සහල් ආනයනය අත්හිටුවන්න – ජනපතිගෙන් උපදෙස් | සිළුමිණ

සහල් ආනයනය අත්හිටුවන්න – ජනපතිගෙන් උපදෙස්

සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
 
තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස ඊයේ (08)  පාර්ලිමේන්තුවේ දී  ජනාධිපතිතුමන් හමුවූ අවස්ථාවක දී තමන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එයට අදාල ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක  ආචාර්ය ආර්. සමරතුංග මහතාට එම අවස්ථාවේ ම උපදෙස් දුන් බවත් අමරවීර මහතා සදහන් කළේය.
 
පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් වගා කිරීමට ඉළක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ  වගා කිරීමටත් ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී අප රටට සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ද ඇමැතිවරයා මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
 
 
බුද්ධිකා ඉඹුලාන

Comments