
සිරිපාල මුදලාලි දියණියන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු මොනරාගල දිශාවේ සියඹලාණ්ඩුවට නුදුරින් පිහිටි ගම්මානයක පදිංචිව සිටියේය. සිරිපාල මුදලාලි තම ගම් ප්‍රදේශයට සැතපුම් දහයක් පහළොවක් පමණ දුරින් පිහිටි දුෂ්කර ප්‍රදේශයක සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන ගියේය. සිරිපාල මුදලාලි එම කඩයේ නතර වී වෙළහෙළදාම් කළ අතර සතියකට වරක් නිවසට යාමට පුරුදුව සිටියේය.
දියණියන් තිදෙනා මෙන්ම බිරියත් ඉඳහිට මෙකී වෙළෙඳසලට පැමිණ සිරිපාලගේ වෙළහෙළදාම් කටයුතුවලට උදව් වූහ. තම පාපැදියෙන් නගරයට ගොස් වෙළෙඳසලට අවශ්‍ය බඩු භාණ්ඩ සිරිපාලම රැගෙන ආවේය.
“අනේ මට මේ වැඩේනම් හැමදාම කරන්න බැහැ. දැන් වෙනදා වගේ නෙවෙයි අතේපයේ වාරුත් නැහැ...“ සිරිපාල තම බිරියට කිවේය.
“ඔය කඩේ වැඩට කොලු ගැටයෙක් හොයාගන්න කියලා මම කී දවසක් ඔයාට කිව්වද?“ සිරිපාලගේ බිරිය කීවාය.
මේ අතරේ රැකියාවක් සොයාගෙන එම ප්‍රදේශයට පැමිණි කොලු ගැටයෙකු සිරිපාල මුදලාලිට හමු වූයේය. කොලු ගැටයාගේ වංහුං සොයා බැලූ සිරිපාල මුදලාලි කොලු ගැටයා තම වෙළෙඳසලේ වැඩට ගත්තේය. ඔහු 'සිරිසෝම'ය. ටික දිනක් යාමට මත්තෙන් සිරිපාල මුදලාලිගේ සිත දිනා ගැනීමට සිරිසෝමට හැකි විය.
සිරිපාල මුදලාලිගේ දැඩි විශ්වාසවන්තයකු බවට පත්වූ 'සිරිසෝම කොලු ගැටයා' පාපැදියෙන් නගරයට ගොස් වෙළෙඳසැලට අවශ්‍ය බඩු භාණ්ඩ රැගෙන ආවේය. ඔහු තමන්ගේ දෙයක් මෙන් සිරිපාලගේ වෙළෙඳසලේ කටයුතු සොයා බලමින් වෙළහෙළඳාම් කළේය.
සිරිසෝම තම මවුපියන් බැලීමට ගියේ මාස තුන හතරකට වරකි. දිනක් සිරිසෝම ගමේ යන බව තම හිතවතුන්ටද පවසා පිටත්ව ගියේය. දින තුන හතරක් සිරිපාල මුදලාලිගේ වෙළෙඳසල වසා තිබුණි. ගම්මුන් සිතුවේ කොලු ගැටයා ගමේ ගොස් ඇති නිසා කඩය වසා ඇති බවය. මේ අයුරින් දින කිහිපයක් ගත විය. එහෙත් සිරිපාල මුදලාලිගේ වෙළෙඳසල විවෘත වූයේ නැත. මේ අතරේ දිනක් ගැමියකු මෙම වෙළෙඳසල අසලින් ගමන් කරමින් සිටියේය. වෙළෙඳසල තුළින් දැඩි දුර්ගන්ධයක් වහනය වෙමින් තිබෙනු ගැමියාට දැනිණි. ඔහු ගමේ අනෙක් අයටද මේ ගැන කීවේය.
