
වෛද්‍ය කුලරත්න සහ ආරියවතී අතර රහසේ පැවති අනියම් පෙම පද්මිණීගේ ඇස ගැටුණු දා සිට ‘සමුද්‍රසිරිය’ එකම යුද පිටියක් බවට පත්විය. ‘අනියම් ඇසුර’ විනාශයක මුල බව උගත් යැයි සම්මත වෛද්‍යවරයාට පවා වටහා ගන්නට නොහැකි වූයේ ඔහුගේ බුද්ධිය පරයා හැඟීම් ඉස්මතු වූ හෙයිනි. සෙනෙහසින් පිරී තිබුණු සුන්දර කැදැල්ල එතැන් සිට පද්මිණීට ගෙන දුන්නේ අපාගත හැඟීමකි. ධනයෙන් රූමත්කමින් කිසිම අඩුවක් නොමැතිව පැමිණි ඇගේ දීගයට එතැන් සිට කණ කොකා හැඬුවේය. සමුද්‍රසිරියේ අසිරිය හිරු දුටු පිනි මෙන් වියැකී ගියේය.
සිදු වන සියල්ල දරා ගත නොහැකිව හැඬූ කඳුළින්ම ගත කළ පද්මිණීගේ සිත එන්න එන්නම පීඩාවකින් පෙළෙන්නට විය. එය ද තම වාසියට හරවා ගත් වෛද්‍ය කුලරත්න තම බිරිය මානසික රෝගයකින් පෙළෙන්නේ යැයි කියමින් අංගොඩ මානසික රෝහලට යැවීමට උත්සාහ කළේ හිත්පිත් නැත්තකු විලසිනි. පද්මිණීගේ සොයුරිය ලලනී නිසා එය වැළකුණේ ඒ වනවිටත් පද්මිණී තම සොයුරියට සියල්ල පවසා තිබූ නිසාය. ලලනී පැමිණ ඇය පෞද්ගලික විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගෙන ගොස් උපදෙස් ලබා නොගත්තේ නම් පද්මිණී සදාකාලික මානසික රෝහලේ නේවාසික රෝගියකු වන්නට ඉඩ තිබිණි. පද්මිණී තද මානසික කම්පනයකින් පෙළෙන්නියක මිස මානසික රෝගියකු නොවන බව එම වෛද්‍යවරයා තහවුරු කිරීම නිසා වෛද්‍ය කුලරත්නගේ ඒ ප්‍රයත්නය ද අසාර්ථක වීමෙන් ඔහු තව තවත් කිපුණේය.
තවත් දිනක සිදු වූ බහින් බස් වීමක් කෙළවර වූයේ අශ්වයන්ට තලන කසයකින් පද්මිණී හොඳ හැටි පහර කෑමෙන් පසුවය. කුලරත්නගේ මාරාන්තික ප්‍රහාරයෙන් පද්මිණී එදා බේරුණේ ද දරුවන්ගේ මැදිහත් වීම නිසාය. එතැන් සිට පද්මිණී සමුද්‍රසිරි නිවෙසේ උඩු මහලේ කාමරයකට පමණක් සීමා වූ සිරකාරියක් වූවාය. ඇයට කෑම ලැබුණේ වේවැල් කූඩයක බහා ලණුවක ආධාරයෙන් ජනේලයක් තුළිනි. පිටත පරිසරය සමඟ සෑම ගනුදෙනුවක්ම ඇයට තහනම් විය.
තම බිරිය එසේ කාමරයක සිර කර විනෝද දිවියක් ගත කළ වෛද්‍ය කුලරත්නට අසු පිටින් වැටීම නිසා සිදු වූ කකුලේ ආපදාවක් නිසා දින කිහිපයක් රෝහල් ගත වීමට සිදුවිය. රෝහලේ සිට නිවසට පැමිණි ඔහු කිහිලිකරුවල ආධාරයෙන් ඇවිදිනවා උඩු මහලේ ජනේලයකින් දුටු පද්මිණී ඔහුට බැණ වැදුණාය. ඉන් කෝපයට පත් වූ වෛද්‍යවරයා රුපියල් 50,000ක වන්දියකින් තම කසාදය කටුගෑ දැමීමට කැමැති වන ලෙස ඇයට බල කළේය. තම දරුවන්ගේ අනාගතය ගැන සිතා එයට අකමැති වූ පද්මිණීට සිදු වූයේ තව තවත් ඔවුන්ගේ අඩන්තේට්ටම්වලට නතු වන්නටය. වෛද්‍ය කුලරත්න මෙන්ම ඔහුගේ මව ලෝරා ද පද්මිණීගෙන් පළිගැනීමේ අවස්ථාවක් බලමින් සිටියේ ඔවුන්ගේ යෝජනාව ඇය තරයේ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
