සෑම විටම ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ සහයෝගය | සිළුමිණ

සෑම විටම ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ සහයෝගය

සෑම විටම ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබා දෙන බවට පාකිස්තානයේ මුදල් අමාත්‍ය සෙනෙට් සභික මුහම්මද් ඉෂාක් ඩාර් මහතා සහතික වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 
 
ආසියා සහ පැසිෆික් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සහ පාකිස්තාන රජය එක්ව තිරසාර සංවර්ධන ඉලක්ක SDG සංසදය දෙසැම්බර් 05 දින සිට 07 දින දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී පැවැත්වීය. මෙම සංසදය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී විය. මෙම සංසදයේ ආරම්භක සැසිය ඇමතීමද රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.
 
මෙම සංසදය අතරතුර ආසියා සහ පැසිෆික් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) ලේකම් ආචාර්ය ආර්මිඩා සල්සියා අලිස්ජාබානා මහත්මිය, පකිස්තාන මුදල් අමාත්‍ය සෙනෙට් සභික මුහම්මද් ඉෂාක් ඩාර් මහතා සමඟ මෙන්ම එරට සැළසුම් සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මහාචාර්ය අහ්සාන් ඉක්බාල් චෞදි මහතා සමඟ ද අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ද්වි පාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා ඇත. 
 
මෙම සංසදයේදී කලාපය පුරා සියලුම රටවල් මුහුණ දෙන ගෝලීය ආර්ථික අභියෝගවල බලපෑම් සහ එම අභියෝග ජය ගැනීමට හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්චා කර ඇත. එමෙන්ම දැනට කළාපීය රටවල් මුහුණ දෙන ආර්ථික හා විවිධ ගෝලීය අභියෝග අවම කිරීම සඳහා සාමූහිකව කළාපීය ප්‍රවේශයක වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කරන ලද බව  මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.
 
සංසදයේ මෙවර තේමාව වූයේ, “Covid-19 වසංගතය සහ යුක්‍රේන් යුද්ධයේ අර්බුධයෙන් ප්‍රකෘතිමත් වීම වේගවත් කිරීම” යි. 2030 න්‍යාය පත්‍රය බොහෝ වැදගත් ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් උප කලාපීය මට්ටම්වල උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා වන අවස්ථා පිළිබඳව සාමාජික රටවල් සහ බහු පාර්ශ්වකරුවන් අතර ගැඹුරු සහ හවුල් අවබෝධයක් ඇති කිරීම මෙම සංසදයේ පරමාර්ථය විය.
 

Comments