
සෞඛ්‍ය තත්ත්වයට මුල්තැනදී සිය නිල වාහනය නොගෙන අතුරුගිරියේ සිට පාපැදියෙන් ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව බලා ගමන් කරමින් සිටි ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් අධ්‍යක්ෂ ඉංජිනේරු ශාන්ත මානාභරණ මඩවලගම පසුගිය 06 වැනිදා අවසන් ගමන් ගියේ හෘදයාබාධයක් වැලදීමෙනි. මෙම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය කලඹන ප්‍රවෘත්තියක් බවට පත් වූයේ හෙතෙම මෙරට සිටි වටිනා රාජ්‍ය නිලධාරිකු වූ නිසාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අවංක ගුණගරුක ඍජු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ හෙතෙම එය තම පැවැත්මෙන් ම ස්ඵුට කළ විසල් මිනිසකු විය.
ශාන්ත මානාභරණ මඩවලගම එම්. මඩවලගම සහ නන්දා යන දෙගුරුන්ට දාව 1968 සැප්තැම්බර් 23 වැනිදා ගොතටුව කජු ගහවත්ත ග්‍රාමයේ මෙලොව එළිය දුටුවේය. සහෝදරයන් පස්දෙනකුගෙන් යුතු පවුලේ හෙතෙම බාලයා විය. ශාන්ත අයනු ආයනු කීවේ දෙමටගොඩ වේළුවන මහා විද්‍යාලයෙනි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වූ ශාන්ත කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය. හයවන වසරේ සිට උසස් පෙළ දක්වා හෙතෙම කොළඹ ආනන්ද විද්‍යාලයේ අකුරු කළේය. අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් දැක්වූ හෙතෙම ගණිත අංශයෙන් ඉතා ඉහළින්
![]() |
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් අධ්‍යක්ෂ ශාන්ත මනාභරණ මඩවලගම |
සමත්ව මොරටුව සරසවියට ඇතුළත් විය. එහිදී ඔහු සිවිල් ඉංජිනේරු අංශය තෝරා ගත්තේය. වඩා ප්‍රගතිශීලී අදහස් දැරූ හෙතෙම නොබෝ කලකින්ම මොරටුව සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණ දෙන ගැටලුවලදී ගුරුවරුන් සමඟ අද මෙන් ගැටුමට නොගිහින් බුද්ධිමත්ව සාකච්ඡා මාර්ගයෙන් ඒ ගැටලු විසඳා ගැනීමට හේ සමත් විය. මොරටුව සරසවියේ පළමු වසර සඳහා පැමිණෙන නවක සිසුන්ට නවක වදය ලබා දෙනවා වෙනුවට නවකයන් සුහදව පිළිගන්නා අවස්ථාවක් බවට පත් කළේ ශාන්ත මානාභරණ මඩවලය. ඔහු බොහෝදෙනාට ළෙන්ගතු විය. තමන් දන්න දේ නොසඟවා අන්‍යයන් සමඟ බෙදා හදා ගත්තේය. ඔහුට තම ජීවන සහකාරිය හමුවන්නේ ද මොරටුව සරසවියේදීය. නාමලී නම් වන ඇය ඔහුගේ බැච් එකේ ම යුවතියක වූවාය.
1995 දී සරසවියට සමුදෙන හෙතෙම කුරුණෑගල ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ සිවිල් ඉංජිනේරුවරයකු වශයෙන් සේවයේ නියුතු වන්නේය. මෙලෙස රැකියාව කරමින් සිටින අතරතුර ඔහු නාමලී හා අතිනත ගත්තේය. ඇය මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරියක ලෙස සේවය කරයි. පසුව කුරුණෑගලින් කොළඹට පැමිණෙන ශාන්ත මානාභරණ කොළඹ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස පත් වේ.
මෙම කාලය වන විට හෙතෙම ශ්‍රී ලංකා වරලත් ඉංජිනේරු ආයතනයේ ආචාර්යවරයකු ලෙස ද කටයුතු කළේය. එහිදී සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ ශාන්ත බොහෝ ශිෂ්‍ය ප්‍රජාවකගේ ආදරණීය ගුරුවරයා බවට පත් විය. ඉංජිනේරු ක්ෂේත්‍රයේ කටයුතු කරන බොහෝ දෙනා අදත් ඔහු පිළිබඳව ඉමහත් ගෞරවයෙන් කතා කරනුයේ ඒ හෙයිනි. සමහරුන් ප්‍රකාශ කර සිටියේ ඔහුට කෙනකු තුළ සිවිල් ඉංජිනේරු විෂය සම්බන්ධයෙන් මහත් අභිරුචියක් දැනෙන පරිදි ඉගැන්විය හැකි බවයි.
