උස­ස්පෙළ කඩ­ඉම අවු­රුදු 15න් සපුරා සර­ස­වි­යට පා තැබූ දෙවුම් | සිළුමිණ

උස­ස්පෙළ කඩ­ඉම අවු­රුදු 15න් සපුරා සර­ස­වි­යට පා තැබූ දෙවුම්

දෙවුම් පිළි­ගැ­නී­මට පසු­ගිය 5 වැනිදා පැවැති පාසලේ උත්ස­වය
දෙවුම් පිළි­ගැ­නී­මට පසු­ගිය 5 වැනිදා පැවැති පාසලේ උත්ස­වය

 

මෙවර 43,000 කට ආසන්න සිසු පිරිසකට සරසවි වරම් හිමි කරමින් 2021 උසස් පෙළට පෙනී සිටි සිසුන්ගේ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් වූයේ පසුගිය දාය. ඒ අතර සුවිශේෂි හැකියා නිරුපණය කළ අවුරුදු 15 සිසු දරුවකුටත් මෙවර සරසවියට ඇතුළත් වීමට වරම් හිමි වූයේ සරසවි වරම් හිමිවූ ළාබාලතම සිසුවා වශයෙන් ඉතිහාසගත වෙමිනි. සරසවි ප්‍රවේශයට වයස් සීමාවක් නොතිබුණ ද, ඒ සඳහා සුදුසුකම් ලබන්නේ උසස් පෙළ නිසි වයස් සීමාවේදී සම්පූර්ණ කළ අවුරුදු 19 සපිරූ සිසුන්ය. අපූරු හැකියාවක් පෙන්වූ මේ සිසුවාගේ කතාව ඇසෙන්නේ කඩවත නැණමල් විදුහලෙනි.

දෙවුම්ගේ මව මල්කා රණ­සිංහ හා පියා අනුර රණ­සිංහ, සොහොයුරා හා සොහොයුරිය සමඟ

2007 ජනවාරි 24 වැනිදා උපන් දෙවුම් සනහස් රණසිංහට තවමත් වයස අවුරුදු 15 කි. ඔහු මේ වන විටත් ජයවර්ධනපුර ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පීඨ විශ්වවිද්‍යාල සිසුවෙකි. දෙවුම්ගේ මව මල්කා රණසිංහය. පියා අනුර රණසිංහය. ගුරුවරුන් මේ දෙදෙනා නැණමල් රාජකීය විදුහලේ අධ්‍යක්ෂකවරුන්ය. 2019 වසරේ ඇරඹි නැණමල් රාජකීය විදුහලේ වත්මනේ සිසුන් 820 ක් පමණ ඉගෙනුම ලබන අතර ගුරුවරු 56 ක් වෙති. නැණමල් රාජකීය විදුහල පෞද්ගලික පාසලක් වන අතර දෙවුම්ගේ සොහොයුරිය හා සොහොයුරාද අධ්‍යාපනය ලබන්නේ මේ නැණමල් රාජකිය විදුහලේමය.

දෙවුම් සනහස් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ කැලණිය ගුරුකුලයෙනි. පහ වසර තෙක් අධ්‍යාපනය ලබන දෙවුම් සනහස් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන්නේ ලකුණු 173 ක් ලබා ගනිමින් පාසලේ තුන්වැනියා ලෙස ඉහළ සාමාර්ථ­්‍යයක් ලබා ගනිමිනි.

කැලණිය ගුරුකුලයෙන් සමු ගන්නා දෙවුම් ශිෂ්‍යත්ව ලකුණු මත ඇතුළත් වන්නේ කොළඹ තර්ස්ටන් විදුහලටය. 6 වසරේදි කොළඹ තර්ස්ටන් විදුහලට ඇතුළත් වූ දෙවුම් යළිත් 6 වසර අවසානයේ තර්ස්ටන් විදුහලට සමු දෙන්නේ කඩවත නැණමල් රාජකිය විදුහලට ඇතුළත් වීමටය. ඒ සිය මව හා පියා නිසාවෙනි. දෙවුම්ගේ 8 වසර අධ්‍යාපන කාල වකවානුව කොවිඩ් වසංගතය දරුණුවට පැතිර ගිය කාලයයි. පාසල් යනවාට වඩා සිසුන් වැඩි කාලයක් ගත කළේ නිවසේය. ඔන්ලයින් හරහා ඉගෙනුම් ක්‍රියාවලි සිදු වුවත් බොහෝ සිසුන් ඒවායින් නිසි ඵල ලබා ගත්තේ නැත. නමුත් දෙවුම්ට කොවිඩ් කාලයේ ගෙවුණු අධ්‍යාපන ගමන ඊට බොහෝ සෙයින්ම වෙනස් ඵලදායි වූවක් විය. කොවිඩ් වකාවානුවේ නැණමල් රාජකීයේ ගුරුවරුන් වූ දෙවුම්ගේ මව ඉංග්‍රීසි උගන්වන අයුරුත් පියා නිවසේ සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට ගණිත විෂයය උගන්වන අයුරුත් දෙවුම්ට අපූරු බලාපොරොත්තුවක් ඇති කළේය. කාලය කා දමමින් පාසල් වසර ගෙවීමට වඩා ඔහුට ඕනෑ වුණේ හැකි ඉක්මනින් පාසල් අධ්‍යාපනය අහවර කර ඔහුගේ ක්‍රීඩා කටයුතුවල නිරත වීමය. 8 වසරේ සිටින දෙවුම්ට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ ඒ අරමුණ ඉටුකර ගන්නටය.

