
මත්කුඩු ජාවාරම හා බැඳුණු ප්‍රබල පාතාල අපරාධකරුවන් අතර පොඩි ලැසීගේ නම ඇත්තේ ඉදිරියෙනි. අණක් ගුණක් නොමැති පාතාල අපරාධකරුවන් අතර නම කියැවෙන පොඩි ලැසී මේ වන විට සිටින්නේ අපේ රටේ අධි ආරක්ෂිත බන්ධනාගාරගක් වන බූස්සේය. එහි රඳවා සිටින්නේද දරුණුම ගණයේ අපරාධකරුවන්ය.
පොඩි ලැසී බූස්සේ දැන් සිටින්නේ අධිකරණයෙන් ඔහුට ඇප ලැබී ඇති පසුබිමකය. ලොකු වියදමක් දරා රටේ නම ගිය නීතීඥවරයකුගේ සහය ලබා ගනිමින් ඇප ලබාගත් පොඩි ලැසී තාමත් බූස්සේම රැඳී සිටින්නේ ඇප කොන්දේසි ඉටු නොකරමිනි. ඒ ඔහුට එම ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි නිසා නොව. ඒ එළියට එනවාට වඩා ඇතුළේ රැඳී සිටීම සිය ජීවිතාරක්ෂාවට හොඳ යැයි ඔහු කල්පනා කරන නිසා විය හැකිය. ඒ ප්‍රතිවිරුධ පාතාල අපරාධකරුවෝ මෙන්ම තව තවත් අයගේද අවි ලැසී දෙසට එල්ලවී ඇති බැවිනි. ඇප ලැබුණත් එලියට නොපැමිණ ලැසී මේ කල්මරමින් සිටින්නේ යම් සැළසුමකට අනුව බව පැහැදිලිය. බොහෝ විට ඔහු කිසිවකුටත් හොරා බන්ධනාගාරයෙන් එළියට විත් ඩුබායි හෝ වෙනත් රටකින් මතු වන්නට ඇති ඉඩකඩ බොහෝය. ඒ මාකිලංගමුවේ සංජීව, කරන්දෙණියේ සුද්දා වැනි පාතාල අපරාධකරුවන්ගේ අඩි පාරේ යමිනි.
බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් යැයි කීවත් පොඩි ලැසීට නම් එය අධි ආරක්ෂක වී ඇත්තේ සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් පමණි. ලැසී ඇතුළේ සිටියත් ඔහු එළියේ ඉන්නවාට වඩා හොඳින් සිය ගෝලබාලයන් මෙහෙයවමින් සිටින්නේ ජයටම මත්කුඩු ජාවාරම කරගෙන යමිනි. ඒ සඳහා ඔහුගේ හයිය බව කියන්නේ මවය. පොඩි ලැසී අද අපරාධකරුවෙක් ලෙස කුප්‍රකට චරිතයක් බවට පත්ව ඇත්තේ මව නිසාය.
අපරාධ ලෝකයේ ලැසීගේ නම කියැවෙන චරිතයක් බවට පත්වන්නේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ව ඝාතනයත් සමඟිනි. එම ඝාතනය සිදුවන්නේ 2015 වසරේදීය. එදා ඔහු මනෝජ් මෙන්ඩිස්ව ඔහු වෙඩි තබා මරා දමන්නේ සිය පියාගේ ඝාතනයට පළිගැනීමක් ලෙසිණි.
