
- තාත්තා නැතිවුණු දවසෙ ඉඳන් මේ වෙනකම් මම අඳින්නෙ සුදු පාට ඇඳුම් විතරයි
- මට අවුරුදු 8 දි ඒ කියන්නෙ තුන වසරෙදි මමත් ගියා කුලී වැඩ කරන්න. ගඩොල් කපන්න යනවා, පොල් ඇහිදින්න යනවා
- දරිද්‍රතාව කියන එක කොහොම එකක් ද කියන එක පිට ඉඳන් තේරුම් ගන්න බෑ. දරිද්‍රතාවෙන් බැට කද්දි අපිට අපි අමතක වෙනවා
අවුරුදු 8 දී පාන්දරම නැඟිට කිරි දෙනුන්ගෙන් කිරි දොවා හැතැප්ම 10ක් පයින් ගොස් පාසල් යන ප්‍රදීප්, හවස පාසල් ඇරුණු විගස හැතැප්ම 10 ක් පයින් ම ගෙදර එන්නේ ගඩොල් පුච්චන්නට ය. රෑ ඇනූ මැටි පුලුස්සා පුංචි අත් දෙකේ කරගැට එනතෙක් ගඩොල් හදා විල්බැරෝවක දමාගෙන අරගෙන යන ප්‍රදීප්ගේ ගඩොල් බොහෝ විට ගඩොල් වෙළෙන්දන්ගෙන් ප්‍රතික්ෂේප වේ. ඒ ප්‍රමිතිය මදි බව කියමිනි. පුංචි දෑසට උණන කඳුළු හොරෙන් පිසදා ගන්නා ප්‍රදීප් එසේ වූවා කියා වැඩේ අතහරින්නට ද සූදානම් නැත. නැවතත් හේ ගඩොල් පුච්චන්නේ අයියාගේ ද සහාය ඇතිවය. එදා ගඩොල් එක්ක ඔට්ටු වී දිරියෙන් ජීවිතයට මුහුණ දුන් ප්‍රදීප් ලක්සිරි අද මහා පරිමාණ ව්‍යවසායකයෙකි; විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. විදෙස් රටවල් බොහොමයක ඔහුගේ ආයතනයේ ශාඛා පිහිටා තිබේ. කොතරම් සාර්ථක ව්‍යවසායකයකු වුවත් හේ අදටත් සිය
අතීතයේ කිමිදෙන්නේ එයින් ඔහු ලැබූ පන්නරයේ මහිමය නැවත නැවත සිහිපත් කරමිනි.
සම්පූර්ණ නම
තන්තිරිගේ ප්‍රදීප් ලක්සිරි
උපන් දිනය
1984 ඔක්තෝබර් 12 වැනිදා
කොහේද ගම?
හම්බන්තොට බෙලිඅත්තේ කම්බුසාවල ගමේ
අම්මා තාත්තා ගේ නම් සහ ජීවන වෘත්තීන්
අම්මා කරුණාවතී කුරුගම. තාත්තා තන්තිරිගේ දයාරත්න. ඒ අය ජීවිකාවට කළේ ගොවිතැන. මට අයියා කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා
කුඹුරු එහෙම තිබුණද?
ගමේ හැමෝටම පොඩියට හරි කුඹුරු කෑල්ලක් තියෙනවා. අපිටත් පොඩි කුඹුරක් තිබුණා ගේ ඉස්සරහම
කොහේද පාසල් යන්නෙ
මම යන්නෙ ගමේ පාසලට. කම්බුස්සාවල මහා විද්‍යාලයට මම ගියේ. ඒකෙ ඔක්කොම ළමයි හිටියෙ 60යි. දුෂ්කර පාසලක්. ඒකට යන්නත් කිලෝමීටර් 10ක් විතර පයින් ගියා.
ජීවිතේ අසීරු වෙන්න ඇති, කොහොමද පාසල් වැඩ කරගත්තෙ
මට මතකයි මට අවුරුදු 8 දි ඒ කියන්නෙ තුන වසරෙදි මමත් ගියා කුලී වැඩ කරන්න. ගඩොල් කපන්න යනවා, පොල් ඇහිඳින්න යනවා. ඒ වැඩවලට ගියාම ගොඩක් වෙලාවට සල්ලි නොවෙයි ලැබෙන්නෙ. පොල් ඇහිඳින්න ගියොත් පොල් තමයි කුලියෙ හිලව්ව.