ගම්මු එක්වී වෙළෙඳසලේ දොර කඩා විපරම්කර බැලුවෝය. සිරිපාල මුදලාලි කඩ කාමරය තුළ වැටී මිය ගොස් සිටියේය. මේ ආරංචිය සිරිපාලගේ බිරියටත් දියණියන් තිදෙනාටත් දැනුම් දීමට ගම්මුන් කටයුතු කළහ. ඒ වන විටත් සිරිපාල මුදලාලිගේ මරණය පිළිබඳ නොයෙක් කටකතා ගම පුරා පැතිරී යමින් තිබිණි. මෙය සැකසහිත මරණයක් වූ නිසා අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට ග්‍රාමීය රෝහලක් වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. මළ සිරුර දැඩි ලෙස නරක් වී තිබූ නිසා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට අදාළ ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයා කටයුතු කළේය.
සිරිපාල මුදලාලිගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරාය. මුලින්ම අධිකරණ වෛද්‍යවරයා සියලුම පැතිවලින් මළ සිරුර ඡයාරුප ගත කරනු ලැබීය. මක් නිසාදයත් අබිරහස් ලෙස මරා දමා ඇති බවට සැක කරන දැඩි ලෙස කුණු වී ගිය මළසිරුරුවල ස්වභාවයෙන් ඇතිවන වෙනස්කම් හඳුනා ගැනීම සඳහාය.
මරණයට පෙර පහරදීම්වලින් ඇතිවන තැළීම්, කැපුම් තුවාල, පිලිස්සීම් වැනි දෑ පිළිබඳ සැකයක් ඇතිවන බැවින් මළ සිරුර විච්ඡේදනය කිරීමට පෙර සිරුරේ වර්ණ ඡායාරූප ලබාගැනීම සිදු කරනු ලැබේ. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් මළ සිරුර බාහිරව පරීක්ෂා කළේය. සිරිපාල මුදලාලිගේ හිසෙහි පිටුපස ප්‍රදේශයේ තිබු ඇනුම් තුවාල තුනක් එම පරීක්ෂාවේදී අධිකරණ වෛද්‍යවරයාට දැකගත හැකි විය. හිසේ තිබු ඇනුම් තුවාල තුන අධිකරණ වෛද්‍යවරයා විසින් සියුම් ලෙස නිරීක්ෂණය කළේය. එම තුවාල උඩ හමට පමණක් සීමා වී තිබු අතර එකී තුවාල මරණීය තුවාල නොවන බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. හිස් කබලේ පිටුපස ඇති ශක්තිමත්ම අෂ්ථිය වන්නේ කපාල අෂ්ථියයි. අධිකරණ වෛද්‍යවරයා විසින් හිස්කබලේ පිටුපස ඉවත්කොට කපාල අෂ්ථිය පරීක්ෂා කළේය. එම අෂ්ථිය කොටස් කිහිපයකට කැඩී බිඳී ගොස් තිබුණි. කපාල අෂ්ථිය මේ අයුරින් කැඩීගොස් ඇත්තේ මොට ආයුධයකින් පහර දීම නිසා බවට අධිකරණ වෛද්‍යවරයා උපකල්පනය කළේය. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා අපරාධය වූ ස්ථානයද නිරීක්ෂණය කළේය.
අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියක අපරාධමය ස්ථානය පරීක්ෂා කිරීම ඉහළ මට්ටමේ වෘත්තිය ක්‍රියාවලියකි. සාමාන්‍යයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර අපරාධය සිදු වු ස්ථානයට අධිකරණ වෛද්‍යවරුන් යා යුතුය. සමහර අවස්ථාවලදී ඇතිවන ප්‍රායෝගික ගැටලු නිසා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුවද වෛද්‍යවරු අපරාධයක් වූ ස්ථානය පරීක්ෂා කිරීමෙන් මරණයට සම්බන්ධ වැදගත් තොරතුරු සොයා ගැනීමට හැකි යැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරාගේ අදහසයි.
සිරිපාල මුදලාලි නිදාගෙන සිටියේ ලීවලින් සකස්කොට තිබූ කොට ඇඳකය. එම ඇඳ අසල පන් පැදුරක්ද විය. සිරිපාල මුදලාලි නිදා සිටි ලී ඇඳට ඉහළින් බිත්තියේ ලේ පැල්ලම් විශාල සංඛ්‍යාවක් විසිරීගොස් තිබුණි. එම රුධිර සලකුණු අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ඔහු මරණයට පත් වූ ආකාරය සොයා ගැනීමේදී අපරාධය සිදු වූ ස්ථානයේ තිබු රුධිර සලකුණු දැඩි පිටුවහලක් විය.