ලැසීගේ පියා අරුමාහන්දි වසන්ත හෙවත් පැන්නා ය. ඔහුද එතරම් හොඳ චරිතයක් නොවීය. වසන්තගේ ඝාතනය සිදු වන්නේ 2008 වසරේ නොවැම්බර් 09 වෙනිදාය. ඒ සිය බිරිය වූ ලැසියාගේ මව වන දිල්හානි තනුජා සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීය. තෙල්වත්තේ සුනාමි ස්මාරකය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ වසන්ත මියැදෙන්නේ බලපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී ලැසියාගේ උකුල මතය. අවසන් හුස්ම පොද පිටකරන්නට මත්තෙන් තමාට වෙඩි තැබුවේ කවුරුන්දැයි වසන්ත සිය පුතා වූ ලැසියාට කීවේය. දක්ෂ නැටුම් ශිල්පියෙක් වූ ලැසියාගේ සිතේ වෛරයේ ගිනි දැල් ඒත් එක්කම ඇවිළෙන්නට ගත්තේය. ඒ වන විට ලැසියාගේ මවද සිටියේ වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වෙමිනි. මේ නිසාම ලැසියාගේ සිතේ වෛරය කෑකෑරෙන්නට ගත්තේය. නව යොවුන් වියේ පසු වූ තරුණයෙක් වූ ලැසී ගිනි අවිය අතට ගන්නේ ඒත් එක්කමය. සිය පියාගේ හත්දොහේ දාන පින්කම දා ඔහු සිය පියාගේ ඝාතනය හා ගෑවී සිටි ව්‍යාපාරිකයෙක් වූ තරින්ද්‍ර සිල්වාව වෙඩි තබා මරා දැමුවේය. ලැසීගේ නම ඉදිරියේ ලියැවෙන මුල්ම ඝාතනය වන්නේ එයය.
ලැසීගේ ඉලක්කය වූයේ මනෝජ් මෙන්ඩිස්වය. ඒ වන විට ප්‍රබල දේශපාලනඥයන් රැසක් ඇසුරු කරමින් සිටි මනෝජ් මෙන්ඩිස්ට කිට්ටු වීම එතරම් පහසුවක් නොවීය. එබැවින් පොඩි ලැසියා කල්මරමින් සිටියේ අවස්ථාවක් ලැබෙන තුරුය. ඒ මනෝජ් මෙන්ඩිස්ට හේත්තු වෙමිනි. ඒ අතර පොඩි ලැසියා සිය පියා මරා දැමූවන් ගැන තොරතුරු රැස්කරන්නට ගත්තේය. සිය පියාට වෙඩි තැබුවේ ජනිත් නිශාන්ත බව දැනගත් ඔහු 2011 වසරේ ඔක්තෝබර් 10 වෙනිදා ජනිත්ට කොකා ගස්සන්නේ සිය පියාට වෙඩි තැබූ තෙල්වත්ත සුනාමි ස්මාරකය ආසන්නයේදීමය. එහිදී වෙඩි ප්‍රහාර හමුවේ සිය ජීවිතය ගලවා ගැනීමට ජනිත් සමත් වන්නේ දෙපයට පින්සිදුවන්නටය. එහිදී ඔහු තමාට වෙඩි තැබුවේ කවුරුන්දැයි හඳුනා ගත්තේය. ඒත් එක්කම ලැසියාව සොයා පොලිසිය පමණක් නොව, මනෝජ් මෙන්ඩිස්ගේ ගෝල බාලයන්ද මුළු දකුණම පීරන්නට ගත්තේය. ලැසියාට සිය ජීවිතය රැකගෙන තවදුරටත් මෙරට රැඳී සිටීමට ඒ නිසාම ඉඩක් නොවීය. ජීවිතය රැක ගැනීමට රටින් පලා යෑම හැරුණු කොට වෙනත් විකල්පයක් ඔහුට නොවීය. එබැවින් ලැසියා ආරක්ෂාව පතා පලා යන්නේ ඩුබායි බලාය.
වැඩි කල් ඔහුට ඩුබායි හි රැඳී සිටීමට ඉඩක් නොවීය. ජාත්‍යන්තර පොලිස් මෙහෙයුමකින් පොඩි ලැසියාට සිදු වන්නේ මෙරටට පිටුවහල් වීමටය. ඩුබායි සිට පිටුවහල් කෙරුණු පොඩි ලැසියා හිරේට යන්නේ ජනිත්ට තැබූ වැරදුණු වෙඩිල්ලටය.
වැඩි කල් හිරේ විලංගුවේ නොසිටි ලැසියා ඇප මත එළියට ඇවිත් කුරුමාණම් ඇල්ලුවේ මනෝජ් මෙන්ඩිස්ටය. කල් යල් බලා මනෝජ් මෙන්ඩිස්ට හික්කඩුවේ සංචාරක අවන්හලක් තුළදී ඔහු කොකා ගස්සනු ලැබුවේ 2015 මාර්තු 23 වෙනිදාය.