“ කොවිඩ් කාලය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. තාත්තා අම්මා ගෙදර ඉඳන් සාමාන්‍ය පෙළ සිසුන්ට ඔන්ලයින් පාඩම් කියා දෙන හැටි මම බලාගෙන ඉන්නකොට මටත් 8 පන්තියේදී සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න හිතුණා. මම අම්මටත් තාත්තටත් මේ ගැන කිව්වා. තාත්තයි අම්මායි එපා කිව්වේ නැහැ. ඒ අය දිරිමත් කළා. ලොකු අමාරුවක් වුණේ නැහැ. 8,9,10 හා 11 පාඩම් ටික මාස 6 කින් නිම කළා. සාමාන්‍ය පෙළ සිසුන්ගේ පන්තියට ගිහින් මම ඉගෙන ගත්තා. ගුරුවරු දන්නේ නැති දේ කියලා දුන්නා. මාස 6 ක් ඉගෙන ගෙන 2020 සාමාන්‍ය පෙළ විභාගය කරලා මට A 6 ක් B 2 ක් C 1 ක් ලැබුණා. C ලැබුණේ වාණිජ විෂයට. ඊට පස්සේ මට ඕන වුණා 2021 වසරේදි උසස් පෙළ ලියන්න. වාණිජ විෂය ධාරාවෙන් මාස 6 ක් උසස් පෙළ ඉගෙන ගත්තා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 14 යි. ගුරුවරුන්ගේ සහයෙන් වගේම ඔන්ලයින් අධ්‍යාපනය හරහා අමාරු කොටස් කොහොම හරි ඉගෙන ගෙන 2021 උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. මට උසස් පෙළට B සාමාර්ථ්‍යය තුනක් ලැබුණා. .....“ අවුරුදු 14 න් උසස් පෙළට ලියූ දෙවුම් පවසන්නේය.

දෙවුම්ගේ Z අගය 1.05 ක් විය. දෙවුම්ට ඇවැසි වූයේ නීතිවේදි උපාධිය අඩු වයසින් සම්පූර්ණ කිරීමටය. නමුත් එහිදි ඔහුගේ වයස් මට්ටම බාධාවක් විය.

“ මේ දරුවා 8 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වෙද්දි ප්‍රශ්න ගොඩාක් මතු වුණා. අපි විභාග කොමසාරිවරයාගෙන් ඇහුවාම විභාග කොමසාරිවරයා අපෙන් ඇහුවා, ඇයි විභාගය ලියන්න හදිසි කියලා. පසුව අපි ඇහුවා මේ සිසුවාට තියෙන බාධාව කුමක්ද කියලා. ඔහුගේ අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පතක් සකසන්න ඕන වුණත් වයස එයට බාධාවක් වුණා. මේ නිසා ගුවන් ගමන් බලපත්‍රයෙන් විභාගයට වාඩි කෙරෙව්වා. මාස 6 කින් උසස් පෙළ කරමු කිව්වහම අපි ඒකටත් සූදානම් වුණා. දරුවා උසස් පෙළ විභාගයෙන් සමත් වුණාම අපිට ප්‍රශ්නයක් තිබුණා, රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට අඩු වයස නිසා හැකි වෙයිද කියලා. නීති විද්‍යාලයට ඇතුළු වීමට අවුරුදු 18 සම්පූර්ණ විය යුතු වුණා. නමුත් මේ දරුවට අවශ්‍ය වුණා, අඩු වයසෙන් රජයේම විශ්වවිද්‍යාලයට යන්න. මේ නිසා එයාගේ Z අගය අනුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හැදෑරීමට දෙවුම් ඉල්ලුම් කළා. එය BSc උපාධියක්. “ ඒ නැණමල් රාජකිය විදුහලේ විදුහල්පති එම්. ජී. රංබණ්ඩාය.

දෙවුම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු පාසලින් හා බාහිර සංගමයක් හරහා ක්‍රිකට් ක්‍රීඩාව හදාරන්නේය. ඔහුගේ එකම අපේක්ෂාව වන්නේද විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ක්‍රීඩා සම්බන්ධ උපාධියක් හදාරා 2026 වන විට 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු වීමටය.

“ එයාගේ අරමුණ වුණේ පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවී ක්‍රිකට් ක්‍රිඩාව හදාරන්න. ඒ නිසා සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉක්මනින්ම අවසන් කරන්න එයාට ඕන වුණා. අපි ගුරුවරු නිසා පුතාට බරක් නොවී පාඩම් කියලා දෙන්න හැකි වුණා. මේ වන විට පුතා නීතිවේදි උපාධිය හදාරන්න සූදානම් වෙනවා. ඒ වගේම එයාගේ උපාධි කටයුතුත් සම්පූර්ණ කරනවා. “ඒ දෙවුම්ගේ මව වූ මල්කා රණසිංහය.

ගුරුවරුන් වූ දෙවුම්ගේ මව හා පියා පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කාල කෙටි කරන්නේ නම් සෑම දරුවකුටම අඩු වයසින් තමන්ගේ අපේක්ෂික ඉලක්ක සාධනය කර ගත හැකි බවකි. ඊට විෂය මාලා සංශෝධනයක් හරහා අඩු කාල පරිච්ඡේදයකින් විභාගයට මුහුණ දීමට වාතාවරණයක් සැලැස්වීම බලධාරීන්ගේ වගකීම බවය. දෙවුම් එළඹෙන හෙට දිනයේ සරසවියට පියමං කරන්නේ ජීවිතය ජය ගත් ළාබාලතම සරසවි සිසුවා වශයෙනි.

 

Comments