අවුරුදු අටේ දරුවෙක් ගඩොල් කැපුවා කියන දේ විශ්වාස කරන්නත් අසීරුයි?
හැබැයි ඒක තමයි ඇත්ත. මම විල්බැරෝ එකේ දාගෙන අපි කපපු ගඩොල් අරගෙන විකුණන්න යනවා. සමහර වෙලාවට අපේ ගඩොල් හොඳ නෑ කියලා ගන්නෙ නෑ. අපිත් උත්සාහය අතහරින්නෙ නෑ. රෑට මැටි අනලා තියලා උදේට ඉස්කෝලෙ යන්නෙ. ආයෙත් ඉස්කෝලෙ ඇරිලා ඇවිත් ගඩොල් පුච්චනවා. හොඳ නෑ කියලා මගේ ගඩොල් එක 5000ක් විතර විසි කරලා ඇති. අවුරුදු 12 දි මම තනියෙන් ගඩොල් පුච්චනවා. ව්‍යවසායකත්වය කියන එක විභාගවලින් එනවා කියලා මම විශ්වාස කරන්නෙ නෑ.
ගම ලස්සනට එළියෙ ඉඳන් දැක්කට ඇත්තට ම ජීවත් වෙද්දි අසීරුයි
ඔව්. ඇත්ත. එළියෙ අය දකින්නෙ ගම ලස්සන සුන්දර දෙයක් විදියට. ඉපදුණු කෙනා තමයි දන්නෙ ඒකෙ කටුක බව. අපේ ගෙදර පොල් අතු සෙවිලි කරල තිබුණෙ. වහින වෙලාවට තෙමෙන තැන් හොය හොය අපි වළං තියනවා. උදේ 4ට අපි ඇහැරෙනවා. ඒ ඉස්කෝලෙ යන්න කලින් අපට හරක්ගෙන් කිරි ගන්න තියෙන නිසා. අපිට හරක් 100ක් 150ක් හිටියා. කිරි බුරුල්ලෙන් කිරි දොවලා තියල අපි පාසලට යනකොට සමහර දවසට පරක්කු වෙලා. මම සෙරෙප්පු දෙකක් දැම්මෙ අවුරුදු 11ක් විතර ගියාට පස්සෙ.
ඉතින් පරක්කු වුණා කියලා ගුරුවරු තරවටු කරනවද?
අන්න ඒක තමයි අද ගුරුවරු සහ එදා ගුරුවරු අතර වෙනස. ඒකාලෙ ගුරුවරුන්ට දරුවො සේරම එකයි. තමන්ගෙ දරුව ද, පිට දරුවො ද කියල වෙනසක් නෑ. දරිද්‍රතාව විසින් අපට පන්නරයක් ලබා දුන්නා. අපි මෙතනට තල්ලු කළේ බඩගින්නම තමයි. මම ශිෂ්‍යත්වෙ පාස් වුණා. ඒක හිතා ගන්න බැරි ආඩම්බරයක්. අපේ පාසලෙන් වැඩිම ගණනක් ශිෂ්‍යත්වෙ පාස් වුණේ ඒ පාර.
මුළු ගම ම ආඩම්බර වෙන්න ඇති
ඔව්, ගුරුවරු දෙමව්පියො සේරම එකවගේ සතුටු වුණා. එයාලට තමන්ගෙ දරුව ද පිට දරුව ද කියලා වෙනසක් තිබුණෙ නෑ. මුළු ගම ම එකතු වෙලා අපිට උත්සවයක් තිබුණා. හැමෝම කිව්වෙ ලොකු ඉස්කෝලෙකට යන්න කියලා.
ඉතින් වෙන පාසලකට එනවද?
කොළඹ පාසලකට යන්න තරම් වත්කමක් තිබුණෙ නෑ. මම වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. හොස්ටල් තමයි නතර වුණේ.