එම ඝාතයට ඇතුළට ගිය ලැසියා එළියට එන්නේ මාස ගණනාවකට පසුවය. ඒ එන විට ලැසියාව මරා දැමීමට මනෝජ් මෙන්ඩිස්ගේ ගෝල බාලයන් රැදී සිටියේ අවි අමෝරාගෙනය. ඒ ගාල්ල කොටු බැම්මෙන් පිටත හැම තැනක්ම වටලාගෙනය. ඒ බව කල්තියාම දැන සිටි ලැසියා ඇප ලබා එළියට ඇවිත් කාටත් හොරා අතුරුදන්වන්නේ ගාල්ල ධීවර වරායේ ජැටියෙන් බෝට්ටුවක නැගීය. එදා ආරක්ෂක අංශ පවා සිතන්නේ ලැසියා බෝට්ටුවේ නැඟී රටින් පලා ගිය බවය. ලැසියා රටින් පලා ගොස් නැති බව පසක් වන්නේ ඔහු හිරෙන් එළියට ආ මොහොතේ සිටම මනෝජ් මෙන්ඩිගේ ගෝලයන් රැසකට වෙඩි පත්තු කිරීමට පටන් ගැනීමත් සමඟිනි. පොඩි ලැසියාගේ මිලේජ්චත්වය මතු වන්නේ 2017 වසරේ දී ඉඩම්තොටදී අඹු සැමි යුවළක් ඔවුන්ගේ පස් හැවරිදි දරුවාද සමඟ වෙඩි තබා මරා දැමීමත් සමඟිනි.
එම ත්‍රිත්ව ඝාතනයට පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරය ඇතුළට යන පොඩි ලැසියා ඇතුළේ ඉදන් වැඩ පෙන්වන්නට ගන්නේ දකුණේ ප්‍රබල අපරාධකරුවෙකු ලෙස සිය නාමය පතුරුවමිනි. මත්කුඩු ජාවාරමට පවා අතපොත් තබන ලැසියා බන්ධනාගාරය ඇතුළේ සිට හැම දෙයක්ම කලේ ජංගම දුරකතනයෙනි. ඒ සඳහා ඔහුට බන්ධනාගාරයේ ලොක්කෙකුගේ ආශිර්වාදය ලැබුණු බව ප්‍රසිද්ධ රහසකි.
පොඩි ලැසියාට එකල හිර ගෙදර තිබුණේ රජ සැලකිලිය. ඔහු එහි ගත කළේ තරු පන්තියේ හෝටලයක වත් නැති සැප ගනිමිනි. ඊට එරෙහි වූ බන්ධනාගාර නිලධාරියෙක් පසු කාලයේ ඝාතනය වන්නේ අම්බලන්ගොඩ පැත්තේදීය. එම ඝාතනය පවා මෙහෙයවා තිබුණේ යැයි කියැවෙන්නට වූයේ පොඩි ලැසියාය.
ගාල්ල බන්ධනාගාරයේ කාලයක්ම සිටි පොඩි ලැසියා බූස්ස බන්ධනාගාරයට විතැන් වන්නේ දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයේ රැඳවීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමක් සමඟිනි. ඒ අනුව බූස්ස බන්ධනාගාරයට ගිය ලැසියාට මුල් කාලයේ ගාල්ලේ තරම් සැප පහසුවක් නොවීය. අඩුම තරමින් ජංගම දුරකතනයත් වත් භාවිත කිරීමට ඉඩක් නොවීය. ඒ නිසාම ඔහුට පිටත ලෝකය සමඟ පැවති සන්නිවේදන පද්ධතිය පවා බිඳ වැටෙන්නට ගත්තේය. ඒ යැයි කියා ලැසියාගේ මත්කුඩු ජාලයට කිසිදු හානියක් නොවීය. බුද්ධි අංශ සඳහන් කරනුයේ ලැසියාගේ මව විසින් ඒ සියල්ලක්ම මෙහෙයැවූ බවය.
