උඹේ කරත්තෙ! | සිළුමිණ

උඹේ කරත්තෙ!

කටුනායක සිට කැලණියට මහ දුරක් නැත. එහෙත් රවීන්ද්‍රට එය දැනෙන්නේ දුර ගමනක් හැටියටය. ඔහුට හොඳටම හදිස්සිය. එවරස්ට් තරණය කරන්නට වෙර දරන කඳු නඟින්නන් නේපාලයේ දුෂ්කර මාර්ග දිගේ පැය ගණන් රස්තියාදු වන ආකාරය ඔහුට සිහිපත් වෙයි. ලන්ඩනයේ සිට එඩින්බරෝ දක්වා දිවෙන දීර්ඝ මාර්ගය ද ඔහුට සිහිපත් වෙයි. වාහනය විවිධ හේතු නිසා සිය වේගය බාල කරන අතර, ඒ සෑම මොහොතකම රවීන්ද්‍ර කෝපයට පත්වෙයි.

ගුවන් යානය නිශ්චිත වෙලාවට කටුනායක ගුවන් තොටුපළට බස්සවනු ලැබූවද විදේශ ගමන්වලට අදාළ රාජකාරි කටයුතු නිමවා එන විට සැලැකිය යුතු වෙලාවක් ගෙවී තිබිණි. ඔහු පිටවීමේ දොරටුව වෙත පැමිණියේ දෙකයි තිහටය. එහෙත් යානය කටුනායකට පැමිණියේ හරියටම මධ්‍යාහ්න දොළහයි පනස් පහටය. ඔහු ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයටම හිතින් බැණ වැදුණේය. ලන්ඩනයේ මෙහෙම ප්‍රමාදයක් නැතැයි තර්ක කළේය.

රවීන්ද්‍ර ගෙවී ගිය මාස හය තුළ සිය අධ්‍යයන කටයුතු ඉතා හොඳින් කරගෙන ගියේය. එහි ප්‍රතිඵලය ලෙස විසිපස් දෙනකුගෙන් යුත් පුහුණු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වීමේ වාසනාව ඔහු උදාකර ගත්තේය. ඒ කුමන දේවල් තිබුණ ද රවීන්ද්‍රගේ හිත ශ්‍රී ලංකාවේ එක්තරා තැනෙක නැවතී තිබිණි. ඔහු ලන්ඩනයේ සිටිය ද දවසකට දහදොළොස් වතාවක් ඇය ගැන කල්පනා කරමින් සිහින ලෝකයක පාවී ගියේය.

සන්නිවේදන තාක්ෂණය කෙතරම් දියුණු වුව ඊට අදාළ සියලු පහසුකම් පුහුණු වන්නන් වෙත ලබාදී තිබුණේ නැත. ඔවුන් සීමිත පහසුකම් යටතේ දැඩි විනයානුකූල හැසිරීමක් පවත්වාගත යුතු විය. ලන්ඩනයට ගිය මුල් සති දෙක තුළ ඇයට දුරකතන මාර්ග ඔස්සේ කතා කිරීමේ අවස්ථාව තිබුණ ද පසුව එය ඇහිරී ගියේය. එහෙත් ඔහුට ඇය විශ්වාසය. ඉන්දු ජීවිත කාලය පුරාවට තමන් වෙනුවෙන් බලා සිටිනු ඇත යන්න රවීන්ද්‍රගේ තර්කය විය.

"ඔයා ගියහම මට තමයි පාළු!"

"ඇයි කඩේ සෙට් එක ඉන්නෙ?"

"ඒ වුණාට තනියම කිසි දෙයක් කරගන්ඩ මට බෑ!"

"මාස හයයිනෙ,ඕක ඉක්මනටම ගෙවිල යයි!"