කොහොමද තාත්තා වියදම් සමබර කර ගත්තෙ?
මගේ තාත්තට වියදම් කරන්න සල්ලි තිබුණෙ නෑ. මට ශිෂ්‍යාධාර ලැබුණා. ඒක රුපියල් 250ක දීමනාවක්. හොස්ටල් එකට ගෙවන්න ඕන, රුපියල් 163ක්. හොස්ටල් එකේ 150ක් විතර හිටියා. ඒ ගුරුවරුන්ටත් අපි එයාලගෙම දරුවො වගේ. වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයට ම තිබුණෙ එකම නළ ළිඳයි. ඒ නළ ළිඳ තිබුණෙත් හොස්ටල් එකේ ඉඳන් කිලෝමීටරයක් විතර ඈතින්. අපි ඇඳුම් හේදුවෙ, මූණ කට හේදුවෙ, නෑවෙ, වැසිකිළිවලට අවශ්‍ය වතුර ගෙනාවෙ මේ ඔක්කොම අර නළ ළිඳෙන්. අපි නොදැනුවත්වම අපේ ජීවිතවලට පුහුණුවක් ලැබිලා.
ඔබ පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක් ද?
විශ්වාස කරන්න, මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගියපු පළමු අවුරුද්දෙ පන්තියෙ 37 වැනියා. ඒ කියන්නෙ මම පන්තියෙ අන්තිමයා. 11 වසරට යනකම් ම මම 10 වැනියාගෙන් උඩට ඇවිත් නෑ. ඒකට හේතුව තමයි මට පාඩම් කරන්න අමාරුයි. මම අද වෙනකම් මේ ජීවිතේ එකම පොතක්වත් මුල ඉඳන් අගට කියවලා නෑ. ඒක මගේ දුර්වලතාවක් වෙන්න ඇති. මම ගම්පෙරළිය පවා කියවපු කතාවක් නෙවෙයි; අහපු කතාවක් විතරයි. ඒක මගේ දුර්වලකමක් වෙන්න පුළුවන්. මම විභාග පාස් වුණේ ප්‍රශ්න පත්‍ර ටික හදාරලා. සමහර ගුරුවරුන්ට අදටත් පුදුමයි, මම ඉංජිනේරු පීඨයට තේරුණු හතර පස්දෙනාගෙන් කෙනෙක් වෙච්ච එක ගැන.
ගමේ යාළුවො හිටියෙ නැද්ද?
මොකද නැත්තෙ. අපි පස්දෙනෙක් හිටියා. චමල්, තිළිණ, සුමිත්, ප්‍රබෝධිත් සහ මම. අපි ගෙදරින් අවසර ගත්තා ගෙදර පාඩම් කරන්න අමාරු නිසා පන්සලේ නැවතිලා පාඩම් කරන්නම් කියලා. අපි කරන්නෙ රෑ 9ට විතර පන්සලෙන් පැනලා ගිහින් හොරෙන් කුරුම්බා කඩලා බොනවා. ඒ වගේම සංගීත බලන්න යනවා. අපි ඉතින් කොලුකමට කළ දේවල් ඒවා. හැබැයි ඒවා ජීවිතයට ලොකු පන්නරයක්. අපේ ලොකු හාමුදුරුවො තමයි පාසලේ විදුහල්පතිතුමාත්. උන්නාන්සෙ අපට හරි ආදරෙයි. උන්නාන්සෙ තමයි මට වීරකැටියෙ මහා විද්‍යාලෙට යද්දි ඇඳුමක් පවා අරන් දුන්නෙ. හැම අවුරුද්දෙම පොත් ටික අරන් දුන්නෙ උන්නාන්සෙ. ගමක් හදපු හාමුදුරුනමක්.
විශ්වවිද්‍යාලෙ පටන් ගන්නකම් මොකද කළේ?
