
කැමරාව ආවා කියා චිත්‍ර ශිල්පය නැති වුණේ නැත. රූපවාහිනිය ආවා කියා බයිස්කෝප් කර්මාන්තය නැති වුණේ නැත. මේ හැමදේකටම වඩා ස්මාර්ට් ෆෝන් එක ආවා කියා කැලැන්ඩරයක් ඩයරියක් නැති වුණේ නැත. කැලැන්ඩර් සහ ඩයරි ගැන සොයන්නට සිතුණේ ස්මාර්ට් ෆෝන් එකෙනුත් කැලැන්ඩරය බැලීමත්, දිනපොතේ මෙන් දින සටහන් තැබීමත් සිදු වන නිසාය. බොහෝ ආයතන දෙසැම්බර් 1 වැනිදා තම ආයතනයේ ලබන වසරට මුද්‍රණය කළ කැලැන්ඩර් සහ ඩයරි බෙදා හරිනු ලබයි. කැලැන්ඩර් හා ඩයරි සීසන් එක පටන් ගන්නේ දෙසැම්බර්වලය. එහෙත් ලංකාවේ කැලැන්ඩර් සහ ඩයරි කර්මාන්තය ආරම්භ වන්නේ අගෝස්තු මාසයේදී ඉදිරි වසරේ නිවාඩු දින ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වීමත් සමඟය.
මෙවර ඩයරි සහ කැලැන්ඩර් සීසන් එකට කුමක් සිදුවී ඇත්දැයි බලන්නට අප මුලින්ම ගියේ කොස්ගස් හන්දියේ උපසේන මෙටල් වර්ක්ස් වෙතය. ලංකාවේ කොහේ මුද්‍රණාලයක කැලැන්ඩර් මුද්‍රණය කළත් ඒවා සියල්ල අවසානයේ කැලැන්ඩරය එල්ලන පටිය ගහන තැනට ආ යුතුය. උපසේන ආයතනයේ ප්‍රධානියා උපසේන සුබසිංහය. කවුරුත් දන්නා කෝපි කඩේ පාලය. වෙනදාට අප යන විට උපසේනගේ තෙමහල් ගොඩනැඟිල්ල පිරෙන්නට කැලැන්ඩර් ගොඩ ගසා තිබුණි. තිහකට අධික පිරිසක් කොරෝනාවට පෙර කැලැන්ඩර් පටි ගසනු දැකීම සාමාන්‍ය සිදුවීමක් විය. නමුත් පසුගියදා අප එහි ගිය විට වෙනදා මෙන් කලබලයක් නොවීය. කැලැන්ඩර් වර්ග කීපයක් හතර පස් දෙනකු පටි ගසමින් සිටීම ආගන්තුක අත්දැකීමක් විය. උපසේන කැලැන්ඩර් කර්මාන්තයට පත්ව ඇති වින්නැහිය විස්තර කරන්නට විය.
"වෙන කැලැන්ඩර් සීසන්වල අපි මෙහේ ඉඩ නැති වුණාම කැලැන්ඩර් ගහන ප්‍රෙස්වලට පටිගහන මැෂින් යවල එතන ඉඳන්ම කැලැන්ඩර් පටි ගහනවා. මේ සැරේ පුදුම විදිහට කැලැන්ඩර් ගහන එක අඩු වෙලා. ගිය අවුරුද්දේ තහඩු ටොන් එක ලක්ෂ 3යි. දැන් ලක්ෂ 8 1/2යි. දැන් මුළු ලංකාවට තහඩු ඉම්පෝට් කරන එක්කෙනයි ඉන්නේ, අනිත් අය ඩොලර් නැතුව නවත්තලා. ඒ හින්ද කියන ගානට ගන්න ඕන. පිටු 12 කැලැන්ඩර ගහපු ලොකු කොම්පැනි පිටු 6ට 4ට ගහලා. ගොඩක් කොම්පැනි කැලැන්ඩර් ගහල නැහැ, මේක තමයි ඉතිහාසයේ අඩුම කැලැන්ඩර් ගහපු කාලේ.