අපරාධය සිදු වූ ස්ථානයේ තිබු රුධිර සලකුණු විශ්ලේෂණය කිරීම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන වෝහාරික විද්‍යාඥයින්ගේ කාර්යයකි. එහෙත් මෙවැනි සැක කටයුතු මරණවලදී කොළඹින් බැහැර පළාත්වලට රස පරීක්ෂක දේපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යාඥයන්ට පැමිණීම දුෂ්කර නිසා එම කටයුත්තේදී බොහෝ විට සිදු කරන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරින් විසින්මය. නැතිනම් පුහුණු කරනු ලැබූ පොලිස් 'සොකෝ' නිලධාරින්ය. රුධිර සලකුණු එකතු කිරීම පොලිසියේ 'සොකෝ' නිලධාරින් සිදු කරති. රුධිර සලකුණු විශ්ලේෂණය කිරීම අපරාධ විද්‍යාවේ බෙහෙවින් වර්ධනය වී ඇති අනු විෂයකි. අපරාධය සිදු වූ ස්ථානයේ රුධිර සලකුණු ව්‍යාප්ත වී ඇති ආකාරය අනුව අපරාධයට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිය. යුරෝපීය රටවල නම් රුධිර සලකුණු ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ තොරතුරුද අපරාධ නඩුවලදී ඉතා වැදගත් සාක්ෂි ලෙස සැලකේ.
මේ අපරාධය සිදු වූ කාමරයේ බිත්තියේ ලේ බිංදු විශාල සංඛ්‍යාවක් විශාල ප්‍රදේශයක විසිරී තිබිණි. එම ලේ පැල්ලම් බිත්තියේ පහළටද රූරා වැටී තිබිණි. මේ අකාරයට ලේ පැල්ලම් විසිරෙන්නේ පහර දීමක් වූ විට බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරා සඳහන් කළේය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කරගත් තොරතුරු සහ අපරාධය සිදු වූ ස්ථානයේදී සොයාගත් තොරතුරුවලට අනුව සිරිපාල මුදලාලිගේ හිසට පොල්ලක් වැනි මොට ආයුධයකින් පහරදීම නිසා ඔහුගේ මරණය සිදු වී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය.
ඉන්පසු සිරිපාල මුදලාලිගේ ඝාතනයේ තොරතුරු අනාවරණය වන්නේ මේ අයුරිනි.
සිරිපාල මුදලාලිගේ කඩේ වැඩට ආ 'සිරිසෝම', මුදලාලිගේ එක් දියණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. මේ සම්බන්ධය සිරිපාල මුදලාලිටද දැනගන්නට ලැබුණේය. ඔහු ඊට දැඩි ලෙස විරුද්ධ විය. මෙම සම්බන්ධය නතර කර දමන ලෙස සිරිපාල මුදලාලි කිහිප අවස්ථාවකදීම තම දියණියට මෙන්ම සිරිසෝමටද අවවාද කළේය. එහෙත් එම අවවාද සිරිසෝම තුට්ටුවකටවත් මායිම් කළේ නැත. එක් දිනක රාත්‍රියේ මෙකී ප්‍රේම සම්බන්ධතාවය සම්බන්ධයෙන් සිරිපාල මුදලාලි සහ සිරිසෝම අතර බහින් බස්විමක් ඇති විය. දෙදෙනා අතර පැවති බහින් බස්වීම දුරදිග ගියේය. සිරිසෝම ඇඳ අසල තිබූ පොල්ලෙන් සිරිපාල මුදලාලිගේ හිසට පහරවල් කිහිපයක් එල්ල කළේය. ඉන්පසු හිසට පිහි පහරවල් කිහිපයක්ද ඇන්නේය. ඉන් පසු ඔහු ගමේ යන බව තම හිතවතුන්ට පවසා පලා ගියේය. මේ ඝාතනය වී මාස කිහිපයකට පසු සිරිසෝම පොලිස් අත්අඩංගුවට පත්විය.
රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය යූ.සී.පී. පෙරේරා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.