ලන්ඩනය බලා පියාසර කිරීමට පෙර එක්තරා හැන්දෑවක ඔවුහු බංකුවක් මතට වී එකිනෙකාට සමීපව බොහෝ වේලාවක් කතා කරමින් උන්හ. රවීන්ද්‍ර ප්‍රකටව සිටියේ නිහඬ එහෙත් දක්ෂ විද්‍යාර්ථියකු හැටියටය. ඔහු දේශපාලනයට සම්බන්ධ වූයේ නැත. පෙළපාළි ගියේ නැත. ගෝරිවලට ගියේ ද නැත. සරසවියේ අධ්‍යයන කටයුතුවලට අමතරව රාජ්‍ය ගුවන්විදුලියෙහි සහන නිවේදකයකු ලෙස ද ඔහු වැඩ කළේය. රවීන්ද්‍ර ලන්ඩනය බලා ගියේ මහා බ්‍රිතාන්‍යයෙන් ලබා දුන් ශිෂ්‍යත්වයකට අනුව මාස හයක පාඨමාලාවක් හැදෑරීමටය. ඒ සඳහා සියයකට වැඩි පිරිසක් ඉල්ලුම් කර තිබුණ ද තේරී පත් වූ එකම තැනැත්තා ඔහු විය.

රවීන්ද්‍ර කැපී පෙනෙන චරිතයක් වූ බැවින් කවුරුත් ඔහුට ආදරය කළහ. ආචාර්යවරු නිතර ඔහු ගැන සඳහන් කළහ. ඉන්දු රවීන්ද්‍ර වෙත ඇදී එන්නේ දේශනවල ගැටලු තැන් විසඳා ගැනීමටය. පසුව ඔවුන්ගේ ඇසුර ඉබේම මෙන් ප්‍රේම සම්බන්ධයක් බවට පෙරැළී තිබිණි. රවීන්ද්‍ර හැමවිටම ස්ත්‍රියට ගරු කරන චරිතයකි. ඔහු ඉන්දු රැගෙන අඳුරු තැන්වලට ගියේ නැත. දෙදෙනාගේ සම්බන්ධය අතක් ස්පර්ශ කිරීමෙන් ඔබ්බට ගොස් තිබුණේ ද නැත. එහෙත් ඔහු දැඩි ලෙස සිය පෙම්වතියට ආදරය කළේය. එය පිරිසුදු අාධ්‍යාත්මික ප්‍රේමයක් සේ හැඳින්විය හැකිය.

රවීන්ද්‍ර බෝඩිමට පැමිණියේය. බෝඩිමක් යැයි කියූව ද එය බුළුගහ හන්දියේ පිහිටි පන්සලකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ භික්ෂූහු කිහිප නමක් එහි නේවාසිකව වැඩ විසූහ. වරාය කම්කරුවෝ දෙදෙනෙක් හා ලංගම රියැදුරෙක් ද එහි නේවාසිකව උන්හ. එහි කුලියට සිටි එකම තරුණයා රවීන්ද්‍ර විය. බෝඩිමේ සියල්ලෝ ද පන්සලේ නායක හාමුදුරුවෝ ද ඔහුට බෙහෙවින් හිතවත් වූහ. මේ නිසාම ඔහු රැගෙන ආ තෑගි බෝග ප්‍රමාණය ද විශාල විය.

රවීන්ද්‍ර විශාල බෑග් මලු දෙක ද රැගෙන කඩිමුඩියේ වාහනයෙන් බැස ගත්තේය. ඔහු පිළිගැනීමට හා ආගිය කතා පැවැත්වීමට පිරිස සූදානම් වුව රවීන්ද්‍ර ඉතා සූක්ෂ්ම ලෙස එම අවස්ථාව මග හැරියේය. ඔහුගේ ඉලක්කය වූයේ හැකි විගස විශ්වවිද්‍යාලයට ගොස් ඇය හමුවීමය. ඔහු ඊට පෙර ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා ගත්තේය. දුරකතනය නාද වුව පිළිතුරක් නැත. ඔහු නැවත නැවත ඇමතුම් ලබා ගත්තේය. එහෙත් පිළිතුරක් නැත. "ෆෝන් එක දාල කොහේ හරි ගිහින් ඇති, නානවද දන්නෙත් නෑ"ඔහු අවසන් ලෙස සිතා ගත්තේය.