උපසේනගෙන් සමුගෙන අප ගියේ මුද්‍රණ යන්ත්‍ර අමතර කොටස් ලියවන කලම්බෝ ලේත් ආයතනයට. අසූව දශකය වන විටත් ලංකාවේ ජනප්‍රියතම හයිඩ්ල්බර්ග් ප්‍රින්ටින් මැෂින්වලට අලුත් කොටස් ගෙනාවේ ජර්මනියෙන්. එම කොටස් ලංකාවේ නිපදවීම ආරම්භ කළේ එහි අධ්‍යක්ෂ හෙට්ටිආරච්චිය.
"ඉස්සර නිවාඩු ගැසට් එක ආවහම කැලැන්ඩර් ඩයරි ගහන ප්‍රෙස්වල ප්‍රින්ටින් මැෂින් ඔක්කෝම සර්විස් කරන්න පටන් ගන්නවා. ගෙවිච්ච පාට්ස් අලුතෙන් ලියවල සීසන් එකට සූදානම් වෙනවා. දැන් නම් එහෙම කරන ප්‍රෙස් අඩුයි. කැලැන්ඩර් සීසන් එකට මැෂින් රෙපයාර් කරන්නෑ කියන්නේ කැලැන්ඩර් අඩුයි. මේ කැලැන්ඩර් සීසන් එක පෙබරවාරි - මාර්තු වෙනකම් යනවා." දැන් වෙන්නේ කම්පැනියක් කැලැන්ඩරයක් ගහල තිබ්බොත් අල්ලපු කොම්පැනිය ඒකට තරගෙට කැලැන්ඩරයක් ගහනවා."
අප ගිය බොහෝ මුද්‍රණාලවලට කැලැන්ඩර් ඕඩර් ලැබී තිබුණේ ඉතා අඩු ගණනකි. සමහර ප්‍රෙස්වල කැලැන්ඩර් ඩයරි මුද්‍රණය කර තිබුණේම නැත. අපි මේ ගැන ලේක්හවුස් වාණිජ මුද්‍රණ අංශයේ කළමනාකාර, රජිත පෙරේරාගෙන් විමසුවෙමු.
"ගොඩක් අය කොටේෂන් (මිල ගණන්) ගත්තා. අපි තමයි මේ සැරේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ, ලේක්හවුස් එකේ, එලයිට් රෙඩියෝ වගේ දැවැන්ත කැලැන්ඩර් මුද්‍රණය කළේ. කොටේෂන් එක ගත්තට කිහිප දෙනයි එන්නේ. මේක අංගසම්පූර්ණ මුද්‍රණාලයක්. ඒ හින්ද අපිට ඕනෑම දැවැන්ත කැලැන්ඩර් ඕඩරයක් වුණත් කරන්න හැකියාව තියෙනවා.
කැලැන්ඩර් හා ඩයරි තොග වෙෙළඳපළ නිරීක්ෂණයේදී අපට පැහැදිලිව පෙනී ගිය කරුණක් නම් කැලැන්ඩර් මාර්කට් එකට ඒම අඩු වුණත් 'ලිත්' මුද්‍රණය කරන උදවිය නම් මෙවරත් ලිත් මුද්‍රණය කර ඇති බවය. ලිත සමඟ නව වසරේ පලාපල ඇතුළත් පිටු 16ක කුඩා පොතක් ද මුද්‍රණය සාමාන්‍ය සිරිතය. කොරෝනාවට පෙර ලිත සමඟ පලාපල පොත මිල වූයේ රුපියල් 20/-කටය. ඒත් අද මිල රුපියල් 100/-ක් බවට පත් වී තිබේ. ලංකාවේ ලිත් මුද්‍රණයට වසර 168ක ඉතිහාසයක් තිබේ. ඩයරි සහ කැලැන්ඩර් කොළඹ තොග වෙෙළඳපළ තොරතුරු සොයන්නට අප මුලින්ම ගියේ පිටකොටුවේ පීපල්ස් පාක් සංකීර්ණයේ ඇපලෝ ආයතනයටය. ආයතනය විවිධ වර්ගයේ කැලැන්ඩර් සහ ඩයරිවලින් පිරී තිබුණි. එහි කළමනාකරු වූයේ රිෆයිඩීන්ය.
