ජන­මාධ්‍ය විශි­ෂ්ට­යන් ඇග­යෙන සම්මාන උලෙළ දෙසැ­ම්බර් 13දා | සිළුමිණ

ජන­මාධ්‍ය විශි­ෂ්ට­යන් ඇග­යෙන සම්මාන උලෙළ දෙසැ­ම්බර් 13දා

උපහාර ලබන ප්‍රවීණ මාධ්‍යවේදීන් වන දයා ලංකාපුර, පී.බී. ඉලං­ග­සිංහ, චිත්‍රා වීර­රත්න,  පොන්න­යියා මානි­ක­වා­ස­ගම් සහ ඒ.ඩී. රංජිත් කුමාර මෙහි වමේ සිටය.
උපහාර ලබන ප්‍රවීණ මාධ්‍යවේදීන් වන දයා ලංකාපුර, පී.බී. ඉලං­ග­සිංහ, චිත්‍රා වීර­රත්න, පොන්න­යියා මානි­ක­වා­ස­ගම් සහ ඒ.ඩී. රංජිත් කුමාර මෙහි වමේ සිටය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මෙහෙයවීමෙන් 23 වැනි වරටත් පවත්වන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ දෙසැම්බර් 13 වැනිදා අඟහරුවාදා ගල්කිස්ස හෝටලයේ එම්පයර් බෝල්රූම් ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහයෝගය ඇතිව මෙම සම්මාන උලෙළ උත්කර්ෂවත්ව වාර්ෂිකව සංවිධානය කරයි. මේ වසරේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වනුයේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන කර්තෘ මනික් ද සිල්වා ය.

මෙම වාර්ෂික වැඩසටහන පවත්වනුයේ ජනමාධ්‍යයේ වෘත්තීය භාවය පිළිගැනීමට ලක් කිරීමට හා එහි විශිෂ්ට කුසලතා දැක්වූවන්ට සම්මාන පිරිනැමීමටය. මේ වසරේ ජනමාධ්‍යවේදීන් 34 දෙනකුට පන්හිඳ සහිත

ජයසංකේත සම්මාන පිරිනැමෙන අතර, තවත් 17 දෙනෙක් කුසලතා සම්මානයෙන් ඇගයේ. ශ්‍රී ලංකාවේ පුවත් පත් ප්‍රකාශන ආයතන 9කින් අයැදුම් 251 මෙවර ලැබී තිබූ අතර 8 දෙනකුගෙන් සමන්විත ස්වාධීන විනිසුරු මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබූ බව 2021 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේ කැඳවුම්කරු සුකුමාර් රොක්වුඩ් පවසයි.

වසරේ ගවේෂණශීලි මාධ්‍යවේදියා ලක්ෂ්මන් කදිරගාමර් ශිෂ්‍යත්වය ඔස්සේ ප්‍රමුඛ පෙළේ ඉන්දියානු ජනමාධ්‍ය විද්‍යායතනයක් වන කේරළයේ මැස්කොම් වෙත යොමු කිරීමට ද නියමිතය. මෙම ශිෂ්‍යත්වලාභියාට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනුග්‍රහයෙන් එරටට ගමන් පහසුකම් සැපයෙනු ඇත. මෙම වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඩයලොග්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඕලු බොම්ල්වි වෝටර් යන ආයතන ඇතුළු ආයතන රැසක් මගිනි. අනෙකුත් අනුග්‍රාහකයන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඉන්සී සිමෙන්ති යන ආයතනයි. ගල්කිස්ස මහ හෝටලය සත්කාරක අනුග්‍රාහකත්වයට දායකවෙයි.

මීට අමතරව, ජීවිත කාලය පුරා කළ මෙහෙවර උදෙසා චිත්‍රා වීරරත්න, දයා ලංකාපුර, ඒ.ඩී. රංජිත් කුමාර, පී. මානික්වාසගම් සහ පී.බී. ඉලංගසිංහ යන මාධ්‍ය ප්‍රවීණයින් සම්මානයෙන් පිදුම් ලබති. ඔවුන් පිළිබඳ විස්තර මෙසේය.

