මැටි කරත්තය | සිළුමිණ

මැටි කරත්තය

මැටි කරත්තය නම් මේ කෘතිය ශුද්‍රක නම් රජකු විසින් සංස්කෘත බසින් රචිත ‘මෘච්ඡකටිකා’ නම් නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. මෙය කවර වර්ෂයක නිර්මාණය කරන ලද්දේ ද’යි නිශ්චිත තොරතුරු නොමැති අතර එය පළමු වැනි සියවසේ විය හැකි යැයි ද සඳහන්ය. ඊට අමතරව මේ නාට්‍යය හා නිර්මාණකරු ගැන සඳහන් විවිධ කරුණු අතරින් කිහිපයකි මේ.

ශුද්‍ර යනු භාරත කුල ක්‍රමය අනුව පහත්ම කුලය වන හෙයින් එනමින් රජකු සිටින්නට විධියක් නැත. ඒ අනුව මෙය කිසියම් අයකු, සමහරවිට ඔහු රජකු විය හැකිය. ආරූඪ නාමයකින් ලියුවක් විය හැකිය. මෙය පැරණි සංස්කෘත නාට්‍ය අතරින් රජ කතාවක් අන්තර්ගත නොවන එකම නාට්‍යය ලෙස පිළි ගැනේ. ‘මෘච්ඡකටිකා’ යනු දස වැදෑරුම් නාට්‍ය ෂානර අතරින් ‘ප්‍රකරණ’ නම් විශේෂයට අයත් වුවක් බව සඳහන් ය. ප්‍රකරණ නාට්‍ය යනු ඉතිහාස හෝ ප්‍රවාදගත කතන්දර ඇසුරින් ලියැවෙන නාට්‍ය නොව එදිනෙදා සිදුවීම් ඇසුරින් කෙරෙන කල්පිත නිර්මාණය. ‘මෘච්ඡකටිකා’ යනු සිවු වැනි සියවසේ භාරතයේ විසූ භාෂා නම් පුරෝගාමී නාට්‍ය රචකයා විසින් ලියා අතරමග නතර කළ ‘චාරුදත්ත’ නම් නාට්‍යයයි. එය සම්පූර්ණයෙන්ම මේ නමින් ඉදිරිපත් කිරීමක් ලෙස ශාස්ත්‍රාලීය විද්වතුන් හඳුනා ගෙන ඇත. විචාරකයන් පෙන්වා දෙන තවත් කාරණයක් වනුයේ අබිසරු ලියක් ප්‍රධාන චරිතය හෙවත් වීරවරිය ලෙස ගෙන ලියන ලද එකම සංස්කෘත නාට්‍යය මෙය බවයි.

මේ නාට්‍යයේ කේන්ද්‍රීය චරිතය චාරුදත්ත නම් තරුණ බමුණෙකි. ඔහු විවාහකය. ඔහුට රොහසේන නම් පුතෙක් සිටී. ඔහුගේ බිරියගේ නම මෙහි සඳහන් නොවන අතර ඇය ගැන සඳහන් වනුයේ අවස්ථා දෙකක දී හෝ තුනකදී පමණි. මෙහි ප්‍රධාන කාන්තා චරිතය වනුයේ වසන්තසේනා නම් ධනවත් අබිසාරිකාවකි. ඕ චාරුදත්තට පෙම් කරන්නීය. ඒ පෙරදා කිසියම් සැණකෙලියකදී ඔහු දුටු මොහොතේ සිටය. කතාව ඇරැඹෙන්නේ ඇය චාරුදත්තගේ නිවෙස සොයමින් සැන්දෑ කාලයේ යන ගමනත් සමඟය.

චාරුදත්ත යහපත් මිනිසකු ලෙස ප්‍රකටය. තමන් සතු සියල්ල දිළින්දන්ට බෙදා දීම නිසා දැන් ඔහු දිළිඳුය.