"අපි අවුරුදු 30ක් තිස්සේ කැලැන්ඩර් ඩයරි ගහනවා. අඩුම බිස්නස් මේ සැරේ තමයි. දෙසැම්බර් 15න් පස්සේවත් බිස්නස් තියෙයි හිතනවා. සමහර කැලැන්ඩර් ඩයරි ප්‍රයිස් තුන්හතර ගුණයකින් වැඩි වෙලා. කඩදාසි - තීන්ත - ලයිට් ඔක්කොම ගණන්. ඉතින් කැලැන්ඩර් ඩයරි අඩු ගාණට දෙන්න බැහැ."
ඇපලෝ ආයතනයට ඩයරි ඕඩරයක් දෙන්නට දමිත් පැමිණ සිටියේ පාගොඩ සිටය.
"ගොඩක් ප්‍රෙස්වල ඩයරි ගහල නෑ. දෙතුන් තැනකම බලල තමයි මෙතන්ට ආවේ."
පීපල්ස් පාක් සංකීර්ණයේ කැලැන්ඩර් ඩයරි තොග කඩ කීපයක කරක් ගැසූ අප කන්නන් පික්චර් පැලස් එකට ගොඩවූයේ එහි ද්‍රවිඩ භාෂාවෙන් ද කැලැන්ඩර් මුද්‍රණය කර තිබීම නිසාය. එහි අධිපති කන්නන් මුද්‍රණ අලෙවි නිලධාරියා වූ ත්‍යාගන් අප පිළිගත්තේ ළෙංගතුවය.
"ඉස්සර ආවේ පිටු 12 දින කැලැන්ඩර්. ඒ කියන්නේ මාසයකට පිටුව ගානේ දැන් කොච්චර කොළ ගණන්ද කිවුවොත් එක පිටුවට මාස 2 ගානේ දාලා දින කැලැන්ඩරේ පිටු 6ට ගහල ගාන අඩු කරන්න. වෙනදට මේ වෙලාවට කැලැන්ඩර් ඩයරි ගන්න කස්ටමස්ලා පිරිලා. මේ සැරේ ගහ ගත්ත කැලැන්ඩර් ඩයරි ටිකත් ගාන වැඩි නිසා විකුණා ගන්න ටිකක් අමාරුයි.'
ලංකාවේ කැලැන්ඩර්වලට ලෝකයේ සම්මාන ලැබූ අවස්ථා පවා ඇත. එවන සම්මානලාභී කැලැන්ඩර් ප්‍රමාණයක් වෙෙළඳපළට නිකුත් කිරීම ද කලක් මෙරට ජනප්‍රිය කැලැන්ඩර් සම්ප්‍රදායක් විය. ඒත් මෙවර නම් එවැනි කැලැන්ඩර් අපට දැකගත හැකි වූයේ නැත.
ශ්‍රී ලාංකික දින දර්ශන දෙකක් ලොව අග්‍රගණ්‍ය ප්‍රචාරක නිර්මාණ තරගාවලියකින් ජයග්‍රහණ හිමිකර අමෙරිකාවේ 'ක්‍රියේටිවිටි ඉන්කෝපරේෂන්' ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'ක්‍රියේටිවිටි ඇනුවල්" නිර්මාණ තරගාවලියේ 2001 වසරේ ජයග්‍රාහකයන් අතරට ද එක්වී තිබීම සුවිශේෂී සිදුවීමකි. මෙසේ සම්මාන හිමි කරගෙන ඇත්තේ මෙරට වෙළෙඳ ප්‍රචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අධ්‍යක්ෂවරයකු වන ඩබ්. එම්. කේ. විජය බණ්ඩාර ය. ඔහු 2001 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් හා ජාතික රක්ෂණ සංස්ථාව වෙනුවෙන් නිර්මිත දින දර්ශන දෙකට මෙම ජයග්‍රහණය හිමි කරගන්නා ලදි.
ඉන්පසුව ද ලංකාවේ කැලැන්ඩර් සඳහා ජාත්‍යන්තරව සම්මාන ලැබූ අවස්ථා අපට දැකගත හැකි විය. ලංකාව එවැනි නිර්මාණශීලි ග්‍රැෆික් ශිල්පීන්් සිටිනා රටකි.