මම ගාල්ලෙ හෝටලේක වේටර් වැඩක් කළා. මමයි යාළුවකුයි තමයි ගියේ. රෑ 11ට නිදාගෙන ආයෙත් උදේ 2ට නැගිටලා හෝටලේ වැඩ කරපු කාලයක් ඒක. උදේ 2ට නැගිටලා පාන්ගෙඩි 500ක විතර පිටපොත්ත ගහන්න ඕන. ඊට පස්සෙ චෙෆ්ට උයන්න අවශ්‍ය කරන එළවළු කපන්න ඕන. සතියක් විතර යනකම් හරියට කෑවෙවත් නෑ. මොකද අපි කනවා නම් වැඩ කරද්දි කන්න ඕන කියලා තේරුණේ නෑ. මගේ යාළුවා ලෙඩ වෙලා එපා වෙලා ගියා. කාලයක් යද්දි හෝටලේ කළමනාකරු මා එක්ක හිතවත් වුණා. ඒ මම වැඩ කළ හැටි දැකලා. දවසක් අයියා ආවා මම විශ්වවිද්‍යාලෙට තේරිලා කියලා කියන්න. එදා හෝටලේ කළමනාකාර මහත්තයටත් හොඳටම තරහ ගියා මම බොරු කිව්වා කියලා.
මොන විශ්වවිද්‍යාලයට ද ඔබ යන්නෙ
මම රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තමයි යන්නෙ. පළවැනි දවසෙ මම තාත්තාත් එක්ක ආවෙ. මම විශ්වවිද්‍යාලයට අතුළත් වෙලා සතියකින් මී උණ හැදිලා තාත්තා නැති වුණා. මම අනික් පැත්තට ගෙදර ආවා.
එකපාරම තාත්තා නැති වෙන්නෙ. ඇයි ප්‍රතිකාරවලට යොමු කරලා නැත්තෙ?
ඇත්තටම දරිද්‍රතාව කියන එක කොහොම එකක් ද කියන එක පිට ඉඳන් තේරුම් ගන්න බෑ. දරිද්‍රතාවෙන් බැට කද්දි අපිට අපි අමතක වෙනවා. කකුලෙ තුවාලයක් තියෙද්දිත් තාත්තා කුඹුරෙ වක්කඩ බඳින්න යන්නෙ ඒකයි. නැත්නම් දරු පවුල නඩත්තු කරන්නෙ කොහොමද? රෝහලට යන එක ඒ ක්‍රමය ඇතුළෙ ද්වීතීයික දෙයක්. අම්මත් එක්ක අපි දරුවො තුන්දෙනෙක් තනි වෙනවා.
තාත්තාගේ නික්ම යෑමත් එක්ක ඉදිරි වැඩ කොහොමද තීරණය වුණේ.
මම හිතුවා මම කැම්පස් යන්නෙ නෑ කියලා. හැබැයි විශ්වවිද්‍යාලෙ යාළුවො හැමෝම මට කිව්වෙ විශ්වවිද්‍යාලෙට එන්න කියලා. එයාලා එක එක විදියට උදව් කරන්න පොරොන්දු වුණා. මහපොළ ශිෂ්‍යත්වෙත් හම්බු වුණා. ගුරුවරු වගේම තවත් බොහෝ අයත් මට උදව් කරන්න ඉදිරිපත් වුණා. ඒ වුණාට මට ඕන වුණා මටම නැඟිටින්න.
ගාල්ලෙ ටියුෂන් කරන්න පටන් ගත්තෙ ඒ නිසාද?
උසස්පෙළ භෞතික විද්‍යාව මට හොඳට පුළුවන්. මම උදේ දේශනවලට යනවා. හවස පටන් ගන්න ටියුෂන් එක මම රෑ 2 වෙනකම් එක දිගට කරනවා. ඒ කාලෙ මම කොච්චර අමතර පන්ති කළා ද කියනව නම් අවුරුද්දක් ඇතුළත අලුත්ම මෝටර් සයිකල් එකක් ගත්තා. ඒතරම් මම සාර්ථක වුණා. මම දෙවැනි අවුරුද්දෙ ටියුෂන් කරන එක නැවැත්තුවා. මොකද මගේ පළමුවැනි අවුරුදු දෙකේ ප්‍රතිඵල එච්චර හොඳ වුණේ නෑ. ඉතින් මම විශ්වවිද්‍යාලෙ වැඩවලට මූලිකත්වය දෙන්න ඕන කියලා හිතුවා. අවසාන අවුරුදු දෙකේ මම හොඳම ප්‍රතිඵල ගත්තා.