කොළඹ කෞතුක අගයෙන් වටිනා ඉතාම වැදගත් ගොඩනැඟිලි බොහෝමයක් ඔහුගේ අධීක්ෂණය යටතේ පැවතීම විශේෂය. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තු සංකීර්ණය වැනි ඉතා වැදගත් ගොඩනැඟිලි සම්බන්ධයෙන් වගකීම පැවරී තිබුණේ ඔහුටය.
ඒ අතර ප්‍රධානය. ආකෘතික සැලසුම් ඉංජිනේරුවරයකු ලෙස එහිදී ඔහුගේ දායකත්වය ඉතා විශිෂ්ට විය. මෙනිසා බොහෝමයක් නිල නිවාස සම්බන්ධයෙන් වගකීම ද ඔහු වෙත පවරා තිබුණි. ඔහු ඉන්ජිනේරුවරයකු වශයෙන් එම වගකීම කොතරම් හොඳින් ඉටු කළේ ද යත් බොහෝ අමාත්‍යංශ ලේකම්වරු බොහෝ සමීප සම්බන්ධතාවයක් ඔහු සමඟ ගොඩනඟා ගෙන තිබුණි. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ තම රැකියාවෙන් ලැබෙන වැටුපට අමතරව කිසිදු මුදලක් ඉපයීමට හෝ ලබා ගැනීමට හේ කිසිවිටෙක කටයුතු නොකළේය. එපමණක් නොව සතුටු සිතින් හෝ කෙනකු එවැනි මුදලක් පිරිනැමුව ද ඔහු එය ප්‍රතික්ෂේප කළේ එය තම වෘත්තියේ වගකීම ඉටු කිරීමක් බව පෙන්වා දෙමිනි. ඇත්තෙන්ම ශාන්ත මානාභරණ මඩවලගම යනු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සිතට එකඟ ව වැඩ කළ අවංක රාජ්‍ය නිලධාරියෙකි.
වර්ෂ 2003 දී පමණ ඉන්දියාවේ ඉදිකර තිබූ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අලුත්වැඩියා කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කිරීමට යෝජිතව තිබියදී, එම අලුත්වැඩියාව ටෙන්ඩර් කිරීමකින් තොරව සිදු කිරීමට ශ්‍රී ලංකා ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවට බාර විය. එහි වගකීම පවරා තිබුණේ ශාන්ත මානාභරණටය. වසර දෙකක පමණ කාලයක් ඉන්දියාවේ ගත කළ ශාන්ත ලංකාවෙන් පිටතට යෑමට තිබූ අති විශාල මුදලක් ඉතිරි කරදීමට සමත් විය. එසේ වුවත් තම වැටුපට අමතරව තඹ ශතයක මුදලක් වැඩිපුර ගැනීමට හෙතෙම අකමැති විය. මෙනිසා ගොඩනැඟිලි දෙපාර්තමෙන්තුවේ පරමාදර්ශී චරිතයක් ලෙස ශාන්ත මානාභරණ මඩවලගම කැපී පෙනුණේය. එනිසා බොහෝ දෙනා ඔහුට ගෞරව කළේය. ඔහු කලක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉංජිනේරු තනතුරෙහි සේවය කළේය.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු අවසන් කර ඔහු පෙරළා ලංකාවට පැමිණෙන විට ජනාධිපති ලේකම් කාර්යාලය අලුත්වැඩියා කිරීමේ කාර්ය ආරම්භ කර තිබිණි. ඒ සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු වූයේ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා වශයෙන් කටයුතු කළ ශාන්ත මානාභරණගේ අධීක්ෂණය යටතේය.