පීපල්ස් පාක් සංකීර්ණයෙන් පසු අප ගියේ කොළඹ කැලැන්ඩර් ඩයරි තොග අලෙවි විය හැකි මැලිබන් වීදියටය. කොළඹ ස්ටේෂනරි නොහොත් ලිපිද්‍රව්‍ය තොග වෙළෙඳපළ වන්නේ මැලිබන් වීදියයි. මැලිබන් වීදියේ කැලැන්ඩර්වලට වඩා ගොඩගසා තිබුණේ විවිධ ප්‍රමාණයේ ඩයරි වර්ගය. ඉදිරි වසර සැලසුම් කරන ඉයර් ප්ලැනර් (year planner) ඒ අතර විය. මැලිබන් වීදියේ ලිපිද්‍රව්‍ය සාප්පු කීපයකම කැලැන්ඩර් ඩයරි මිල ඇසීමෙන් පසු අප යුනයිටඩ් ස්ටේෂනරි ආයතනයේ කළමනාකරු එස්. රාම්කුමාර්ගෙන් අලුත්ම තත්ත්වය ගැන විමසුවෙමු.
"ඩයරි කැලැන්ඩර් ගොඩක් අඩුවෙන් තමයි ප්‍රින්ට් කරල තියෙන්නේ. කොම්පැනි අපෙන් ඩයරියක් - කැලැන්ඩරයක් අරන් කොම්පැනියේ නම ප්‍රින්ට් කර ගන්නවා. ඒක දකිනවා අනික් කොම්පැනි. හොයන් ඇවිල්ල ඒගොල්ලන්ගේ නමටත් ඕඩරයක් දෙනවා. මේ සැරේ ඩයරි කැලැන්ඩර් ප්‍රයිස් වැඩියි. ප්‍රයිස් අඩු වුණාම පොඩි කොම්පැනියක් වුණත් ඩයරි දෙතුන් සීයක් නම ගහල බෙදනවා."
මෙරට ඩයරි හා කැලැන්ඩර් කර්මාන්තය ඉතිහාසය විමසූ විට මෙරට ඇතැම් මුද්‍රණාල ඩයරි කැලැන්ඩර් මුද්‍රණය වාණිජමය වශයෙන් වසර පුරා කළ යුගයක් පවා තිබුණ බව අද බොහෝ දෙනාට අමතකය. සීවලී දිනපොත, ලීලා දිනපොත, දුමින්ද එරන්ද, කලේමගල්, මිනැන්ඩන්, මල්පියලි එවැනි නම් දැරූ ව්‍යාපාරයන්ය. මොවුන් වසර පුරා කළේ කැලැන්ඩර් ඩයරි මුද්‍රණයයි.
කැලැන්ඩර් සහ ඩයරි මුද්‍රණයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ කඩදාසිය. කඩදාසි ප්‍රධාන තොග කඩ ඇත්තේ පිටකොටුවේ කාබිරි මුඩුක්කුව, නිව් මුර් ස්ට්‍රීට් පැතිවලය. කැලැන්ඩර් සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ පෝස්ටර් පේපර්, සික්ස්ටි බැන්ක් සහ ආට්පෙපර්ය. මේ වාගේ මිල ගණන් ඉහළ යෑම හා සැසඳීමේදී පසුගිය වසරට වඩා ඇතැම් කඩදාසි හතර ගුණයකින් පවා ඉහළ ගොස් ඇත. මුද්‍රණ කටයුතු සඳහා යොදා ගන්නා ඕෆ්සෙට් තීන්ත මිල ද තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.
කැලැන්ඩර් ඩයරි ගැන ලියන්නට ගොස් බවලත් කෙනකුගේ අදහස් ද ලිපියට එක් නොකළහොත් එය බලවත් අඩුපාඩුවකි. අප ඒ සඳහා තෝරා ගත්තේ මරදාන සන්රේ කලර් ග්‍රැෆික් කළමනාකාරිනී දිස්නා දමයන්ති. ඇය අහස සම්මාන උලෙළේදී විශිෂ්ටතම මුද්‍රණ ශිල්පිනිය ලෙස පිදුම් ලැබූ සම්මානනීය මුද්‍රණ කාරියකි.
