
කමලදාසන් සිය පියාගෙන් කෑමට යමක් ඉල්ලා සිටි අවස්ථාවේ ඇති වූ සිද්ධියක්
මනස සෙමෙන් වැඩෙන තිස්හතර හැවිරිදි පුතුගේ පොලු පහරින් හැට තුන් හැවිරිදි පියා ජීවිතක්ෂයට
බදුල්ල වේවැස්සවත්ත 'වේවැස්ස කොටසේ' වතු නිවසකදී මනස සෙමෙන් වැඩෙන තරුණයකු සිය පියාට ලී පොල්ලකින් හිසට පහරදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ අනූවේදනීය පුවත ගැන තොරතුරු ලැබීමත් සමඟ එම ප්‍රදේශවාසීහු කම්පාවට පත්ව සිටිති. සුන්දර තේ වතුවලින් සමන්විත ඉතාමත් අලංකාර බදුල්ල වේවැස්සවත්ත ප්‍රදේශයේ මෙවැනි සිද්ධියක් වූ පළමු වතාව මෙය බව ප්‍රදේශවාසින්ගේ අදහසයි. බදුල්ල වේවැස්සවත්ත, වේවැස්ස කොටසේ පදිංචිව සිටි 63 හැවිරිදි මාරිමුත්තු ධර්මරාජ් කුලී වැඩ කරමින් තම දරු පවුල නඩත්තු කළේ දුෂ්කරතා රැසක් මධ්‍යයේය.
බිරිය පුතුන් දෙදෙනකු හා එක් දියණියකගෙන් මෙම පවුල සමන්විත අතර පවුලේ වැඩිමල් පුතා වන තිස් හතර හැවිරිදි රාජරත්නම් කමලදාසන් කුඩා අවධියේ සිටම මනස සෙමෙන් වැඩෙන අයෙකි. අනෙක් පුතු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටී. නිවසේ අඹුසැමි යුවළ සමඟ මනස සෙමෙන් වැඩෙන පුතා බාල පුතාගේ බිරිය සහ ඇගේ අවුරුදු 4 සහ අවුරුද්දක් වයසැති සිඟිති දරුවන් දෙදෙනා කල් ගෙවන්නේ සියලු දුක් කරදර විඳ දරා ගනිමිනි.
රාජරත්නම් කමලදාසන් අසල්වැසි වතු නිවෙස්වලට ගොස් දර පළා දීම වැනි පොඩි වැඩවල නිරත විය. ඒ සඳහා මුදල් වෙනුවට ආහාර ඉල්ලා සිටීම ඔහුගේ සිරිත විය. මේ තරුණයාට මවුපියන් මෙම වතු නිවස අසල කුඩා කාමරයක් සාදා දී තිබුණේය. ඔහු එහි කල් ගෙව්වේ කිසිවකුට කරදරයක් හිරිහැරයක් නොකරමිනි.
මෙසේ කල් ගෙවමින් සිටින අතර ඉකුත් 26 දා රාත්‍රියේ හිටි හැටියේම අනෝරා මහ වැස්සක් බදුල්ල වේවැස්සවත්ත ප්‍රදේශයට පතිත විය. රාත්‍රී 7.30ට පමණ පියා මාරිමුත්තු ධර්මරාජ් සිය නිවස ඉදිරිපිට කුඩා වංගෙඩියක බුලත් කොටමින් සිටියේය. එම අවස්ථාවේ කමලදාසන් ද පියා අසලට පැමිණ 'ගොළු භාෂාවෙන්' කෑමට යමක් ඉල්ලා ඇත. පියා එය නොදුන් නිසා කමලදාසන්ට කේන්ති ගොස් කලබලකාරී ලෙස හැසිරෙන්නට විය.
පුතාට කේන්ති ගිය බව දැනගත් ධර්මරාජ් වහා එම ස්ථානයෙන් නැඟිට නිවසට ගොස් දොර වසා දැම්මේය. තම පුතුගෙන් කිසියම් අනතුරක් තමාට සිදුවෙතැයි බියෙන් ධර්මරාජ් මෙසේ කරන්නට ඇත.
කෙසේ වෙතත් 'මාරයා' පරාජය කරන්නට ධර්මරාජ්ට නොහැකි විය.
ඒ සමඟම පොල්ලක් අතැතිව කමලදාසන් වසා තිබූ දොර කඩාගෙන නිවස තුළට කඩා වැදී පියාගේ ඔළුවට පොල්ලෙන් පහර දුන්නේය. පොලු පහරින් පියාගේ හිසේ කොටස් එළියට පැන ලේ ගලා යන්නට වූ අතර බරපතළ තුවාල ලැබු ධර්මරාජ් නිවස ඉදිරිපිට බිම වැටී අවසන් හුස්ම හෙළුවේ මහ වැසි ඇද හැලෙද්දීය.
ආවේගශීලි ලෙස කෑගසමින් කමලදාසන් නිවස තුළ ඔබමොබ ඇවිදිමින් සිටියේ කිසිවකුට ඔහු පාලනය කළ නොහැකි ලෙසය. බියට පත්වූ ධර්මරාජ්ගේ බිරිය සහ දුව කුඩා දරුවන් දෙදෙනාත් රැගෙන නිවසින් පලා ගොස් යාබද නිවසක සැඟවුණේ කමලදාසන් තමන්ටත් පොලු පහර එල්ල කරතියි ඇති වූ බිය සැක නිසාය.
ඒ වන විටත් සියල්ල සිදු වී හමාරය.
බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සරත් වීරසිංහ සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණ සටහන් කරගෙන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය. ධර්මරාජ්ගේ මෘත දේහය බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර අධිකරණයට කරුණු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත් සරත් වීරසිංහ පොලිසියට නියෝග කළේය .
බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී පරීක්ෂණ පවත්වා මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත්තේය. සැකකරු මෙම ඝාතනය සඳහා යොදා ගත් ලේ තැවරී තිබූ පොල්ල නිවස අසල වත්තට විසි කර තිබියදී පොලිසිය සොයා ගනු ලැබීය .
බදුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම සැකකරු බන්ධනාගාර නිලධාරින්ගේ මාර්ගයෙන් බදුල්ල මහ රෝහලේ මානසික වෛද්‍යවරයකුට යොමු කර එම වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් සරත් වීරසිංහ බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේය .
බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල සහකාර පොලිස් අධිකාරි 1 බුද්ධික ගුණසේකරගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්.රත්නායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී .එම් .අබේපාල, උපපොලිස් පරීක්ෂක කුමාරරත්න, සැරයන් 20821 රත්නායක, 17352 වසන්ත, 6742 ප්‍රභාකරන් , 77449 ගයාන් යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පැවැත්වූහ.