ශාන්ත මානාභරණට ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවෙන් අධිකරණ සේවා මණ්ඩලයට අධ්‍යක්ෂකවරයකු ලෙස මාරුවක් ලැබුණි. හෙතෙම ඒ වනවිටත් නීතිඥයකු ලෙස දිව්රුම් දී සිටිය ද ඔහු කිසිවිටෙක නීතිඥ වෘත්තිකයකු ලෙස කටයුතු කර නොතිබුණි. සිවිල් ඉන්ජිනේරුවරයකු වූ හෙයින් හෙතෙම නීතිඥයකු ලෙස කටයුතු කිරීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ පිළිබඳ විමසූ විට හෙතෙම ප්‍රකාශ කර සිටියේ “ මම මුදලට යටවී සිලිඳුලා සිරගෙවල් වලට යවන්න කැමති නැහැ.
ඒ නිසා මා ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කරනවා මිස නීති වෘත්තියට යන්නේ නැහැ” කියාය. ඔහුට සිවිල් ඉන්ජිනේරු වෘත්තිය පිළිබඳ කෙතරම් ප්‍රාමාණික දැනුමක් තිබුණ ද සිය වෘත්තිය හෝ දැනුම කිසිදු අවස්ථාවක මුදලට පාවා නොදුන්නේය. මේ නිසා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සේවය කරන සෑම දෙනාගේම විශ්වාසය හා ගෞරවාදරයට හෙතෙම පාත්‍රව සිටියේය. එසේම ඔහුගේ මිතුරන් ලෙස සිටි රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් පවා ඔහුගේ මේ ගුණයට ගෞරව කළේය. ඒ ඔහු විසින් ගෙන ගිය ක්‍රියාපටිපාටිය සහ ඔහු විසින් අනුගමනය කළ සමාජ ආචාර ධර්ම නිසාය. ඔහු නිරනතරයෙන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියේය. මෙනිසා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ආරාධනයෙන් ඔහු බොහෝ මැතිවරණවලදී තේරීම් බාර නිලධාරියකු ලෙස ද කටයුතු කළේය. ඒ පිළිබඳව සහෝදරයකු ලෙස තමන්ට ගෞරවයෙන් ඔහු පිළිබඳව සිහිපත් කළ හැකි බව ඔහුගේ වැඩිමහල් සොහොයුරකු වන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉංජිනේරු ජයනාත් මඩවලගම සිළුමිණ සමඟ ප්‍රකාශ කර සිටියේය.
![]() |
ශ්‍රී සුමණාරාමය විහාරස්ථානය තුළ ශාන්ත විසින් ඉදිකළ චෛත්‍යය |
ඔහු ආනන්ද විද්‍යාලයේ ඉගෙනගත් ආදි ශිෂ්‍යයකු වශයෙන් සිය පාසල වෙනුවෙන් තම යුතුකම නොපිරිහෙලා ඉටු කිරීමට වගබලා ගත්තේය. කුලරත්න ශාලාවට යාබදව ඉදි වූ සත් මහල් ගොඩනැඟිල්ල ශාන්තගේ අධීක්ෂණය යටතේ ඉඳි වූවක් විය.
ශාන්ත ඔහුගේ ප්‍රගතිශීලී අදහස් නොබියව ප්‍රකාශ කළා සේම ඒ අනුව කටයුතු කළ නිසා ඔහු වටා විශාල ජන ප්‍රජාවක් ඒක රාශී වී සිටියේය. ශාන්ත දරුවන්ට පුදුමාකාර සෙනෙහසක් දැක් වූ පියකු විය. වසර දහයක පමණ කාලයක සිට පාදුක්ක ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුදැරියන්ට නිල ඇඳුම් සහ පාසල් පොත් බෑග් උපකරණ ලබා දීම ඔහුටම පවරා ගත් වගකීමක් බවට පත් කරගෙන තිබුණි. ඒ සඳහා තම පුතණුවන් මෙන්ම සහෝදර සහෝදරියන්ගේ දුවා දරුවන්ද හෙතෙම හවුල් කර ගෙන තිබුණේ ඔහු නොමැති කාලයකදී වුව මේ වගකීම ඔවුන් අතට පත් කිරීමේ අරමුණැතිවය. සෑම වසරකම සිය මවුපියන් සිහි කර අයිඩීඑච් රෝහලට ආසන්නව තිබෙන ළමා නිවාසයට ආහාර පානවලින් සංග්‍රහ කිරීම පුරුද්දක් තරගෙන තිබුණේය.