දයා ලංකාපුර මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 55ක සේවා ඉතිහාසයකට උරුමකරුවෙකි. 1966 මාධ්‍යවේදියකු ලෙස ඇත්ත පුවත්පතට එක්වෙමිනි. සිය ජනමාධ්‍ය ජීවිතය ආරම්භ කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල සිටිද්දීමය. උපාලි නිව්ස්පේපර්ස් ලිමිටඩ් ආයතනය ආරම්භයේදීම දිවයින කර්තෘ මණ්ඩලයට බැඳුණු ඔහු පාර්ලිමේන්තු හා දේශපාලන කටයුතු වාර්තාකරුවකු වූ අතර, ඉන් අනතුරුව 1994 දී

දිනමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස කෙටි කලක් කටයුතු කළේය. පසුව ඔහු සිළුමිණ පුවත්පතේ සම කර්තෘ හා ජනතා පුවත්පතේ 1998 මැයි මාසයේ පටන් 2004 මැයි මාසය දක්වා කර්තෘ ධුරය දැරීය. ඉන් අනතුරුව ඉරිදා රිවිර පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය බාරගත් හෙතෙම ලක්බිම පුවත්පතේ රාත්‍රී කර්තෘ ලෙසත්, ඉරුදින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙසත්, දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩල උපදේශක ලෙසත් දායකත්වය සැපයීය.

ඒ.ඩී. රංජිත් කුමාර සරසවිය හා සරසි යන සතිපතා සිනමා පුවත්පත්වල කර්තෘ ධුරය දැරුවේ ය. විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රය ඇතුළු ජනමාධ්‍යයේ කටයුතුවල හෙතෙම දශක පහක් පුරා රැඳී සිටියේ ය. කොළඹ කේරි විදුහලේත් කොළඹ ආනන්ද විදුහලේත් ආදි ශිෂ්‍යයකු වූ ඔහු කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයෙකි.

පී. මානිකවාසගම් යනුවෙන් හැඳින්වෙන පොන්නයියා මානිකවාසගම් අසීරු වාතාවරණයන් යටතේ වීරකේසරී පුවත්පතේ දශක හතරක් සේවය කළ ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකි. යුදගැටුම් පැවැති කලාපයේ රැඳී සිටිමින් යුදගැටුම් පිළිබඳව ඔහු කළ වාර්තාකරණය දෙස් මෙන්ම විදෙස් මාධ්‍යයන්හි ද ගෞරවයට පාත්‍ර විය. ඒවා සත්‍ය හා නිවැරැදි බවෙන් යුක්ත බවට පිළිගැනීමක් තිබිණි. BBC දමිළ ගුවන්විදුලි සේවාව 2016 දී අත්හිටුවා දමන තුරු වසර 25 කුත්, රොයිටර් පුවත් සේවාවේ වසර 10 කුත් ඔහු අර්ධකාලීනව කටයුතු කළේය.

දි අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදිනියක වූ චිත්‍රා වීරරත්න සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ

බම්බලපිටියේ විශාඛා විද්‍යාලයෙනි. පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ස්වාභාවික විද්‍යා උපාධිය හිමි කරගත් ඇය රචකයන් අතර ජනාදරයට පත්වූයේ චිත්‍රා නමිනි. ඈ සිය ජනමාධ්‍ය දිවිය ආරම්භ කළේ ස්වාධීන පුවත්පත් සමූහයට අයත්ව තිබූ මේ වන විට අභාවයට ගොස් ඇති සන් පුවත්පතෙනි. 90 දශකය මුලදී අයිලන්ඩ් පුවත්පතට බැඳුණු ඇය ඉක්මනින්ම අධිකරණ කටයුතු වාර්තාකරණයේ ස්ථාපිත වූවාය. ඈ දිවංගත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.ඒ. ද ඇස්. විජේසුන්දරගේ දියණිය වූ නිසා අධිකරණ කටයුතු පිළිබඳ විෂය ඇගේ රුධිර නහරගතව තිබිණි.

පී.බී. ඉලංගසිංහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ලේක්හවුස් හි ජනතා පුවත්පතේ කර්තෘ මණ්ඩලයට 1965 දී ඔහු බැඳුණේ පුහුණුව ලබන වාර්තාකරුවකු වශයෙනි. 1970 දී සිළුමිණ කර්තෘ මණ්ඩලයට මාරු වූ ඔහු සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වරයා වූ එස්. සුබසිංහ මහතා යටතේ උප කර්තෘ වරයකු වශයෙන් කටයුතු කළේය. 1985 හෙතෙම සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ධුරයට උසස්වීම් ලද්දේය. ඉන් අනතුරුව 1995 දී විජය පුවත් සමූහයේ ඉරිදා ලංකාදීප කර්තෘ මණ්ඩලය වෙත ගිය ඔහු මේ වන විට එහි නියෝජ්‍ය කර්තෘ ධුරය හොබවයි.


 

 

Comments