ඒ දේශයේ පාලනය කරන පාල නම් රජුගේ මස්සිනා වන ශකාර නමැත්තා වසන්තසේනාට ආලය කරන අතර නොයෙක් ආකාරයෙන් ඇයගේ අත ඉල්ලයි. එහෙත් ඇය ඔහු පිළිකෙව් කරන්නීය. චාරුදත්තගේ නිවෙස කරා යන වසන්තසේනා හඹා එන ශකාරගෙන් ගැලවෙන්නට ඇය චාරුදත්තගේ නිවෙසට ඇතුඵ වෙයි. චාරුදත්ත සහ ඔහුගේ මිතුරු මෛත්‍රෙය ඇයට රැකවරණය සලසයි. මේ වෙලාවේ ඇය තමා අත තිබෙන රන්අබරණ චාරුදත්තට දී ඒවා රැක බලා ගන්නා ලෙස ඉල්ලයි. මේ හමුවෙන් ඔවුන් දෙනො අතර පෙම් සබඳකමක් ඇරැඹේ. එදින රාත්‍රියේ ඒ අබරණ සොරකම් කරනු ලැබේ. එය පැහැර ගන්නා සොරා ශාර්වක ය. ඔහු වසන්තසේනාගේ වහල් දාසිය හා පෙමින් බැඳී සිටින අතර ඇය වහල් බවින් මුදා ගන්නට ඇගේ ස්වාමි දුවට දෙන්නට පඬුරු සොයන්නෙකි. පසුවදා ඔහු එම රන් ගෙන ගොස් වසන්තසේනාට දී සේවිකාව නිදහස් කරන ලෙස ඉල්ලයි. අබරණ හැඳින ගන්නා මුත් ඒ බව නොහඟවන වසන්තසේනා දාසිය නිදහස් කරයි. පසුදා අවදි වන චාරුදත්ත සහ මෛත්‍රෙය ආභරණ නොමැති බව දැන මහත් සේ වික්‍ෂෝපයට පත් වෙති. මේ සිද්ධිය දැන ගන්නා චාරුදත්තගේ බිරිය තමාගේ වටිනා කර මාලය සිය සැමියාට දෙමින් නැති වූ රන් බඩුවල හිලව්වට එය වසන්තසේනාට දී වංචාවක් කළේය යන අපවාදයෙන් ගැලවෙන ලෙස කියයි. මාලය රැගෙන වසන්තසේනා වෙත යන මෛත්‍රෙය එය ඇය අත පත් කරයි.

දවසෙක චාරුදත්ත හා වසන්තසේනා කිසියම් උද්‍යානයකදී හමු වන්නට යොදා ගනිති. ඒ උයන ශකාරට අයත් එකකි. එදා වසන්තසේනා කැටුව එන්නට චාරුදත්ත එවන රියෙන් ඇයට එන්නට නොහැකි වෙයි. එහි රහසේ සැඟව එන්නේ කැරලිකරුවෙකි. ඇය වැරදීමකින් නඟින්නේ ශකාරට අයත් රියක ය. උයනේ තාප්පය කැඩුණු තැනකින් රිය ඇතුළට ගන්නා ශකාර වසන්තසේනා මරා පලා යයි.

ඔහු කෙලින්ම යන්නේ අධිකරණයටය. මුලදී ඔහුගේ පැමිණිල්ල බාර ගැනීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් රජුගේ මස්සිනා වන ඔහුගේ තර්ජනයට බිය වන අධිකරණය පැමිණිල්ල විභාග කරයි. චෝදනාව වසන්තසේනා මරා දැමීමයි. චුදිතයා චාරුදත්තයි. මෙතැනදී අධිකරණය කිසියම් පක්‍ෂවාදී බවකින් කටයුතු කරන බව පෙනී යයි. චාරුදත්ත වරදකරු වන අතර මරණ දඬුවම නියම කෙරෙයි. රජුගේ අනුමැතිය ලැබුණු පසු වහාම ඔහු ගෙල සිඳ මරණයට පත් කිරීම සඳහා වධක භූමියට ගෙන යනු ලබයි. මේ අතර පෙර චාරුදත්තගෙන් උදවු ලබන දැන් බෞද්ධ භික්‍ෂුවක් වන සංවාහක නමැත්තා සිහිසුන්ව සිටින වසන්තසේනා මුදා ගනියි. ඇය පැමිණ චාරුදත්තට අභයදානය ලබා ගනියි. පසුව චාරුදත්තගේ බිරියගේ ද ආශීර්වාදය ඇතිව ඇය සපත්නියක් ලෙස ඔහු හා එක්වෙයි.

අංක දහයකින් සමන්විත‘මැටි කරත්තය’ නාට්‍යයක් ලෙස මෙන්ම නවකතාවක් ලෙස ද රස විඳිය හැකි බව මගේ අදහසයි.

මැටි කරත්තය පියදාස නිශ්ශංක කවියාණන් විසින් සංස්කෘත පාඨිතය ඇසුරෙන් සිංහලයට නඟන ලදුව 1959 වසරේ සමන් මුද්‍රණාලය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ ඇසුරින් ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු වූ පී. වැලිකලයන් විසින් එනමින්ම වේදිකා ගත කරන ලදී. ඉන්පසු එය අභාවිත විය. පසුව 2010දී පරාක්‍රම නිරිඇල්ල එය වේදිකාවට ගෙන ආයේය. මේ කෘතිය එසමයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ සිංහල විෂයයේ පාඨ ග්‍රන්ථයක් පැවැති බව සඳහන්ය. මෙහි පූර්ණ මුද්‍රණයක් ගොඩගේ සමාගම විසින් මෑතක ප්‍රකාශයට පත් කර ඇති අතර මේ එහි කංචුකයයි.

Comments