"අද කැලැන්ඩරේකට කොටේෂන් එකක් (මිල ගණන්) දුන්නොත් දවස් තුනක් පහුවුණොත් ගාණ වෙනස් වෙනවා. කඩදාසි ගණන් දිනපතා වැඩි වෙනවා. දිනපතා වැඩි වෙන්නේ දිනපතා ඉම්පෝට් කරන නිසා නෙමෙයි. කඩදාසි දැන් ජාවාරමක්. ආණ්ඩුව මැදිහත් වුණොත් කඩදාසි ජාවාරම නවත්තන්න කැලැන්ඩර් - ඩයරි විතරක් නෙමෙයි එක්සයිස් පොත් මිලත් බස්සන්න පුළුවන්."
කැලැන්ඩර් ඩයරි මුද්‍රණයට අවශ්‍යම අමුද්‍රව්‍යයක් වන්නේ ඕෆ්සෙට් ප්ලේට් තහඩුය. එදා ගල් අච්චුවේ බ්ලොක් කැපුවා වගේ ඕෆ්සෙට් ක්‍රමයට මුද්‍රණයට අවශ්‍ය දේ පරිගණකයක් ආධාරයෙන් තහඩුවක් මත එක්ස්පෝස් වන්නේ CTP ක්‍රමයටය. (computer to plate) එදා මේ ප්ලේට් ව්‍යාපාරයේ නියුතුව සිටි දැවැන්ත ආයතනය වූයේ ප්‍රේමදාස ප්ලේට් මේකර්, ඩාවින්සි, අයිරිස්, එල්තෝ, ඩොට් ඇන්ලයින් වැනි ආයතනයන්ය. ඒත් අද මේ ව්‍යාපාර දැකගන්නටත් නැත. මේ අතර අප මාස්ටර් ග්‍රැෆික් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ අජිත් තිසේරාගෙන් කරුණු විමසුවෙමු.
"මේ සැරේ වෙනදට කැලැන්ඩර් ගහපු කොම්පැනිවලින් 20%ක්වත් කැලැන්ඩර් ගැහුවේ නැහැ. ප්‍රධාන බැංකු, ෆිනෑන්ස් කොම්පැනි ඒත් නැත්නම් මහා පරිමාණ බහුජාතික සමාගම් විතරයි කැලැන්ඩර්, ඩයරි ප්ලේට් දාන්න ආවේ."
දකින කෙනකුට ඉතා සරල කර්මාන්තයක් ලෙස ඩයරි - කැලැන්ඩර් කර්මාන්තය පෙනුණ ද එය ඉතා සංකීර්ණ ව්‍යාපාරයකි. ඇතැම් විට කැලැන්ඩරයක එක දිනයක් වැරදුණහොත් එය කෝටි ගණනක කැලැන්ඩර ඕඩරයක් නම් මුළු මුද්‍රණ ව්‍යාපාරයම වැසී යා හැකි අවදානමක් පවතී. රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථාවල ඩයරි කැලැන්ඩර් මුද්‍රණය කරන මුද්‍රණාල වඩාත් අපහසුතාවට පත් වන්නේ දෙසැම්බර් මාසෙන් පසු පසු ඇමැතිවරු මාරු වුණ හොත්ය. බොහෝවිට රාජ්‍ය ආයතන ඩයරි කැලැන්ඩර් මුද්‍රණයට ටෙන්ඩර් කැඳවන්නේ ඔක්තෝබරයේය. බොහෝවිට ඩයරි, කැලැන්ඩර් බාරදිය යුතු දිනය වන්නේ දෙසැම්බර් පළමු සතියයි. එහෙත් රාජ්‍ය ආයතනයට අදාළ අමාත්‍යවරයා දෙසැම්බරයේ මාරු වුණහොත් අලුතෙන් පත්වන ඇමැතිවරයා එම ගෙවීම ප්‍රතික්ෂේප කරමින් තම රුව ඇති ඩයරි හා කැලැන්ඩර මුද්‍රණයට උපදෙස් දෙන බැවින් වඩාත් අපහසුතාවට පත් වන්නේ මුද්‍රණාල හිමිකරුය. සමහරුන්ගේ පුරුද්දක් නම් ආයතන වෙත ගොස් කැලැන්ඩර් හිඟමනේ යෑමය. ඉන්පසු ඒවා ගමට ගෙන ගොස් ගම පුරා බෙදා 'පොරක්' වීම එහි අරමුණය.
