජ්‍ය අංශවල උදවු උපකාර හිමි වන අතර රැකියාවෙන් සුබපල ලැබෙයි. ගෘහ ජීවිතය තුළ සුළු සුළු මත ගැටුම් ඇති වූවත් ඒවා තාවකාලික වේ. ධනය සහ වෙනත් අයගේ උදවු උපකාර හිමිවෙන අතර, දරුවන්ගේ නුවණ වර්ධනය වේ. නීතිමය ගැටලුවකට හෝ නිෂ්ඵල ගමනකට හෝ අලාභයකට ඉඩ ඇත. පාදවල වේදනා ඇති විය හැකිය. අපල අවම කර ගැනීමට ඉවසීම ප්‍රගුණ කරන්න. භාවනාවක යෙදෙන්න.

අය 11, වැය 8, සුබ අංක 7 සහ 9, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා සහ ඉරිදා

වෘෂභ - ගමන් බිමන් අධික වේ

සඳු ගමන් ආරම්භ කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය කටයුතුවල නියැළෙන්නට අවස්ථා යෙදේ. රැකියා සහ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලැබුණත් වියදම් පක්ෂය ද වැඩි වේ. මොහොතක් එක තැනක නොරැඳෙන පරිදි ගමන් බිමන් යෙදේ. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල පිබිදීමක් ඇති වෙයි. නොකළ දේට චෝදනා එල්ල වීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. අපල අවම කර ගැනීමට චෛත්‍යයක් හෝ බෝධියක් අබියස පන්සිල් ගෙන දෙවියන්ට පින් දී පැන් කළයක් බෝධියට වත් කරන්න.

අය 5, වැය 5, සුබ අංකය - 6, සුබ වර්ණ - ක්‍රීම් සහ සුදු, සුබ දවස් - සිකුරාදා සහ සෙනසුරාදා

මිථුන - ධන ලාභ

 සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භය සතුටුදායක නොවේ. දුක්බර පුවත් අසන්නට ලැබෙයි. ඉන්පසුව ආගමික භක්තිය ඇතිව රැකී රක්ෂා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලබමින් ගෘහ ජීවිතය සතුටින් පවත්වාගෙන යා හැකිය. ධන ලාභ පවතී. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුව ඇතිවේ. අජීර්ණ, පාදවල වේදනා, ස්නායු රෝග පැවතිය හැකිය. අපල අවම වීමට තිරිසන් සතුනට, පක්ෂීන්ට ආහාර සහ ජලය තබන්න.

අය 5, වැය 3, සුබ අංක 3 සහ 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා සහ සිකුරාදා

කටක - පුණ්‍ය කටයුතුවලට දායක වෙයි

සඳු ගමන් ආරම්භ කරන්නේ 7, 8, 9 සහ 10 වැන්න මතිනි. ගෘහ ජීවිතය සාමාන්‍ය පරිදි ගෙවී යයි. පුණ්‍ය කටයුතුවලට දායක වන්නට අවස්ථා උදාවේ. රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන අත්වෙන අතර දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. අසුබ ආරංචි අසනීප අපල තත්ත්වයන් ද ඇති විය හැකිය. අපල අවම කර ගැනීමට සඳුදා දිනයේම බුදුන් වැඳීමට සුදු, කහ මල් ගන්න. පත්තිනි මෑණියන්ට පින් දෙන්න.

අය 5, වැය 5, සුබ අංක 2, 7, 9, සුබ දවස් - සඳුදා සහ අඟහරුවාදා

සිංහ - මිශ්‍රපල සහිතයි

සඳු ගමන් කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න හරහාය. රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතුවලින් සැලකිය යුතු ආදායමක් ලද හැකිය. දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සුබ අතට හැරේ. ගෘහ ජීවිතය තුළ සාමය පැවතුණද අයහපත් පණිවිඩ ලැබීමට ද ඉඩකඩ ඇත. අපල අවම කර ගැනීමට වයසක අයට උපකාර කරන්න.

අය 8, වැය 5, සුබ අංක 1 සහ 4, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා සහ සිකුරාදා

කන්‍යා - ව්‍යාපාරවලින් ජය

සඳු ගමන් කරන්නේ 5, 6, 7 සහ 8 වැන්න මතින්ය. ගෘහ ජීවිතය හොඳින් පවත්වාගෙන යන අතර රැකියා, ව්‍යාපාර ආදියෙන් ද ඵල ප්‍රයෝජන හිමිවේ. දරුවන්ගේ අධ්‍යාපනය නැණ නුවණ වර්ධනය වෙමින් වැඩි දියුණුවේ. අසනීප හෝ දුක්බර පුවත් සතිය අවසානයේ අසන්නට ඉඩ තිබේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. අපල අවම කර ගැනීමට දරුවන් හට දැනුම, අවබෝධය ලබා දෙන්න.