එය 1967 අප්‍රේල් 9 වැනිදාය. පද්මිණීගේ අවාසනාවන්ත ඉරණම විසඳුණු දිනයයි. එදින ද වේවැල් කූඩයේ බහාලූ කෑම බඳුන ලණුවක ආධාරයෙන් පද්මිණී වෙත ලැබුණේ සුපුරුදු පරිදිමය. ලැබෙන අහරින් කුස පුරවා ගැනීමට පුරුදුව සිටි ඇයට එහි කිසිම වෙනසක් ද නොවීය. එදින අහර කුසට වැටුණු මොහොතේ පටන් තදබල බඩේ කැක්කුමක් සමඟින් වමනය සහ වැසිකිළි යෑමට පටන් ගැනීමෙන් අප්‍රාණිකව ඇඳ මතට වැටුණු පද්මිණීට යාන්තමින් සිය සොයුරියට පවසා ගැනීමට හැකි වී තිබුණේ තමාට ගොඩක් අමාරු බවත් රෝහලකට ගෙන ගියහොත් මරණයෙන් බේරා ගත හැකි බවත් පමණි. තම සොයුරිය පද්මිණී කවදා හෝ මෙවන් ඉරණමකට ලක්වන බව ඉවෙන් මෙන් දැන සිටි ලලනී වහා එහි පැමිණියත් ඒ වන විටත් ඇය අවසන් ගමන් ගොස් සිටියාය. මෙහෙකරුවන් විසින් පද්මිණීගේ හදිසි තත්ත්වය වෛද්‍ය කුලරත්නට පවසා ඇතිමුත් ඔහු එය නොසලකා හැර තිබිණි. දියණිය අචිනි පමණක් තම මව ළඟ රැඳෙමින් සුවදුක් සොයා බලා ඇත්තේ සිදුවන කිසිවක් වටහා ගැනීමට නොහැකිවය. සිද්ධිය ආරංචියෙන් වහා ක්‍රියාත්මක වූ පොලිසිය සමුද්‍රසිරියට පැමිණ කළ පරීක්ෂණවලින් සොයා ගෙන ඇත්තේ එදින පද්මිණී ගත් ආහාරයක් විෂ වීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුව සහ ආමාශය බරපතළ ලෙස හානියට පත්වීම නිසා මෙම මරණය සිදු වී ඇති බවයි.
වැඩිදුර පරීක්ෂණයේ දී සොයා ගනු ලැබුවේ ඇය එදින ආහාරයට ගත් ‘බිලිං අච්චාරුවේ’ යම්කිසි විස ද්‍රව්‍යයක් අඩංගු වී තිබූ බවයි. එය වඩාත් තහවුරු වූයේ එය අනුභවයෙන් පසු ඇය දැමූ වමනය පරීක්ෂා කිරීමෙනි. වැසිකිළිය ඒ වන විටත් සෝදා පවිත්‍ර කර තිබීම හේතුවෙන් ඉන් සාක්ෂියක් ලබා ගත නොහැකි විය. එම විස ද්‍රව්‍ය ආහාරයට පැමිණි ආකාරය සොයා බැලීමේ දී තහවුරු වූයේ වෛද්‍ය කුලරත්නගේ පෞද්ගලික ඩිස්පෙන්සරියේ එම විස ද්‍රව්‍ය අඩංගු බෝතල් 2ක් තිබූ බවයි. එයින් නිගමනය වූයේ නිවැසියන් විසින්ම පද්මිණීගේ ආහාරයට විස ද්‍රව්‍ය මුසු කර ඇති බවයි. වෛද්‍ය කුලරත්න, ඔහුගේ මව ලෝරා සහ මෙහෙකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගැනිණි. 1967 අප්‍රේල් 29 වැනිදා පැවති නඩු විභාගයෙන් සැක කටයුතු සාක්ෂියක් නොමැති වීමෙන් සිසිලින් නමැති මෙහෙකාරිය නිදොස් කොට නිදහස් කළ අතර ඉතිරි තිදෙනා වරදකරුවන් බවට පත්කර මරණිය දණ්ඩනයට නියම විය. ඔවුන්ගේ නීතිඥයන් විසින් ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සලකා බලා නැවතත් නඩුව විභාගයට ගැනුණි.
කොල්වින් ආර්. ද සිල්වා, සුනිල් රොද්‍රිගෝ, ෂන්මුගනාදන් සහ රාජා ගුණරත්න වැනි දක්ෂ නීතිඥයන් විසින් පැමිණිල්ලේ ප්‍රබල සාක්ෂි බිඳ හෙළමින් විත්තිය නිදොස් කොට නිදහස් කරගැනීම නිසා පද්මිණී කුලරත්නගේ සාහසික මිනීමැරුම කාලයේ වැලි තලාවෙන් යටව අබිරහසක්ව සැඟව ගියේ පද්මිණී කුලරත්න ඝාතනය වූවේ ද සිය දිවි හානිකර ගත්තේ ද යන ප්‍රශ්නාර්ථය අප ඉදිරියේ තබමිනි.
නීතිය ඉදිරියේ වරදකරුවන් නොවූ ඔවුන්ට තම හෘද සාක්ෂිය ඉදිරියේ කවදා හෝ වරදකරුවන් වීමට සිදු වනු ඇත.
සකස් කළේ - නාමලී ගමගේ