ඉන්දියාවේ දිල්ලි නුවර අයහපත් වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ බලපෑම ක්‍රමයෙන් බැහැරව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
වායුගෝලයේ ගුණාත්මකබව අද (09) සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවය අපේක්‍ෂා කෙරේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දූෂණ කළමනාකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ, බෙංගාල බොක්ක අවට අඩු පීඩන තත්ත්වය නිසා ඇති වූ වාසුලියේ සුළං දිශාව වෙනස් වීමත් සමග මෙම තත්ත්වය සාමාන්‍යකරණය වෙමින් ඇති බවයි.
ඊයේ(08) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 – 200 ත් අතර අගයක් දක්වා ඉහළ ගිය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
එසේම ඊයේ දිනට සාපේක්ෂව මේ වනවිට වායු දූෂණ මටට්ම 75 % කින් පමණ අවම වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
ඉන්දියාවේ වායු දූෂණය ඉහළයාමෙන් බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව ඊයේ දිනය වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්විය.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ වායු දූෂණය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, යාබද ප්‍රාන්තවල ගොවීන් අස්වනු නෙලීමෙන් අනතුරුව පිදුරු ආදී අවශේෂ පුළුස්සා දැමීමය.
එමෙන්ම ඉන්දියාවේ දීපාවලී ආගමික උත්සවය වෙනුවෙන් ගිනිකෙළි දැල්වීමෙන් පිටවූ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායුන් ද වායුගෝලයට එක්වීමෙන් මෙම තත්ත්වය මාරාන්තික මට්ටමකට උග්‍රවී තිබේ.
දිල්ලි අගනුවර වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර වායු අංශු 50ක අඩු මට්ටමකය.