අය 5, වැය 3, සුබ අංක 3, 5 සහ 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා සහ බ්‍රහස්පතින්දා

තුලා - ශක්තිමත් ආර්ථිකයක්

 සඳු ගමන් ආරම්භ කරන්නේ 4, 5, 6 සහ 7 වැන්න මතිනි. මවුපින්ගෙන් උපකාර හිමිවෙන අතර දුවා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය සාමකාමි වුවත් අඹුසැමි මත භේද වරින් වර මතුවේ. ගේදොර කලඑළි කරමින් ප්‍රියමනාප ලෙස වෙනස්කම් සිදු කරයි. ආර්ථිකය ශක්තිමත්ය. අපල අවම කර ගැනීමට ඇසුරු කරන අය ඉදිරියේ කථාව හා පැවතුම් සංවරශීලී කර ගන්න. බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්න.

අය 5, වැය 4, සුබ අංක 3, 6, සුබ වර්ණ - ක්‍රීම් සහ සුදු, සුබ දවස් - සිකුරාදා සහ සෙනසුරාදා

වෘශ්චික - ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්

සඳු ගමන් කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න හරහාය. සහෝදරයන්ගෙන් සහ මවුපියන්ගේ සහයෝගය හිමි වෙයි. දරුවන්ගේ දක්ෂතා වර්ධනය කෙරෙයි. ඉගෙනුමට දක්ෂතා දක්වයි. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින නිර්මාංසව බෝධි පූජා තබන්න. කතරගම දෙවින්ට පින් දෙන්න.

අය 11, වැය 8, සුබ අංක 4, 5 සහ 7, සුබ වර්ණය - රතු,

සුබ දවස් - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා

ධනු - මිල මුදල් ලාභ

 සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. මිල මුදල් අතමිට ගැවසේ. සොහොයුරයන්ගෙන් සහ මවුපියන්ගෙන් උපකාර සහ සහයෝගය ලැබෙයි. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමි වෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේ. ගෘහ ජීවිතයේ සමාදානය පවතී. අපල අවම කර ගැනීමට කහ පාට මල් පූජා කරන්න. කහ පාටට හුරු බෙලි මල්, රණවරා ආදිය ගිලන්පස ලෙස භික්ෂූන් වහන්සේලාට පූජා කරන්න.

අය 8, වැය 7, සුබ අංක 6 සහ 8, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා, බදාදා සහ බ්‍රහස්පතින්දා

මකර - අන් අයගෙන් ප්‍රසාදය ලබයි

 සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 හා 4 වැන්න මතිනි. ගෘහ ජීවිතයේ සුළු මත ගැටුම් පැවතිය හැක. ගෙදර දොර වැඩකටයුතු කිරීමේදී පරිස්සමෙන් කටයුතු කිරීම වැදගත් වන්නේ තවම අපල පවතින බැවිනි. ආදායම් තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතී. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට හිතකරය. ඇසුරු කරන අය අතර ප්‍රසාදයට ලක් වේ.

අය 5, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සෙනසුරාදා සහ සිකුරාදා

කුම්භ - ආදායම් මාර්ග ඉහළට

සඳු ගමන් කරන්නේ 12 ලග්නය 2 හා තෙවැන්න හරහාය. ආරම්භය යහපත් නොවේ. නිෂ්ඵල වියදම්, නිෂ්ඵල ගමන් සහ සිත් රිදීම් ඇති වේ. දෙවැනි, තුන්වැනි දිනවල ගෘහ ජීවිතයේ කටයුතු දරුවන්ගේ අධ්‍යාපනය රැකී රක්ෂා ආදියේ සුබපල දක්නට ලැබෙයි. පාදවල වේදනා, සෙම් රෝග, උරහිස් වේදනා ඇතිවිය හැකිය. ආර්ථිකය ශක්තිමත්ය.

අපල අවම කර ගැනීමට නුග පැළයකට ජලය දමන්න. තිරිසන් සතුන්ට ආහාර සහ ජලය දෙන්න.

අය 5, වැය 3, සුබ අංක 3, 8 සහ 9, සුබ වර්ණය - නිල්,

සුබ දවස් - සිකුරාදා,සෙනසුරාදා සහ අඟහරුවාදා

මීන - බලාපොරොත්තු ඉටුවේ

 සඳු ගමන් කරන්නේ 11, 12 ලග්නය හා දෙවැන්න හරහාය. ආරම්භය සතුටුදායකය. ධන ලාභ පැවතුණත් වියදම් පක්ෂය ද අධිකය. නිෂ්ඵල වියදම් ද යෙදේ. රැකියා, ව්‍යාපාර කටයුතුවලට සුබ සතියකි. එහෙත් වචන හැසිරවීමේදී කල්පනාකාරී විය යුත්තේ අන් අයට සිත් රිදීම් ඇති විය හැකි බැවිනි. දරුවන්ගේ කුසලතා වර්ධනය කෙරේ. අපල අවම කර ගැනීමට වෙල් මාළුන්ට ආහාර දමන්න.

අය 11, වැය 9, සුබ අංක 3 සහ 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා

Comments