මේ කිසිවක් ඔහු සිදු කළේ හුදු ජනප්‍රියත්වය තකා හෝ ගමේ ප්‍රභූවරයකු වීමට හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ දේශපාලකයකු වීමේ කූට උපායකින් නම් නොවේ. තමන් මෙන් අමාරුවෙන් උගෙන දවසක මේ රට බබළවන පුරවැසියන් ඇති කිරීමේ උතුම් අරමුණින් බව ඔහුගේ වැඩිමහල් සොහොයුරු නීතීඥ විජිතානන්ද මඩවලගම සිළුමිණට පැවසීය. ඔහුගේ සමීප මිතුරකු වූ ප්‍රවීණ ගත්කතුවර චූලානන්ද සමරනායක සිළුමිණට පවසා සිටියේ “මට අවසන් වරට ඔහු හමුවූවේ පසුගිය සඳුදා උදෑසන මගේ කාර්යාල කාමරයේදී. දෙසැම්බර් 21 දිනට අප යොදා ගෙන තිබූ ධර්මසිරි බණ්ඩාරනායක ඇගයුම් උලෙළ සාර්ථක කර ගැනීමට සිය සහය දෙන්නට පොරොන්දුව සිටි හේ ඊයේ තකහනියක්ම ආවේ ඒ වෙනුවෙන් සිය දායකත්වය පළ කරන්න බවත් ඔහු නිහතමානී සහ අවංක නිලධාරියෙක් බවත් ”ය.
පිටරටකට යවා ලෙහෙසියෙන් තම පුතණුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමට හැකියාව තිබියදී ඔහු තම පුතණුවන් මෙරට තුළ අධ්‍යාපනය ලැබීමට සැලස් වූ අතර ඔහුගේ පුතණුවන් ද ඔහුගේම අඩිපාරේ යමින් දිස්ත්‍රික්කයේ සිවුවැනියා බවට පත්වෙමින් මේ වනවිට මොරටුව සරසවියේ තුන්වන වසරේ ශිෂ්‍යයකු ලෙස ඉංජිනේරු විද්‍යාව හදාරයි.
එසේම ඔහු විසින් ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී චෛත්‍ය නිමවා තිබූ තාක්ෂණය උපරිම ලෙස අධ්‍යායනය කර පෙරදිග වාස්තු විද්‍යා හා ඉදි කිරීමේ දැනුම පදනම් කර ගනිමින් කිසිදු කොන්ක්‍රීට් බදාමයක් පාවිච්චි නොකර ගඩොල් හා මැටි පිරියම් කර තැනූ මෑත යුගයේ ඉදි කළ එකම චෛත්‍යය පාදුක්ක ප්‍රදේශයේ ශ්‍රී සුමණාරාමය විහාරස්ථානය තුළ ඉදි කළේය. මෑත කාලීනව සිවිල් ඉංජිනේරු විද්‍යාවේ වෙනසක් කිරීමට දායක වූ ඉදි කිරීමක් ලෙස අපට නොපැකිලිව ශාන්ත මානාභරණ මඩවල විසින් කළ මේ චෛත්‍ය හඳුන්වා දිය හැකිය.
ඔහුට සිහිනයක් තිබිණි. ඒ වෙනස් රාජ්‍ය සේවයක් පිළිබඳවය. ඔහුට සමස්ත රාජ්‍ය සේවය ගැනම තියුණු විවේචනයක් තිබිණි. එහෙත් විවේචනයන්ගෙන් නොනැවතී ඔහු රාජ්‍ය සේවයේ යහපත් වෙනසක් වෙනුවෙන් සංකල්ප නිර්මාණය කිරීමට මෙන්ම ඒ වෙනුවෙන් අනන්ත බාධක මැද වැඩ කිරීමට ද උත්සාහ දැරීය. මේ විසල් මිනිසා අප හැර යන විට පනස් හතර වැනි වියේ පසු විය. මෙවැනි රාජ්‍ය නිලධාරීන් සොයා ගැනීම කළුනික සොයනවා වැනි යුගයක ඔහුගේ මේ හදිසි වියෝව රාජ්‍ය සේවයට පමණක් නොව මුළුමහත් රටටම විශාල පාඩුවකි.
ඡායාරූප - ගයාන් පුෂ්පික