අප මේ භාවිත කරන කැලැන්ඩරයේ ඉතිහාසය බොහෝ දෙනා නොදනි. ඒ්ත් රෝම ඉලක්කම් තවමත් අප අතර භාවිත වේ.
ජූලියස් සීසර් රෝමයේ රජ පැමිණි පසු රෝම දින දර්ශනය බෙහෙවින් ව්‍යාකූල තත්ත්වයක පැවති බව අවබෝධ වූයේ ප්‍රායෝගික ගැටලු නිසාය. එය විධිමත් කිරීම සඳහා ඇලෙක්සැන්ඩ්‍රියාවේ 'සොසිජිනස්' නමැති සුප්‍රසිද්ධ ගණිතඥයකුට පැවරුවේය. දින 365/ 1/4 කාලපරිච්ඡේදය වර්ෂයක් ලෙස සලකා එතෙක් භාවිතයේ පැවති මාර්තු මාසය වෙනුවට ජනවාරි මාසය අවුරුද්දේ ප්‍රථම මාසය ලෙසට ආදේශ කර ඔහු විසින් නව කැලැන්ඩරයක් නිර්මාණ කරන ලදි. මෙම කැලැන්ඩරය අනුව වර්ෂයේ ප්‍රථම දිනය ජනවාරි 1 වැනිදා බවට රෝම අධිරාජ්‍ය ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් අප දැන් භාවිත කරන්නේ මුළුමනින්ම එම කැලැන්ඩරය නොවේ. එම කැලැන්ඩරය ඉන්පසු සංශෝධන කීපයකට ලක් විය. අවසන් වරට කැලැන්ඩරය සංශෝධනය කිරීම පිණිස XII ග්‍රෙගරි පාප්වහන්සේ සුප්‍රසිද්ධ තාරකා ශාස්ත්‍රඥයකු වන 'කෙල්රියස්' නමැත්තාට පවරන ලදි. මෙසේ සංශෝධිත නව කැලැන්ඩරය 'ග්‍රිගෝරියන්' කැලැන්ඩරය නමින් භාවිතයට මුළු ලෝකයම පියවර ගන්නා ලදි.
ලංකාවේ මේ කැලැන්ඩර් ඩයරි සඳහා භාවිත කරනු ලබන්නේ මෙම 'ග්‍රිගෝරියන්' දින දර්ශනයයි. මේ අනුව අවුරුදු ගණන් ගනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ පදනම් කරගෙනය. කෙසේ වෙතත් ශතවර්ෂ ක්‍රමය හා චන්ද්‍ර - සූර්ය මාස ක්‍රමය භාවිත කරගෙන කේන්දර සාදන සාම්ප්‍රදායික දෛවඥයන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ පළ කරන ලිත්වල 'ග්‍රිගෝරියන්' ක්‍රමය අනුව මාස හා දින දක්වා ඊට අනුෂාංගික වශයෙන් චන්ද්‍ර - සූර්ය මාස ක්‍රමය අනුව ද තොරතුරු ඇතුළත් කොට සකස් කරනු ලැබේ. පෙරපර දෙදිග වැසියන් කවර කවර අයුරින් කාලය මැන ගත්තත්, අද මුළු ලොවටම පොදු කැලැන්ඩරය කිතුනු ලෝකයාගේ කැලැන්ඩරයයි. අද ලෝකය රාජ්‍යයන් වශයෙන් බෙදී සිටියත් අද මිනිසා එකිනෙකාගෙන් ඈත්ව සිටිය ද, සියල්ලෝම එකම කැලැන්ඩරයක් අනුව සිය කාලය බෙදා යොදා ගෙන දෛනික ජීවිතයේ කටයුතු කරති. අවසානයේ මේ කැලැන්ඩරය ගැන ඉතිහාසඥයා ගැනද සටහනක් තැබුවේ මේ ඩයරි කැලැන්ඩර අලෙවි කරන කිසිවකු මේ ඉතිහාස දැන නොසිටි නිසාමය.
ඡයාරූප- නිශ්ශංක විජේරත්න