ලැසියාට පමණක් නොව, බූස්ස බන්ධනාගාරය බොහෝ පාතාල අපරාධකරුවන්ට නුහුරු තැනක් බවට එකල පත්ව තිබුණේය. ඒ නිසාම බූස්සේ රඳවා සිටි කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා, කොස්ගොඩ තාරක,වැනි අපරාධකරුවන් සමඟ එක්ව ලැසියා උපවාසයක් පවා බන්ධාගාරය තුළ ආරම්භ කළේය. එම උපවාසය ගැන කරුණු සොයා බැලීමට පැමිණි බන්ධනාගාරයේ ඉහළම නිලධාරීන් පිරිසකට ඒ අයගෙන් එල්ල වන්නේද මරණිය තර්ජනයන්ය. එහිදී ඔවුන් එවකට සිටි ජනාධිපති සහ ආරක්ෂක ලේකම්වරයාව මරා දමන බවට තර්ජනයක් පවා එම නිලධාරීන් හමුවේ කර තිබුණේය. ඒ බූස්සේ සිරගත වීමට සිදුවීම නිසා ඔවුන් වියරු වැටී සිටි බැවිණි.
මේ තර්ජනය කරන විට රටේ ජනාධිපතිධුරයේ රැඳී සිටියේ ගෝඨාභය රාජපක්ෂයන්ය. ආරක්ෂක ලේකම් අද සිටින කමල් ගුණරත්නමය. මෙම තර්ජනය ආරක්ෂක ලේකම්වරයා නම් සුළුවෙන් තැකුවේ නැත. ඒ නිසාම ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ඇරඹෙන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ පැමිණිල්ලක් සටහන් කර ගනිමිනි. එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස 2020 සැත්තැම්බර් 15 වෙනිදා පොඩි ලැසියා මෙන්ම කොස්ගොඩ තාරකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනෙන්නේ දින 90ක් රඳවා ගැනීමේ නියෝගයකට අනුවය. එදා ලැසියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගන්නා විට ඔහුගේ කුටියෙන් මතුවන්නේ රූපලාවණය උපකරණ කට්ටලයකි. දහස් ගණනක් විටනා සෙන් පවුඩර් ගොන්නක්ම ඒ අතර විය. පොඩි ලැසියා බන්ධනාගාරයේ සිටියත් සෙන් පවුඩර් ගසාගෙන සිටියෙක් බව හෙළි වන්නේ එහිදීය.
වසරකට ආසන්න කාලයක් කොස්ගොඩ තාරකත් පොඩි ලැසියාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියේය. ගිනි අවි හා බෝම්බද ඔවුන්ගේ තොරතුරු මත සොයා ගත්තේය. ඒ අතර කොස්ගොඩ තාරක ගිනි අවි පෙන්වන්නට ගොස් මීරිගමදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වන විට පොඩි ලැසී ජීවිතාරක්ෂාව පතා යන්නේ අභියාචනාධිකරණයටය. ඒ පොලිසිය ඔහුවත් ආයුධ පෙන්වීමට රැගෙන යනු ඇතැයි බියට පත්වෙමිනි. ලැසීගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ හැම දෙයක්ම කරන්නේ ලැසීගේ මවය. අභියාචනාධිකරණය හමුවේ පොඩි ලැසීගේ ආරක්ෂාව වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වූයේද අපේ රටේ ඉහළම නීතිඥවරු පිරිසකි. ඒ අය හැම පැත්තෙන්ම ලැසීගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේය. ඒ නිසාම පොලිසියට පවා ලැසීගේ ආරක්ෂාව ගැන වග නොකියා පැත්තකට වන්නට ඉඩක් නොවීය. රැඳවුම් නියෝග කාලය අවසන් වීමත් සමඟ පොඩි ලැසීව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කරන බවට අභියාචනාධිකරණය හමුවේ පොලිස්පතිවරයාට ප්‍රතිඥාවක් දෙන්නේ එබැවිනි.