විශ්වවිද්‍යාලෙන් ඉවත් වුණාට පස්සෙ මොකද්ද පළමුවැනි රැකියාව?
මට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ රැකියාව ලැබුණා. අනුරාධපුර කලා වැව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙක් විදියට වැඩ පටන් ගත්තා. ඊට පස්සෙ තඹුත්තේගම රාජාංගණයේ ඉංජිනේරුවෙක් විදියට වැඩ කළා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවෙත් අවුරුද්දක් විතර වැඩ කළා. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාගයෙන් මම ඉහළින් සමත් වෙලා මම කොළඹ නගර සභාවට ආවා. ඒ කාලෙත් මම සල්ලිත් ඉතිරි කරගන්න ඕන නිසා මගේ යාළු අයියා කෙනෙක් එක්ක රේස් බුකියක බිම නිදා ගත්තෙ. ඒ කාලෙත් මම රෑ 10 වෙනකම් වෙන ආයතනයකත් වැඩ කළා.
ඒ කියන්නෙ ඔබ මුදල් එකතු කරන්න පටන් ගන්නවා
ගොඩක් අය ජීවිතේ පටන් ගන්නෙ කැම්පස් එකෙන් පස්සෙ. ඒ වුණාට මගේ ජීවිතේ පටන් ගත්තෙ අවුරුදු 8 දී. මට ඒකෙ අතරමැද කෑල්ලක් විතරයි කැම්පස් ජීවිතේ කියන්නෙ. මම ලංකාවෙන් යනකම්ම මම දවසෙ පැය 24න් 22ක්ම වැඩ කරලා තියෙනවා. ඒක මට ආවෙ අර හොටෙල් එකේ වැඩ කරපු එකෙන් ලැබුණු ආභාසෙන්. අද මම දවසට පැය දෙකක් විතර තමයි ඇත්තටම වැඩ කරන්නෙ. ඒ තත්ත්වෙට එන්න මම ගොඩක් දුක් වින්දා. කතාවකුත් තියෙනවානෙ මහන්සි වෙන්න ඕන කාලෙ හාන්සි වුණොත් හාන්සි වෙන කාලෙ මහන්සි වෙන්න වෙනවා කියලා. මට තාම 40ක් වත් නෑ. මට හතළිහේදී මම විශ්‍රාම ගන්නවා. අපට එහෙම විශ්‍රාම ගන්න අයිතියකුත් තියෙනවා. මොකද මට හතළිහක් වෙනකොට මම අවුරුදු 30ක් ම වැඩ කරලා.
ඔබ විදේශගත වෙනවා. ඒ අත්දැකීම කොහොමද?
මම ඉතාලියට යන්නෙ ආචාර්ය උපාධිය හදාරන්න. මම එහේ විශ්වවිද්‍යාලෙ ගිහිනුත් මේ විදියටම තමයි වැඩ කරන්නෙ. මම හවස පීසා බෙදන්න ගියා. ගෙවල්වලට පත්තර බෙදන්න ගියා. පස්සෙ මම තව ළමයිත් අරන් ඒ වැඩේ කළා. එකම දේ මම මත් වෙලා ජීවිතේ මඟ හැර ගත්තෙ නෑ. හැබැයි මම හම්බු කරනවා; වියදම් කරනවා. මම හරියට යුරෝපයේ ඇවිද්දා. රටවල් 38කට මම ඒ කාලෙ ගියා. ඒ වගේම මම මගේ ආචාර්ය උපාධියත් හරි වෙලාවට ඉවර කළා. ඒ අතරෙ සල්ලිත් හෙව්වා.
