පුංචි ඡන්දයේ වියදම කෝටි 1000 යි | සිළුමිණ

පුංචි ඡන්දයේ වියදම කෝටි 1000 යි

පැවැත්වීමට යෝජිත පළාත්පාලන මැතිවරණයට රුපියල් කෝටි 1000ක අතිවිශාල මුදලක් වැය වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සිළුමිණට කීය. මැතිවරණ කොමිසම සමඟ මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ වන විට අදාළ මුදල් ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති බවද ඔහු පැවසුවේය.

නාම යෝජනා කැඳවීමෙන් පසුව ඡන්ද පත්‍රිකා වෙනුවෙන් වැය වන මුදල්, මැතිවරණ රාජකාරි වෙනුවෙන් අනුයුක්ත නිලධාරීන්ට ගෙවිය යුතු දීමනා මෙන්ම අනෙකුත් මෙහෙයුම් වෙනුවෙන් වැය කිරීමට සිදුවන ඇස්තමේන්තු සකස් කරනු ලබන බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙවර පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන ආයතන 341ක් වෙනුවෙන් වන අතර එයින් 24ක් මහ නගර සභා ලෙසින්ද, 41ක් නගර සභා ලෙසින්ද 276ක් ප්‍රාදේශීය සභා ලෙසින්ද අපේක්ෂකයන් තෝරා පත් කර ගනු ඇත.

පළාත් පාලන ආයතන 341 සඳහා සභිකයන් 8,356 දෙනකු පත් කර ගැනීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ප්‍රකාශ කර තිබුණේ 2018ට පෙර පැවැති සභික සංඛ්‍යාව වන 4,486 දෙනකු හෝ ඒ ආසන්න සභික සංඛ්‍යාවක් පමණක් පළාත් පාලන ආයතනවලට පත් කර ගැනීම සුදුසු බවයි.

Comments