ගෙදරින් ඇවිත් පැයක් යන්න කලින් කෝටිපති සමාගම් අධ්‍යක්ෂගේ ගෙල හිර කළ හැටි | සිළුමිණ

ගෙදරින් ඇවිත් පැයක් යන්න කලින් කෝටිපති සමාගම් අධ්‍යක්ෂගේ ගෙල හිර කළ හැටි

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබාගැනීම වෙනුවෙන් 2000 අවුරුද්දේදී එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ එවකට සිටි සභාපති ජී.එස්. වික්‍රමසිංහව පැහැර ගැනීම ඉතිහාසගතව ඇත්තේ ඉහළ පෙලේ ව්‍යාපාරිකයෙකුව පැහැරගෙන ගොස් ලබාගත් ලොකුම කප්පම් මුදල එය ලෙස සනිටුහන් වෙමිණි.

අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව භීතියෙන් සලිත කලාවූ ජී.එස්. වික්‍රමසිංහගේ පැහැරගැනීමෙන් පසු නැවත් එවන් බියක් අපේ රටේ ඉහළ පෙලේ ව්‍යාපාරික ප්‍රජාවට දැනෙන්නට ගත්තේ මෙරට ප්‍රකට ව්‍යපාරික පවුලක සාමාජිකයෙක් වන ජනශක්ති ඉන්ෂූරන්ස් හී සභාපති චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුත් දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනයත් සමගිනි. First Capital Holdings PLC සහ එහි අනුබද්ධිත සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබූ දිනේෂ් ෂාෆ්ටර් මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 25කට අධික අත්දැකීම් ඇත්තෙකි. ඔහුව සැළකෙන්නේ ව්‍යාපාර තක්සේරු කිරීම්, ප්‍රතිව්‍යූහගත කිරීම් ඇතුළු ව්‍යාපාර පරාසයන් රැසක විශේෂඥයකු ලෙසිනි.

ව්‍යාපාරික ලෝකයේ ඉහළටම යමින් සිටි දිනේෂ් ෂාෆ්ටර්ව ඝාතනය වන්නේ බොරැල්ල පොදු සුසාන භූමියේදීය. ඒ මෝටර් රථයක් තුළ අමානුෂික වද බන්ධනයන්ට ලක්කරමිනි. ඒ ඉකුත් 15 වෙනිදාය.

දිනේෂ් ෂාෆ්ටර් වැඩි කාලයක් ගත කරනු ලබන්නේ එංගලන්තයේය. ව්‍යාපාරික කටයුතු කිහිපයක් වෙනුවෙන් මෙරට රැඳී සිටි දිනේෂ් ෂාෆ්ටර් අභිරහස් ලෙස ඝාතනය වන්නේ දින දෙක තුනකින් එංගලන්තයට යන්නට සූදානමින් සිටියදීය.

සැකසංකා රැසක් මතු කරමින් සිදුවූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයේ අභිරහස විසඳීමේ කටයුත්ත පොලිස්පතිවරයා විසින් මේ වන විට පවරා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ මෙම ඝාතනයත් සමඟ ඉහළ ව්‍යාපාරික ප්‍රජාව දැනටමත් කැලඹී සිටින බැවින් පොලීසියේ උපරිම ශක්තිය යොදා ඝාතකයා කොටුකර ගැනීම වෙනුවෙනි. 

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සිදුවී ඇති ආකාරය දෙස බැලීමේදී නම් පෙනී යන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ඝාතනයේ අභිරහස විසදමින් ඝාතකයා කොටුකර ගැනීමට එතරම් කාලයක් ගත නොවනු ඇති බවය.