ලංකාවට ඇවිත් මොකද කරන්නෙ
මම ආවෙ යන්න බලාගෙන. අපේ රටේ අවස්ථා තියෙනවා ඕනෑම කෙනකුට දියුණු වෙන්න. මම විදේශිකයන්ට සංචාරක බස් සේවාවක් ආරම්භ කළා. මම ම තමයි ඒකෙ රියැදුරා, මඟ පෙන්වන්නා. මම දුන්නු සේවාව නිසා මට ගොඩක් විදේශිකයන්ගෙන් ඉල්ලුමක් තිබුණා. ඒක මම දියුණු කළා. මම විවෘත විශ්වවිද්‍යාලෙ පූර්ණ කාලීන දේශකයෙක් වුණා. ඒ අතරෙ තමයි Eco International පටන් ගත්තෙ. අද ලංකාවේ උපදේශන සේවාවලට තියෙන ලොකුම ආයතනයත් මේක.
කොහොමද ඔබේ සේවකයන් හා ගනුදෙනු කරන්නෙ
අපේ කාර්යාලය වෙනස්. ඇඟිලි සලකුණු තියන ඒවා මෙහේ නෑ. මේ හැමෝටම ඉන්න ගෙවල් දීලා තියෙනවා. ගෙදර ඉඳන් එන අයට ඒවාට අවශ්‍ය පහසුකම් සම්පාදනය කරලා තියෙනවා. සමහරු අද උදේ ඇවිත් හෙට යනවා වෙන්න පුළුවන්. අපි මේකට පවුල් සංකල්පයක් දීලා තියෙනවා. තමන්ගේ පවුලෙ අය වගේ අනෙක් කෙනාව මේ අය ආරක්ෂා කරනවා. ඒ වගේම ඒ අයට සංචාරය කරන්න, විනෝද වෙන්න අවස්ථා හදලා තියෙනවා. සමානාත්මතා සංකල්පයක් තියෙන්නෙ. අතුගාන කෙනාගෙ ඉඳන් මම දක්වා සියල්ලන්ටම මේ අවස්ථා ලැබෙනවා. අපි ලබන මාසෙ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල අපේ කාර්යාලයක් විවෘත කරනවා. ගොඩක් අපි වැඩ කරන්නෙ විදේශ රටවල් එක්ක. කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් සම්බන්ධ භාණ්ඩ බෙදා හරින ප්‍රධාන ව්‍යාපාරිකයෙක් මම. මට අවිස්සාවේල්ලෙ තේ වත්තක් තියෙනවා. මිනිස්සුන්ට පිළිකා දෙකක් තියෙනවා. එකක් කුහකකම. අනෙක මාන්නය. මේ දෙක හැදුණොත් ඉවරයි. මේ දෙකට එරෙහිව තියෙන එකම දේ මනුස්සකම. මම ප්‍රගුණ කරන්නෙ ඒක.
කවුද ඔබේ ජීවන සහකාරිය
මම විවාහ වෙන්නෙ 2011 දී. ඇය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරුවරියක්. ඇගේ නම ඉනෝකා රණමුක
දරුවන්
මට ඉන්නෙ පුතාලා තුන්දෙනෙක්. ලොකු පුතා සෙනුජ, දෙවැනියා තෙනුක, තුන්වැනියා ප්‍රනුත්
මොනවද විනෝදාංශ
මම බැඩ්මින්ටන් ගහන්න කැමැතියි. ඒ වගේම වගා කරන්න කැමැතියි. ධනාත්මකව සිතන්න පුරුදු කිරීමක් කරනවා. මට කඩවත අක්කර පහක විතර කුඹුරක් තියෙනවා. අපි ගෙදර පාවිච්චියට ගන්න එළවළු මම වගා කරනවා. ඒ වගේම ඉරිදාට මම උයනවා. එදාට ගෙදර අයට නිවාඩුවක් දෙන්න මම කැමැතියි.
බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ
පොඩි කාලෙ සල්ලි තිබුණෙ නෑනෙ. එක ඇඳුමයි තිබුණෙ. වැස්සොත් ඊට පස්සෙ දවසෙ ඉස්කෝලෙ යන්න වෙන්නෙ නෑ. දැන්නම් ඇත්තටම රට ගියාම තමයි ඇඳුම් ගන්නෙ. තාත්තා නැතිවුණු දවසෙ ඉඳන් මේ වෙනකම් මම අඳින්නෙ සුදු පාට ඇඳුම් විතරයි. ඉතින් බ්‍රෑන්ඩඩ් තමයි ගන්නෙ.