රවීන්ද්‍රගේ ඊළඟ පියවර වූයේ නා කියාගෙන හැකි විගස පිටත් වීමය. දීර්ඝ ගුවන් ගමනක් නිසා තෙහෙට්ටු ගතියක් ද ඔහුට තිබිණි. විනාඩි පහක් තුළ ඔහු නා ගත්තේය. ඉනික්බිති මිතුරකුට ඇමතුමක් ගත්තේය.

"ආ උඹ ආවද? කවද්ද ආවෙ!?"

"මේ දැන් ආව විතරයි!"

"උඹ දැන් කැම්පස් එනවද?"

"ඔව්, කොහොමද බන් ඉන්දුට!"

"ම්... ම්... ඉන්දුත් ඉන්නවා ඉතින්!"

රවීන්ද්‍රට මිතුරාගේ කතාව ඇල්ලුවේ නැත. එහෙත් ඔහු ඒ ගැන තවදුරටත් ප්‍රශ්න කිරීමට ගියේ නැත. ඔහු බසයේ යනු වෙනුවට ත්‍රිරෝද රථයක් කුලියට ගෙන විශ්වවිද්‍යාලය ළඟට පැමිණියේය. ඒ හන්දිය, පුංචි කඳු ගැටය, විශ්වවිද්‍යාල දැන්වීම් පුවරුව ඔහු යළිත් සුපුරුදු ලෝකය වෙත කැඳවාගෙන ගියේය. කඳු ගැටය නැඟිමින් සිටින රවීන්ද්‍රට සුපුරුදු මුහුණු දැකගත හැකි විය. සෑම මුහුණකම සිනහවක් රැඳී තිබිණි. විශ්විද්‍යාලය කෙතරම් නිදහස් පරිශ්‍රයක් දැයි ඔහුට සිතිණි.

කැන්ටිම ළඟදී ලයියා හමු විය. ඔහු සිය කතාව අවසන් කළේ, "උඹේ කරත්තෙ කවුද එකෙක් දක්කනවා බන්"යන වාක්‍යයෙන්ය. රවීන්ද්‍රගේ හිත ගැස්සී ගිය ද ලයියා විහිළුකාරයකු බැවින් ගැටලුවක් මතු වූයේ නැත. ඔහුට තවත් කෙනකු මුණගැසිණි. ඒ ඉන්දුගේ හොඳම මිතුරිය වූ චම්පිකා ය. "ඉන්දු පුස්තකාලෙ!" කියාගෙන ඈ යන්නට ගියාය.

රවීන්ද්‍ර අඩියට දෙකට පුස්තකාලයට ගියේය. පුස්තකාලය යනු ඔහුගේ ප්‍රියතම ස්ථානය වෙයි. නිබන්ධන ලියන්නට, සාකච්ඡා කරන්නට පොත් කියවන්නට පමණක් නොව පෙම්බස් දොඩන්නට ද ඔවුහු පුස්තකාලය භාවිත කරති. එහි ඇති දිග ශාලාවෙහි දෙදෙනාට බැගින් අසුන් ගැනීමට මේස පුටු සකසා තිබිණි. රවීන්ද්‍ර පිවිසුම් දොරටුවේ සිට දකුණු පස පේළිය දෙස නිරීක්ෂණ බැල්මක් හෙළුවේය. ඈත කෙළවරක ඇය තවත් කෙනකු සමඟ බර කතාවක සිටින බව ඔහු දුටුවේය. ඔවුහු අසාමාන්‍ය ලෙස එකිනෙකාට සමීප වී සිටිනු ඔහුට දැක ගත හැකි විය. එය සාමාන්‍ය කතාබහක් විය නොහැකිය. රවීන්ද්‍ර හිටිතැනම ගල් ගැසුණේය. ඔහුට සිහිපත් වූයේ ලයියාගේ කියමනය. "උඹේ කරත්තෙ කවුදෝ එකෙක් දක්කනව බන්!"

රවීන්ද්‍ර සුසුමක් හෙළා ආපසු හැරුණේය. කුමක් කළ යුතු ද, කොතැනකට යා යුතු ද යන්න නිශ්චය කිරීමට ඔහු අසමත් විය.

Comments