දිනේෂ් ෂාෆ්ටර් මෙරට රැඳී සිටියේ කොළඹ මල්පාරේ පිහිටි නිවසේය. ඔහුගේ බිරිය ටානි ෂමින් ෂාෆ්ර් පොලීසියට පවසා ඇත්තේ සිය සැමියා මෙම අපරාධය සිදුවූ 15 වෙනිදා සවස 2.00ට පමණ නිවෙසින් පිටත් ව ගියේ පැය භාගයකින් නිවසට පැමිණෙන බව පවසමින් බවකි. ඒ ඔහුට අයත් wp KU-8731 අංකය දරන මෝටර් රථයේ නැඟීය. එදා ඔහු නිවෙසින් එසේ පිටත්ව යන්නේ ද රියදුරු නොමැතිව රථය ඔහුම පදවාගෙනය. ඒ යන්නේ කෙහේටදැයි කාව හමුවීමටදැයි කියා පැහැදිලි කිසිවක් ඇයට කියා තිබුණු බවක් නම් අනාවරණය වන්නේ නැත. ඇය පවසන්නේ සිය සැමියා නිවෙසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට දුරකතන ඇමතුම් ගත්ත ද ඊට ප්‍රතිචාර නොවූ තැන කෙටි පණිවුඩයක් ඒ ගැන විමසා යොමු කළ බවය. ඇය කලබල වන්නේ දිනේෂ් ෂාෆ්ටර් එම කෙටි පණිවුඩය නොබලා ඇති බව ටික වේලාවකට පසුව පරීක්ෂා කිරීමේදී පෙනී යන්නට වූ බැවිනි. ඇය සැමියා රැඳී සිටින ස්ථානය (Location) සිය ජංගම දුරකතන යෙදුමක් ඔස්සේ පරීක්ෂා කර බලන්නේ එවිටය. එහිදී ඇය පෙනී යන්නේ සිය සැමියාගේ ජංගම දුරකතනය බොරැල්ල පොදු සුසාන භූමිය අසල ඇති බවකි.

මෙහිදී ඇගේ මතකයට එකවරම එන්නේ සිය සැමියාගේ මිතුරෙක් වන ක්‍රිෂ් පෙරේරාවය. ඇය මේ ගැන ඔහුට පවසමින් කෙටි පණිවුඩයක් ඔස්සේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනය ක්‍රියාත්මකව ඇති ස්ථානය යොමු කරනු ලබන්නේ ඒ ගැන යම් විපරමක් කරන්නැයි දැනුම් දෙමිනි.

එහිදී ක්‍රිෂ් පෙරේරාගෙන් ඊට ප්‍රතිචාර ලැබෙන්නේ දිනේෂ් ෂාෆ්ටර් විසින් තමාට ද ඔහු ඉන්නා ස්ථානය ගැන දන්වා ඇති බවය. ටානි ෂමින් ඔහුට දැනුම් දෙන්නේ ඒ ගැන යම් විපරමක් කරන ලෙසය.

ඊට ටික වේලාවකට පසු ඇය සිය සැමියා වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තාය. එවිට වේලාව පස්වරු 3.17ට පමණ ඇත. එහිදී සැමියා වෙනුවට ඊට ප්‍රතිචාර දක්වන්නේ වෙනත් පුද්ගලයෙකි. එම පුද්ගලයා එහිදී ඇයට කියන්නේ හැකි ඉක්මනින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට පැමිණෙන ලෙසය. සිය සැමියා බොරැල්ල පොදු සුසාන භූමියේදී මාරාන්තික ප්‍රහාරයකට ලක්ව සිට ඇති බව මෙන්ම ඔහු ඒ වන විට ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් ඇතැයි ඇය දැන ගන්නේ කොළඹ ජාතික රෝහලට පැමිණි පසුවය. 

බොරැල්ල පොදු සුසාන භූමියේ දේවි බාලිකා විද්‍යාලය පැත්තෙන් ඇති ආදාහනාගාරය ආසන්යේ ඇති ගුවන් හමුදා ස්මාරකය අසල ඇති 09 වැනි පටුමගේ නතර කර තිබුණු මෝටර් රථයේ මරණයේ වේදනාකාරී අත්දැකීමක් විඳිමින් සිටි දිනේෂ් ෂාෆ්ටර්ව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත රැගෙන විත් තිබුණේ ඔහුගේ මිතුරා වූ ක්‍රිෂ් පෙරේරාය.

ක්‍රිෂ් පෙරේරාට දිනේෂ්ව ෂාෆ්ටර්ව හමුවන්නේ ඔහු සිය නිවසේ සිට පිටත්වූ මෝටර් රථයේ රියදුරු අසුනේ ගැට ගසා සිටියදීය. දෑත් මෙන්ම ඔහුගේ ගෙල සිර කර තිබුණේ ප්ලාස්ටික් කේබල් ටයි යොදාය. ගෙල සිර කර තිබුණේ රියදුරුඅසුන ද සමඟ සිර වෙන්නටය.

