
මීට සති කිහිපයකට පෙර යාල වනෝද්‍යානයට ගොස් වාහන පදවමින් වනසතුන්ට හිරිහැර වන සේ රිය පැදවූ පුද්ගයින් සම්බන්ධව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි නිලධාරින්ගෙන් කරුණු විමසීමක් කර තිබේ.
ඉකුත් 25වැනිදා යාල වනෝද්‍යානයේ පහල හේන්තොට සංචාරක නිවස්නය විවෘත කිරීමට සහභාගි වූ අමාත්‍යවරයා එම සිද්ධිය සම්බන්ධව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වනජිවි නිලධාරින්ගෙන් කරුණු විමසා ඇත.
එහි දී අදහස් පළ කළ යාල වනජීවි නිලධාරින්, වාහන 35ක් පමණ එම අවස්ථාවට සහභාගි වී ඇති අතර එහි දී පදවා තිබෙන්නේ වාහන 09ක් බවත් , ඉන් 07ක් දැනටමත් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය.
මෙම වාහන 07 අධිකරණය භාරයේ පවති.
එමෙන්ම ඉතිරි වාහන දෙක ද වහාම අත් අඩංගුවට නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. වන සතුන්ට හිංසාවන පරිදි කටයුතු කළ එම පුද්ගලයින් සියලු දෙනා සම්බන්ධව වනජීවි පනත යටතේ නීතිමය පියවර ගැනීමට උපරිම ලෙස කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
යාල වනෝද්‍යානයේ දැනට දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කර තිබෙන්නේ සමස්ත බිම් ප්‍රමාණයෙන් පහෙන් දෙකක් වැනි ප්‍රමාණයකි. ඉතිරි කොටස් ද දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමටත්, එක් කලාපයක් නියාමන ව්‍යාපෘතියක් වශයෙන් රාත්‍රි කාලයේ වනසතුන් දැක බලා ගැනීම සදහා Night Safari විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බලා එම කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.