ඒ ප්‍රතිඥාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දෙසැම්බර් 15 වැනිදා ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ලැසී තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට ඉඩක්නොවීය. ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. එසේ ඔහු රක්ෂිත බන්ධනාගාරයට යන විට පොඩි ලැසී සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුට එල්ල වන්නේ ජීවිත තර්ජනයකි. ඒ පොඩි ලැසීගෙනි. පොඩි ලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් නිදහස ලබන විට පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවන්නේ එම නිලධාරියාට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවක් ලබා දෙන්නටය.
පොඩි ලැසීගෙන් එම නිලධාරියාට එල්ලවී ඇති තර්ජනය තවමත් පහව ගොස් ඇති බවක් නම් බුද්ධි අංශ වාර්තා කරන්නේ නැත.
අද පොඩි ලැසීගේ ජීවිත මේ තරමට හෝ රැකී ඇත්තේ නම් ඒ ලැසීගේ මවගේ හයිය නිසාය. එසේ නොවන්නට පොඩි ලැසී පවා මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරක, ගොනා කෝවිලේ රොහා වැනි නමගිය පාතාල අපරාධකරුවන් මෙන් පොළොවේ පස් වී හමාරය. ඒ නිසා පොඩි ලැසී සිය මවට දක්වන්නේ අසීමාන්තික ආදරයකි. සිය මවගේ උපන්දිනය පවා ජයටම සැමරීමට අවශ්‍ය පහසුකම් ලැසීයා සලසන්නේ ඒ නිසාය. මෙවර මවගේ උපන්දින සැමරුම සංවිධානය වන්නේ පෙර නොවූ විරූ ලෙස සාදයක් පවත්වමිනි. ඒ ලැසීට ඇප ලැබීමේ සතුටද සමඟිනි. අම්බලන්ගොඩ පැත්තේ පිහිටි හෝටලයක මෙම සාදය පැවැත්වෙන්නේ සති කිහිපයකට පෙරය. ඒ සඳහා පවුලේ හිතවතුන්ට අමතරව ලැසීගේ ගෝල බාලයන් රැසක්ම සහභාගී වී සිටි බව සඳහන්ය. ලැසීගේ මව උත්සව ශාලාවට එන්නේ සුඛෝපභෝගී මෝටර් රථයක නැඟීය. ගවුමකින් සැරසුණු ඇය එන්නේ තරුණ කෙලි පැටික්කියක් ලෙසිනි. ඇයව උත්සව ශාලාව තුළට කැඳවාගෙන යන්නේ සුරූපී ලලනාවන්ගේ නර්තනයක් පෙරටු කරගෙනය. ඇය සාදයේදී රැඟුම් පාන්නේ දහඅටේ කෙල්ලකුට නොෙදවෙනි ලෙසිනි. එදා ඒ සාදයට ලැසී සහභාගී නොවුණත් මවට ඔහු උපන්දින තෑග්ගක් එවා තිබුණේය. ඒ පවුම් 15ක රන් මාලයකි. ඒ හැරුණු කොට ඔහු හිරේ ඉඳන් ලියුම් කඩදාසි කෑල්ලක්ද එවා තිබුණේය. ඒ මවට සුබ පතමින් ආරාධිතයන්ට තමා ඔවුන් සමඟ ඉදිරියටත් දුකේද සැපේදීත් ඉන්නා බව සඳහන් කරමිනි.
විශාල මුදලක් වැය කරමින් සංවිධානය කෙරුණු මේ සාදයේ ආරාධිතයන් අතර පොඩි ලැසීගේ බිරිය හෝ දරුවා නොසිටීම කැපී පෙනෙන්නට විය. ඒ අය එහි දක්නට නොවූයේ වෙන කිසිවක් නිසා නොව ලැසීගේ බිරිය මහිනී මධුසංකි නිසාය. පොඩි ලැසී ඇයට කීවේ සංකි කියාය. තෙල්වත්තේ මිදිගස්තුඩුවේ පදිංචිව සිටි සංකිව පොඩි ලැසී සිය අඹුවකර ගන්නේ බලහත්කාරයෙනි. ඒ ඇය විවහා වීමේ අපේක්ෂාවෙන් සිටි පෙම්වතාට මරණීය තර්ජනය කර ඔහුව ඇගෙන් ඉවත් කරමිනි.