සිය මිතුරාව එසේ සිටිනු දුටු ක්‍රිෂ් පෙරේරා කොතරම් කලබල වන්නේ දැයි කිවතොත් ඔහු පැමිණි වාහනය අතහැර දමා සිය මිතුරාව රෝහල කරා රැගෙන යන්නේ කෑගසා සුසාන භූමියේ කම්කරුවකු එතැනට ගෙන්වා ගෙන ඔහුගේ සහය ඇතිව බැඳ තිබූ රැහැන් කපා දමාය.

මේ ගැන පොලිසිය ක්‍රිෂ් පෙරේරාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. ඒ ඔවුන් දෙදෙනා අතර පවතින සම්බන්ධකම් ගැන පවා විමසමිනි. එහිදී ක්‍රිෂ් පෙරේරා පවසන්නේ තමා වසර 19ක් තිස්සේ දිනේෂ් ෂාෆ්ටර් යටතේ සේවය කරන අයෙක් බවය. එසේම තමා සමාගමක අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද කටයුතු කරන බව ඔහු පොලිසියට කීවේය.

දිනේෂ් ෂාෆ්ටර් එදා හදිසියේම පැය භාගයකට යැයි කියා නිවෙසින් එළියට බැස්සේ ඇයි දැයි කියන්නේ ද ක්‍රිෂ් පෙරේරාය. ඔහු පවසන්නේ දිනේෂ් ෂාෆ්ටර් එදා නිවසින් පිටතට ගියේ බී.ටී.ව මුණ ගැසීමට බවය. දිනේෂ් ෂාෆ්ටර් බී.ටී. යැයි කීවේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් වූ බ්‍රයන් තෝමස්ටය. එහිදී ඔහු කියන්නේ බ්‍රයන් තෝමස් විසින් දිනේෂ් ෂාෆ්ටර්ගෙන් රුපියල් කෝටි 160ක මුදලක් ලබාගෙන ඇති බවත් එය ලබා නොදීම සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් පවා පැවති බවය. එම නඩුවෙන් දිනේෂ් ෂාෆ්ටර් ජය ගත් බවත් තවත් නඩුවක් කොළඹ මහේත්‍රාත් අධිකරණයේ බ්‍රයන්ට එරෙහිව පවරා ඇති බවත් ක්‍රිෂ් පෙරේරා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කීවේය. ක්‍රිෂ් පෙරේරා කී මේ දේවල් ගැන යම් සොයා බැලීමක් කිරීමට පොලිසිය අමතක නොකළේය. රුපියල් මිලියන 134ක වංචාවක් සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස් බන්ධනාගාරගතව සිට ඇති බව මෙන්ම ඒ සම්බන්ධයෙන් ඔහු මේ වන විට සිටින්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබූ ඇපයක් මත බවත් එහිදී පොලිසියට පෙනී ගියේය. එම මූල්‍ය වංචාව ගැන ඔහුට එරෙහිව පැමිණිල්ල දිනේෂ් ෂාෆ්ටර්ගේය. ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර් විසින් 2019 වසරේ මාර්තු 20 වෙනිදා ද බ්‍රයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණේය. ඒ රුපියල් බිලියන 1.4ක් සම්බන්ධයෙන් වූ ගනුදෙනුවකට අදාළවය. එම මුදල් ගනුදෙනුවට බ්‍රයන් සම්බන්ධව සිට ඇත්තේ අතරමැදියෙක් ලෙස පමණි. 

මේ දේවල් සියල්ල පොලිසිය සොයන්නේ දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියදීය. පැය කිහිපයක් පුරාවට ජීවිතය හා මරණය අතර දැඩි සටනක නිරත වූ දිනේෂ් ෂාෆ්ටර් අභිරහස් ගොන්නක්ම ඉතිරි කරමින් අවසන් හුස්ම පොද වාතලයට මුසු කරනු ලබන්නේ රාත්‍රී 10.30ට පමණය.

ඒ වන විට මෙම අපරාධය විසඳීමේ වගකීම පැවරී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මිනීමැරුම් විමර්ශන කොට්ඨාශයටය. එහි නිලධාරීන් මහා රෑම වැඩට බැස්සේ මෙම අපරාධය ඒ වන විටත් රටේ ඉහළම තැන් පවා සලිත කර තිබුණු බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙහිදී පෙනී ගොස් ඇති ඉතා වැදගත් යමක් වන්නේ දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියට රැගෙන ආ පුද්ගලයා එහි පිහිටීම ගැන හොද අවබෝධයක් ඇති අයෙක් වන බවය. නැතිනම් එවැනි තැනක මෝටර් රථය නතර කර මෙම අපරාධය එහි සිට කරන්නේ නැත.

බොරැල්ල පොදු සුසාන භූමිය මෙම අපරාධය සඳහා යොදා ගන්නට ඇත්තේ ඇතැම් විට ඝාතකයාට ආරක්ෂිතම තැන බොරැල්ල පොදු සුසාන භූමිය බව හැඟී ගිය නිසා ද නැතිනම් ඔහු සුසාන භූමිය හා සම්බන්ධ කමක් ඇති නිසාදැයි ඇත්තේ දැඩි ගැටලුවකි.

මෙම ඝාතනයේ සැකයේ ඇගිල්ල දැනටමත් දිගුවී ඇත්තේ බ්‍රයන් වෙතය. ඒ දිනේෂ් ෂාෆ්ටර් නිවසින් පිටව යන්නේ බ්‍රයන්ව මුණ ගැසීමට යැයි කියා බව කියැවෙන බැවිනි. සැබෑ ලෙසම ඔහු නිවසින් එළියට ආවේ බ්‍රයන්ව මුණ ගැසීමට ද නැතිනම් වෙනත් අයෙක් මුණ ගැසීමටදැයි සොයා ගැනීමේ අභියෝගය භාරවී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් වෙතය. මෙම අපරාධය කවුරුන් විසින් කළේ දැයි මෙම ලිපිය සටහන් තබන 16 වෙනි සිකුරාදා සවස් වන තුරුම තහවුරු කරගෙන නොතිබුණි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන බ්‍රයන්ගෙන් ප්‍රශ්න කරන්නට නම් අමතක නොකළේය. ඒ හැරුණු කොට දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනය ඇතුළු දුරකතන රැසක් ජාල පරීෂාවකට ද ලක්කර ඇත්තේ විවිධ පැතිකඩ ඔස්සේ මෙම අපරාධය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන විහිදී යමින් ඇති බැවිනි. මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් මල්පාරේ පිහිටි නිවසින් පිටතට පැමිණි මොහොත් සිට ඔහුගේ ගමන් මඟ ගැන ද ආරක්ෂක කැමරා දත්ත විශ්ලේණයක් ද සිදු කරමින් ඇත්තේ ඒ ඔස්සේ ද වැදගත් තොරතුරු රැසක් අනාවණය කර ගැනීමේ අපේක්ෂාව ඇතිවය. 

බ්‍රයන්ගේ දෙසට මෙහිදී සැකයේ ඇගිල්ල හැම තැනින්ම එල්ල වූවත් වෙනස්ම පැතිකඩක් මෙම ඝාතනය හා බැඳී තිබීමට ද ඇති ඉඩකඩ බොහෝය. එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම විමර්ශනය සිදු කරනුයේ නිරවුල් මනසකින් සෑම පැතිකඩක් කෙරෙහිම සිය අවධානය යොමු කරමිනි.

ඒ අතර කොළඹ දකුණ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය ද සියුම් පරීක්ෂාවකට ලක්කර තිබුණි. එහි තිබී රෝම කූප 04ක්, ස්ර්වියට් එකක් ද රියදුරු අසුනෙන් කෙඳි සාම්පලයක් සහ ඔහුව ගැටගසා තිබුණු ප්ලාස්ටික් කේබල් ටයි කිහිපයක් ද සොයා ගත්තේය. මේ ද්‍රව්‍ය සියල්ලක්ම යොමු කිරීමට නියමිතව ඇත්තේ ඩී.එන්.ඒ පරීක්ෂාවක් සඳහා රස පරීක්ෂකවරයා වෙතය. ඒ මෙම සාම්පල්වලින් ඝාතකයා ගැන විද්‍යාත්මක සාක්ෂි රැස්කර ගැනීම සඳහාය.

Comments