ලැසීට දාව ඇයට දියණියක්ද සිටින්නීය. දැන් ඇය සිටින්නේ ලැසීගෙන් දික්කසාද වීමේ අපේක්ෂාවෙනි. ඇයට එසේ ලැසීගෙන් දික්කසාද වීමට අවශ්‍යතාවක් මතුවන්නේ ලැසීට හැම තැනක ගැහැනු සිටින බව ලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි අවස්ථාවකදී එහි ගිය විට ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් දැන ගැනීම නිසාය. දැන් ඇයට ලැසීව පේන්නට බැරිය. ඇය පවසන්නේ තමා ලැසීගෙන් විවිධ තාඩන පීඩනවලට පවා ලක්ව ඇති බවය. ඒ නිසාම ඇය මේ වන විට සූදානමින් සිටින්නේ සිය දියණියද රැගෙන රටින් පිටව යෑමටය. ඒ තවදුරටත් මෙරට රැඳී සිටියහොත් සිදුවන්නේ වෙඩි කා මියැදෙන්නට බව දැනගෙනය.
එහෙත් ඇයට දැන් සිය දියණියව රැගෙන යාමට ඉඩක් නැති තරම්ය. ඒ ලැසී බන්ධනාගාරයේ සිට ඇයට මරණිය තර්ජනයක් එල්ල කර ඇති බැවිනි. පසුගිය 15 වෙනිදා ඇය සිය මව සහ දියණියවද කැටුව පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පති සහන මැදිරිය හමුවේ ඒ ගැන පැමිණිල්ලක්ද කළාය. ඇය එම පැමිණිල්ලෙන් කියන්නේ ලොකු අම්මාගේ දුරකතනයට ඇමතුමක් ගෙන ගණේමුල්ලේ සංජීව හෙවත් මාකිලංගමුවේ සංජීව විසින් ලැසී වෙනුවෙන් එම තර්ජනය කර ඇති බවය. සංකිගේ ලොකු අම්මාට එම ඇමතුම ලබාදී ඇත්තේද ඊය පෙර දිනයේය. “මම ගනේමුල්ලේ සංජීව කතා කරන්නේ. “ පොඩී“ බන්ධනාගාරයේ මහත්තයෙක් අතේ පොඩි පණිවුඩයක් එවල තියෙනවා. එයා කියනවා “සංකි“ රටගියාට කමක් නැහැලු. හැබැයි දුවව අරන් යන්න එපාලු. එහෙම වුණොත් පවුලේ හත් අට දෙනෙක් මරණව කියල කියනවා“ ඒ ඇමතුම ලැබී ඇතැයි කියනුයේ එසේය.
සැබෑ ලෙසම එම ඇමතුම ලැබී ඇත්තේ ගනේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීවගෙන්දැයි මෙතෙක් පැහැදිලි නැත. පැමිණිල්ල කරන සංකි පවා ඒ ගැන දන්නේ නැත. ඇය පොලිස්පති සහන මැදිරියෙන් ඉල්ලා සිටින්නේ එම ඇමතුම සැබෑ ලෙසම ලබා දුන්නේ ගනේමුල්ලේ සංජීවමදැයි තහවුරු කරමින් ඒ ගැන විමර්ශනයක් පවත්වා තමාගේත් පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාව සලසා දෙන ලෙසය. ඇය මෙහිදී ගනේමුල්ලේ සංජීව නමින් ඇමතුම ආ දුරකතන අංකයද පොලිස් මූලස්ථානයට ලබාදී ඇත්තේය. ඒ ඔස්සේ දැන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්නටය. එය සැබෑවක් බව තහවුරු වුවහොත් සිදුවන්නේ ඇප ලබා තවමත් බූස්ස බන්ධනාගාරයේ රැඳී සිටින පොඩි ලැසීට තවදුරටත් බන්ධනාගාරයේම තපින්නටය.